පිටුව

Monday, January 31, 2011

99 කොටස


" දැං කොහොමද මයෙ පුතාට" නැන්දා තොරතෝංචියක් නැතුව මගෙ ඔලුව අත ගානාවා...... නංගියි පොඩි ඩයිනමයිට් එකයි පැත්තකට ගිහින් ආව වෙලාවේ ඉදලා කඩයක් ඇරගෙන මේ පැත්තෙන් ලොකූයි අපෙ අක්කයි.... අයියා මාමාත් එක්ක බුදු කතාවක් මට ඉතිං කතා කරන්න ඉතුරු වෙලා ඉන්නේ නැන්දා විතරයි.
"කෝ නැන්දේ තාරකා...?"

"තාරකා ගෙදර හිටියේ පාඩම් කරන්න ඕනේ කියලා..." නැන්දා ගානක් ගන්නේ නැතුව කිව්වා.. එයාට ගානක් නැති උණාට මට එ ටික බොක්කටම වැදුණා.... එයාට පැය දෙක තුනක් එහෙ මෙහෙ කරලා මාව ඇවිත් බලලා යන්න තිබ්බෙ නැද්ද? මාව එයාට ඕනෙ නැත්නම් මම මොකටද හිතන්නේ... මහාම මහා ආඩම්බර කාරියක්. 
" මෙ උණ දේවල් නරක හීනයක් කියලා අපි අමතක කරලා දාමු පුතේ.... පුතාට ඉක්මට සනීප වෙනවා..." මම මෙ හිතන්නේ මගේ ලෙඩේ ගැන නෙවෙයි තාරකා ගැන කියලා මම නැන්දාට කොහොම කියන්නද..... ඒ එක්කම අම්මයි තාත්තයි කාමරේට ආව නිසා නැන්දා සාරි පොටෙන් ඇස් දෙක පිහ පිහ ඒ පැත්තට ගියා..... තාත්තා කෙලින්ම ආවේ මගේ ලඟට. මම ලාවට තාත්තා දිහා බලලා හිනා උණා.. අර රාස්ස ඇස් දෙක නම් තාම මගේ දර්ශන පථයට අහු උනේ නෑ.....
"තාත්තාට සනීපද?"
"මට අමාරුවක් නෑ ... ඔන්න මම එන ගමන් ඔයාගේ අර පස්සෙන් වැටිලා ඉන්න යාලුවන්ට පණිවිඩේ දුන්නා... පාළුව යන්නත් එක්ක මෙ පැත්තට ඇවිල්ලා ගැවසෙන්න කියලා." මේ කතා කරන්නේ අපේ තාත්තාද ෂුවර් නැතුව මම එයා දිහා බැලුවා.. හැම වෙලේම මගේ යලුවෝ දිහා එයා බැලුවේ නයි ගැරඬි දිහා බලනවා වගේ... අද එයාම උන්ට එන්න කිව්වා කියලා ඇහුවාම කන්දෙක අදහගන්න බැරි උණා....
"මට කවද්ද ගෙදර යන්න පුළුවං වෙන්නේ...?" මම කොච්චර මෙහෙ හිටියත් අන්තිමට මට ඇවිද ගන්න බෑ මම ඒක පිලිගන්න ඕනේ....
"දොස්තරලා කියනකන් අපිට ඉන්න වෙනවා පුතේ......" අම්මත් මගේ ලඟට ඇවිල්ල ඉදගෙන මගේ ඔළුව අත ගාන්න පටන් ගත්තා....
" තාත්තාට මම නිසා ආයෙ කරදරයක් නැති වෙයි.... මට දැං ඔයාලට හොරෙන් හොර වැඩ කරන්නවත් රස්තියාදු ගහන්නවත් බෑනේ...." ඒ කතාවෙන් තාත්තාගේ මූණ කජු වෙලා ගියා.... මම වැරදි එකක්ද කොහෙද කිව්වේ..... නංගි සටස් ගාලා මගෙ දිහා බැලුවා...... එයාගේ ඇස් වල කදුළු පිරිලා තිබුණා....
"කොල්ලෙක් උණාම රස්තියාදු නොගහනවා නම් ඌ කොල්ලෙක් නෙවෙයි පුතේ... උඹ රස්තියාදු ගැහුවාට මට තරහා ගියේ නෑ.... මට තරහ ගියේ උඹ නොමඟ යයි කියලා...." තාත්තාගේ කටහඩ කැඩෙන්න ගත්තා
"අපි එළියට යමු මහත්තයා... මේ ළමයි ඉන්නෙ එයාලාට එකට ඉදලා කතා කරන්න දෙමු" අම්මා තාත්තාව ඉක්මනට එළියට එක්කන් ගියා නැන්දයි, මාමායි අයියායි එළියට යනවා මම දැක්කා..... මම කිව්වේ මේ වෙලාවේ කියන්න ඕනෙ දෙයක් නෙවෙයිද කොහෙද? නොදකින් මගේ කට නම් හොඳයි පිලිමයක් නෙලලා කිරි වලින් නාවන්න....
"පොඩි අයියාගෙ යාලුවො ආවාම මෙතන අපිටත් ඉතිං ඉන්න බැරි වෙයි නේද චූටි අක්කේ...." පොඩි ඩයිනමයිට් එක කට ඇද කරලා අපෙ නංගි දිහා බැලුවා.
"මෙකලාගේ තරහත් දැං යන්න ගිහින් වගේ...." මම එහෙම කිව්වේ පොඩි ඩයිනමයිට් එක දිහා බලලා
