පිටුව

Tuesday, August 23, 2011

119 කොටස





මට තැපෑලෙන් වත් හිතුනෙ නෑ ලිහිණිට අඩෙන්න තරම් දෙයක් මගෙ කටින් පිට උණාද කියන එක. ඒත් ලිහිණිගෙ මූණේ අහිංසකකම දකිනකොට මට එයාට අඬන්න දෙන්න ලෝභයි. 
"ආයේ අඬන්නේ ඇයි?   මේ ඔයාට ගෙදර යන්න බැරි නම් කමක් නෑ අපි වෙන විදියක් බලමු. ඔයා අකමැත්තෙන් මෙතන කිසිම දෙයක් වෙන්නෙ නෑ." භානුක ලිහිණිව එයා ළඟට ගත්තා. 
"දැං අපි යන්....."
" ලිහිණි මගෙ අතින් ඔයාගෙ හිත රිදෙන්න මොනා හරි කියවුණානම් මට සමාවෙන්න"
"එහෙම දෙයක් නෑ මචං..... " තාරකා මට තට්ටුවක් දාල ගේ ඇතුලට ගියා... තාත්තාත් ආයේ කොහෙ අතුරුදහන් උනාද මම දන්නේ නෑ.... මම ආයෙත් භානුක දිහා බැලුවා. 
"ඇයි තෙනුර ඔයා මට කිව්වේ නැතතේ...?" ලිහිණි එහෙම ඇහුවේ අඬ අඬා..... ඇයි හත් ඉලව්වේ... මම දැං මෙයාට මොකද්ද නොකිව්වේ...? 
"මොනාද ලිහිණි...?"
"තාරකා ගැන...?"
" ඉතිං දැන් මම කිව්වේ ඔක්කොම විස්තරේ... තාරකා කියන්නේ ඔයාගෙම..."
"නෑ එයා මගෙම නෙවෙයි....? මෙ මොන හතර බ්
බීරි කතාවක්ද?
"ලිහිණි....... මේවා මම හොයා ගත්ත දේවල් නෙවෙයි..... ඒ හැම දෙයක්ම ඇත්ත....."
"මගේ කෙනෙක්නම් මට අයිති දේවල්..." ලිහිණි ආයෙමත් අඬන්න ගත්තා. දැං මොකද්ද ඒ අහිංසකී ගත්ත දේවල්... කාත් කවුරුවත් නැතුව ඔහේ අනුන්ගෙ ගෙවල් වල දුක් වින්ද කෙල්ල.... කොහොමද මෙයාගෙ දේවල් ගන්නෙ මට තද උණා.... ඒත් පෙන්නුවෙ නෑ.... ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි කිව්වලු...... බම්බුව තමයි. මටයි මුන් නිසා තිබ්බ දේවල් නැති උණේ.
"ලිහිණි... දැං ඇති..... අපි යන්......." භානුක ලිහිණිගේ අතින් ඇද්දා.
" පොඩ්ඩක් හිටපන් ලිහිණි මට කියන්න ගිය එක කියන්න දීපන්....... " පැන්න මල පිට කලේ භානුකයාගෙන්
"ලිහිණිට කියන්න දෙයක් නෑ මචං.... උඹව හම්බ වෙච්ච දවසෙ ඉදලා ගොඩගහගෙන හිටපු බලාපොරොත්තු නැති වෙලා ගියාම එයාට එහෙම කියවෙන්න ඇති." 
"මොන බලාපොරොත්තුද?" මේ මොන කෙහෙල්මලක් කියනවාද මන්දා... 
" උඹ නිකන් ඉන්න වෙලාවක හිතලා බලපන් කෙල්ලෙක්ට කොල්ලෙක් වෙනුවෙන් ගොඩ ගැහෙන්නේ මොන වගේ බලාපොරොත්තුද කියලා..... ඒත් උඹ වැරදි නෑ..... ලිහිණි වැරදිත් නෑ...... කවුරුවත් ඒකට වැරදි නෑ.... ලිහිණි මෙහෙ එනවාට මගේ කැමත්තක් නොතිබුණේ ඒක නිසයි. " මට ගොනාට වගේ තේරුණා... ඒකියන්නේ ලිහිණිත්... යකෝ කොල්ල අබ්බගාත වෙලා තියෙන්නෙ සිකුරු මහදසාවෙදි වගේ.... අනංගයත් මදි නොකියන්න විදලා තියනවා පපුව ගැලවිලා යන්න. ඒත් එක පාර පවුල් දෙකක් කර ගහන්න පුළුවන් තත්ත්වයක් මට නෑ...... කකුල් දෙකවත් පණ තිබ්බනම් සළකලා බලන්න හරි තිබ්බා...
