මූ අම්බානක පොලිෂ් වෙලානේ..... බලාපල්ලකෝ සුගන්දය ගෙට ගොඩ උණාම කුස්සියට එනවා....
"තාරකා මම ඔයාට පස්සේ කතා කරන්නම්" මම එකපාරටම ෆෝන් එක තිබ්බා...
" අප්පටසිරි යකෝ...." තල්මසා දත් තිස්දෙකම පෙන්නලා මගේ ලඟට ආවා
"මට ආරංචි උණා මචං උඹේ තත්ත්වේ" ඌ මගේ ලඟට ලඟ තියන පුටුවක් ඇදලා අරං වාඩි උණා
"උඹ කවද්ද බං ආවේ........"
" දැං දවස් දෙක තුනක් වෙනවා..... ලිහිණි අතුරුදහන් වෙලා කියලා දෙන ගත්තාම මට එහෙ ඉන්න හිතුනෙ නෑ බං"
"ඔව් මචං... මොනාද දැං නිව්ස්"
" ලිහිණිව අංකල්ට ඕනේ නම් කෝටි 5ක් ඉල්ලනවා..."
"කවුද බං ඕවා කරන්නේ..... මෙවන්ද?" තල්මසා මගේ ඇස් දෙක දිහා බැලුවා
"මෙවන්ට එච්චර ගටක් නෑ බං............ ඌට තියෙන්නේ උගෙ තාත්තාගේ හයිය විතරයි"
"උගේ තාත්තා බර වාහනයක්ද?"
" උඹ දන්නවානේ මේ පාර ඉලෙක්ෂන් කැම්පේන් එකේ ආණ්ඩුවට උදව් කරපු මහා ධානපතියා...."
"සිරාවට මම ඒ ගැන දන්නේ නෑ.... මට ඉලෙක්ෂන් ගැන නම් කිසිම අයිඩියාවක් නෑ"
"මීඩියා ඔක්කොම වැඩ කලානේ බං ඉලෙක්ෂන් එකට...." තල්මසා මගේ දිහා බැලුවේ අඟහරු ලෝකෙන් ආව කුරුමිට්ටෙක් දිහා බලනවා වගේ
"කවුද බං ඕවා බලන්නේ..... කියපං කව්ද ඕකා"
"සමරනායක"
"මොකා.........................?" මට හිටගන්න පුළුවන් නම් මම මෙලහට අඩි දෙකක් විතර උඩ පැනලා හිටගෙන
"ඔව් ඇයි උඹ දන්නවාද?"
"එච්චරම නෑ......" මූට මම සමරනායකව දන්න තරම් කියන්න ගියොත් අවාසි වෙනවා
"ඒ කියන්නේ මෙවන් සමරනායකගේ පුතා..."
"ඔව් මචං"
" ලිහිණි යාලු වෙලා හිටියේ මෙවන් එක්ක"
"ඔව් ඔව් උඹට මතකනේ...."
" මෙවන් කාරයා ලිහිණිව කිසිම දැන්වීමකින් තොරව අයින් කලා"
"ඔව් ඒ නිසා ලිහිණි ලෙඩ වෙන්න ගත්තා"
" ජයවීර නැත්නම් උඹේ අංකල් මෙවන්ව අරං ගිහින් තර්ජනේ කලා"
"උඹට කතාව මාර විදියට මතකයිනේ බං" මට දැනුයි මේකෙ මුල මැද අග තේරෙන්නේ...... මෙවන් එහෙම කලේ සමරනායකගේ කීමට සමරනායකගෙ නංගිට වෙච්ච දේට පලිය ලිහිණිගෙන් ගන්න. ඒත් ලිහිණි මෙවන් නිසා සිය දිවි නසා ගත්තේ නෑ... මම මේකට එන්ටර් උණා... මාව මේකෙන් කපලා දාන්න උන් මට තර්ජනේ දැම්මා..... ඒ නිසා මම මේ සීන් එකෙන් කැපුණා... දැං තාරකා දැක්කට පස්සේ මුන් තාරකාව තුරුම්පුවක් කර ගන ජයවීරයා අවුස්සන්න හැදුවේ.... ඒකත් අප්සෙට්... අන්තිමට ලිහිණිව ඉස්සුවා.
"මොනාද මචං උඹ මේ හෝ ගාල කල්පනා කරන්නේ...?"