"අපෝ මේ තමුසෙත් එක්ක අපි යාලු වෙලා හිටියේ නෑනේ තරහා වෙන්න"
"තමුසෙලා ඔක්කොම මට අම්බානකට අනුකම්පා කරනවා නේද?"
"ඔයාට පිස්සුද මයියා.... ඇයි අපි තමුසෙට අනුකම්පා කරන්නේ..........."
"කකුල් පණ නැති අබ්බගාතයා නිසා....." නංගි එක පාරටම අඬන්න ගත්තා.... 
අක්කා මගේ ලඟට ඇවිත් වාඩි උණා....
" අපි ඔක්කොම උඹට අපෙ පණ වගේ ආදරෙයි.... උඹ අබ්බගාතයෙක් කියලා අපි කොහොමද හිතන්නේ අනික මිනිස්සු ලෙඩ වෙනව සනීප වෙනවා... ඕකත් බෙහෙත් කලාම සනීප වෙනවා..."
"මට කකුල් දෙකෙන් හිට ගන්න බැරි උණොත් කියලා බයක් මට තියනවා අක්කේ......"
"උඹට වැටෙන්න දෙන්නේ නෑ මයියා අපි ජීවත් වෙලා ඉන්නකන්" අක්කා කියන කතා වලින් බොක්කට ගැම්මක් එනවා තමා ඔව් සැලෙන්න නරකයි සැලුනොත් සැලුනාම තමයි. මම සද්ද නැතුව කල්පනා කලා..... මේ මයියා ඔලුව ගහලා ගියත් පස්ස පැත්තෙන් හරි හිනා වෙන්න ට්‍රයි එක දෙන එකෙක්නේ... කකුල් දෙක නැති කලාට කොල්ලාගේ පපුව තාම වැඩ අක්ක කියනවා වගේ මම වැටෙන්නෙ නෑ කවදාවත්.... මම අඬන නංගි දිහා බැලුවා... පව් මේකිට දාරගැනීමේ ශක්තිය නෑ.....
"ඇයි මේකලා තාරකා ආවේ නැත්තේ?" පොඩි ඩයිනමයිට් එක අපේ නංගි දිහා බැලුවා මම දැක්කා
" ප පාඩම් කරන්න නැවතුනා...." මේකි ඒක කිව්වේ නම් ගොත ගහ ගහා.... පොතේ හැටියට මේකි ගොත ගහනවා නම් මොකක් හරි අවුලක් මොකො මොනා උණත් වක්කඩ වගේ වචන ගලාගෙන එනා බඩ්ඩක්නේ
"එයා සනීපෙන් නේද?" මම හොඳට පොඩි ඩයිනමයිට් එක දිහා බලාගෙනම ඇහුවා.. මෙයා ඔලුව වනලා ඔව් කිව්වා මිසක් කතා කලේ නෑනේ... ලෝක පුදුමයක්.....අම්මපා මොකක් හරි කොස්සක් මෙතන තියනවා..... මට ඒ අංග චලන නම් ඇල්ලුවේම නෑ
"අයියේ අපි වෙලාවක තාරකාට කතා කරමුකෝ...."
"එයාගේ අත බැරුව තියෙද්දිත් ඔයාල ඔක්කොමලා එයාව ගෙදර දාල ආවා එක නම් එච්චර හොද දෙයක් නෙවෙයි... ඒ ළමයා තනියම කෑම ටිකවත් කන්නේ කොහොමද?" මම තව කියාගෙන යනකොට ලොකූ කතා කරන්න ගත්තා
"ඔයා ඕව හිතන්න ඕනේ නෑ.... එයා කිව්වා ඔයාව ආදරෙන් මතක් කරනවා කියලා... ඔයාටත් එක්ක නෝට්ස් ලියන්න ඕනෙ නිසා අද ක්ලාස් යනවා කියලත් කිව්වා..... "
"බොරු කතා කියන්න එපා ලොකූ එයා ක්ලාස් ගිහින් කොහොමද මටත් එක්ක නෝට්ස් ලියන්නේ එයාගේ කැඩිලා තියෙන්නෙ දකුණු අතනේ.... ඔයාලා මට දැං මොනාද හංගන්නේ..... ඒ අහිංසක කෙල්ල යහතින් ඉන්නවා නේද?
"ඔව් ඔව් මයියා.. එයා ඉන්නවා.. ටික දවසකට මාමාලාගෙ ගෙදර යනවා කියලා කොළඹ ආවා...." ලොකූ මේ කියන කතාවෙන් මාව අවුල් වෙලා ගියා..... දෙයියනේ... තාරකා සමරනායකලාගෙ ගෙදර ආවාද? මම කොච්චර නම් ඔය කෙල්ලට කියලා ඇද්ද ඔය මිනිහා එක්ක තියන ඇයි හොදයිය නවත්තන්න කියලා. කෝ අහන එකක්යෑ.... නැන්දා බැන්නාට මම එයාට ඉවසන්න කිව්වා.. අඩුම ගානේ මම එනකන්වත්... කොහෙද මම මෙහෙ ඇවිත් මේ දවස් දෙක තුනට මෙයා ආත භූත කඩාගෙන යන්න ගිහින්... ෂිඃ විතරක්. ඒත් එක්කම කාමරේ දොර ඇරුණා... කාමරේට ආවේ සිකා ටොලා.. බුවා... තව මේ කවුද?
" තාරකා ඔයා.............."  මට එක පාරට කියවුණා.............





