පිටුව

Wednesday, December 29, 2010

96 කොටස



අර ගෑනු පරානේ ගේ ඇතුලට කඩාගෙන එනකොට අම්මා මගේ ලඟට ලං උණා..... මෙ මොකද්ද අප්පා මේ වෙන්න යන්නේ... හරියට අනතුරු ඇඟයීම් නැතුව සුනාමියක් එනවා වගේ ඔක්කොමලා බය වෙලා. 

"තෙනුර....." කෙලින්ම මගේ දිහා බලාගත්ත ගමන් අර බවලතා මගේ නම කියලම කතා කලා.... මම පොඩ්ඩක් අයියාවත් ඔවර්ටේක් කරලා ඉස්සරහාට ආවා. මැරෙන්න උණත් කොල්ලා යනවා ආයේ හිත හිතා ඉන්නේ නෑ.... මම හොරෙන් තාත්තා දිහා බැලුවා.. මෙන්න අර යක්ස ඇස් දෙක යට ගිහින් බිමටම පාත් වෙලා. මොනා උණත් මොකක් හරි නුපුරුදු නුහුරු සීන් එකක් තමයි මෙතන සිද්ද වෙන්න යන්නේ....
"ඇයි... මොකද්ද උවමනාව?" මම කටවල් වලට අඟුල් දාගෙන බලාගෙන ඉන්න ඔක්කොමලා දිහා මාරුවෙන් මාරුවට බැලුවා. අර බවලතාගේ ඇස් වලට කොහෙන්දෝ ඉඳලා ආවා කඳුළු පිරෙන්න ගත්තා......


" පුතේ....." ඔහේ පලයං.... මේ මගේ අම්මා කියන කෙනාද? මම කෙස් අග ඉඳලා කකුලේ නියපොතු දෙකට යනකන් ස්‍ර්චින් පාරක් දැම්මා.... මෙයා එක්ක මම මොකටද යන්නේ.... මෙයා මගේ අම්මා කියන්න මෙයා ලඟ මොනාද තියන සාක්ෂි. මගේ උප්පැන්නේ අම්මාගේ නමටවත් මෙයගේ නම නෑනේ.... මට ඉතිං ඉඳලා හිටලා ඔලුවට ලෝ පොයින්ටුත් එනවා...

" ඔව්... ඇයි?"
" අයියේ..... ඔයා තාමත් පුතාට කිව්වේ නැද්ද?" මෙන්න මාව තියලා මෙයා තාත්තාගේ පැත්තට හැරුණා....
"කතා කරන දෙයක් මේ වහල යට කරන්න බෑ....." තාත්තා මොකුත්ම නොකියා ගෙදරින් එළියට බැස්සා.....
අපේ අම්මා ඇවිල්ලා මගේ ඉනවටේට අත දාලා අල්ල ගත්තා..... අර බවලතාට ඒක දැකලා තද උණාද මන්දා. 
"තෙනුර... ඔයා මාත් එක්ක යන්න එන්න ඕනේ...." එක පාරටම මෙයා එහෙම කියපි

"ඒ මොකටද?" මමත් ඇරියේ නෑ....නංගි ඇඟිලි වල නියපොතු කනවා මට පේනවා.... අක්කා අයියා ලඟට කිට්ටු වෙලා... ඔක්කොමලා මහා රෑක මෝහිණි බබා අල්ලගන්න කිව්වා වගේ බයෙන් විකාර වෙලා.
"මොකද හේතුව කියලා මෙයාල කිව්වේ නැත්නම් මම හරි කියලා දෙන්නම්...." මෙන්න මේ මනුස්සයා මගෙ අතකින් අදිනවා.... මේක මාර සෙල්ලම්ක්නේ මාව එළු පැටියෙක් වගේ දක්කගෙන යන්නද මෙයාට ඕනේ....

"අත අරින්න ධම්මී.... පුතාව බලෙන් ගෙනියන්න ඔයාට බෑ..." අපේ අම්මා තවත් මාව බදාගෙන කෑ ගහනවා.... මටත් මේ වැඩේ අල්ලන්නේ නෑ....

"නාලිනී ...... නවත්තනවා......" තාත්තාගේ හිට්ලර් කටහඬින් අම්මා කටපියා ගත්තා...... තාත්තා ගෙට ගොඩ උණා....එයා අර මට බලන්න බැරි ඩැකියුලා ඇස් දෙක ................බුදු අම්මෝ ඒක දැක්කාම නම් මට ඉහ හැරුණූ අතේ යන්න හිතෙනවා....

" මේ ධම්මි අපිට පව් නොදී.. හොඳ හිතින් කරුණාකරලා මෙතනින් යනවා.... මෙතන ඇවිල්ලා බෙරිහන් දෙන්න කලබල කරන්න බෑ කියලා මම එදාත් තමුසෙට කිව්වා... ආයේ මතක් කරන්න ඕනේ නෑනේ....."
"ඒත් අයියේ...." අර ගෑනුකෙනා කියන්න යනදේ තාත්තාගේ ඇඟිල්ල ඉස්සුණා විතරයි නතර උණා. මම විතරක් නෙවෙයි ඔක්කොමලා තාත්තාට බයයි.

"තෙනුර...." මාව තාත්තාගේ කටහඬින් ෆුක් අන්දුන් කුන්දුන් උණා......
"ඇ...ඇයි තාත්තේ....." වචන එන්නෙත් හිට හිට
" යනවද නැද්ද කියලා තමුසේ හිතලා බලනවා.... " තාත්තාගේ ඒ ගල් හිත ඇතුලේ ගිනිකන්දක් වගේ ගින්දර නලියනවා කියලා මම දන්නවා. ඒක මම අද වාහනේදි ඇහැටම දැක්කා..... මම මොකුත් නොකිය අම්මාගේ අත හිමින් සැරේ මගේ ඇඟෙන් අයින් කර ගත්තා..... අම්ම ඒ පාර මගේ අතින් අල්ල ගත්තා..... මට අම්මා ගැන දුකයි. මට තාත්තා ගැනත් දුකයි, ඒත් මෙයා මගේ අම්මා නම් මට එයාගෙන් අහන්න සෑහෙන්න ප්‍රශ්න තියනවා... ඒක අහන්න මට මෙතන බෑ. මම මෙයා එක්ක යන්න ඕනේ.... මම ආයෙත් එනවා හැබැයි ඒ වෙන කාටවත් අයිතිවාසිකම් කියන්න බැරි කරලා... ඒ නිසා මට යන්න දෙන්න රත්තරං අම්මේ...... මම එහෙම හිතලා අම්මාගේ අතින් මගේ අත ගලවා ගත්තා.....ඒක දැකලා තාත්තා ආයේ බිම බලා ගත්තා....මම හිමින් සැරේ හැරිලා අයියයි අක්කයි නංගියි දිහා බැලුවා. නංගිත් දැං අයියාට තුරුල් වෙලා ඇස් වල කඳුළු පුරෝගෙන. ඔයාලා බය වෙන්න එපා මම ආයේමත් එනවා..... 