" ම මම ..... ලිහිණි.... අනේ මම ඔයා ගැන හිතුවේ මගේ හොදම යාලුවෙක් වගේ...."
"මම වරදියි තෙනුර... ඔයා මම හින්දා මෙච්චර දෙයක් කරගෙනත් මම ඔයාගෙන් මෙහෙම බලාපොරොත්තු තියාගත්ත එක වැරදි... ඒත්....... අපි යන් භානුක" ලිහිණි ආපහු හැරුණා..... තාරකා තේ අරන් ඇවිල්ලා ලිහිණිට ඇල්ලුවා. මට තාරකා දකිනකොට පපුව පිච්චිලා යන්නෙ ඇයි කියන්න මම දන්නේ නෑ. මේ කෙල්ල කොහෙ ඉදන් මගේ ළඟට ආවද දන්නේ නෑ.
"මට තේ එපා .... අපි දැං යන්න ඕනේ....." ලිහිණි භානුකවත් ඇදගෙන එළියට යන්න ගියා.
"පොඩ්ඩක් ඉන්න ලිහිණි...... " තාරකා එහෙම කියනකොට මට ඉබේටම ලිහිණි දිහා බැලුණා...... ලිහිණි නැවතුණා. 
"ඇයි?" ලිහිණි තාරකා එක්ක කතා කලේ එච්චර සතුටකින් නෙවෙයි.
"මේ ලොකට් එකේ අම්මගෙයි තාත්තාගෙයි ෆොටෝ තියනවා... මෙච්චර කාලයක් මේක මගෙ ළඟ තිබුණා..... දැන් මේක ඔයා තියා ගන්න...... " තාරකාගේ තියන ලොකු හිත කොහෙන් ආව එකක්ද මම දන්නේ නෑ. ඔන්න ඔය වෙලාවට මට හිතෙනවා ඉඹගෙන ඉඹගෙන යන්න. අනේ මන්දා මට තේරෙන්නෙ නැත්තෙ ඇයි දැන් මට ඉඹින්නම හිතෙන්නෙ කියලා. ලිහිණි ඒක අතට ගත්තා... අරගෙන ඒක ඇරලා ඇතුලෙ ෆොටෝ බලන්න ඇති.
"තාරකා......." මම එයාට කතා කරලා ඔලුවෙන් මගෙ ළඟට එන්න කියලා කිව්වා. තාරකා ඉක්මනට මගෙ ළඟට ආවා
"අර මම කියෙව්ව ඩයරියත් දෙනවාද එයාට?"
"බෑ ඒකෙ මගේ ප්‍රයිවට් කතා වගයක් තියනවා...."
"අර අඩම්බර කොල්ලා ගැන නේද?"
"හ්ම්ම්ම්ම්ම්ම්" ලිහිණි ටික වෙලාවක් අපි දිහා බලාගෙන ඉඳලා භානුකත් එක්ක පිටත් උණා..... ඒත් එක පාරටම  තඩි කලු ජීප් එකක් කොහෙදෝ ඉදන් කඩා පාත් උණා... මම රෝද පුටුව ඒ පැත්තට හරවන්නත් කලින් ඒ වාහනේ ලිහිණිවත් දාගෙන ගිහින් ඉවරයි.............. භානුක හිටියේ බිම වැටිලා. ඒ සද්දෙට නංගි දුවන් ආවේ කෑ ගහගෙන
" අනේ භානුක............"
" ඒ තාත්තාගේ වාහනේ... උන් ලිහිණිව අරන් ගියා..." භානුක අත මිට මොලවලා හයියෙන් පාරක් පොළවට ගැහුවා...... තාරකා මගේ අත තද කරලා අල්ලගෙන........... මට කියන්න කරන්න මොකද්ද කියලා හිතා ගන්න බෑ.... අනේ දෙයියනේ... වෙන හැම දෙයක්ම ඇයි මම හින්දා වෙන්නෙ...?













Monday, August 22, 2011

118 කොටස





දැං ඉතින් මෙතන බකමූණා වගේ බකන් නිලාගෙන ඉදලා හරි යන්නෙ නෑ. මොනා හරි කරන්න වෙනවා. මම රෝද පුටුව දොර පැත්තට හරව ගත්තා. 
"ඉන්න තෙනුර මමත් එන්නම්......" තාරකා මාව හෙමින් සීරුවේ තල්ලු කරගෙන ඉස්සරහට ආවා.....
"ඔයා මේවාට ගෑවෙන්න එපා..... ඔයා කාමරේට වෙලා ඉන්න... මම ඕනෙ උණොත් කතා කරන්නම්....."
