ලෝකෙ පහල වෙච්චි වටිනාම හාස්කම දැක්කා වගේ මම කකුල් දෙක පොළොවෙ ගහලා ඉන්නව දැකලා අම්ම බෙරියන් දෙන්න ගත්තා.... අම්මට මාව දැකලා එතනින් අඩියක්වත් හෙල්ලෙන්න බැරි උණා. මටත් අඩියක්වත් හෙල්ලෙන්න බෑ මොකද අක්කයි නංගියි තාරකයි තුන්දෙනාම මාව හතරවටෙන්ම බදාගෙන. ඔව් මට තේරෙනවා මෙයාල මට කොච්චර ආදරේද කියලා. මම දන්නවා මම කාලයක් තිස්සේ හිතන් හිටපු කාළකන්නියා නෙවෙයි කියලා. බුවයි සිකයි ටොලයි තුන්දෙනාම මාව ඈත ඉදන් බලාගෙන ඉන්නවා දැක්ක. ඒ ටිකට මාව නැති කරලා දන්න කාඩ් ගහලා ඇති. කමක් නෑ... මෙහෙම සැපක් ආයේ ඉතින් මට මේ කල්පේ හම්බ වෙන එකක් නෑ. මම තුන් දෙනාගෙම ඔලුව සැරෙන් සරේ අත ගාන්න ගත්තා... ඒත් තාත්තා පේන්න හිටියේ නෑ.
" කෝ තාත්තා...."
"ආව ගමන් කාමරේ ට ගියා ගියාමයි හැබෑටම එළියට ආවේ නෑනේ ද?" අම්මත් මාව ඇවිල්ල බදා ගනිද්දි කිව්වා. මම බවලත් උදවිය පිරිවරාගෙන තාත්තාගේ කාමරේට ඔලුව දැම්මා... තාමත් මේ කාමරේට අඩිය තියනකොට ඇඟ කිලිපොලා යනවා බයට. කෝච්චිය පේනෙ තෙක් මානෙක නෑ කියල දැනගෙනත් හතර පැත්ත බලල රේල් පීල්ලට කකුල තියනවා වගේ පොඩ්ඩ වෙන්න ගැහි ගැහි මම තාත්තාගේ කාමරේට ඔලුව දැම්මා...... තාත්තා ඇඳ උඩට වෙලා අත් දෙකින් මූණ වහගෙන ඉන්නවා...... මට වඩා අම්මා කලබල උණා
"අපෙ මහත්තයා...." තාත්තා ඔලුව ඉස්සුවා....... ඒ ඇස් වල අම්බානකට කඳුලු. කිරි සන්තෝ තාත්තා ඇට්ටි හැලෙන්න අඬලා නේද?
" සන්තෝසේ උහුල ගන්න බැරි උණා මට..... පොඩි පුතා සනීප උණා... දැන් ආයෙමත් අපි ඔක්කොටම සතුටින් ඉන්න පුළුවන් වෙයි....."
" ඔව් තාත්තේ... මම එන අවුරුද්දේ විභාගේ කරනවා... මගෙන් උන වැරදි වලට මට සමාවෙන්න...." මම තාත්තාට ලෝභ නැතුව බිම දිගා වෙලා වැන්දා..... ලේ නෑකමින් මේ මගේ මාමා වෙන්න පුළුවන්.ඒත් මේ බැදීම තාත්තා කෙනෙක් කියලා හසරක් දන්නෙ නැති ජයවීරලාට ආදර්ශයක්. ලෝකේ පවතින්නේ අම්මයි තාත්තායි නිසා... මට වාසනාවට ලැබිලා තියෙන්නේ මේ ලෝකේ හොඳම අම්මයි තාත්තායි. මම දන්නේ නෑ ඇයි මට මේවා හිතෙන්නේ කියලා. මෙහෙම හිතන්න මාව පුරුදු කෙරෙව්වේ තාරකා. මම තාරකා දිහා බැලුවා.
"ඔව් ඒක හොදයි. ඉගෙන ගන්නවා නම් එක්කෙනෙක් නෙවෙයි දෙන්නම ඉගෙන ගන්න ඕනේ...... "
" තාරකා මටත් උගන්නනවා කිව්වා..." මම එහෙම කියලා තාරකා දිහා බලද්දි ඔක්කොමලා හිනා උණා. තාරකාට ලැජ්ජා හිතිලා බිම බලා ගත්තා.....