"මම කිව්වේ මගේ පුතා එනවා මාත් එක්ක යන්න....." අර මනුස්සයා කකුලුවෙක් වගේ හරහාට නටන්න ගත්තා.... 

"මම වාහනයක් එවන්නම් බඩු අරන් යන්න" ... එයා මගේ අතින් අල්ල ගත්තා...... මම එයාගෙ අතෙනුත් මගේ අත් ගලව ගත්තා.....

"ඔයා හිතනවා නම් ඔයාට මගේ අයිතියක් තියනවා කියලා යං.... හැබැයි මට හිතනකන් ඔයා මට අයිතියි කියලා මට කරදරයක් වෙන්න බෑ.... මගේ ගෙදර අයට මෙහෙම කරදර කරන්නත් බෑ.... හරිද?" මට එයා අම්මා කියලා හිතෙන්නෙම නෑ. මට එයාට වෙන ගෑනියකුට වගේ ගෞරව කරන්නත් බෑ. ඒකත් මාර සීන් එකක්. 

"මම මෙයාලා කාටවත් කරදර කලේ නෑ... මම ඉල්ලුවේ මගේ දෙයක් විතරයි....." එයා කඳුළු පෙරාගෙන කියවන්න ගත්තා.... 

"යනවා නම් යන තැනක යනවා.. මේ ගෙදර මේවා කතා වෙන්න බෑ.. මම එක පාරකුත් කිව්වා..." තාත්තා ආයෙත් මතක් කලා..... ඒත් අර ඉස්සල්ල තිබ්බ කටේ සැර නම් අඩු වෙලා.... මට හිතට මොකද්දෝ මොකද්දෝ දෙයක් දැනෙන්න ගත්තා, අර කාලෙකට කලින් ඉඳලා හිටලා ආව ඔලුවේ කැක්කුම ඔලුව පුරාම එන්න ගත්තා. ඔලුවෙ එක පැත්තක් නැතිවෙනවා වගේ දැනූණා. මම ඔලුවම බදා ගත්තා. 

"අනේ අම්මේ මයියාට මොනාද වෙලා....." අක්කාගේ කටහඩද කොහෙද ඇහෙන්න ගත්තා...මුළු පලාතම කිරි කිරි බෝලේ කරනවා වගේ කැරකෙනවා. කාවවත් හරියට පෙන්නේ නෑ.... මුළු ලෝකෙම සුදුපාට වෙලා දම් පාට වෙලා නිල් පාට වෙලා අන්තිමට කළු පාට වෙලා ගියා......

Friday, December 24, 2010

95 කොටස



ටික වෙලාවක් ඉඳලා අපි ආයේ කොළඹට පිටත් උනා. මාව නම් කවුරු හරි කකුල් දෙකෙන් අල්ලලා පොලවෙ ගහලා වගේ. කරන්න කියන්න කිසි දෙයක් තේරෙන්නෙ නෑ. මුළු වහානේම අමු මූසල කමක් දැනෙන්න ගත්තා..... තාත්තාත් සැරෙන් සැරේ කණ්ණාඩිය අස්සෙන් අඟිලි දෙක රිංගවලා ඇස් දෙක තද කරනවා මට පේනවා.... කොහොම හරි අපි ගෙදර යනකොට දවල් කෑම වෙලාවත් පහු වෙලා. ගෙට ගොඩ වෙනකොටම අම්මා කරවල තෙල් දාන සුවඳ දෙනෙන්න ගත්තා.... මට මගේ හිතේ හැමදේම අමතක වෙලා ගියා... අමාරුවෙන් මතක් කරගන්න මම ආයේ හැරිලා තාත්තා දිහා බැලුවා.. තාත්තාත් මගෙ දිහා බලල බිම බලා ගත්තා. වාහනේ සද්දේ ඇහිලාද කොහෙද අම්මා කුස්සියෙන් මතු වෙලා මගෙ ලඟට තත්පරයට හැතැම්ම ගානකින් දුවගෙන ආවා. 
"අනේ මගේ පොඩි එකා............." අම්මා මාව බදාගෙන හෝ ගාල අඬනවා.... මම කොහොමද හත් දෙයියනේ ඔයා මගේ අම්මා නෙවෙයි කියලා කියන්නේ.
"මට බඩගිනි අම්මේ....." අම්ම දැක්කාම නිකන්ම මගෙ බඩ වැටියට ගිනි ගන්නවා. 
"මට නම් බෑ මහත්තයා මෙයාව නම් කාටවත් දෙන්න... මට කියන්න එන්න එපා.... මම යනවා නඩු.... ඕනෙම උසාවියකට යනවා.. මේ කිරිසප්පයා මගෙන් අරන් යන්න ආවොත්...." අම්මා කියාගෙන කියාගෙන යන්න ගත්තා... අම්මා සාමන්‍යයෙන් තාත්තා ඉස්සරහා හයියෙන් කිඹුමක්වක්වත් අරින්නෙ නැති එකේ මෙහෙම කතා කරනවා දැක්කාම මට මාර පුදුමයක් දෙනෙන්න ගත්තා... මටත් අම්මා නැතුව බෑ..... මම අම්මාව තුරුල් කරන් තාත්තා දිහා බැලුවා. මම ඔයාලව දාලා කොහෙවත් යන්නේ නෑ.... කියලා මට කියන්න හිතුණා..... මගේ ඇඟේ දුවන ජයවීරගේ ඔක්කොම ලේ අයින් කරලා දාන්න තරම් මොකද්ද අඟට ගටක් එන්න ගත්තා....
" අපි පුතාටම එයාගේ තීරණයක් ගන්න ඉඩ දෙමු නාලිනි....." තාත්තා එහෙම කියාගෙන මගෙ දිහා නොබලාම ගේ ඇතුලට රිංගගත්තා. අම්මා ඇඟිලි වලින් හිටගෙන මගේ ඔළුව අත ගානවා. පව් අප්පා. මම අම්මාත් එක්කම ගිහින් ලඟ තිබ්බ පුටුවෙ වාඩි උණා. අම්මා මාව දෙකට නමලා නළලත් ඉම්ඹා....
"කෝ අම්මේ අනිත් අය..." මගේ ඇසුත් දැවිල්ලයි. ජීවිතේටම ඇඬුවාම එහෙම වෙන්න ඇති. මම ආයේ අඬන්නේ නෑ...... එන දේකට මූණ දෙනවා... ජයවීර තියා ජයවීරගේ තාත්තාටවත් බෑ මාව මෙයාලගෙන් වෙන් කරන්න....
" ඒ කවුරුත් මේ කිසිම දෙයක් දන්නේ නෑ පොඩි පුතේ...... අක්කා මැහුම් පංති ගියා, නංගිත් ඔන්න මොනාද කොම්පියුටර් පන්තියකට යනවා... අයියාත් ආයේ රට යන්න හදනවා. අයියානම් ඔය කතාව මුල ඉඳලාම දෙනගෙන හිටියා.... මේ දවස් වල අයියාත් මේවා නිසා කළකිරිලා ඉන්නේ මයේ පුතේ... අපිට මොන හෙනයක් පාත් උණාද මන්දා" අම්මා ආයේ අඬන්න ගත්තා....
" අම්මා ඕවා වැඩිය හිතන්න එපා... අද අම්මා මට කවන්නකෝ..." මටත් ටැප් එක වැඩ කරයි කියලා බයට මම නැගිට්ටා. මම මේ වෙලාවේ බවලත් ගාමන්ට් එකක් වගේ ටැප් ඇරලා හරි යන්නේ නෑ. හොඳට කාලා බීලා නාලා එන යෝකර් වලට හයේ ඒවා ගහන්න ඕනේ..... මට අදාල නෑ මාව ජාතක කලේ මොකාද කියලා හැබැයි මාව හදා ගත්තේ මගේ අම්මයි තාත්තායි තමයි. අම්මපා.. මම වෙන හාල්පාරුවෙක්ගේ උණහපුලුවෙක් උණානම් දුක නෑ. මේ ජයවීරයාගේ පුතෙක් වෙලා මාව හිටියාටත් වඩා කාලකණ්ණි උණා..... 