98 කොටස


මම ඇඳේ රෙද්ද අයින් කරලා මගේ කකුල් දෙක දිහා බැලුවා...... මේ තියන්නේ කකුල් දෙක වෙඩි වගේ. මම කතන්දරේ අහලා තියෙන්නේ හීනේන්ද දන්නෙත් නෑ. හඳ කාලෙට මට ඔහොම හීනත් පේනවනේ.... මම මගෙ එහා පැත්තේ අළුත් අම්ම්මා ඉන්නවාද බැලුවා... එයා මේ ඉන්නේ..... ඒ කියන්නෙ මේ හීනයක් නෙවෙයිද? හීනයක් නෙවෙයිනම් ඇයි මගෙ කකුල් දෙක මට හොලවන්න බැරි. මම නගිටින්න ට්‍රයි එක දෙනකොට අරයා ඇවිල්ලා මගේ අතින් අල්ලලා මාව ටික වෙන්න ඉස්සුවා.... මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ... පොඩි කාලේ තාත්තා නම් කියලා තියනවා මාව දඬු කදේ ගහනවා කියලා ඒත් පේන්න දඬු කඳකුත් නෑ.... 


"මගේ කකුල්....." මට ඉබේටම කියවුණා......
"බය වෙන්න දෙයක් නෑ පුතේ මම ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ අපි පුළුවන් ඉක්මනට ඇමරිකාවෙ යනවා." ඒක හරියට යන්නේ කොහෙද ලියලා ඇහුවාම ලගේජ් එකේ මීට්බෝල්ස් කිව්වා වගේ නේ...


"මම අහන්නේ මගේ කකුල් දෙකට මොනාද වෙලා තියෙන්නේ කියලා" මට ටික වෙන්න තද උණා..... මෙන්න ප්‍රශ්නේ ඕවර්ටේක් කරලා අරයා යන්න හඳනවා... ඇයි හත්දෙයිය්නේ මට උපතින් ලැබුණු කකුල් දෙක ගැන දැන ගන්න මට අයිතියක් නැති හැටි. මම දඟලලා ඇදෙන් බහින්න ගියා අර ගැරඬියා වගේ ලිස්සලා යන ගෑනු ආත්මේ අල්ලා ගන්න. මාව බදෝයි ගාල ඇඳෙන් බිමට වැටුණා. කකුල් දෙක හොලවන්න වත් මට බෑ....

"පුතේ........................." අලුත් අම්මා කෑගහගෙන ඇවිල්ලා මගේ ලඟ දණ ගහගෙන මාව උස්සන්න ට්‍රයි එක දුන්නා.... අපේ අම්මලා මාව කවලා පොවලා උස්මහත් කරලා හයේ හතරේ පොරක් කරලා තියෙන්නේ... මෙයා මාව තියා මගේ අතක් වත් උස්සන්න හෙන ගේමක් දෙන්න වෙයි. මම මාව අල්ලගෙන ඉන්න අත ගසලා දාලා නැගිටින්න මම ට්‍රයි එක දුන්නා කොහෙද පස්ස ඉස්සෙනවා විතරයි මට මොකද වෙලා තියෙන්නේ


" අරයා නැගිටලා මගෙ ඇඳ ලඟ තිබ්බ බෙල් එක ට්‍රීං ගාලා ගැහුවා... ටික වෙලාවකින් කඩාගෙන නර්ස් අක්කා කෙනෙක් ආවා.....


" මොකද මේ උනේ....?" එයයි අපේ අලුත් අම්මයි එකතු වෙලා මාව උස්සලා ඇඳ උඩට දැම්මා...... නර්ස් අක්කා යන ගමන් අම්මාට මොනාද කියාගෙන යනවා මම දැක්කා..... ෂිඃ.... මගේ කකුල් පණ නැති වෙලාද? ඒත් ඇයි? මට කවදාවත් ඇවිදින්න බැරි වෙයිද? එතකොට කවදාවත් තාප්පෙකින් පනින්න, හොරෙන් කුරුම්බා බොන්න, රඹුටන් වතු වලට රෑට හොරෙන් පැනකා සික්කා ආවම දුවන්න බැරි වෙයිද? ඔය ඔක්කොම ප්‍රශ්න එක්ක මම අරයා දිහා බැලුවා....


" මට මොකද්ද වෙලා තියෙන්නේ...... ?"
" තාවකාලිකව පුතාගේ කකුල් දෙක පණ නැති වෙලා තියෙන්නේ.... අපි ඇමරිකා ගිහින් ඕක නිට්ටවටම සනීප කරගෙන එනවා.....". මගේ ඇස් පියවුණා
" ඇයි මට මෙහෙම උනේ.........."
" කාලෙකට කලින් ඔලුවට වැදුණු පාරක් නිසා මොලේ ඩැමෙජ් වෙලා තිබිලා තියෙන්නේ... ඒකෙන් දාරා ගැනීමේ ශක්තිය නැති වෙලා කියලා ඩොක්ටර් කිව්වේ......"
" පාරක්....." මට ඔක්කොම දැං කැරකැවෙනවා වගේ... එදා මෙනුකයාගෙන් අම්බානකට කෑව කෑමේ රහ තවම හමාර වෙලා නෑ වගේ......
" පුතා ඉක්මනට සනීප කර ගන්නවා මම"
"එතකොට තාත්තා......"
"අයියා.........." ඔන්න ආයෙමත් අරයා වචන හිර වෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා... මට පිටට තට්ටුවක් දාන්න හිතෙනවා එතකොට වචන ඉස්මොල්ලේ යන්න
"මොනවාද හිතන්නේ... තාත්තා කෝ.... එයාල මේවා දන්නවද? එහෙනම් ඇයි බලන්න ආවේ නැත්තේ... කියන්න........."
"එයාල දන්නවා පුතේ................. එයාලා බලන්න එයි....... තාත්තාට ටිකක් සනීප නෑ"

