Saturday, July 31, 2010
39 කොටස
පාන්දරම කෑගල්ලට යන්න මම පිටත් උනේ තාත්තාගේ අමාත්‍යංශෙ වාහනෙන්. ගෙදර මල ගෙයක් වගේ අම්මා, අක්කා , නංගි ඔක්කොමලා අඬනවා. මම මේ සදහටම යන ගමන් නෙවෙයිනේ.... ඒක ගැන හිතලා හිතේ ගලපු කඳුළු ඇහෙට ගන්නේ නැතුව ඉන්න ගේම දුන්නා. මම දක්ෂයා කඳුළු නම් ආවේ නෑ. තාත්තා උණත් මාත් එක්ක වැඩිය කතා කලේ නෑ. කෑගල්ලට යනකොට උදේ දහයාමාර විතර උනා. මම බෑග් එකත් අරන් බහිනකොට පොඩි ඩයිනමයිට් එක ඇවිල්ලා මගෙන් බෑග් එක උඳුරගෙන ගෙදරට දුවගෙන ගියා, උන්ට නම් ජොලි. මට ඒත් මාර මෙව්වා එකක් දැනෙන්න ගත්තා.
"පොඩි පුතා මෙහෙ නැවතෙන්න ගත්ත තීරණේ හොඳයි. ඔය මිනිස්සුත් එක්ක හැප්පෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි." මාමා මගේ ඔළුවත් අත ගගා එහෙම කියද්දි මගේ පපුව හෝස් ගාල ගියා. ගෙදර උන්ව මතක් වෙනකොට මට දිගටම මේ හෝස් සීන් එක පත්තු වෙයිද දන්නේ නෑ. දවල් වෙනකන් තාත්තාත් ඉඳලා දවල්ට එහෙම කාල යන්න ගියා. එයා නොපෙන්නුවට එයාටත් දුකයි. ආයෙ මොකටද බොරු කියන්නේ එයා යද්දි මටත් දුකයි. අනේ බුදු තාත්තේ මාව අරගෙන යන්න කියලා කකුල් දෙක ලඟ වැටලා අඬන්න මට හිතුනා. ඒත් මම එහෙම කළේ නෑ. ඒක කොල්ලාගේ තත්වෙට හොඳ මදි. මට අස් කරලා තිබුණු කාමරේට ගිහින් මම ඇඳේ හාන්සි උණා. මම කාත් එක්කවත් වැඩිපුර කතා කරන්න ගියේ නෑ. මගේ ඇඳ ලඟ බිත්තියේ ලාවට අකුරු පේළියක් තිබුණා. සෑහෙන දාඩිය හළලා ඒක මම කියව ගත්තා.
'සඳටත් හොරෙන්
හිරුටත් හොරෙන්
කාටත් හොරෙන්
මම එන්නද ඔබේ තුරුලට
ඇස් දෙක පියා ගෙන හිටියාම
ඔබේ උණුසුම වැඩි කමට
කල්පාන්තය කෙලවර
වෙනවා වගේ දැනේවි.
මෙතෙක් නිදි වැරුණු ඇස් දෙකට
නින්ද ඇවිදින් තට්ටු කරාවි'
මාරයිනේ.... මේ මෙහෙම වෙනවනම්... මටත් නින්ද යාවි. ඒත් කා ලඟටද මම යන්නේ... මම ඉතිං කල්පනා කල යුතු දෙයක් නෙවෙයි කල්පනා කලේ.. කරන්න වැඩක් නැති උනාම මිනිස්සු මනෝ ගහනවා. මටත් එහෙම වෙලා දැං තියෙන්නේ....
"පොඩි අයියේ....." මේ ඩයිනමයිට් එක ලඟට ඇවිල්ලා සද්ද කරනකම්ම මම දැක්කේ නෑනෙ. මාව උඩ විසි උණා. ඒක දැකලා ඩයිනමයිට් එකට මාර හිනා. මුන්ට පුළුවං ඉතිං අහිංසකයෙක් දිහා බලලා හිනා වෙන්න තමයි.
"තමුසෙලාගේ එහා ගෙදරත් පොඩි අයියෙක් ඉන්නවාද?"
"ඇයි?"
"තමුසෙ කතා කලේ එහා ගෙදර එකාට ඇහෙන්න වගේනේ..." මේකි ආයෙමත් හිනා වෙන්න ගත්තා.
"දැං මෙතන සිරික්කිය දාන්නේ නැතුව කියන්න ඕනේ දේ කියලා මෙතනින් කැපෙනවා" පොඩි ඩයිනමයිට් එක ඩයිනමයිට් පෙනුමකට පත් උණා.
"තමුසේ නම් මහ නපුරෙක්...."