අම්මා මට පොඩි එකෙක්ට වගේ කවලා එහෙම ආයේ ඇඬුවා... පව් හත්දෙයියනේ... මෙයාලගේ ඇස් වලට මම නිසා එන කඳුලු. මම ඇවිල්ලා මෙච්චර වටින පොරක්ද? මම ඔහේ මගේ භවනට වෙලා මනෝ එක්ක සෙට් උණා. මට හිතෙන්නෙම හින්දි කෑල්ලක වගේ ඇත්ත තාත්තාත් එක්ක ගේම ඉල්ලන පුතෙක් වෙන්න. ජයවීරයත් එක්ක මම කොහොමත් ඉන්නේ මලෙන් නේ... ඒ මදිවට මමත් උගේ පුතෙක් වෙච්චි. නොදකින් කියලත් හිතෙනවා. ඒත් ඒක කියාගන්න වෙන්නෙත් මගෙම මූණත් තහඬුවටනේ


"පොඩි අයියේ............" නංගි කාමරේට කඩාගෙන ආවා. හිනා කටයි..... මුන්ගේ හිනාව දකිනකොට මට මුළු ලෝකෙ එක්ක උණත් ගේම ඉල්ලන්න හිතෙනවා.
"මොකද තමුසෙට උනේ....." මගේ නහයත් එක්ක කැවුමක් වගේ බර වෙලා
"ඔයාට සනීප නැද්ද?" නංගි හෝ ගාල මගේ නළලටයි බෙල්ලටයි අත තියලා බලනවා. සැලකිලි නම් ඉතිං අති විශිෂ්ටයි.
"නෑ නෑ පීනසේ බං"
"තාත්තාට භානුකයි මමයි කතා කර කර ඉන්නවා අහු උණා..."
"මගෙන් වගේ ගුටි කෑවද?"
"පාරේ මැදදි නම් කෑවෙ නෑ... ගෙදර ඇවිල්ලා නම් හොඳට කෑවා..." නංගිගේ මූණ දුක සීන් උණා
"දැං භානුකයා කෝ..."
" එදා තමයි අන්තිමට හම්බ උණේ... ඊට පස්සේ එයාට කතා කරන්නවත් විදියක් තිබ්බේ නෑ"
"ඌ ගෙදරින් ගිහින් නේද?"
"ඔව්..."
" අම්මා තාත්තා හොයනවා නේද?"
"ඔව්... ඉතිං ඔයා කොහොමද දන්නේ...?"
"මට ඕවා අරංචියි..."
"" එයාටත් පිස්සු පොඩි අයියේ... ඔච්චර සැප සම්පත් එක්ක ඉන්න තැන ඉන්නේ නැතුව..."
"මොන සැප සම්පත් තිබ්බත් අර ජයවීරයා ලඟ ඉන්නවාට වඩා ඌ ගෙදරින් ගිය එක හොඳයි..." මගේ බොක්කෙ තිබ්බ දේ එලියට ආවා...
"ලිහිණි අක්කා තවත් අසරණ වෙල"
"මම දන්නවා" එයාට වඩා මම අසරණයි නංගියේ............ මම කොහොමද ඒක කියන්නේ....
"ඔයා එහෙනම් ඉන්නකෝ මම වොෂ් එකක් එහෙම දාල එන්නම් කතාවක් දාන්න... අයේ ඔයා යන්නේ නෑ නේද?"
" අනිවා යනවා..."
"අනේ ඇයි ඒ...?"
"මම විභාගේ කරගන්න ඕනේ නේ..."
"විභාගේ කරලා ඔයා මෙහෙ ආවම......... ආයේ යන්නේ නෑ නේද?" මේකිත් පව් අප්පා... ඔය මට ඔය පොල්කිච්චිට පව් කියලා හිතුණ පළවෙනි වතාව. මෙයා විතරක්ද මට උපන් තේකට තාත්තා ගැනත් පව් කියලා අද හිතුණනේ.....
" නෑ නෑ......" නංගි ප්‍රීතියෙන් පිනා වගේ වෙලා යන්න ගියා. හවස් වෙන්න වෙන්න ගෙදර කට්ටිය පිරෙන්න ගත්තා.. අක්කයි අයියයි ගෙදර ආවට පස්සේ ආයේ අර ඉස්සර වගේ ආතල් එකේ උපරිමේ. අර මූකලානේ වගේ බෝරිං නෑ. ඒත් තාරකාට කොහොමද දන්නේ නෑ..... 
"මෙයාව හොයාගෙන කෙල්ලෝ එනවා මෙයා නැති උණාම" අක්කා මගේ කනින් අල්ලලා එයා ලඟින් වාඩි කරව ගත්තා. තාත්තා පොඩ්ඩක් ඈතට වෙන්න ඉදගෙන මගේ දිහා හොරෙන් බලනවා මම දැක්කා.
"අයියේ ආපහු යනවාද?"
"ඔව් මයියා.......... දැං මෙහෙ රස්සාවල් හොයලා ඇති වෙලා... එහෙ ගිහින් පත්තර බෙදුවත් මෙහෙ මාසෙකට ගන්න ගාන සතියෙන් හොයතෑකි."
"අක්කා..... මොනාද කරන්න හිතාගෙන ඉන්නේ...?" අක්කා කවදාවත් බලන්නේ  නැති විදියට මාදිහා බැලුවා
"මොකද මයියා උඹට වෙලා තියෙන්නේ..... අද කෝ අර වාචාලයා"
"ඌව එහෙදි සල්ලි නැතුව වික්කා බං... තමුසෙලා මට වියදමටවත් සත පහක මනි ඕඩරයක් එව්වද?
" මට හැමදාම පර්ස් එක අරිනකොට උඹව මතක් වෙනවා බං... වෙනදාට මගේ පර්ස් එකේ සල්ලි බහිරවයා ගිලින එකේ උඹ නැති දවස් වල ඌත් කොහෙ හරි ගිහින් හිටියා...." ඒ කතාවට තාත්තාට යන්තම් හිනා යනවා මම දැක්කා.... එක පාරටම ගේ ඉස්සරහා ට්‍රයිෂෝ එකක් නතර කලා. මමත් බෙල්ල කඩලා ඒ පැත්ත බැලුවා. අයියානම් ඒකෙන් බහින කෙනා අඳුන ගත්තා වගේ එතනින් නැගිට්ටා... නංගියි අම්මයි සාලෙට ආවා. තාත්තා ඉස්සරහාට ගියා.ආක්කා ඒකෙන් බහින කෙනා දිහා බලාගෙන මට ඇන්නා... 
"අන්න ඔයාව හොයාගෙන ආව කෙල්ල....., අද තාත්තාගෙන් කන්න වෙයිද දන්නේ නෑ" අප්පටසිරි නයි කයිද රෝස් පාන් කිව්වලු.. මේ එන වහන්තරාවට කෙල්ල කිව්වොත් කෙල්ලන්ට මොනාද කියන්නේ.. මගේ ලොකු සහෝදරීගෙ ඇස් දෙක පොලිෂ් කරලා ගන්න වෙනවා....මෙයානම් අයේ අහලා හාෆ් කෙන්චරියට ලං කරපු කෙල්ලෙක්.... කවුද අප්පේ මේ......