"මේ ඔක්කොම උනේ ඔයා නිසා ඔයා මෙහෙට නොඑන්න මමත් හොඳින් තාත්තාත් හොදීන් අපේ ගෙදර අයත් හොදින්....... " මම කියාගෙන කියාගෙන ගියා... මගේ හිතට ඇවිල්ලා තියෙන්නේ පුදුම වේදනවක්, එක පැත්තකින් මගේ කකුල් දෙක නෑ අනිත් පැත්තෙන් මගේ අම්මා තාත්තා මගෙන් ඈත් කරලා... දැං කියනවා තාත්තාටත් සනීප නෑ කියලා..... මෙන්න අරයා අඬන්න ගත්තා..... එයාට නෙවෙයි අඬන්න වෙලා තියෙන්නේ මට...... මටයි හැමදේම නැති උනේ....... ඒත් එක්කම මගේ දොර කඩාගෙන දොස්තර කෙනෙකුයි නර්ස් කෙනෙකුයි ආවා....

"පේෂන්ට් වැටුණාද?" අරයා අඬනගමන් ඔව් කියනවා මම දැක්කා........
" ඩොක්ටර්..... ඩොක්ටර්..... මට ගෙදර යන්න ඕනේ..." මම එහෙම කිව්වේ මගේ ලඟට ඇවිල්ලා පිස්සුවෙන් වගේ මගේ නාඩි බලන ඩොක්ටර් දිහා බලාගෙන
"ඉක්මනට ගෙදර යන්න පුලුවන්......" මෙන්න එයා පත කට්ටක් අරන් මට ඇන්නා....
"ඩොක්ටර් මගේ කකුල් .....," ඒත් එක්කම මගේ ඇස් දෙක බර වෙලා පියවෙන්න ම එනවා.....
" දැං පොඩ්ඩක් නිදා ගමු අපි හෙට කතා කරමු" කටහඬ විතරයි මට ඇහුනේ මුළු ලෝකෙම කලු උණා මම වෙනම ලෝකෙකට වගේ පාවෙලා යනවා දැණුනා.......



ලෝකෙ විනසේ සිද්ද වෙච්ච දවසේ පස්සේ දවසෙ ඉපදිණා වගේ මගේ ඇස් දෙක ඇරුණා...මම ඉන්නේ එදා හිටපු කාමරේම, ඒ ඇදේම....ඒත් කාමරේ සෑහෙන එළියයි..... මම වටපිට බැලුවා


"මයියා නැගිට්ටා... ලොක්කයියේ...." සුපුරුදු කටහඬ...... අක්කාගේ නේද..... මම වට පිට බැලුවා...කාමරේ පුරෝලා කට්ටිය.....


"ඔයාලා දැංද ආවේ?" මට මේලෝකෙම නැති විදියේ ජොලියක් ගියා


" උදේ ඉදං ඉන්නේ.......?"
"දැං වෙලාව කීයද?" නංගි ඇවිල්ලා මගේ ඇඳට පැනලා මගේ ලඟින් ඉඳගත්තා.. ලොක්කයියා වෙලාව බලලා මගේ පැත්තට හැරුණා..
" දැං හරියටම 1.30යි"
" දවල්?" මමත් හද්ද ගොබ්බ ප්‍රශ්නයක් ඇහුවා.... මේ කන පැලෙන්න එළිය වෙලාවේ මම අහනව දවල්ද කියලා...
"ඔව් බං.. රෑට ඉර පායනවාද?" අක්කා මගේ අත අතගෑවා.....
"කෝ අම්මයි තාත්තායි..."
" දැං එයි උදේ ඇවිත් ගියේ...? අද අමුත්තෙක් එනවා ඔයාව බලන්න............"
"කවුද...... සුනාමියක් වගේ එකක්ද?"
" ආවම බලා ගන්නකෝ..." නංගී කට හැඩගහලා කියන තාලේ නම් ඇල්ලුවේ නෑ....
"මාව මේ තත්වෙන් කවුරුත් දකිනවාට මම ආස නෑ.... කෝ අර අලුතෙන් අපිට පාත් උණ සුලිය....." මම එහෙම අහුවේ අර අලුත් අම්මා ගැන කියලා ඔක්කොමලා දැන ගත්තා...
" එයා ආයෙමත් උඹව අපිට බාර දීලා ගියා..... උඹව සනීප කරගන්න වියදම එයා කරන්නම් කිව්වා.. අපිටම උඹව තියා ගන්න කිව්වා....."
"ඕක මුලින් කලා නම් පොඩි අයියාට මෙහෙම වෙන්නෙත් නෑ, අම්මාට ප්‍රෂර් නඟින්නෙත් නෑ, තාත්තාර හාට්...." නංගි කියන්න ගිය එක ඛ්‍රේක් ගැහුවා.... අක්කාගේ ඇස් දෙක ලොකු උණා..... අයියා ඔළුවේ අතගහ ගන්නවා දැක්කා... එයාලා දිහා බලාගෙන හිටපු නංගි එයාගේ කට අත් දෙකෙන්ම වහා ගත්තා.....
" තාත්තාට මොකද උනේ..."
" මොකුත් කරදරයන් නෑ මයියෝ...."
"උඹලා ඔය නළවන එක නවත්තලා ඇත්ත කියාපල්ලා.. තාත්තා සනීපෙන් නේද?"
" ඔව් ඔව් දැං හොඳයි..... තාත්තාට පොඩි හාට් කේස් එකක් ආවා.. දැං විවේක ගත්තාම හරි... උඹව ආයේ අපිටම ලැබුණාම තාත්තාගේ ලෙඩ කොහෙන් ගියාද නැති උණා... දැං එනවාත් ඇති." ලොක්කයියාගේ කතාවෙන් මම ටිකක් විතර ෆිට් උණා. ඒත් එක්කම දොර ඇරෙනවා මම දැක්කා......


