Thursday, June 24, 2010
22 කොටස
"මචං ඔහොමම කලන්තේ දාලා වගේ මට හේත්තු වෙයං...." භානුකයා මාව උගේ ඇඟට හේත්තු කර ගත්තා. මට තියෙන්නෙ දොයි වගෙ ඉන්නලු. අනේ මන්දා මට ඇක්ටින් කියන එක ඇඟේ නෑ. මොනා හරි වෙද්දි මට බකස් ගාල හිනා යයිද දන්නේ නෑ. මම දන්නවද ඔය ටකරං.
"හිරාන් පුතා මොකෝ පරක්කු උනේ...?" මට පොඩ්ඩක් අන්ඩර් ග්‍රවුන්ඩ් වොයිස් එකක් ඇහුනා. මම ඉතිං විහිළුවටවත් ඇස් දෙක ඇරියේ නම් නෑ.
"පරක්කු උනේ අංකල්... අද ක්ලස් ඇරිලා එනකොට මගේ යාලුවෙක්ට ඇක්සිඩන්ට් එකක් උනානෙ. මිනිහාට ටිකක් අමාරුයි, අපි හොස්පිටල් එන නිසා ඌවත් දාගෙන ආවා. භානුක එක්ක මූව ඕ. පි.ඩී එකට යවනවා."
කිරි අප්පේ මූ මටත් වඩා හොඳ මුසා පප්පෙක්නේ. ඔය අංකල් කාරයා මගේ ප්ලාස්ටර් දාලා තිබ්බ අත එහෙම දෙක්කොත් ඕකා විතරක් නෙවෙයි මමත් හොඳටම කනවා.
"හරි හරි එහෙනම් යන්නකෝ මමත් මේ ඔෆිස් යන්න කියලා." ටික වෙලාවකින් වාහනේ ඉස්සරහට යන්න ගත්ත හින්දා මම ලාවට ඇස් ඇරියා. එතකොට මම දැක්ක මගේ ප්ලාස්ටරේ දාලා තිබ්බ අතට උඩින් කාගේ හරි ජැකට් එකක් එලලා තියනවා. මුන් නම් මාර හොරු. ඔයින් ගියා මදෑ.
"මචං යමු ඇතුලට" භානුකයා මට තට්ටුවක් දාගෙන වාහනෙන් බැස්සා මමත් ඉතිං ඒකෙන් බැස්සා. මාව දැකලා ඉස්පිරිතාලෙ උන් රෝද පුටුවක් අරං එයිද දන්නේ නෑ. ඒ තරම් අබ්ලික්. කොර ගහන නිසා භානුකයා මාත් එක්කම ස්පීඩ් එක අඩු කරලා ඉස්සරහට ආවා. තල්මසා අපිට ඉස්සරහින් ගියේ වට පිට ඇන්ටනාව දාන ගමන්.
"උඹ මේ කරන උදව්ව මම කවදාවත් අමතක කරන්නේ නෑ මචං" භානුකයා ලා වොයිස් එකකින් කිව්වේ. මම අර මොකාද එකා වගේ අතෙනුයි කකුලෙනුයි එන අම්බානක කැක්කුම ඉවසගෙන හීනියට හිනා උනා. මුන් මට සලකනව මදි.
5 වැනි තට්ටුවට ලිෆ්ට් එකෙන් ගොඩ බැහැලා 508 කාමරේ ලඟ අපි නැවතුනා. මම මෙහෙම ඉස්පිරිතාලෙකට ආවමයි මගෙ හිතේ. මම අතරමං උන ඇලිස් වගේ වට පිටාව ස්කෑන් කලා.
ඒ එක්කම අර කාමරේ දොර ඇරියා. හැට පැනපු වයසක ගෑනු කෙනෙක් දත් දෙක තුනක් පෙන්නලා හිනා උනා. මම කාමරේ ඇතුල බලන්න හැදුවා ඒත් පේන්නේ නෑ.
"පොඩි බේබි මේ දැං භානුක මහත්තයාව ඇහුවා" අර වයසක ගෑනු කෙනා භානුකයා දිහා බලලා තල්මසා දිහා බැලුවා.
"භානු උඹ පලයං මූ එක්ක මම එළියේ ඉන්නම්. ලිහිණිට මාව දැක්කාම මල පනිනවානේ" තල්මසා කාමරෙන් පිට තිබ්බ පුටු පේලියේ වාඩි උනා.
" මැගිලින්.. පහලට ගිහිං අපි තුන් දෙනාටම මොනා හරි බොන්න අරන් එනවාද?" භානුකයා පස්සෙන් දාහෙ කොලයක් ඇදලා අර මනුස්සයාට දුන්නා. අනේ දෙයියනේ මට දාහක් දැක්ක කාලයක් මතක නෑ. ඒකට මුන්ට. බීම ගේන්නත් අදින්නේ මොනරු. ඕක තමයි වාසනාව කියන්නේ.
" වරෙන් ඇතුලට යන්න" අර ගෑනු කෙනාව එළියට යැව්ව භානුකයා මාවත් අඬගහගෙන ඇතුලට ආවා.