Tuesday, December 21, 2010

94 කොටස

අපේ තාත්තා පොඩි කාලේ හැංගි මුත්තං කරලා තියෙන්නේ හොරා පොලිස් වගේ... අනේ මන්දා දැං මොනවා වෙයිද දන්නේ නෑ.
"ලෑස්තිද යන්න...?" මම බලාපොරොත්තු උනේ නම් මීට වඩා වෙනස් දෙයක්.කන හරහා දුම පිට වෙන ආතල් එකක්. හැමදේම චාටර් වෙන්නේ නෑ මම හිතන්නේ. ඔය දොර අස්සේ හැංගිලා හිටියාට මම කියපුවා ඇහෙන්න නැතුව ඇති. අපි එහෙම හිතමුකෝ.. මම කඟවේනා වගේ කාමරෙන් එළියට ආවා.
නැන්දාටත් දොහොත් මුදුන් දීලා නමස්කාර කරලා අපි යන්න පටන් ගත්තා. දැං බලහල්ලාකෝ අමාරුව. තාත්තා ඇටිකෙහෙල් හොරෙන් කාපු උගුඩුවෙක් වගේ ඔහේ යනවා හොරෙන් මගේ දිහා බල බලා.. අර ඩයිවරයා ඌත් හොරෙන් බලනවා .... මම ඉතිං එහෙම කියලා උගේ හොම්බට අනින්නයෑ. මොකද අර කලිසමේ චූ කරගන්න කාලේ ඔය ඩයිවරයා මාව ඉස්කෝලෙත් ගිහින් බස්සලා තියනවා. ලාමකයි. හැබැයි ඌත් ඇවිල්ලා අපේ තාත්තාගේම නැකතේ ඒ ග්‍රහයෝම ඉන්න පොරක්. මම ඔය ඕනෙ තරම් මගේ දිහාම බලාගනිත්වා කියලා හිතාගෙන තාරකා ගැන මනෝ පාරකට සෙට් උණා. මෙන්න ඒ පාර ලිහිණිවද කොහෙද පේනවා... නොදකිං මගේ මෙලෝ රහක් නැති හිත. කරන්න යන්නේ එක දෙයක් කරන්නේ වෙන දෙයක්. වාහනේ නැවතුණා.... රොදයකටවත් කේස් එකක්ද දන්නේ නෑ. බස් එකක එහෙම උණානම් මුලින්ම බැහැලා සප් එකට සෙට් වෙන්නේ කොල්ලා.. ඒත් මේක ඇවිල්ලා තාත්තාගේ අමාත්‍යංශෙ හුරතලානේ. මම මොකටද මගේ එංජින් ඔයිල් පුච්ච ගන්නේ..............
"මෙතන පොඩ්ඩක් ඉඳලා යමු පුතේ...." කිරි අප්පේ එහෙම කිව්වේ මේ මගේ එක් කුස උපන් තාත්තා.... මට හිතා ගන්න බෑ. මම අදයි දැන ගත්තේ තාත්තාටත් මම පුතෙක් කියලා... මමත් වෙන හිත හිත හිටියේ නෑ බැස්සා.....
" ඇයි තාත්තේ වාහනේ කන්ඩෙම්ද?" මටත් ඉතිං හරුපයක් අහගන්නේ නැතුව ඉන්න බැරි හැටි. කොටියා නිදි කියලා දැන ගත්තාම කනෙන් රිංගන්නමයි යන්නේ....
"නෑ මට උඹත් එක්ක කතාවක් තියනවා... මේවා ගෙදර කතා කරන්න ගත්තාම මල ගෙයක් වගේ ගෙදර කට්ටිය අඬන්න ගන්නවා....මේ මොකද්ද මේ හුටපටේ.. අපේ ගෙදර හිටපු තඩි බළල් තඩියාවත් පරලොව ගිහින්ද?
"මොකද්ද...?" අර ඩයිවරයා අපිට ඕන මඟුලක් කරගන්න කියලා පාරෙන් එහා පැත්තේ තියන තේ කඩේට ගියා....
"කවදාවත් නොකියන්න හිතපු දෙයක් කියන්න උනා...." මේ මට......? දැං තාත්තා මාත් එක්ක ෆිට් වේගෙනවත් එනවාද මන්දා... ඒත අර ඇස් කරකවලා ඔරවනකොට දැනෙන බය එහෙම නැති වෙයිද ෂුවර් නෑ....
" ඉතිං මොකද්ද ඒ...." මටත් දැං කුතුහලේ උපරිමේටම ඇවිත් තියනවා.....
" මට සමාවෙන්න පොඩි පුතේ..." තාත්තා ඇස් දෙක තද කරගත්තා... මේ මොනාද හත්වලාමේ වෙන්න යන්නේ...? අපේ තාත්තා මගේ ඉස්සරහා ටැප් එක අරිනවා... මම මේ තඩි දවල් හීනයක්වත් දකිනවාද මන්දා
" මේ මොකද තාත්තේ මේ....?"
" උඹ නොඅදන්නවා උණාට මම පවුලේ වැඩියෙන්ම ආදරේ කලේ උඹට පුතේ..... " තාත්තාගේ චිප් එක මාරු වෙලා මෙමරි ලොස් එකක්වත් වේගෙන එනවාද මන්දා. මම මොකුත් නොකියා ඉබ්බා වගේ හිටියා... මම කියලා මොනා කියන්නද?
" ඒත් උඹ මගෙවත් නලිනීගෙවත් දරුවෙක් නෙවෙයි...." මට මොනා හිතුනාද මන්දා දෙකේ දෙකේ පොල්ලාක් අරං ඇවිල්ලා මට ඇහැරෙනකන් තඩිබාගන්න හිතුණා.... තාත්තා මේ මොනාද කියන්නේ.....
" මට තේරුනේ නෑ තාත්තේ.... "හීනියට මම අත කොනිත්ත ගත්තේ හීනයක්ද කියලා බලන්න.... ඒත් මේක ඇත්ත කතාවක්නේ.... මම මෙයාලගේ දරුවෙක් නෙවෙයිනම් කවුද? මගේ පපුව රිදෙන්න ගත්තා....
" මම කවදාවත් මේ කතාව උඹට කියන්න හිතාගෙන හිටියේ නෑ.. ඒත් මේ ලඟදි උඹව හොයාගෙන අම්මා ආවා.... "
" අම්මා................." මේක මට නම් තාම දොම්පෙට යන පාර ඇහෙව්වා වගේ.... පපුව කඩාගෙන යන තරම් දුකයි ඒත් කර කියාගන්න දෙයක් නෑ.
"ඔව්.. මගේ පොඩි නංගි බැන්දේ ජයවීරව.... එයා අපිට හිතුවක්කාර වෙලා කසාද බැන්දා ඒ නිසා අපි එයාව පවුලෙන් අයින් කලා... ජයවීර කියන්නේ මහ නරුමයෙක්... මම ඒක දැනගෙන හිටියා... ඒකයි මම විරුද්ධ උණේ..."මම මේ තාත්තාගේ නංගි කෙනෙක්ගේ කතාවක් අහනවාමයි. මම මොකුත් කිව්වේ නෑ. 