" පොඩි පුතේ...." මෙන්න කාමරෙන් ඇතුලට නැන්දා දුවගෙන එනවා.... මාමායි ඩයිනමයිට් දෙකයි ඇවිත් ඒත් මදි වගේ... කෝ තාරකා.... මම දොර දිහා තවත් එබිලා බැලුවා.... තාරකා.............. කෝ ඔයා..... එයා ඇවිල්ලා නැද්ද...... අනේ කෙල්ලෙ මම මෙච්චර අසරණ වෙලා ඉන්නැද්දි ඇයි මාව බලන්න ආවේ නැත්තේ?





Thursday, January 6, 2011

97 කොටස


දිව්‍යලෝකෙදිද කොහෙද මගේ ඇස් දෙක ඇරුණා..... වට පිටාව බලන්න බෑ ලස්සනයි. මේක මම මීට කලින් දැකලා තියනවා..... මම වටපිට බැලුවා... අප්පටසිරි මේ තියෙන්නේ සේලයින් බෝතලයකුත් එල්ලලා.... ඒක ගහලා තියෙන්නේ මගේ අතේ... ඒ කියන්නේ මම ඉන්නේ ඉස්පිරිතාලේද? ඒත් මේක හරියට එදා ලිහිණි හිටපු තරු පහේ ඉස්පිරිතාලේ වගේ..... මම වටපිට බැලුවා..... කවුරුත් පෙන්න නම් නෑ.....අම්බානකට වතුරත් තිබහයි. ස්විච් එකකුත් තියනවා ඇඳ ලඟ. මේක ඔබලා නර්ස් නංගි කෙනෙක්වත් ගෙන්න ගන්න තිබ්බනම්. ඒත් මම ඇයි මෙහෙ ඉන්නේ... අපේ තාත්තාට ස්වීප් එකක්වත් ඇදුනද දන්නේ නෑ. මම අර නිදි කුමාරි වගේ හත අවුරුදු හත් මාසයක් නිදාගෙන හිටියාද කව්ද දන්නේ 

ඒත් එක්කම කාමරේ දොර ඇරුණා.... මේ අළුත් අම්මා නේද ඇතුලට එන්නේ... තේ කෝප්පෙකුත් අතේ.... මම ඇස් දෙක පියා ගත්තා..... ලඟ ලඟම ඇඩි සද්දේ ඇවිල්ලා තේ කෝප්පෙ මේසෙ උඩින් තියන සද්දේත් ඇහුණා.. මම නම් අරී ඇස්.... මුං ඔක්කොම මගේ මොළේ කන්න ආව කට්ටිය. හීනියට මගේ ඔලුවට අතක් වැටුනා... කොන්ඩේ උඩින් ඔලුව අත ගෑවෙනවා. සනීපයි ඉතිං කියලා වැඩක් නෑ. මට ඉබේටම ඇස් ඇරුණා.