"නෑ තෙනුර මම නිසායි ඔයා ලිහිණිට එන්න ලිව්වේ.... " කොහෙද ඉතින් කියන දෙයක් අහන එකක්යෑ. එක අතකට ආවට වරදක් නෑ හැබැයි මේ දෙන්නවම එකට දැක්කම තාත්තාට මොනා වෙයිද දන්නේ නෑ. අපි සාලෙට යනකොට තාත්තා නම් පේන්න හිටියේ නෑ. ඒත් ලිහිණි මගේ ළඟට දුවගෙන ඇවිල්ල තාරකා දැකලා නැවතුණා.
" ලිහිණි මේ තාරකා..... තාරකා මේ ලිහිණි......" තාරකා යන්තම් බලා සිනාසුණත් ලිහිණි මගේ දිහයි භානුක දිහයි බලන්න ගත්තා.
"ලිහිණි..... තාරකා කියන්නේ මගෙ හොඳම යාලුවෙක්..... ඔයා කියලා මම මෙයාට අනන්තවත් රැවටිලා තියනවා....." ලිහිණි මගේ ළඟ දණ ගහලා වාඩි උණා.
"මට සමා වෙන්න තෙනුර................... අනේ මට සමා වෙන්න"
"ඇයි මෙ ඒ පාර............... " එක ටැප් එකක් වහ ගත්තා විතරයි අනිත් එක අරිනවා... අනේ මන්ද මෙයාලාට කොයි වෙලාවෙත් උල් දිය කඩා හැලෙනවා
" ඔයාට මේ හැමදේම උණේ මම නිසානේ..... "
"පිස්සුද බං ලිහිණිට....  මම උඹලා දෙන්නට එන්න කිව්වේ ලොකු කතාවක් කියන්න" මම භානුක දිහා බැලුවා
" මොකද්ද?" ලිහිණි මගේ අතින් අල්ලගන්න ගමන් තාරකා දිහා බලනවා මම දැක්කා.... මම ටිකක් වටපිට බලලා හසන්කයා කිව්ව කතාව මුල ඉදන් කියන්න ගත්තා, මැද වෙනකොට තාරකා වගේම ලිහිණිත් අඬන්න ගත්තා... වචන දෙක තුනකින් කෙනෙක්ව අනාථයෙක් කරන්න මේ ලෝකෙට පුළුවන්කම තියනවා. භානුකයා අන්තිමට මගේ ළඟට ඇවිල්ලා මගේ උරෙස්සට අත තිබ්බා
"උඹ කියන්න කළින් මම ඔය හැම එකක්ම දැනගෙන හිටියා......"
"මම ගැනත්....?"
"ඔව් උඹ ගැනත්.... ඒත් මචං ඒක උඹටවත් ලිහිණිටවත් කියන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුණෙ නෑ.... ඒක අද උඹ කළා"
" මට උඹලාගේ උදව් ඕනේ....... "
"මොකද්ද?" භානුකට කලින් කතා කලේ ලිහිණියි
" ජයවීර කියන්නේ මගේ තාත්තා වෙන්න පුළුවන් ...... ඒත් මීට තත්ත්පර දෙක තුනකට කලින් උඹලාගෙ තාත්තා.... ඒ නිසා මට වඩා අයිතියක් උඹලා දෙන්නට තියනවා... ඒකයි මම මේවා කියන්නේ .... මම  එක්කෙනෙකුට එක පොරොන්දුවක් වෙලා තියනවා..... ඒ තමයි එයාව මේ ලෝකෙ තනි කරලා දැම්ම මිනිහාට නියම දඬුවම අරන් දෙනවා කියලා... ඒ කියන්නේ ජයවීරව පොලිසියට කොටුකරන එක...... මට ඒකට උඹලා උදව් කළත් නොකළත් මම ඒ දේ කරනවා..... ඒ බව උඹලාට දන්වන්නයි මට ඕනෙකම තිබුණේ......"
"ජයවීර කියන්නේ උඹලාට ලේසියෙන් කොටු කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි..." භානුකගේ කතාව මම දන්නවා.. ඒක ඕනේම හාල්පාරුවෙකුට තේරෙනවා
"මම ඒක දන්නව මචං......  උඹලා මේකට ගෑවෙන්න ඕනේ නෑ .... මම ඒකට ක්‍රමයක් හොයා ගන්නම්..... ලිහිණි.... ඔයා මට එහෙම වෙච්ච දවසට සමාව දෙන්න ඕනේ....."
"තෙනුර..... ඔයාට මාව ඕනෙ උණ දවසට මම ඔයා වෙනුවෙන් ඉන්නවා....." ලිහිණි ආයෙමත් තාරකා දිහා බැලුවා.....