"මොකුත් නෑ.... ඒ කාලේ කාපු කෑම මතක් උණා"
"මෙවන් කාරයා මගෙන් බේරෙන්නේ නෑ.... මුලින් ලිහිණිව හොයා ගන්න ඕනේ"
"ඔව් මචං.....ඔය කප්පන් කාරයා අපි හොයා ගමු. ජයවීර ඒ කියන්නේ උඹේ අංකල් මොනාද දැං කරන්න හිතන් ඉන්නේ?"
" එයා ඉතිං දේශපාලන පලිගැනීම් ගගා ඒකෙනුත් ඉලෙක්ෂන් කැම්පේන් කරනවා" මූ දන්නවා නම් ජයවීර මගේ තාත්තා මූ මගේ මස්සිනා කියලා මොනා වෙයිද?
"හිරාන්... ඒ කියන්නේ උඹේ අංකල්ට මේක එක සිද්ධියක් විතරයි... එයා ලිහිණිව බේරගන්න මොකුත් කරන එකක් නෑ විශේෂයෙන්ම කෝටි පහක් වියදම් කරන එකක් නෑ........"
" මටත් ඒක තේරිලා ඉන්නේ.... භානුකයා පිස්සු බල්ලා වගේ"
" අපි එකතු වෙලා මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න ඕනේ... උඹ දන්නවානේ.... මට ඇවිද ගන්න බෑ... උඹගේ කාර් එක මට ගොඩාක් ඕනෙ වෙනවා."
"උඹට ඕනේ වෙලාවක ඒක තියනවා... මගේ නම්බරේට කෝල් එකක් ගනින්"
"මට අපේ ගැන්සියේ එකෙක්වත් ඇත්ත කියන්නේ නෑ... උන් හිතන්නේ මට දරා ගැනීම නැති වෙලා මොකක් හරි අවුලක් වෙයි කියලා.....ඒත් මට ඕනෙ දෙයක් දරා ගන්න පුළුවං.... ලිහිණි කියන්නේ මමත් ගොඩාක් ළඟින් අශ්රය කරපු කෙල්ලෙක්...... ඒ නිසා මගේ වගකීමක් තියනවා එයාව කොයි ලෝකෙන් හරි හොයා ගන්න එක....." තල්මසා කොර වෙලා මගේ දිහා බලාගෙන හිටියා
"මචං..... ලිහිණිව මට ඕනේ....."
"ඔව් අපි හොයා ගමු.... හැලපයෝ වගේ දැක්ක තැන නාගන්නේ නැතුව එකට කතාවෙලා වැඩේ කරමු"
" උඹ කියනවා වගේ ඔය කතාව කරන්නේ අපි කොහෙද?"
"මෙහෙ නැතුව කොහෙ හරි අපි වැඩේ සෙට් කර ගමු....... උඹ අනිත් උන්ව ලෑස්ති කර ගනිං මම එනවා කියලා කියන්න ඕනේ නෑ. අපි එතනදි හම්බ වෙමු" මම දැං දෙන්න යන්න ජේම්ස් බොන්ඩ් ගේමක්. ඒකත් කකුල් දෙකෙන් නෙවෙයි රෝද පුටුවෙන්.
මට වෙලාවකට හිතෙනව අපි සායකෑල්ලක් වැලක දැක්කත් ඕවර් යනවාද කියලා.... මිනිහෙක්ට වටිනාම තමන්ගේ අගේ කොටසක් සොරි උණාම ඒ මිනිහා ඒක සනීප කර ගන්න දත කන්නෙ නැතුව කෙල්ලෙක් නිසා ආයේත් අම්බානකට කන්න හදන කතාවක් මම ඉතිහාසෙවත් අහලා නෑ. එහෙම ගත්තාම මම ගිනස් පොතට යන්න ඕනෙ පොරක්. හොඳම වැඩේ තියෙන්නේ මම මේ අත ගහන්නේ කාටවත් අයිති මල් වට්ටි වලට. ඒත් ඉතිං චාටර් වෙන එක උපන් හැටියක් වෙච්ච එකේ ඕක මොකද්ද. ලිහිණිගෙන් පටන් ගත්ත මේ ඔක්කොම දේවල් අන්තිමට ඉවරක් වෙන්න ඕනේ හොඳ විදියකට.... දවසක මටත් එහෙම හිතල ඇස් දෙක පියා ගන්න පුළුවං.... මගේ ජීවිත කාලේ මොකක් හරි ගතියක් තියන වැඩකට අත ගැහුවා කියලා..... තල්මසා ගියාට පස්සේ මම එහෙම හිත හිතා ඉන්නකොට එක පාරටම මගේ කර උඩට අතක් ආව හෙන ගහනවා වගේ. මගේ තිබ්බ දරුණු කමට කවුරුවත් මාව උස්සලා ඇදෙන් තියන්නවත් උනන්දු උනේ නෑ. මම ඔලුව උස්සලා බැලුවා. කිරි අප්පේ මේ තාත්තා නේද?