"අනේ මගේ පුතාට සිහිය ඇවිල්ලා......" අරයා කට පොකට් එක වගේ හදාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.
" ඔයා මාව ඔයාගෙ කරන්න හදන එක නවත්තන්න... ඇයි මාව මෙහෙ තියාගෙන ඉන්නේ" එයාගෙ මූණ බලාගෙන ඉන්නැද්දි කජු  උණා.....
" මාව තේරුම් ගන්න පුතේ..... "
" මට හොඳටම තේරෙනවා.... ලිහිණිව තනියම අර රාස්සයත් එක්ක දාලා ඔයා මෙහෙ අනුන්ගේ ළමයිනව අයිති කර ගන්න හදනවා..."
"ලිහිණිව පුතා කොහොමද දන්නෙ...?"
" මට ඔයාට උත්තර දෙන්න ඕනෙ නෑ..... මොකද්ද මේ කරන විකාරේ.... ඇයි ඔයා ආවේ... ආපු අතක් බලාගෙන යන්න බැරි ඇයි...?"
" මම ඔයා නිසා ආවේ...."
" මම  නිසා ආවා කියලා ඔයා කියන එක  මට කියන්නේ විශ්වාස කරන්න කියලාද?"
"ඔයා විශ්වාස කළත් නොකළත් ඒක තමයි ඇත්ත"
"ඉතිං මෙච්චර කල් කොහෙද  ඔයාගේ ඔය ආදරේ තිබ්බේ"
" මම ඉස්පිරිතාලෙදි ඔයාව අයියාට දෙනකොට තිබුණු ආදරෙ තාමත් මගෙ හිතේ තියනවා.... මට ඕනේ උණේ ඔයාව ජයේ ගෙන් ඈත් කරන්න.... එයා ඔයාවත් උගසට තියලා ගැලවෙන්න හැදුවේ....."
"ඒ කොහොමද?"
"ඒක දිග කතාවක් පුතේ ඒක අහගෙන ඉන්න තරම් සනීපයක් මගේ පුතාට තාම නෑ"
"නෑ මම හොඳ සනිපෙන්.... මම ඔයාගෙ පුතානම් ලිහිණි කවුද? මට මේ ව දැන ගන්න ඕනේ"
" ඒත් ඒ හැම දෙයක්ම දැං අතීතේ...."
"ඔයාගේ අතීතේ අද මට මහ වදයක් වෙලා..... මට කරුණාකරලා මොකද්ද මේ සිද්ධිය කියලා පැහැදිලි කරන්න... ඔයා මගේ ජීවිතේ විතරක් නෙවෙයි තව ජීවිත කීයක් එක්කද මේ සෙල්ලම් කරන්නේ..."
මම කිව්වෙ ඇත්ත. මගේ තත්ත්වේ නිසා අපේ ගෙදර උන් අනාථ වෙලා ඇති, ලිහිණි, තාරකා, භානුකයා.. මේ ඔක්කොම මට නම් මහා පද ප්‍රෙහෙලිකාවක්. හරියට ගෑනු පිරිමි මල් පලතුරු කරනකොට බිංදුවෙන් ගමක් හොයනවා වගෙ.... කොච්චර හිතුවත් ගැලපෙන්නේ නෑ.....
"ජයේ එක්ක මම යාළු උණේ මම ඉස්කෝලෙ යද්දි..... එයා හොඳ මිනිහෙක් කියලා මම හිතාගෙන හිටියේ.. මම එයාගේ හැම කතාවකටම රැවටුණා.. මුලින්ම අපේ සම්බන්දේ ගෙදරට අහු උණ වෙලාවේ අයියා මට හොඳටම ගැහුවා..... නවතන්න කියලා කිව්වාම මම හොරෙන්ම එ සම්බන්දෙ කරගෙන ගියා.... මගේ ඉස්කෝල ගමනත් නැවතුණා...." තාම මෙයා කියන්නේ බයිලානෙ මට මේවා අදාල නෑනේ... මේ මොකද්ද මේ ටිකිරි සිනා.....
"ඉතිං" අළුත් අම්මා මගේ ලඟට පුටුව ගෙනල්ලා තියලා වාඩි උනා....
"ඒ අතරතුර ජයේගෙ තාත්තා නැති උණා.... තාත්තාගේ තේ වත්ත බලා ගන්න ජයේට යන්න උණා.... මම කැමති උණෙ නෑ එයා මාව දාල යනවට. මම හොරෙන්ම ජයේ එක්ක පැනලා හැටන් ගියා...."  හඳපානෙද දන්නෙ නෑ ගියේ... මේක හරියට වතුරත් එක්ක බත් කනවා වගේ කිසි ආතල් එකක් නෑ. පරණ සිංහල බයිස්කෝප් එකක් වගේ.... වාස්ට්වෝවර්ඩ් එක ඇල්ලුවට ඇල්ලෙන්නේ නෑ භණ්ඩේ 19 වැන සියවසේනේ රිමෝට් එකට වැඩ කරන්න ඩීසල් ගහන්න ඕනේ
" ඉතිං"
" අපි නොබැඳ අවුරුදු දෙකක් එහෙ එකට ජීවත් උණා" අම්මපා ඒ කාලෙත් ලිවින් ටු ගෙදර තිබිලා තියානවානේ බලාගෙන යනකොට... දැං ඉතිං කියපං මම ඇවිල්ල අවජාතකයෙක් කියලා.....
" ජයේ හැමදාම කලේ ඉඩම් මංකොල්ලා කාපු එක... එක එක පෝසත් අයගේන්. ඒකට එයා කොළඹ ගිහිං අළුත් සෙල්ලමක් පටන් ගත්තා... එයා සමරනායක කියන කෝටිපතියාගේ එකම නංගිව බඳිනවා කියලා ඒ ගෙදර යන්න එන්න ගත්තා....