" ලිහිණි....." භානුකයා කතා කලා
" මෝඩයා.. තමුසෙ දැංද එන්නේ?" ලිහිණි බැනගෙනම භානුක පැත්තට හැරුනා. බුදු අප්පොච්චියේ ඔන්න ආයේ හඳුන්පොත හිට්ටා.... මම මෙහෙම ලස්සන කෙල්ලෙක්ව මීට කලිං කොහෙදිවත් දැකලා නෑ. මට නම් බුදු ෂුවර්. මෙයා වෙනුවෙන් හිනා වෙවී ගුටි කන්නම්කො මම. ඒ තරම් හිතා ගන්න බැරි තරම් මොනාද එකක් මෙයා මෙයාගේ ඇස් දෙකෙන් කරනවා.
අනේ රත්තරනේ ඔහොම බලන්න එපා මාව අමු අමුවේ පිච්චෙනවා.
"අනේ දෙයියනේ තෙනුර....." එයා මගේ ලඟට ඇවිල්ලා මගෙ කැඩුණු අත අත ගෑවා.
"ආ.....ව්" මට පොඩ්ඩක්වත් රිදුනේ නෑ ඒත් රිදුණේ අතට වඩා හිත. අතපය සීතල වෙලා. මං හිතන්නේ මම මැරිලා අර කිරි හාමි වගේ.
"මට සමාවෙන්න දෙයියනේ....: "බලං ඉන්නැද්දි ලිහිණිගෙ ඇස් වල කඳුළු පිරින්න ගත්තා. පව් හත්දෙයියනේ....
" මොන සමාද අවුලක් නෑ..... ඔහොම දේවල් වෙනවා. ගණන් ගන්න එපා" මම හොඳ හුස්මක් අරං කිව්වා නැත්නම් දිව උගස් තිබ්බා වගේ ඉඳලා නිකං චාටර් වෙනවා.
" ඔයා කොච්චර හොඳද?... මම හිතුවේ ආයේ ඔයා මගේ මූණ බලන එකක් නෑ කියලා. ඔයා ආවම කකුල් දෙක අල්ලලා වැඳලා හරි සමාව ගන්න මම හිතුවේ" මේ පාර නම් හුස්මත් හිර උනා. කෙල ගිලෙන්නෙත් නෑ. මොනා කියන්නද මට හිතා ගන්න බෑ.
" ම මම කිව්වනේ... ඕක අමතක කරන්න දැං ඔක්කොම ඉවරයිනේ"
" ඔයා මට සමාව දුන්නා නේද?" මම භානුකයා දිහා බැලුවේ අනේ මාව බේරගනිං යකෝ කියනවා වගේ.
"ඔව් ඔව් මේ දැං තිබ්බ සමාව ඔක්කොම දුන්නා" මම කියලා ආයේ භානුකයා දිහා බැලුවා
" ලිහිණි තෙනුරට ගෙදර යන්න ඕනෙලු, දැං ඔයාගේ හිතට හරි නේ"
භානුකයා මාව බේරගන්න ඉදිරිපත් උණා. අන්න එහෙමනෙ මස්සිනා ඉන්න ඕනේ. මූව නම් මම මස්සිනා කර ගන්නවාමයි. පොඩ්ඩක් ගෑනු ජාන තිබ්බට එළ පොර
" තෙනුර හෙටත් එනවා නේද මාව බලන්න" මලා.... මේ මොකද්ද මේ වෙන්න යන්නේ.... හෙට... අපේ අම්මට කියන්න ඕනේ මගෙ කේන්දරේ බලවන්න කියලා. මාරන්තික ඒරෂ්ටකයක් එන පෙර නිමිති. මම හිනාවක් දාලා ආපහු හැරුණා.
"ඔයා හෙටත් ආවොත් මම සමාව දුන්න කියලා පිලිගන්නවා" ලිහිණිගෙ මූණ නොබැලුවාට මට එයා කියන කිසි දෙයකට බෑ කියන්න දිව හොලවගන්න බෑ. මම ගොළු උනා
Subscribe to:
Post Comments (Atom)


9 comments:
lassana kathaawak. ithuru tikath ikmanatama daanna.. :)
ලොකු අවුලක පැටලෙන්න යන්නේ කොල්ලා... බලමි ඉස්සරහට වෙන දේ...
හප්පේ මමත් මේ හොස්පිට්ල් එකට යන්න ලෑස්තිවෙන ගමන්. කලබලෙන් වගේ මේ පැත්තටත් ගොඩ වුනා. එල එල.
hm...kiyevva..ithruva ikmanatama post karanna..kiyavanna asa hithena vidiyata liyala thiyanava.lassanai..
ahinsaka maiya... :P
දිගටම ලියපාන්...
malli mata oyage Email address eka ewanawada?
ela kollo.niyamay.
අනේ මම මල්ලියෙක් නම් නෙවෙයි.... හි හි.... ඒත් මල්ලියෙක් විදියට කතාව ලියනවා. හැමකෙනාගෙම කමෙන්ට් නිසා මම දවසෙන් ශවස ඩිරි ගැන්වෙනවා. ගොඩාක් ස්තූතීයි.
හොස්පිට්ල් එක නම් අසිරි සෙන්ට්‍රල් එක වෙන්න ඕන කියන විදිහට :)
Post a Comment