පිටුව

Tuesday, August 31, 2010

62 කොටස


කසුන් අයියාගේ මූණත් එක්ක නිල් පාට උණා මාව දැකලා. මම මේ රාජකාරියකට බාදා කිරීමක්ද මන්ද?මේ අහංසක කෙල්ලයි රහස් පොලිසියයි අතර සම්බන්දෙ මොකද්ද? මම මොකුත්ම දන්නේ නැති බූරු ආත්මයක් වගේ ලිහිණි ලඟට ගියා කසුන් අයියා උණත් වැඩිය සද්ද කරන්න ගියේ නෑ. ඒත් මම එයාව අඳුනන බවක් පෙන්නුවේ නැති නිසා මිනිහා හුස්ම ගන්න පටන් ගත්තා. ලිහිණි ඇස් දෙක උස්සලා මා දිහා බැලුවා. ඇයි හත් දෙයියනේ මේ මොන අපරාධයක්ද? අර රෝස මලක් වගේ තිබ්බ මූණට සබන් වතුර ඉහලා වගේ මැලවිලා ගිහින්... ඇස් දෙක වටේ කළු පාටට බංකර් බැඳලා.ඇත්තටම ලිහිණි අවුරුදු දහයකින් විතර නාකි වෙලා වගේ. මේ ඔයාට මොනාද උනේ ලිහිණි.... ඒ මොනවා උණත් ලිහිණි මගේ දිහා බලලා අමාරුවෙන් හිනා උණා. මගේ පපුව පැලෙන්න වගේ ගියා...
"ලිහිණි...." මගේ කටහඬත් ඇහෙන්නේ මාළු ටැංකියක් ඇතුලෙන් ඇහෙනවා වගේ. උඟුරටත් කොහෙන්ද ආපු බැරැන්ඩියක් ඇවිල්ලා... මම තවත් ලිහිණිට ලං උණ නිසා කසුන් අයියා අපෙන් පොඩ්ඩක් ඈත් උනා.... එයා අපි දිහාට දැම්මේ මාර බැල්මක්....මම වැඩිය හිතන්නයි නැකත් බලන්නයි ගියේ නෑ හිතේ තිබ්බ මෙව්වා එකටම ඉබේටම වගේ ලිහිණිගේ අත ඇල්ලුවා. මගෙ හිතත් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි ලිහිණිව මෙහෙම දැක්කාට පස්සේ...
" ඔයා මේ මොකද කරගන්නේ ලිහිණි...?" ඇත්තටම ඒක එයාගෙන් අහලා තේරුමක් නෑ... මොකෝ මේ එයා හිතලා කරගන්න දෙයක්යෑ...
"ආයේ මාව දාල යන්න එපා තෙනුර..............." ලිහිණි හෝ ගාලා අඬන්න ගත්තා.... පිස්සු හැදෙනවානේ... දැං කියපංකෝ මම දාල ගිය නිසා පිස්සු වැඩි උණේ කියලා. කොහොමත් මම ටැප් අරිනවාට කැමති නෑ. ලිහිණි මේ තත්වෙන් ඉඳං මෙච්චර ප්‍රෙෂර් එකට ටැප් එක අරින එක මට කොහෙමත් බලගෙන ඉන්න බෑ. ඒ අස්සේ කසුන් අයියාත් මගේ දිහා බලාගෙන ඉන්නවා අන්දකප්පු පාන් එකේ ගාගෙන කාලා වගේ.
"හරි මම යන්නේ නෑ... දැං ආවානේ.. දැං අඬන එක නවත්තන්න..." බැරිම තැන මම කිව්වා ....නැවතීමේ ලකුණක් නෑ.. තව අඬනවා.අනේ දෙයියනේ මට එක දවසකට හරි සක්‍රයා වෙන්න චාන්ස් එක හම්බ උණොත් මම මුලින්ම කරන්නේ මේ කෙල්ලොන්ට අඬන්න බැරි කරන එක.
" ඇත්තටම මට ඔයාව හිනස්සන්නත් ආසයි" ඇයි හත් ඉලව්වේ ඒකටත් මෙයා අඬනවානේ...