"ඔන්න පුතේ සමරනායක අංකල් සීන් එකට ඇවිත්..... දැං ටිකක් කතාවට එන්ටර් වෙන්නද මන්දා යන්නේ... මෙයා ඇත්ත කිව්වත් නැතත් දන්න අයගෙ නම් ඇහෙනකොට ඇඟට මාර ආතල් එකක් දැනෙනවා..මෙයාගෙන් කතාව අහගෙන මම මෙයාට ටටා බායි කියලා ගෙදර යනවා. ඒකයි මගේ ප්ලෑන් එක. මෙයා තාම දන්නේ නෑ මටත් හෝතම්බුවට වගේ ජයවීරයාගේ ජාන තියනවා කියලා.
"ඉතිං"
"සමරනායකගෙ නංගිට මොලේ අමාරුවක් තිබුණා.... එයාව කාට හරි බන්දලා දෙන්නයි සමරනායකට ඕනේ උනේ..... එකෙන් ප්‍රයෝජන ගත්තෙ ජයේ.... සමරනායකගේ නංගිගේ නමට තියන ඔක්කොම දේවල් ජයේ එයාගෙ නමට ලියාගත්තා..... "
"බලු වැඩක් නේ"
"ඔව් ඕවා මම දැනගෙන හිටියේ නෑ... එයා හදිස්සියේ මට හැටන් ඉදං කොළඹ එන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බා...එතකොට ඔයා මගෙ බඩේ.... මම කොළඹ ගියා....."
" ඉතිං"
" මාව පෙන්නලා ජයවීර සමරනායකගේ නංගිගෙන් නිදහස් වෙන්න හිතාගෙනයි ඒ වැඩේ කලේ... ඒත් සමරනායක නයා වගේ මගේ පස්සේ එළවන්න ගත්තා... ළමයත් එක්කම මාව මරලා දාන්න" මම ටිකක් විතර දැං අප්සෙට් වෙලා ඉන්නේ... කතාව හිතුවට වඩා භායානකයි.
"ඔයා බේරෙන්න ආයේ හැටන් ගියාද?"
"නෑ.... මට ජයේ හැටන් යන්න දුන්නේ නෑ.. එයාගේ එකම ගැලවුම් කාරයා මම... එයා මාව එයාගේ ගැලවීමට ඒ අවදානමට දාලා බේරිලා හිටියා...,එයා මාව කසාද බැන්දේ එයාගේ ජීවිතේ බේරගන්න විතරයි. මේ හැමදෙයක්ම ආරංචි උණාම සමරනායකගේ නංගි එයාගේ ජිවිතේ නැති කර ගත්තා..... ඒ නිසා සමරනායක ජයේ එක්ක වෛර බැන්දා"
"ඊට පස්සේ මොකද උණේ...."
" මාව මරන එක පැත්තකින් තියලා එයා ජයේව මරන්න පස්සේ පැන්නුවා... අන්න එතකොට ආයෙමත් එයා මාව අරං හැටන් ආවා" මේක මාර අබ්ලික් ස්ටොරි එකක්නේ...අන්න එහෙම තමයි ජයවීරයි සමනායකයි හතුරෝ උණේ...... දැං කතාව මට අදාල වේගෙන එන්නේ
"ඊට පස්සෙ..."
"මේවා අහගෙන ඉදලා මගේ පුතාගේ හිතට අමාරුවක් නෑනේද?"
"කිසිම අමාරුවක් නෑ...."
" ජයේ හොදටම බය වෙලා හිටියේ..... එයා අපිට තිබ්බ අලුත්ම කාර් එකත් වික්කා...ඒ කාර් එකේ මාර්ගෙන් අපිව හොයා ගනී කියලා.... සමරනායක අපිව හොයාගෙන හැටන් එහෙම ආව කියලා නම් මම දැනගෙන හිටියා....., මම ගොඩාක් බය වෙලා හිටියේ මට එකම බය තිබ්බේ ඔයා ගැන"
" ඉතිං..."
"හොඳටම වැස්ස දවසක් එදා..... අපිට ආරංචි උණා සමරනායක අපිව මරන්න මිනිස්සු එවලා කියලා. ඒ අතරතුර මට හොදටම අමාරු උනා. ජයේ මාව කැලෑ පාරකින් ඉස්පිරිතාලේ ගෙනිච්චා... ඊට පස්සේ එයා මාව දාලා ආයෙමත් යන්න ගියා.. එයාට ඉස්පිරිතාලේ ඉන්නත් බය තිබුනා... සමරනායක එතනටත් එයි කියලා....."
"ඔයා තනියම ඉස්පිරිතාලේ දාලා ගියා?"
"ඔව් එයා තිරිසනෙක්.. එයා කිව්වා ඔයාව බලාගන්න මෙහෙ ඕනෙ තරම් කට්ටිය ඉන්නවා ඒත් මාව බලා ගන්න කවුද ඉන්නේ.... මම ආපහු එන්නම් එනකන් මෙහෙම් යන්න එපා කියලා එයා මාරු උණා....."
"එතනදි ඔයාට මාව හම්බ උණා... ජයවීර එන්න කළිං ඔයා තාත්තාව ගෙන්නලා මාව එයාට දුන්නා... එතකොට ලිහිණි..."
" මම ඔයාව දුන්නට පස්සෙ එදාම ඉපදුණු ඒත් ඉපදෙනකොටම මැරුණු ළමයෙක්ව ඇටෙන්ඩන් කෙනෙක්ට සල්ලි දීලා මගෙ ලඟට ගෙන්න ගත්තා..... ඒ හැම දෙයක්ම වෙලා වැඩි වෙලාවක් ගියේ නෑ ජයේ ඉස්පිරිතාලෙට ආවා...."
"එයා දුක් වෙන්න ඇති ළමයාව මැරිල කියලා....." ඒකනේ පොතේ හැටියට වෙන්න ඕනේ.
"නෑ එයා ලොකු වැඩක් කරලා ඇවිත් තිබ්බේ..... පොලිසියේ ලොක්කෙක්ව සල්ලි වලට අරගෙන සමරනායකට විරුද්ධව පැමිණිල්ලක් දාලා.... අපිව මරන්න හදනවා කියලා. පැමිණිල්ලෙ ලියලා තිබ්බේ අපි තුන්දෙනා ගැන මමයි එයයි, පුතයි....."