"මොකද පොඩි පුතා මේකට වෙලා කරන්නේ...?"
"අඳේ ඉදලා ඇති වෙලා තාත්තේ.....?" ඒත් මට දැං ඇදට යන්න ඕනෙ වෙලා තියෙන්නේ.....
"අයියා.... කොහෙද ගියේ?" තාත්තා මාව කිහිල්ලට අත දාලා යන්තම් උස්සල ඇද උඩින් තිබ්බා
"කියලා ගියේ නෑ" මම දන්නවා අයියා ගිය තැන ඒත් තාත්තාට ඕව කියලා වැඩ කලාස් කරන්න ඕනේ නෑනේ...."
"ලබන මාසේ අපිට ඇමරිකා යන්න පුළුවං........" තාත්තා මගේ පල්ලෙහාට එල්ලෙන කකුල් දෙක උස්සල ඇඳ උඩින් තිබ්බා
"ඔය තැන් වල යන්න වියදම් කරන්න ඕනේ නෑලු...... අපේ හොද වෙදෙක් ඉන්නවා කියන්නේ?"
"මටත් කීප දෙනක්ම වෙද මහත්තුරු ගැන කිව්වා... ඒත් මට ඕනේ ඔයාව ඉක්මනට ඇවිද්ද ගන්න" තාත්තා මා දිහා බැලුවේ බඩගිනියි කියන හිඟන පැටියෙක් දිහා බලනවා වගේ දුකකින්
"අපේ රටේම ඉදලා මට ඇවිදගන්න පුළුවං කම තියෙද්දි ලක්ෂ ගානක් වියදම් කරන්න එපා තාත්තේ..... අක්කා කසාද බදින්න ඕනේ... නංගිගෙත් අනාගතයක් තියනවා... අපි ඔක්කොට තියන මේ ගෙදර උකස් කරලා මට විතරක් සළකලා වැඩක් නෑ... අපි ඔක්කොටම සතුටු වෙන්න පුලුවන් දෙයක් කරමු" තාත්තා එක පාරටම මගේ ලඟින් වාඩි වෙලා ඇස් දෙක මිරික ගත්තා.......... තාත්තාත් බවලත් වගේ ටැප් එක අරින්න පුරුදු වෙලා මම දැං මෙයාට පොඩි එකෙක් වගේ අඬන්න දෙයක් කිව්වද?
"ඉතිං මොකටද මේ...?' මටත් ටික වෙන්න දුක හිතුණා
"මම එක දවස් උඹට කිව්ව උඹ මේ ගෙදර කවුරු ගැනවත් හිතන එකෙක් නෙවෙයි කියලා.............. ඒත් අපිට වඩා උඹ අපි ගැන හිතනවා පුතේ........" තාත්තා මගේ ඔලුව අත ගෑවා
" ඔය ගේ උකස් තියන වැඩේ නවත්තන්න.......... අපි අපේ රටේ දේවල් විශ්වාස කරමු තාත්තේ..."
"මම ඒ ගැන කල්පනා කරලා බලන්නම්" තාත්තා එතනින් නැගිට්ටා
"මම ගැන අනුකම්පාවෙන් බලන්න එපා..... මට තාම ඔලුවේ පණ තියනවා තාත්තේ" තාත්තා මා දිහා බලාගෙන ඉදලා එහෙමම එතනින් යන්න ගියා.......
" තාත්තේ ................... තාත්තේ....................." නංගි හති දාගෙන දුවගෙන ආවා
" මොකද ළමයෝ මේ........"
" තාත්තේ ලොක්කයියා........." නංගිට කියා ගන්න බෑ..........
"ඉතිං........" නංගි දඩෝං ගාල සිහි නැති උණා...........
" අනේ මහත්තයා......" අම්මත් මරලතෝනි දෙනවා........... මොකද්ද මේ වෙලා තියෙන්නේ ෂිඃ.......... මට යාගන්න බෑනේ............