"මාව මෙහෙන් අරං යන්න.. තෙනුර..." ඒ වචන ටික මාව අංස කචල් කලා.... කවදාවත් මම ලිහිණිගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු උණේ නෑ.... කසුන් අයියාටත් අහන් ඉන්න බැරි කමටද කොහෙද කාමරෙන් එළියට ගියා.
" ඔයා සනීප වෙන්න මුලින්ම"ලිහිණි කඳුළු ටික පිහ දාල හිනා උණා. ඕකනේ කියන්නේ ....කෙල්ලොන්ට මේ අඬලා අඬලා පොකට් එකත් අරින්නත් පුළුවන්. 
"මට අසනීපයක් නෑ තෙනුර..අර දොස්තරව එළියට යවන්නයි මට ඕනේ උනේ.... ඒකයි මම ඔයාට අරං යන්න කිව්වේ" 
"හරි හරි ඔයා ඉස්පිරිතාලෙන් ගෙදර යන්නකෝ...ඊට පස්සේ බැරියෑ අරං යන්න"
" මට ඕනෙ අම්මා ලඟට යන්න ...මට උදව් කරන්න තෙනුර... මට ඔයාව විශ්වාස කරන්න පුළුවං" ඔය ඉතිං බැරි දේවල්නේ ඕනේ.... ලිහීණි ලෙඩ උණේ අම්මා මැරුණයින් පස්සේ කියනවානේ... ඒත් මේ අහිංසකීට ඒක මතක නැති හැටි.
"ඔව් ඔව් අපි අම්මා ලඟට යමුකෝ"
"ඔයා හිතන්නෙත් මට පිස්සු කියලා නේද තෙනුර?" ලිහිණි කතා කරන්නේ කලින්ට වඩා සිරා විදියට... කඳුළු එහෙම වේලිලා... එක පාරටම මාර වෙනසක්
" කවුරුත් එහෙම හිතන්නේ නෑ නේ ඔයා ගැන...."
" හැමෝම හිතන්නේ එහෙමයි..... මට හැමෝම එහෙම හිතන එකමයි කර ගන්නත් ඕනේ... ලොකුම ප්‍රශ්නේ භානුකත් මට පිස්සු කියලා හිතන එක" මේ මොන හතර බීරි ස්ටෝරි එකක්ද? 
" ලිහිණි ඔයා දැං රෙස්ට් කරන්න ඕනේ මම හිතන්නේ" හොඳම දේ මෙයාව නිදි කරවන එක....
" තෙනුර මාව විශ්වාස කරන්න මට පිස්සු නෑ.... කවදාවත් මට පිස්සු තිබුණේත් නෑ... මම මෙහෙම ඉන්නේ මාව බේර ගන්න..."
"මට තේරෙන්නේ නෑ ලිහිණි මේ මෙලෝ දෙයක්..."
"අම්මා මැරුණේ නෑ... එයා ජීවතුන් අතර.. ඒක මම විතරයි දන්නේ... තාත්තා අම්මාව මරන්න හදනවා කියලා දැනගෙන අම්ම ගෙදරින් පැනලා ගියා..."මේ මොන හරුපයක්ද
"එතකොට අම්මා මැරුණා කිව්වේ...?" 
" ඔව් එයා අනිත් හැම කෙනෙක්ටම මැරිලා ඒත් මටයි තාත්තාටයි එයා මැරිලා නෑ..."
"මට තේරෙන්නේ නෑ... ඇයි ඔයා මේ ඉස්පිරිතාලේ හිර වෙලා ඉන්නේ...?'
" මේ ඉස්පිරිතාලෙයි මාව බේරගන්නේ තෙනුර... මම පිස්සෙක් වෙන තාක් කල් මට ජීවත් වෙන්න පුළුවන් වෙයි.... මම තාත්තා එක්ක තනි වෙන හැම වතාවකම තාත්තා මගෙන් අහන්නේ අම්මා කෝ කියලා..."
"ඔයා අම්මා ඉන්න තැන දන්නවාද?"
"ඇඩ්‍රස් එකක් තියනවා... ඒත් මට යන්න විදියක් නෑ... භානුකට කියලා වැඩක් නෑ... එයා හිතන්නේ මම පිස්සුවෙන් කියවනවා කියලා...අනික භානුක කවදාවත් මම කියන දේ විශ්වාස කරන්නේ නෑ"
"ලිහිණි.... මම මොනාද දැං කරන්න ඕනේ....?" 