"ඉතිං මාව තාත්තාට දුන්නට පස්සේ ඔයාට ඕනෙ උනේ ඉපදුණ ළමයා මලා කියලා පෙන්නන්නනේ"
"ඔව්... ඒත් උසාවියට නගින්න එයාට දරුවෙක් පෙන්නන්න ඕනෙ.... ළමයා මරුණයි කිව්වාට මොනා වෙලාද කියලා පෙන්නන්න ඕනේ... අනික පැමිණිල්ලෙ තිබිලා තියෙන්න මාස තුනක දරුවෙක් කියලා.... එතකොට ඒ පැමිණිල්ල තවත් ක්‍රිටිකල් කරන්න පුළුවං නිසා"
"ඉතිං "
" ජයේ ගිහින් අර මැරුණු ළමයාව වෙන කාගෙද ළමයෙක්ට මාරු කරගෙන ආවා...., ඒ තමයි ලිහිණි" මගෙ ඇස් දෙක පියවූණා... ජයවීර කී දෙනෙක්ගෙ ජීවිත විනාස කරලාද? අම්මපා ඕකා නම් මහ තක්කඩියෙක්. සමරනායක වැරදි නෑ.
"එතකොට භානුක" අළුත් අම්මා මගේ දිහා බැලුවේ මහා පුදුමෙන්.... හරියට මු නම් මාර පොරක් කියලා වගේ
" පොලිසියේ ලියවුණේ පුතෙක් ගැන....., ඒ නිසා උසාවියට පෙන්නුම් කරන්න එයා වෙන කාටද සල්ලි දීලා භානුකව ගෙන්න ගත්තා.... මෙ ඔක්කොම සමරනායකට ආරංචි උණේ නඩුවලින් පස්සේ..... සමරනායක මටවත් ළමයිනටවත් කිසිම දෙයක් කරන්න ආවේ නෑ. ඒත් මෙ හැමදේකම සුලමුල හොයනවා..... කවදාහරි දවසක ජයවීරගෙන් පලි ගන්න මිනිහා බලාගෙන ඉන්නේ....." මගෙ හිතට වද දුන්න ගොඩාක් ප්‍රශ්න වලට උත්තර මෙන්න මේ කතාව ඇතුලෙ තියනවා.... මෙයා මොනා උණත් මේ හැමදෙයක්ම කරලා තියෙන්නේ මම වෙනුවෙන් වෙන්න පුළුවන්. එත් එහෙම කියලා මගෙ අම්මාවයි තාත්තාවයි දාලා මෙයා ලඟට එන්න තරම් ගුණමකුවෙක් වෙන්න මම කැමති නෑ. මම කල්පනා කලා.
"ඔයා නැතුව ලිහිණි හැමවෙලේම ලෙඩ වෙනවා...., කොයි වෙලාවෙත් ඔයා ගැන කිය කියා ජීවත් වෙන්නේ... එයාගෙ ජීවිතේට වග කියන්නේ කවුද එතකොට" මගේ ප්‍රශ්නෙන් අළුත් අම්මා මගෙ දිහා බැලුවා
" මට තේරෙනවා.... ලිහිණි හැදුණේ මගේ දරුවෙක් වගේ, එයා විතරක් නෙවෙයි භානුකත් එහෙමයි"
"ඔයාට එයාලාට අම්ම කෙනෙක් වෙන්න බැරි ඇයි. මට දැනටමත් අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවානේ" මම වැඩි ඔරොප්පුවක් නැතුව හිමින් සැරේ කියලා දැම්මා
"ඔයා මගේ පුතා...."
"වෙන්න පුළුවං.... ලිහිණි ඔයාට අම්මා කියනවා ඒත් ඔයා එයාගේ අම්මා නෙවෙයි, මටත් මම අම්මා කියන කෙනෙක් ඉන්නවා...ඔයා හදන්නේ මාව එයාලගෙන් ඈත් කරලා අනාථයෙක් කරන්නද?" අළුත් අම්මා අඬන්න ගත්තා..... පව් තමයි ඒත් කරන්න දෙයක් නෑ එයාට වඩා මම පව්නේ..... අනික ලිහිණිගේ අම්මා මට උදුර ගන්න පුළුවංද.... එයා අදටත් බලාගෙන ඉන්නේ මෙයාගෙ තුරුලට එන්න
"මට එහෙම කරන්න ඕනේ නෑ"
"ඔයාට ඕනෙ නම් මම ඔයා ලඟට ලිහිණිව ගෙනත් දෙන්නම්.... ඒත් එයා මේ කිසි දෙයක් දැන ගන්නවාට මම කැමති නෑ"
"මොකද්ද ලිහිණිගෙයි ඔයාගෙයි තියන මේ සම්බන්දේ"
" ලිහිණි එයාගේ අම්මා ඉන්න තැන හොයන්න කියලා මගෙන් ඉල්ලීමක් කලා.... මට එයාගේ අම්මව හම්බ උණා ඒත් ඒ අම්ම එයාව භාර ගන්න කැමති නෑ"
"ලිහිණි මගේ දරුවෙක් නෙවෙයි"
"එහෙනම් මම කොහොමද ඔයාගෙ දරුවෙක් වෙන්නේ?" මමත් පොර වගේ කතාව.... යන විදිය හරිද මන්දා... මට ඕනේ මේ මාරාලෙන් ගැලවෙන්න.. දෙය්යනේ කියලා ලිහිණිව මෙයාට සෙට් කරලා තාරකා බලා යන්න.
" මාව තේරුම් ගන්න පුතේ....." මට මෙයාව තේරුම් ගන්න ඕනේ නෑ.....මට මෙයාට කොහොම හරි තේරුම් කරලා දෙන්න ඕනේ.. මම ඇඳ උඩ ඉඳගන්න ට්‍රයි එක දුන්නා... මේ මොකද.... ඇයි මගේ කකුල් හොලවන්න බැරි..... මම කකුල් හොලෙව්වට හෙලවෙන්නෙ නෑ.... කකුල් තියනවාද කියලා දෙනෙන්නෙත් නෑ. මේ මොකද හත දෙයියනේ මේ. මට මේ මොකද වෙලා තියෙන්නේ......