"ජයවීර ගොඩාක් මිනිස්සුන්ගේ ඉඩම් කොල්ල කාලා උගේ කරගත්ත එකෙක්, නංගිට ඌත් එක්ක ජීවත් වෙන්න තිත්ත උණා..... ඒත් අපෙන් ඈත් වෙලා හිටපු නිසා එයාට අපි ලඟට එන්න බැරි උණා. එයාට අපි කවුරුත්ම නොදැනුවත්ව පුතෙක් හම්බ උණා... ඒ හම්බ උණේත් හැටන් වලදි....." මට මොකද්දෝ කතාවක් යාන්තම් මතක් වේගෙන වේගෙන එන්න ගත්ත. ඒත් තාත්තාගේ කතාව තාම ඉවර නෑ. මට මතක් වේගෙන එන කතාව ගැන හිතන්න තරම් හිතට ෆිට් එකකුත් නෑ.
"නංගි මට ටෙලිග්‍රේම් එකක් ගැහුවා පුළුවං ඉක්මනට එහාට එන්න කියලා.... මොනාව උණත් මට මගේ පොඩි නංගිව අහක දාන්න බෑ මම එහාට ගියා.... නංගි රෙදි කෑල්ලක ඔතලා මට උඹව මගේ අතට දීලා ජයවීර එන්න කලින් මෙහෙන් යන්න කියලා අඬන්න ගත්තා......" මගේ තුන්ලෝකෙම ෆුල් අන්දුන් කුන්දුන් උණා... මම ජයවීරගේ ළමයෙක්ද? මේ කතාව ඇහුවාට වඩා හොඳයි.. මේ පාරේ හැට හැටේ එන ලොරියකට පැන්නා නම්.... ඒ කියන්නේ ලිහිණිගේ සහෝදරයා මමද?. මම එහෙමම වාහනේ සීට් එකේ වාඩි උණා.....
"මම ගැන අහිතක් හිතන්න එපා පුතේ..... මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ....නලිනී කවදාවත් උඹට අම්මාගේ අඩුව දැනෙන්න තිබ්බේ නෑ..... එයා එයාගේ දැරුවන්ට වඩා උඹට ආදරේ කලා... මමත් එහෙමයි.... එක දවසක් මහ රෑක... මොරසූරණ වැස්සක නංගි අපේ ගෙදර ආවා.. එතකොට උඹ හොඳටෝම නිදි.... ඇවිත් කිව්වා... ජයේ දැනගෙන අපේ පුතා ජීවත් වෙනවා කියලා එයා මාව මරන්න හදනවා.. අනේ අයියේ මාව බේරගන්න කියලා...." මේ කියන්නේ ලිහිණිගේ අම්මා ගැන තමයි... මම ලිහිණිගේ කතාව දන්නවා. අනේ දෙවියනේ මට මොකද්ද මේ සිද්ද වෙලා තියෙන්නේ.. මගේ පපුව කඩාගෙන යන්න එනවා....
" මම නංගිව හැංගුවා පස්සේ පිට රට අරියා..... ඒත් මට නොදන්නාම මේ ලඟදි එයා ලංකාවට ආවා... ඔයාව ඉල්ලගෙන... නලිනී නංගි ඉස්සරහා වැඳ වැඳ එහෙම කරන්න එපා කියලා අඬන්න ගත්තා.... ඒත් නංගි එදා වගේම හිතුවක්කාරයි.... එයා අපිට තර්ජනය කරලා ගියා.. ජයවීරට මේ ඔක්කොම කියනවා කියලා උඹව එයාට දුන්නේ නැත්නම්.... මට හිතා ගන්න බෑ පුතේ මම මොකද කරන්නේ කියලා... අපේ ගෙදර කාටවත් උඹ නැතුව ඉන්න බෑ.. මට උඹ මගේම දරුවෙක්... මට කියන්න පුතේ මම මොනාද කරන්නේ දැං...." තාත්තාගේ ඇස් වල ආයෙමත් කඳුළු පිරෙන්න ගත්තා..... මට පව් කියලා හිතුණා.. එයාට වඩා මම පව් නැද්ද? එක පාරටම තිබ්බ සබ්බ සකල මනාවම නැති උණා වගේ දැනෙන්න ගත්තේ.... හුස්ම ගන්නවත් බැරි තරම් මගේ හිත තද වෙලා.... තාත්තාට වගේ ඇස් වලට කඳුළු එන්නෙත් නෑ.
"මාව තාත්තලාට එපා වෙලා නම් ඔයාලා හොඳයි කියලා හිතන දෙයක් කරන්න............ මම නිසා අක්කගෙයි නංගිගෙයි ජීවිත වලට කරදරයක් වෙන්න දෙන්න එපා...." ඔන්න මටත් ටැප් එක හරි යාගෙන එන්නේ.... මට දැනෙන්න ගත්තේ මාව මුලින්ම ඉස්කෝලෙට දාල අම්මා යනකොට දැනිච්ච පාලූවයි දුකයි. මම එදත් සෑහෙන වෙලාවක් ඇඬුවා....
"අපිට උඹ වැඩි නෑ පුතේ..... මට උඹ මගෙ උන්ටත් වඩා වටිනවා.. ඒත් උඹේ අම්මාට කෙලෙහි ගුණ කලඳක්වත් නෑ" මට ඉකි ගැහෙන්න ගත්තා..... මට කරකියා ගන්න දෙයක් නැති වෙලා
" එයාට එයාගෙ අනිත් ළමයි එක්ක ඉන්න බැරි ඇයි තාත්තේ..... මම කොහොමද ඔයාලව දාල යන්නේ..." මම අඬන එක අස්සෙන් ඒක කොහොම හරි කියා ගත්තා....
" ඒ ගෑනිට වෙන ළමයි නෑ පොඩි පුතේ......" මට වෙන ප්‍රශ්න අහන්න විදියක් නෑ.... ඒත් ප්‍රශ්න වැලක් මගේ හිතේ තියෙනවා... මම ඒවා තාත්තාගෙන් කොහොම අහන්නද මගේ කට හඬ උඟුරෙන් උඩට එන්නෙ නැතුව..... අඬන එක හරිම අමාරු දෙයක්.. පපුව දැවිල්ල අරගෙන පිච්චිලා යනවා... මේ මොකද්ද මට සිද්ද වෙලා තියෙන්නේ... මට උදව්වක් කරන්න මේ ලෝකේ මොකෙක්වත් නැද්ද?... මට තවත් ඇඬෙනව නවත්ත ගන්න බෑ......











