Tuesday, November 30, 2010
92 කොටස
සර් වැඩේ ගානට දෙනවා මගේ මේ ඇස් දෙකෙන් දැක්කා. ඒකෙන් තාරකාටත් හැපී මටත් හැපී ඒත් අපේ ඩයිනමයිට් එක පුපුරනවා. මොනා කරන්නද? එයා මේ හැමදේටම නැට්ට පාගගෙන කයිද කයිද කිය කියා අහනවා. මහලොක්කා කියලා හිතන් හිටියා කොස් ඇට දෙකක් තරම් උස නෑ.... මාව මට්ටු කරන්න එනවා. මම සැනසීමේ ගිහින් නිදා ගත්තා. අපේ අම්මා කියන්නේ ඇත්ත... පන්සල් ගියාම සැනසීම හම්බ වෙනවා.....
පහුවදා උදේ මම ගට අරං වටපිට බලලා තාරකාලාගෙ කාමරේට රිංගුවා.. හත්වලාමයි.. මේකේ කවුරුත් නෑනේ..... මම හෙමින් කුස්සිය පැත්තට පා උණා.... මුන් උදෙන්ම එක්සයිස් පාරක්වත් දාන්න ගිහින්ද නැත්නම් මේ එළියට බහින වෙලාවක්ද?
"පොඩි පුතා නැගිට්ටාද?" මම වහලා තිබ්බ තේ එක අරන් උගුරු දෙකක් බිව්වා... අපේ නැන්දා ඇවිල්ලා නාලා ආවාම නෑවද අහන ජාතියේ... නැත්නම් මම මේ ඇහෙරගෙන ඇවිල්ල තේ එක බොනකොට අහයිද නගිට්ටාද කියලා. මම නින්දෙන් ඇවිදිනවා කියලා හිතනවාද දන්නේ නෑ.
" නැන්දේ... කෝ නංගිලා..."
"ඔන්න ලොකූ නැතුව බෑ කියලා මාමා යනවත් එක්කම ආච්චිලාගේ ගෙදර බහිනවා කියලා ගියා...."අප්පටසිරි එතකොට තාරකා..... එයාවත් අරං ගිහින්ද?
"එතකොට තාරකාත් ගිහින්ද?"
"මම කිව්ව එක්කං යන්න කියලා.. මට මේ වැඩ මදිවාට එයාගෙ වැඩත් කර කරා ඉන්න වෙලාවක් නෑ....අනික ලොකූ ගෙදරින් ගියේ එයා නිසා එයා දැන ගන්න ඕනේ ලොකූව එක්කන් එන්න"
"අද හවසට පන්තියකුත් තියනවා..." මම හිමින් සැරේ කියා ගත්තේ හිත අඩියට බැස්ස අර සැනසීමද මොකද්ද එක එක්ක.
"මොකද්ද පොඩි පුතේ...."
"නෑ නැන්දේ මොකුත් නෑ...."
" මට දැං ඔය කෙල්ලව එපා වෙලා තියෙන්නේ... එයා හිතන් ඉන්නේ මේක එයාගෙ බූදලෙ කියලා.....ඔය විභගේ ඉවර උණාට පස්සේ මම යන්න කියනවා.... ඔය මාමාලා නැන්දාලා ඉන්නවා කියන්නේ...."
"තාරකාට යන්න කියනවා"
"ඔව්... ඔය කෝල් කර කරා යන්නේ ... අනික අනුන්ගෙ වගකීම් මට අරං දැං ඇති වෙලා ..... මම හිතුවාට වඩා මෙයා නැට්ටුක්කාරි" අනේ දෙයියනේ මේ මොන හෙන ගෙඩියක්ද? මේ කෙල්ල කොහෙ කියලා යන්නද?
"අනුන්ගේ වගකීම් කිව්වේ මටත් එක්ක නේද නැන්දේ?" මට ඉබේටම බිම බැලුණා...
"උඹ කොහොමද පුතේ අනුන්ගේ වෙන්නේ....? උඹ අපේ එකා........" තේක බීලා මම ඔහේ ටැප් එකට අල්ලලා කෝප්පේ හොදලා මගේ කාමරේට ගියා.... මම උදේ නැගිට්ටේ කොමාන්ඩෝ දියසේන වගේ... දැං කාමරේට ආවේ පොට ගිය රැම්බෝ වගේ.... මොනා කරන්නද කරුමෙට.. අම්මලා තාත්තාලා නැති කොට ඔහොම වෙනවා... අනිත් උන්ගේ ගෑස් බලන්න. මේ කෙල්ල ගැන මට මාර අවුලක් තියෙන්නේ... මගේ මේ කිඩ්නියට මොකුත් අදහසක් එන්නේම නැති හැටි.