"ඒක කියන්නද ආවේ..."
" නැහැ.."
"එහෙනම් කියන්න ආව දේ කියනවා"
"අම්මා තේ බොන්න එන්න කිව්වා" ඩයිනමයිට් එක මට ගස්සගෙන යන්න ගියා. බලාපල්ලකෝ මෙයාගේ ගණන්. මම නැගිටලා හිමින් සැරේ කුස්සිය පැත්තට පා උණා.
" ලොකු අත්තම්මා කියන්නේ කොළඹ යන්න එපා කියලා ඇන්ටි" කුස්සියට දාපු දොර රෙද්ද කිට්ටුව මම ඛ්‍රේක් එක ගැහුවා. දොර රෙද්දෙ එහා පැත්තේ කෑම මේසෙ ලොකු ඩයිනමයිට් එකයි නැන්දයි ලිහිණියි.. ආ............. ලිහිණි නෙවෙයි තාරකා. කොච්චර උණත් ලිහිණිවමයි මතක් වෙන්නේ... ඒ තුන්දෙනා බර කතාවක්
"ලොකු අත්තම්මා අකමැති නම් දුව එහෙ ගිහින් කොහොමද?"
"ඒකනේ ඇන්ටි... මම කල්පනා කලේ මොනා කරන්නද කියලා"
"තාරකා නංගි ආයෙත් ඉස්කෝලේ යන්න..." ඩයිනමයිට් එක කිව්වා
" මම කොහොමත් ප්‍රයිවට් ඒලෙවල් කරනවානෙ අක්කේ... ඒ අතරතුර එහෙනම් මම මැහුම් පන්ති යනවා.
" ඒක හොඳයි මම දැක්කා ටවුමේ හොඳ තැනක් දාලා තියනවා."
"ඔව් මම එන ගමන් එතනට ගිහින් ආවේ මාසෙකට 1000යි, මාස 6යි" මම හෙමින් සැරේ එතනට ගියා එතකොට නැන්දා දැකලා මට මේසෙ උඩ තිබ්බ බිබික්කන් පිඟාන දික් කලා. මම හොරෙන් අරයා දිහා බලන ගමන්ම ඒක ගත්තා. මෙයා මගේ දිහා තාම කෙලින් බලලා නෑනේ.... මට ඔන්න ඔය වෙලාවට තමයි මල පනින්නේ....
" මයියාට මෙහෙ පාළු ඇති අම්මා..." ලොකු ඩයිනමයිට් එක එයා ඉඳගෙන හිටපු පුටුව මට දුන්නා. හරි ශෝක් මට දැං කෙලින්ම අරයාව පේනවා, දැංවත් මා දිහා බලයිද දන්නේ නෑ.
"එහෙම එකක් නෑ...." මම තව බිබික්කන් කෑල්ලක් අරගෙන කටේ දාගත්තා... කෝ මෙයා බලන්නෙම නෑනේ. මෙයාගෙ ඇස් වපරද දන්නේ නෑ. බිම බැලුවාම මාව පේනවද දන්නේ නෑ. යකෝ මෙහෙම නෝණ්ඩි වෙන්න පුළුවංද? මමත් ගණන් ගන්නේ නෑ.
"ඇන්ටි මම වොෂ් එකක් දාගන්න යනවා." තාරකා එතනින් නැගිට්ටෙත් මගේ දිහා නොබලමයි. ඉතිං මට මොකෝ මමත් ගණන් ගන්නේ නෑ. කෙල්ලෝ උණාම ඔහොම ගණන් උස්සලා කොහොමද? අනේ කවුද කෙල්ලෝ ගණන් ගන්නේ. මෙයාට වඩා ලිහිණි කොච්චර හොඳද? මට එහෙම හිතුණා.
"මයියා... අපි පන්සල් යනවා... ඔයත් එනවද?"
"අපි කිව්වේ..... " මම එහෙම අහනකොටත් කුස්සියේ පයිප්පේ ලඟ එයාගෙ තේ කෝප්පේ හෝදන තාරකා දිහා හොරෙන් බැලුවා
" මමයි, නංගියි, තාරකායි"
"ඔයයි, නංගියි විතරක් යන වෙලාවට කියන්න.... " මම එහෙම කියලා තේ කෝප්පෙත් අරං නැගිටලා ආවා.
සැර වැඩි උණාද මන්දා. ඒත් මම මොකටද සෙකන්ඩ් ක්ලාස් වෙන්නේ.. මමත් ඇවිල්ලා කොළඹ පාතලයොන්ගෙනුත් ගුටි කාපු හයේ හතරේ පොරක්. මේ කජු කෙල්ලොන්ගේ ගණන් වලට දෙකට නැවෙන්න තරම් මගේ කොන්ද අප්සෙට් නෑ.