Friday, December 10, 2010

93 කොටස


ලියුම අරගෙන ගිහින් මගේ කාමරේ මේසෙ උඩින් තියලා. ෂර්ට් එකක් දාගෙන එළියට බැස්සේ ඔළුවේ වැඩ කරන නහර වලට එක්ස් සයිස් එකටත් එක්ක. තාරකා නැතුව ක්ලාස් යන එකේ තේරුමකුත් නෑ. මොකෝ මම ක්ලාස් යන්නේ ඉගෙන ගන්නද නෑනේ.... අනේ මන්දා මේවා මෙහෙම ගිහින් කොහොම වෙයිද කියලා පාන් වලට අනපු පිටි වලින් තෝසෙ කෑවා වගේ වෙයිද දන්නේ නෑ. ලිහිණි මදිවට තාරකා, දැං තව ඇලිස් කෙනෙක්. කොල්ලා බවලත් අය අතර බලවත් වෙලා බලාගෙන යනකොට. ඒත් අක්කගෙ ලියුම තිබ්බ සමහර දේවල් කොල්ලගේ බොක්කටම තට්ටු කරලා. නංගි භානුකයා නැතුව ඇත්තේ ෆුල් අබ්ලික් එකේ. මට මෙහෙම බස් එකේ නැගලා කොළඹ යන්න හිතෙනවා. ඒත් යකෝ හැමදාම වගේ මගේ සාක්කු හිස්. ගෙදරට තියා අපායටවත් යන්න තුට්ටු දෙකක් අතේ නෑ. බස් පාරට ලඟ තියන බෝක්කු කෑල්ලේ ඉඳගෙන පාරේ යන කෑලි දිහා බල බලා මම ගැනම මම කල්පනා කරද්දි ඈත් මොක්ද්ද හුරු පුරුදු වාහනයක් එනවා දැක්කා. වැඩිය දඟලන්නේ නැතුව මම එන එක මීටරේට එනකන් ඔහේ හිටියා. මෙන්න මෙ දැරැහැව ඇවිල්ලා මගේ ලඟ නතර උණා. කවුද අප්පේ අළුත් කෑමක්වත්ද? මම ටක් ගාලා හිට ගත්තා...
"පොඩි පුතා....." අප්පටසිරි මේ වාහනෙන් බහින්නේ තාත්තා නේද? දෙයියෝ සාක්කි මේ තාත්තා තමයි. මේ අමාත්‍යංසේ වාහනේනේ.. දැක්ක කල් කොහෙද ඉතිං දැං මෙහෙම වාහනයක් තියා මොරිස් කට්ටක් දකින්නෙත් කොච්චර අමාරුවෙන්ද?
"තාත්තා මෙහෙ....."
"අමාත්‍යංසෙ වැඩකට මම මේ ලඟට ආවා... මේ ටිකක් ආවා කට්ටිය බලලා යන්න.... මොකද මෙතනට වෙලා කරන්නේ...?" මම ඉතිං මෙතනට වෙලාත් හිතුවෙ ගෙදර ගැන කියලා කිව්වොත් චාටර් නේ....
"ගෙදර ඉන්න කම්මැලුයි එළියට ආවා...."
" මම ඒ පැත්තේ යනවා...."
"හරි යන්න.... " මම ඉතිං අල්ල ගන්නයෑ....
"විභාගෙත් ලඟයි නේද?"
"ඔව් තව මාස දෙකයි" ප්‍රශ්න අහන ඒවාට වැල් වටාරම් නැතුව උත්තර දෙනවා...ඊට වඩා දෙයක් නෑ
"දැං පාඩම් කරනවා ඇතිනේ..." තාත්තාත් අමාත්‍යංසේ වාහනෙන් ආව නිසාද කොහෙද ගෑස් බැහැලා. දැං ඔය අහපු ප්‍රශ්නේ වෙන දවසක නම් අහනවාද? ඕකට දෙන්න උත්තරයක් මට එදාත් නෑ අදත් නෑ.
"ඔව් පාඩම් කරනවා ඇති." මම වෙන මොනවා කියන්නද?. තාත්තා වාහනේ ඩ්‍රයිවරයාට නෝණ්ඩි වෙන නිසා යන්න හැරුණා.
"අම්මා කජු අළුවා වගයක් හදලා දුන්නා මම නැන්දාලාගේ ගෙදරින් තියනවා" එළකිරිනේ... අම්මා මට කොච්චර ආදරේද බලන්න...