"ආ පොඩි පුතේ... ඊයේ ඌඹට ලියුමක් ආවා... මට දෙන්න බැරි උණානේ.." නැන්දා වැඩ බලන සිකියුරිටි වගේ කාමරේට කඩාගෙන ආවා... ඔහොමත් මේ උදේ පානදර නාඹර කොල්ලෙක්ගේ කාමරේට කඩාගෙන එනවාද? අනේ මන්දා මෙයාලා වයසට යනකොට අර මැනස්ද මොනාද ඒවා මුල ඉදං හදන්න ඕනේ... මම වගේ සීලාචාර එකෙක් මේ කාමරේ ඉන්න හින්දා හොඳයි. මෙතන බුවා වගේ එකෙක් හිටියානම් දවස් ගානකට නැනදාට ඉසකුඩුච්චි දාන්න වෙනවා....
"මට ලියුමක්...?"
"ඔව් කොළඹින්....." මම ලියුම අරං ඇඩ්රස් එක ලියලා තියන අකුරු බැලුවා... මෙලෝ රහක් නෑ... කුරුමිනි අන්ඩුවලට නිල් පාට පේන්ට් ගාලා වගේ.. කවුද යකෝ මට මෙහෙට ලියුම් එවන්න දන්න එකා.... බලමු කඩලා..... නැන්දා ඒත් ඉන්නවානේ මාදිහා බලාගෙනෙ.....
"මම බලන්නම්කෝ නැන්දේ..."නැන්දාටත් ඕනෙ නැති රෙද්දක් නෑ.... දැං බලාගෙන ඉන්නේ මම එයාටත් ඇහෙන්න ලියුම කියවයි කියලාද දන්නේ නෑ.....නැන්දාට මම මොනාද කිව්වේ කියලා තේරිලා නෑ.. මෙතනම ඉන්නව මගේ අතේ තිබ්බ ලියුම දිහා බලාගෙන. මම ශේප් එකේ නැගිටලා කාමරෙන් එළියට ඇවිත් සාලෙට පා උණා වට පිට බැලුවාම නැන්දා නම් පේන්න නෑ....
ලියුම කැඩුවා අප්පට සිරි අර අකුරු වලින්ම තමයි ලියුම තියෙන්නේ..... කවුද මේ... මට කියවීම තරම් එපා කරපු එකක් නෑ. ඒත් දෙය්යයිනේ කියලා මට මේ ලියුමක් සෙට් උණ පළවෙනි වතාවනේ.. ඔන්න ඔහේ කියවනවා
" මයියා.....,
මට ටෙලිෆෝන් එකෙන් මේ කිසි දෙයක් උඹට කියන්න බෑ ඒ නිසයි ලියුමක් එවන්න හිතුවේ... උඹ හොඳින් කියලා මම හිතනවා.... උඹ නැතුව ගෙදර අම්බානකට පාළුයි... තාත්තාත් නිතරම ලෙඩ වෙනවා.... පහුගෙය මාස දෙකට තුන් සැරයක් ඉස්පිරිතාලේ නැවැත්තුවා පපුව රිදෙන්න අරං. උඹ නොදන්නවා උණාට තාත්තා වැඩිපුර හිතන්නේ උඹ ගැන. වෙලාවකට තනියම ඉස්තෝප්පුවට වෙලා අඬනවා.... අයියා... ආයෙත් පිටරට යන්න දඟලනවා... මේ සැරේ නම් රස්සවකට. එයා ගොඩාක් අමාරුවෙන් හොයා ගත්ත රස්සාවත් තාත්තාලාගේ ඇමතිගේ කැම්පේන් එකක් නිසා නැති උණා.. බලාගෙන යනකොට අයියාගේ බොසා විරුද්ධ පක්ෂේ එකෙක්ලු. අයියත් මේ දවස් වල ගෙදර....
නංගි ක්ලාස් යනව කියලා කොල්ලෙක් එක්ක ඉඳලා මේ ලඟදී තාත්තාගෙන් හොඳටම ගුටි කෑවා. දැං නංගිත් ගෙදරට හිර වෙලා. එයාත් ඉන්නේ කඳුළු බිබී... අම්මා උණාත් කට ඇරලා හිනා උණ කාලයක් මතක නෑ. උඹව හැමෝටම සෑහෙන්න ඕනේ.... උඹට ඒක තේරෙන්නේ නෑ. මමත් ගොඩාක් දුකෙන් මේ දවස් වල ඉන්නේ... ලහිරු මාව දාල ගියාට පස්සේ මටත් කිසි දෙයක් හිතාගන්න බෑ.. මම කීපසැරයක්ම ෆෝන් එක ගත්තා උඹට කෝල් එකක් දෙන්න ඒත් ආයෙත් හිතුණා උඹ අපිත් එක්ක තරහෙන් ඇති කියලා....