" මේ අන්කල් ඒ වැරද්ද නම් කරන්න එපා ඔය තාරකාගෙත් ඉගෙනීමේ අවසාන තිත." සිකාගේ කතාවට ආයෙත් ඔක්කොමලා හිනා උණා....
"තාත්තා ගෙවල් උකස් තියලා මාව රට ගෙනයන්න හොයාගත්ත සල්ලි දැන්මම ආපහු දීල ගේ බේර ගන්න" ඒ කතාවෙන් තාත්තා මගේ ඔලුව අත ගෑවා....
" සල්ලි හොයාගන්න ගෙවල් උකස් තිබ්බේ නෑ පුතේ....."
"එහෙනම්"
"අයියා උදෙන්ම ගියෙත් සල්ලි අරන් එන්න..."
"කොහෙන්ද එච්චර සල්ලි...."
"තාරකාට අයිති ඔක්කොම දේපල අපි එපා කියද්දි විකිණුවා..." මම පුදුමෙන් තාරකා දිහා බැලුවා....
මේ කෙල්ල මන් නිසා..... අනේ කොහෙ ඉඳලා ආව සුරංගනාවක්ද මේ......
" ඔව් ඒ සල්ලි දුවගේ එකවුන්ට් එකේ තියෙයි ... අනගාතේ දුවට ඕනේ දෙයක් කරන්න..... දැන් දෙන්නම ඉගෙන ගන්න ඕනේ....." තාත්තාගේ තීරනේ බරපතලයි කියලා මට හිතුණා... ඒත් පවුලක් කන්න රස්සවක් කරන්න ඕනේ නේද? රස්සවක් කරන්න ඉගෙන ගන්න ඕනේ...... ඒ නිසා අකමැත්තෙන් උණත් මට ඒකට කැමති වෙන්න උණා..... මට දැන් තාරකා මගේ ළඟ තියාගන්න ඕනේ.... එච්චරයි.
පොලිසියට කට උත්තරේ දුන්නේ හසංකයා කිව්ව විදියට..... භානුකයා අවුරුදු දෙකකට රට ගියා......බුවා සිකා ටොලා මම තාරකා ආයෙත් ක්ලාස් යන්න ගත්තා..... අක්කා එයාගේ සාරි දාන ශොප් එකක් ඇරියා ලහිරු එක්ක..... හසංකයා ලොකූ එක්ක සෙට් වෙන්න කැමත්ත එහෙන් මෙහෙන් දැම්මා..... පොඩි ඩයිනමයිට් එකනම් විභාගේ එහෙම පාස් වෙලා ආයේ කොල්ලත් එක්කම ක්ලාස් යනවා කිව්වා.... අයියාට රස්සාව කරන තැනම කෑල්ලක් සෙට් වෙලා හදපානේ මල් කඩනවා මම දැක්කා.... ඔක්කොමලා සතුටින්.... මට තාරකාගෙන් තොර ලෝකයක් නෑ. අහුවෙන්නේ නැති වෙන්න අපි දෙන්නා ක්ලාස් එකක් දෙකක් කට් කරනවා ගින්නක් නෑ. හැමදේම කරන්න ගේ ඇතුලේ බෑ අප්පා..... ඒත් ලිහිණි... ඔන්න පපුව හිටින තැන... මම කීප සැරයක්ම එයාට කතාකරන්න ගෙදරට කෝල් ගත්තා. ඒත් කවුරුත් ෆෝන් එක උස්සන්නේ නෑ. දවස් දෙක තුනක්ම ගෙවල් පැත්තේ සර්චින් පාරක් දැම්මා. ඒත් කෙල්ල පේන්න ඉන්නවා තියා මුළුගේම පාලු පාටයි. තල්මසා කන්ටැක් කරගන්න බෑ. මාව පොඩ්ඩක් හිනස්සන්න කිව්ව කෙල්ල තනියම දුක දරාගන්න පුරුදු වෙලා වගේ. ඒත් හිතේ එක තැන මහ අමුතු මොකද්ද එකක් මට ලිහිණි වෙනුවෙන් තිබ්බා..... ඒක තාරකා දන්නවා. මේ ක්ලාස් එකේ ඉන්නකොට ඒ මතකේ තවත් අලුත් වෙන්න ගත්තා... ලිහිණි හොයා ගන්න භානුකයාටත් මම කොච්චර කතා කරන්න ඇත්ද? කවුරුත් ඒ පුංචි කෙල්ල ගැන දැනගන හිටියේ නෑ. මගේ හිතට එහෙම දැනෙනකොට බයකුත් ආවා. මේ කෙල්ල කරදරයක්වත් කරගත්තාද? එහෙම නැත්නම් අසනීපයක්වත්ද? කියලා.