"හා.........." කෝ මෙයා මට විභාගේ ඉවර වෙලා එන්න කියන්නෙ නෑනේ....මොකුත් නොකියා තාත්තා එතනින් වාහනේ නැගලා ගෙවල් පැත්තට ගියා. මම ගෙදර යන එකත් දැං තත්වෙට හොඳ මදි.මොනා කරන්නද මන්දා.... පොඩ්ඩක් වෙලාවක් ආයෙත් බෝක්කුව උඩම ඉදගෙන හිටියා. මම මේ මොනාද කරන්නේ. මට නම් තේරෙන්නේ නෑ. ඔන්න ඒපාර රෝද තුනක් මගේ ලඟ නතර උණා. කවුද ඒපාර මේකෙන් බහින්නේ. මම ටිකක් එඹිලා බැලුවා. තාරකා.....
"තාරකා.........."තාරකා යන්තම් හිනා වෙලා පාර දිගේ යන්න ගත්තා.... බලාපල්ලාකෝ මෙයාගේ අඩම්බරේ.... ඇත්තමයි මේ වෙලාවට තමයි හිතෙන්නේ උස්සලා පොලවේ ගහන්න
"ඔහොම පොඩ්ඩක් ඉන්න බැරිද..? අඳුනන්නේ නෑ වගේ යන්නේ" තාරකා එතන හිට්ටා.... මම එතනට අඩියට දෙකට පැන්නා....
" ඩයිනමයිට් එක කෝ....."
" එයාලාගේ අත්තම්මාලාගෙ ගෙදර නැවතුණා..."
"ඉතිං ඔයා ආවේ....?"
" අද හවසට පන්තියට යන්න තියන නිසා...පොතක් ටිකක් බලාගන්න"
"මාත් එක්ක තරහින් ඉන්නේ ඇයි?"
"මම තරහා නෑ..."
" ඩයිනමයිට් එක මාත් එක්ක ඉන්නේ නයා සහ මුගටියා ගානට.... ඔයාව අවුල් කරන්න මම කිසි දෙයක් කිව්වේ නෑ... ඇත්තම කිව්වොත්..." ඔන්න කොල්ලා වක්කඩ ඇරියා වගේ ඇත්ත කියාගෙන කියාගෙන යන්න එන්නේ... හදිසියේම බ්රේක් එක ලෑල්ලට පෑගුවේ නිකන් චාටර් වෙන්න යන නිසා. 
"ඒ කිසි දෙයක් දැං වැඩක් නෑනේ තෙනුර...."
"ඒකනේ......  තාරකා අපි අද යන සර් ගොඩාක් දේවල් ඔයාලගේ අතීතය ගැන දන්නවා......."
"මොනාද?"
"ඔයාලගේ අම්මා තාත්තා... ගැන"
" ඔයා කොහොමද දන්නේ....?"
"සර් මගේ ෆිට් එකනේ...."
"ඔයා සර්ට මම ගැන කිව්වද?"
"පිස්සුද?.... ඔයා හසංකවත් හම්බ වෙන්න හරිද...? මිනිහා නරක නෑ.. මිනිහා දන්න දේවලුත් පුලුවන් තරම් එළියට ගන්න බලන්න..."
"මම හසංකට කැමති නෑ.... අනික මම දැනගෙන හිටියේ නෑ අක්කා හසංකට ඔච්චර කැමතියි කියලා"
" මේ කෙල්ලො නම් අනේ මන්දා.... කමක් නෑ... දැං හිතන අය එහෙම හිතලානේ.. ඕවා වෙනස් කරන්න අපිට පුළුවංද?"
මම තාරකා එක්ක ගෙවල් පැත්තට පාවෙන්න පටන් ගත්තා....
" මම උණත් එහෙමයි..... "
"ඔයා විතරක් නෙවෙයි තාරකා... අපි උණත් එහෙමයි...., අපි ඔක්කොම එකම අච්චුවෙන් බාපු ගල් බනිස් වගේ...."
"එදා සිද්ධියට මමයි වැරදි..."
" මොන සිද්ධියටද?"
"ඒක අමතක කරමු"
"හරි ආයේ බොරු නොකියා මම මේ කියන්නේ එදා ඔයාට මම මොනා කිව්වද කියලා මට මතක නෑ තාරකා.. මට බය හිතුනේ මම හසංක ගැන ඔයාට බැන්නද කියලා... ඒකයි මම කිව්වේ කියපු හැමදේම අමතක කරන්න කියලා....."
"ඉතිං මම අමතක කලා"
"මම ඔයාට බැනලා ඔයාගෙ හිත එදා රිද්දුවෙ නැත්නම් ඉතිං කිව්ව දේවල් අමතක කරන්න එපා... වැඩේ තියෙන්නේ මම මොනාද කිව්වේ කියලා විතරක් මට කියන්න...." ඒ කතාවට තාරකාගේ මූණට හිනාවක් ආවා.. අනේ අර කම්බුලේ වල.... ආසාවේ බෑ.. කොච්චර කාලෙකට පස්සෙද දකින්නේ....