"අම්මාට පණිවිඩේ දෙන්න.. එයා ඉන්න තැනකට මමත් එනවා කියලා කියන්න..." මට ඔක්කොම පැටලිලා... මෙයා අම්මා මැරුනේ නෑලු භානුකයා කියනවා අම්මා මැරුණාලු.. බලාගෙන ගියාම යකෝ මටද පිස්සු
"පැනලා ගිය මනුස්සයෙක් මැරුණා කියලා ඔප්පු කලේ කොහොමද ලිහිණි..?"
" අම්මා මැරුණේ ගිනි තියාගෙන කියලා ප්‍රසිද්ධ කලාට ඒ මලේ අම්ම නෙවෙයි.."
"එහෙනම්...?"
" තාත්තා අපේ ගෙදර වැඩ කරපු ආයාව ගිනි තිබ්බා තෙනුර.....?" ලිහිණි ආයෙත් අඬන්න ගත්තා.... මට නම් තනිකර වැම්පයර් කතාවක් බැලුවා වගේ.... මාව සෑහෙන්න පැටලිලා... මේක පොලිසියට යන්න ඕනෙ කතාවක්... සමහර විට කසුන් අයියා හොයනවා ඇත්තේ ඒක.... 
" මට ඔයා කිව්ව ඇඩ්‍රස් එක දෙන්න... මේ කියන විදියට ඔයා මෙහෙ ඉන්න එකත් එච්චර සුභ නෑ..." ලිහිණි කඳුළු පිහ දාගත්තා...
"ඔයා හෙට එනවා නේද?"
"ඔව් මම ෆුල් ට්‍රයි කරනවා..." මම ඒකිව්වේ ඇත්තටමයි.... තාරකාගේ ප්‍රශ්නේට වඩා ලිහිණිගේ ප්‍රශ්නේ බරපතලයි..... මේකට මම කොහොම හරි සපෝට් එකක් දෙන්න ඕනේ... මේ පෝසත් උන්ගේ වැඩේ ඇන කොටා ගන්න මරා ගන්න එක වෙච්චි... අනේ මන්දා... ඒත් එක්කම භානුකයයි ගැන්සියයි කාමරේට කඩාගෙන ආවා
" ලිහිණි කතා කලා කියලා ඩොක්ටර් කිව්වා..." භානුකයාගේ මූණ කාර්නිවල් එකක් වගේ. ලිහිණි සද්ද නැතුව බිම බලාගත්තා...
"කතා නම් කලා එක පාරක් ඊට පස්සේ ආයේ සද්දේ වහලා" මම හොඳට කල්පනාවෙන් කතා කලා...ලිහිණි කියන්නේ ඇත්තක් වෙන්න පුළුවං ඒකයි එයා මෙච්චර දුක් විඳින්නේ.මට  හිතෙනවා කාට නැත්තත් මට නම් ලබලා තියෙන්නේ බරපතල ග්‍රහයෙක් කියලා.
"එහෙමවත් ලිහිණි මෙ ටිකේ කතා කලෙ නෑ... උඹට හැමදාම එන්න පුළුවං නම් ලිහිණි ඉක්මනට සනිප වෙයි..."
"මම හෙටත් එන්න බලන්නම්කෝ..." මම භානුකයාටත් තට්ටුවක් දාගෙන ආයෙත් ලිහිණි දිහා බැලුවා... ලිහිණි මගේ දිහා බලලා ලාවට හිනා උණා.. ඒක මට දිරෙව්වේ නම් තැන්ක් යූ කිව්වා වගේ කියලා. මම ගැන්සියත් එක්ක කාමරෙන් පිට උනා. මගේ හිතට නිකන් පිස්සු මෝදු වේගෙන එන සීන් එකක් දැනෙන්න අරන් ඇඟටත් මාර අවුල්... කිඩ්නිය උණත් හරියට වැඩ කරන්නේ නෑ 
"මයියා අවුල් වෙන්න එපා අපි ලිහිණිව කොහොම හරි ගොඩා දාගන්න බලමු.." බුවා මගේ කරට අත දැම්මේ ඒ වෙලාවේ... අපි ඉස්පිරිතාලෙන් එළියට යන්න හදනකොටම මම දැක්කේ කසුන් අයියාව
"මල්ලි..." මම මොකුත් කියන්නෙ නැතුව පොර දිහා බැලුවා
"කසුන් අයියා තව ලෙඩ්ඩු එහෙම බලන්නේ නැද්ද?"