ක්ලාස් එක ළඟ ගැන්සියම වල බහින තැනට රතු පාට කාර් එකක් පාත් උණා......
"හිරාන්....." මට ඉබේටම කියවුණා.... තල්මසා වෙනදාට වඩා හැන්ඩියා වෙලා....
"තෙනුර.... සොරි මචන් උඹේ කෝල් වලට මම අන්සර් කළේ නෑ..."
"කොහෙද බන්... මම කොච්චර උඹලා හෙව්වද?"
"භානුක කිව්වා, උඹ සනීප වෙච්ච එක ගැන නම් අම්බානකට හිතට ෆිට් එකක දැනෙන්නේ..... ලිහිණිටත් එහෙමයි...." මගේ හිතට ජෙට් එකක් වගේ ආතල් එකක් ආවා....
"ලිහිණි කෝ බන්....."
"ලිහිණි උඹව මුණගැහෙන්න එන්නේ නෑ කොටින්ම කිව්වොත්... උඹ දන්නවා ඒ ඇයි කියලා" තල්මසා ඒක කිව්වේ තාරක දිහා බල බලා....
"ලිහිණිට කොහොමද?"
"එයා හොඳින්..... මම එයාව මැරි කරනවා...."
"ලිහිණි සතුටින් නේද?"
"ඔව් එයාගේ කැමත්තෙන්... තමයි.... මම ආයේ අම්මලා ළඟට යනවා.. යන්නේ ලිහිණිවත් එක්කගෙන"
"හිරාන්...උඹ හොඳ එකා..... ලිහිණිව හොඳට බලාගනින් මචන්....." හිතට පොඩි වේදනවක් ආවත් ඒක නැති වෙලා ගියේ තාරකා හිටපු නිසා. ලිහිණි ඉන්න තැනක සතුටින් හිටියොත් ඒ මට ඇති. හැමදාම වගේ එයාව හිනස්සන්න මට ආසයි.
"මචන් මම යනවා..... ලිහිණි ඔය දෙන්නට සුබ පැතුවා කියන්න කිව්වා"
" අපිත් උඹලා දෙන්නට සුබ පතනවා..... " හිරාන් වාහනේ නැගල එතනින් පිට උණා..... තාරකා හිමීට මගේ අතින් අල්ල ගත්තා...
"ඔයාට දුකද?"
"ටිකක්...."
"දුක් වෙන්න එපා.. එයා හොඳින්නේ...." ඒක තමයි මම මොකටද දුක් වෙන්නේ... මම තාරකාව ළඟට අරන් කර වටේ අත යැව්වා...
ජීවිතේ ඛ්‍රේක් ගහපු තැන් වලින් යූ ටර්න් දාන්නේ නැතුව වාහනේ ආයේ ස්ටර්ට් කරලා අද්දන්න දැන් මම දන්නවා. මම ආයේ පරණ මෝඩකන් වලට අත වනන්නේ නෑ. ලෝකේ විනාස වෙන්න තත්ත්පරයකට හරි කලින් තාරකා මගේ කරගන්නවා ගන්නවා ගන්නවාමයි. ඒක නම් ෂුවර්ම ෂුවර්..... ඒ ගැන ඉතින් මේ මයියා කිව්වොත් කිව්වම තමයි. අයෙත් අපි ඔක්කොමලා අපේ සුපුරුදු ජීවිත එක්ක නුපුරුදු ගමන යන්න පටන් ගත්තා.....
******මෙන්න මෙහෙමයි මෙතනින් ඉවරයි******