Subscribe to:
Post Comments (Atom)


16 comments:
"මමත් ඇවිල්ලා කොළඹ පාතලයොන්ගෙනුත් ගුටි කාපු හයේ හතරේ පොරක්. මේ කජු කෙල්ලොන්ගේ ගණන් වලට දෙකට නැවෙන්න තරම් මගේ කොන්ද අප්සෙට් නෑ."
මාර කතාව :D .... දිගටම ලියන්න. ඔබට ජය!!!
එල මචං. එහෙම තමයි ඉන්න ඕනෙ.
mama copy kale nathi ekama blog eka meka thama.... :)
Gud luck nangiyo
lassana kathaawa,digatama liyanna magen suba pathum
හෆ්ෆේ.....මායියගෙ ගණන්....බලමු...තාරකා ද මායිය ද ඉස්සරවෙලාම කතා කරන්නෙ කියලා... :)
අනේ සහෝදරී.. ඉස්සෙල්ල කතා කරන්න ඕන තාරකා හොඳේ.. මයියට සෙකන්ඩ් වෙන්න දෙන්නෙපා..
"මමත් ඇවිල්ලා කොළඹ පාතලයොන්ගෙනුත් ගුටි කාපු හයේ හතරේ පොරක්. මේ කජු කෙල්ලොන්ගේ ගණන් වලට දෙකට නැවෙන්න තරම් මගේ කොන්ද අප්සෙට් නෑ."
හරිම ලස්සන කතාවක් නෙ. අද තමයි මේක හොයාගත්තෙ. ආයි මොනවද, ඇදලා ඇරියා කෑලි 39 යම එක හුස්මට. තවත් මේ වගේම ලස්සන කතා තියන බ්ලොග් 2 තියනවා. කොහෙද, ඒ ගල් ඉබ්බො දෙන්නා පෝස්ට් දාන්නෙ අවාරෙට කජු වැටෙනවා වාගෙනෙ. අනේ මචෝ උඹවත් පිලිවෙලකට දිගටම ලියාපං.
එල එල , දිගටම ලියන්න ......
දැන්නම් කතාව ටිකක් කූල් වෙලා... ගුටි නොකා හිටියොත් හොඳා කෙල්ලෙක්ගෙන්වත්... :P :D
නියමයි අක්කා... දිගටම ලියමු... :)
මයියත් ගනන් පෙන්නන්නේ කෙල්ලන්ට තමයි...
මයිය 2න්ඩ් වෙන්නෙ මොකටද... එසේ මේසේ එකෙක්ද... හැරෙන හැරෙන පැත්තට ගුටි කාපු එකෙක් නෙ හික් හික්....
මේ තාරකා කියන්නේ ලිහින්ගේ ට්වින් වගේ...
i can't help thinking how a girl can create such a character with experience of a boy.u r really talented.keep it up.
shoii kathaawa akka... digatama liyanna.. all the best.. :)
හත් ඉලව්වට ගහපි කලාබරේ.... මෙයා කෙල්ලෙක්ද? දැන්නම්
මටත් තියෙනෙ පුරස්නෙ ඕකම තමා. සමහර විට මෙයා ඉස්කෝලෙ යන කාලෙ "ටොම් බොයි" කෙනෙක් වෙන්නෙ ඇති.
Whatever it is, you have a gift, my dear lass.Consider this as a compliment. And, you just made my day. Keep up the good work.
හ්ම්ම්ම්.......... කෙල්ලෙක් වෙලා කොල්ලෙක් වගෙ ලියන්න සෑහෙන්න අමාරුයි. සමහර විට අතාත්විකයි කියලා හිතලා මුළු පෝස්ට් එකම මකන වෙලාවල් තියනවා. ඒත් මම කැමති වෙනස් විදියකට නිර්මාණ කරන්න. අභියෝගයක් එක්ක නිර්මාණයක් කරනකොට සෑහෙන ෆන් එකක් දැනෙනවා.
කෙල්ලෙක් කෙල්ලෙක් ගැන ලියන එක හරිම ලේසියි. මොකද ඒ හැසිරීම් අපේ හිත් වල පැල පදියම් වෙලා. ඒත් කෙල්ලෙක් කොල්ලෙක් ගැන හරි කොල්ලෙක් කෙල්ලෙක් ගැන හරි ලියනකොට සෑහෙන්න හිතන්න ඕනේ. ගොඩාක් ස්තූතියි හැමෝගෙම වචන වලට. මට මේක ලියන්න දිරියක් ලැබෙන්නේ ඔයාලගේ වචන වලින්.
mekanam siraama kathawak.. :P
Post a Comment