"ලිහිනී විතරක් නෙවෙයි... ජයවීර කියන අපරධකාරයාව නීතියට භාර කරන්න මමත් උදව් කරන්නම්.. ඒත් මේ හැම දෙයකටම සමරනාහකත් සම්බන්දයි නේද?"
"සමරනායක රටෙන් පැනලා........" මම එහෙම කියනකොට තාරකා මාව ටිකක් තදින් අල්ල ගත්තා.... මම තාරකා දිහා බැලුවා එවෙලෙ මම දැක්කේ තාත්තාව... මගේ උගුරකටත් වේලිලා ගියා... දැන් මොනවා වෙයිද?
"සමරනායක අනිද්දාට ලංකාවට එනවා......" ඒ වචන පිට උණේ තාත්තාගේ කටින්. ඒ වචන මම බලාපොරොත්තුවෙන් හිටියේ නෑ
" තාත්තා කොහොමද දන්නේ?" මට ඉබේටම එහෙම අහුණා ඇහුණට පස්සෙයි මතක් උණේ කාගෙන්ද අහුවෙ කියලා..... හොඳ වෙලාවට මොලේ උඩ ඉඳන් ඉන්නේ ඒ නිසානේ තැපෑලෙන් හරි මතකය එන්නෙ.....
" මම ඒක දන්නවා.... හෙට සමරනායක් ලංකාවට එනවා පුතත් එක්ක..... ආයෙ ටික කාලෙකින් මෙහෙන් යන්නම යනවා කියලා තමයි ආරංචිය..... "
"එහෙනම් ප්ලෑනක් ගහමු... සමරනායක කොටු කරගත්තා කියන්නේ ජයවීරත් ඇතුලෙ කියන එක නේද?" මම තාරකා දිහා බැලුවා....
"ඔයාට ඒ වගෙ භයානක මිනිස්සු එක්ක ඔට්ටු වෙන්න බෑ තෙනුර....." 
"ඕවා මට මොන වැඩද? මම අතයි කකුලයි දෙකම අබ්ලික් කරගෙන තට්ටු පහක් උසින් ජනෙල්ලෙන් පැනලා ආපු පොරක්...." ඒ කතාව කියද්දි ලිහිණිගේ මූණට හිනාවක් ආවත් කිව්ව කතාව කා ඉස්සරහද කිව්වේ කියන එක මතක් උනේ ආයෙත් තැපෑලෙන්.... අනෙ මන්දා මේක දැන් අයිඩෙන්ටි චෙක් කරන්නෙ නැති කොළඹ වගේ.... කිසි ගානක් නැතුව වචන එළියට දානවා. තාත්තා ඇහුණේ නෑ වගේ මගේ ළඟට ආවා...... 
"සමරනායකව අල්ලගන්නේ කොහොමද?"
"පාපොච්චාරණය......" මම එහෙම කිව්වා..... භාණුකයා මගේ දිහා බැලුවා
" ඒ කොහොමද?"
" මුලින් පොඩි බ්ලැක් මේල් පාරක් දෙමු..... කප්පමක් ඉල්ලන විදියට............."
"ඊට පස්සේ...?"
" කප්පම ගන්න තැනකට එන්න කියලා... ඔක්කොම ටික වමාරලා එළියට ගනිමු......"
"කවුද ඕක කරන්නේ............?"
" මේක කරන්න ඕනෙ හසකයා දැනුවත්ව...... මම ඒක බලා ගන්නම්... මට කාඩ් දාන්න පුළුවන් ෆෝන එකක්  විතරයි ඕනේ..."
" හරි..... අපි ලෑස්තියි..."
"ලිහිණි ඔයාගෙන් මට උදව්වක් ඕනේ...."
"මොකද්ද තෙනුර.....?"
"ඔයා ගෙදර යන්න ඕනේ..........." ලිහිණි බයෙන් මා දිහා බැලුවා
" ගිහින්...?"
"ඔයා අපිට ඔත්තු දෙන්න ඕනේ...... ඒකෙන් අපිට තවත් හොඳට ලෑස්ති වෙන්න පුළුවන්......"
"එතකොට..... මම මොකද කරන්න ඕනෙ......?" තාරකා මගෙන් ඇහුවා
"ඔයා ඔහොමම මගේ ළඟට වෙලා ඉන්න......" ඒ වචන ටික ඇහුණා විතරයි ලිහිණිගේ මූණ කළු වෙලා සට සට ගාලා කඳුළු වැක්කෙරෙන්න පටන් ගත්තා... ඇත්තටම මට බැරි වෙලා හරි ඇඬෙන කතාවක් කියවුණාද? මම ආයෙත් කිව්ව දේවල් මුල ඉදන් හිතන්න පටන් ගත්තා.............