මයියෝ... උඹ විභාගේ ඉවර වෙලා ගෙදර වරෙන්... උඹව අපිට ඕනේ.... උඹ නැතිව මැලවිලා තියන අපේ මූණු දෙක්කොත් උඹ කවදාවත් අපිව ආයේ දාල යන්න හිතන්නෙවත් නෑ...
එක දවසක් උඹව හොයාගෙන ලස්සන කෙල්ලෙක් මෙහෙ ආවා.... එදා මමයි නංගියි විතරයි හිටියේ. අපි ඔයා නෑ කිව්වාම ඔයා ඉන්න තැනක ඇඩ්රස් දෙන්න කියලා කිව්වා... අපි දුන්නේ නම් නෑ. එයාත් අපිට විස්තර ඇහුවාම කිව්වේ නෑ. නංගිත් එයාව මීට කලින් කවදාවත් දැකලා නෑ කිව්වා. මයියා අපිත් එක්ක තරහා වෙන්න එපා.... අපි උඹට අපෙ අඟේ කෑල්ලකට වඩා ආදරෙයි... විභාගේ ඉවර වෙලා ගෙදර වරෙන් බං.... මම කියන නිසාවත්, තාත්තා අම්මා මම අයියා, නංගි වෙනුවෙන් වත්. අපි හැමදාම බලාගෙන ඉන්නවා. අඩුම ගානේ උඹගෙ කටහඬ අහන්නවත්. පුලූවං වෙලාවක කෝල් එකක් දීපං
මම නාවත්තන්නම් උඹට බුදු සරණයි
මීට
අක්කා
මේක අඳෝනා පීස් එකක්නේ, ඔන්න බලාපල්ලා මටත් ගිය කල. නිතර දකිනකොට අගේ නැති උණාට නොදැක ඉන්නකොට හදුන්කූරකුත් පත්තු කරනවා කියන්නේ ඕකට තමයි. අක්කාගේ විස්තරෙන් මට හොඳටම ෂුවර් කොල්ලා නැතුව ගෙදරම අනාථ වෙලා කියලා. ඒත් කොල්ලාට යන්න කිව්වේ ගෙදර අයම තමයිනේ... ඔන්න ඔහෙ කමක් නෑ.... විභාගේ ඉවර වෙලා ගෙදර ගිහින් එනවා. එතකොට තාරකා... ඒකත් මොකක් හරි කරලා යන්න ඕනේ.... පොඩ්ඩක් ඉන්නවා බලන්න.. මාව හම්බ වෙන්න ලස්සන කෙල්ලෙක් ආව කතාවක් කියලා තිබ්බා නේද? කවුද අප්පේ ඒ බවලතා... මෝහිණිවත්ද? නංගි දන්නේ නැත්නම් ඒ ලිහිණි වෙන්න බෑ එහෙනම් කව්ද? මගෙ මීටරේට අහු වෙන්නෙම නෑ නේ......කවුද බොලේ ඒ ආව ඇලිස්.....
Subscribe to:
Post Comments (Atom)


9 comments:
ආව් ආව්......... මෙන්න කතාව දාලෝ...... තැන්කූ තැන්කූ අක්කියො......... :D :D
ඒපාර මොකද්ද අප්පොමේ. දෑන් මෙ ඈලිස් කවුද??
අනේ මයියො ලොකු සීන් නෑතුව ගෙදර පලයන්. පව් එ මිනිස්සු
Athiyaanthaan kathaawa daala.
Deyyangema pihitai..... thawa thawath kathaa daanna yodha bala, yodha weeryaya labewa!!!!
එල එල.. ඔන්න මයියා ආයේම ඇවිත්... බොහොම ස්තූතියි සහෝදරී...
හෙමින් හෙමින් හරි කතාව දාන එකට බොහොම ස්තූතියි!
ammo ada nam bada piruna ude pandarama.dul akke exam 1 kohomada?
oya ithing ayeth cheeththayak ... mea yaka kawada hari marum kanawa oya cheeththa kali nisa ... kathawa dammanta thank you wewa ... :D
මෙතන බුවා වගේ එකෙක් හිටියානම් දවස් ගානකට නැනදාට ඉසකුඩුච්චි දාන්න වෙනවා....
මේක නම් පිස්සටත් අදාලයි හික් හික්.
අපොයි ඇඩෙන සීන් එකක් නොවැ මයියට වෙලා තියෙන්නේ. එහෙන් ලිහිනි... මෙහෙන් තාරකා දැන් ගෙදරත් අවුල්... උබනම් ගොඩ එන්න වෙන්නෙ අනේ මන්ද මයියො... බලමුකො....
පව්...
ඈ දුලෝ... කෝමද විභාගේ තත්වෙ...
ane ko appa kotesak dala nane,, hmm kamak na kamak na,, dul akki exam ekate padam karene nisa busy wela wage :D
Post a Comment