අපි ගෙදරට යනකොට තාත්තා නැන්දාත් එක්ක බර කතාවක්. මම තාරකා එක්ක ගෙට ඇතුල් වෙනවා දැකලා තාත්තා හොරෙන් තාරකා දිහා බැලුවා. තාත්තාට තියෙන්නෙත් මට වගේම පොර කුකුල් බැල්මක් තමයි.
"පොඩි පුතාට තාත්තා ලෑස්ති වෙන්න කියන්නේ ගෙදර යන්න...." මේ මොකෝ මේ හෙන ගෙඩිය දැං මට කටක් ඇරලා කිව්වාද එන්න කියලා. ෂුවර් එකට නැන්දා ගින්නක් දීලද කොහෙද
"දැං...?"
"ඔව්...." නැන්දාමයි කතා කරන්නේ..... මම කොහොමද දැං යන්නේ.. වැඩේ ලස්සනට ගොඩ දාගත්තා විතරයි
"හදිස්සියේම"
" නෑ දවස් දෙක තුනකට...." තාත්තා ඔන්න කට ඇරියා...
" මට හැබැයි නීති එක්ක ඉන්න බෑ...." ඉල්ලුම තියනකොටලු අපේ ඩිමාන්ඩ් එකත් වැඩ කරන්නේ.... ඔන්න ඔහේ මගේ අරව මේවත් දාලා බලනවා.
"හරි යමංකෝ ගෙදර.... මොනාද වෙන්නේ කියලා මම කියන්නම්" ඇයි හත්දෙයියනේ අර පාරෙදි තිබ්බ සාමකමී මොකද්ද එක මෙතනදි නැති හැටි. ආයේ මට අර මොකද්ද එකට වගේ බය හිතෙන කට හඬින් කතා කරන්න අරං. මම යන්දෝ නොයන්දෝ කියලා මේ හිතන්නේ... මේ තියන තත්වෙ හැටියට තාරකාව දාල යන එකත් ඇඟට ගුණ නෑ. ඒත් දැං තාත්තා ඇවිල්ල යං කියනකොට ඇඟ කිලිපොලා යනවා බයට. මොන සිංහ වෙස් ගත්තත් තාත්තා ඈනුමක් ඇරිය ගමන් කොල්ලා සැරෙන්ඩර්... අනේ ඇත්තමයි උප්පතියෙන්ම මට තාත්තා ඉස්සරහා ගට නැති හැටි බලපල්ලාකෝ මම කාමරේට ගිහින් ඇදුම් දෙක තුනක් බෑග් එකට දාගෙන නැන්දාගෙ ඇහැවහලා ඩයිනමයිට් එකේ කාමරේට රිංගුවා. 
"තාරකා....." හිමින් සැරේ කතා කලා. තාරකා අතත් බෙල්ලේ එල්ලගෙන පොතක් හොයනවාද කොහෙද
"තෙනුර මෙහෙම කාමරේටෙ එන්න එපා කුමාරි ඇන්ටි දැක්කොත් මට විසුමක් නැති වෙනවා..........."
"මට කොළඹ යන්න වෙලා"
"මම දන්නවා...."
"මම ගිහින් එනකන් මොන අවස්තාවකදිවත් මෙහෙන් යන්න හදන්න එපා... මොනා කිව්වත් මෙහෙ ඉන්න ඕනේ..."තාරකා පුදුමයෙන් මගෙ දිහා බැලුවා
"ඇයි ඔයා එහෙම කියන්නේ තෙනුර"
"මම එහෙම කියන්නේ එහෙම කියන්න ඕනේ නිසා"
"මට කියන්න... ඔයා දැං ඔය යන්නේ ආයේ මෙහෙ එන්න බලාගෙන නෙවෙයිද කියලා"
"මම එනවා.. මම විභාගේ කරන්න ඕනේ නේ"
" එහෙනම් එතකන් මම බලාගෙන ඉන්නම්" තාරකාගේ ඇස් වල කඳුලු පිරෙන්න ගත්තා
" අද ක්ලාස් යන්න"
"හා.."
" අඬන්නේ නැතුව ඉන්න"
"හා"
" මම දැං ගිහින් එන්නම්"
"හා"
"තරහා නෑ නේද?"
"නෑ"
"මම හිතුවා ඒකටත් හා කියයි කියලා" තාරකා හිනා උණා
"මම ලිහිණිව මතක් කලා කියන්න"
"ලිහිණි...?"
"ඔව්" 
"හා මම කියන්නම්"
"ඔයා ලිහිණිවත් හම්බ වෙනවාද?"
"සමහරවිට" තාරකා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා
"හම්බ උණාට කමක් නෑ.. බීලා එහෙම එයා ලඟට යන්න එපා.. අන්තිමට එයාටත් මොනා කියයිද දන්නේ නෑ..."
"හොඳමයි මැඩම්...."
" මටත් දැං ඔයා පේන්න නැතුව ඉන්න බෑ" තාරකාගේ කතාවට මගේ රෝම කූප සර සර ගාල කුපිත වෙලා ගියා.... අනේ මට ඉඹගෙන ඉඹගෙන යන්න තිබ්බනම් උඹව කෙල්ලේ.... මටත් එහෙමයි කියන්න හදලා මම කිව්වේ නෑ.
"මම ඉක්මනට එනවා... " මම කාමරේ ඉඳලා ආපහු හැරුණා විතරයි දොර රෙද්දෙන් එහා පැත්තේ හොල්මනක්.............. මම පටස් ගාලා දොර රෙද්ද මෙහාට කරලා බැලුවා...
"තාත්තේ......" මට ඉබේටම කියවුණා.....