"මල්ලි දැං ගෙදරද යන්නේ....?"
"ඔව් එහෙම තමයි හිතාගෙන ඉන්නේ"
"හරි මාත් මල්ලි එක්ක ආවොත් දිමත්වත් හම්බ වෙලා යන්න පුලූවංනේ.... පොර ගැන්සිය දිහා බලන ගමන් මට කිව්වා. මමත් ගැන්සිය දිහා බැලුවා මුං අද දවසේම මාත් එක්ක කාපු ඉම්පෝටර්ඩ් කට්ටේ හැටියට දාල යන්නත් දුකයි. ඒත් භාණ්ඩාගාරේ හැටියට මුන් ඔක්කොමව ස්පොන්සර් කරන්නත් මගේ අතේ සම්තින් නෑ.
"උඹ පලයං මයියා..... අපි මෙහෙමම ගෙදර යන්නං" බුවා එහෙම කිව්වට මම හැලපයා වගේ අනිත් උන් දිහාත් බැලුවා උන්ගෙන් දැක්කෙත් එහෙම එකක්. මම කසුන් අයියා එක්ක ඉස්සරහාට ආවා.
"මල්ලි ඔය කෙල්ලව කොහොමද දන්නේ...?"
"එයා මගේ යාළුවෙක්"
"විශේෂ යාළුවෙක් බව නම් පැහැදිලියි"
"එහෙම විශේෂයක්නම් නෑ... අයියාට මොකද්ද එයා එක්ක තියන ඩියුටි එක?"
"ඒක නම් කියන්න ටිකක් අමාරුයි...මොනා උණත් මට මල්ලිගෙන් උදව් දෙකක් ඕනේ" ඒ අතරතුර කසුන් අයියා මාව එක්කන් ගියේ බස් හෝල්ට් එකට..... ඈ යකෝ සී. අයි. ඩි කියන්නේ සීනි සංස්ථාව වගේ බංකොලොත් වේගෙන යන දෙපාර්තුමේන්තුවක් වෙලාද? මම බලාපොරොත්තු උනේ ඒ සී කරපු වාහනයක්, ඒ තියා පොරට බයිසිකල් කට්ටක්වත් නෑනේ. මූත් යන්නේ පාරේ බෙන්ස් එකේ...ෆුල් ඔප්ෂන්. ලැජ්ජාවේ පණ යනවා.
"මොකදද?"
"පළවෙනි එක මාව හම්බ උණේ කොහෙදිද කියලා කාටවත් කියන්න එපා... දිමත්ට උණත් මාව හම්බ උණා නොකිව්වට කමක් නෑ.. වැඩේ ඉවර උණාම මම ඌට කතා කරලා එන්නම්.... අනික ඔය කෙල්ල කියන හැම වචනයක්ම මට දැන ගන්න ඕනේ.. ඒක මට ලොකු උදව්වක් මගෙ වැඩ වලට" මම මොකුත් නොකියා බස්සා වගේ ඔළුව වැණුවා. කසුන් අයියා අපරාදේ කියන්න බෑ ගෙවල් ලඟට එනකන්ම මාව බස් ගාස්තු වලින් ස්පොන්සර් කලා...
ගෙදර ඇවිල්ල මට කන්න සිහියක් තිබ්බේ නෑ.... ඔක්කොම දේවල් එක පාර ඔළුවට එන්න ගත්තා. මුලින්ම මට ලිහිණි ලියුමක් දෙනවා හාල්පාරුවෙක්ට ගිහින් දෙන්න කියලා... මම ලියුමේ තියන දේවල් කටින් කියලා අම්බානකට කනවා... පස්සේ ලිහිණි එක්ක ෆිට් වෙනවා.. ඒක වැඩි වෙලා ආයේ ගුටි කනවා පාතාලයාගෙන්... කොල්ලා ඒක නිසා යනවා කෑගල්ලේ... ගියාම ලිහිණිගේ කපාපු පළුව තාරකාව හම්බ වෙනවා. එයාගේ සැඟවුණු රහස් දැන ගන්නවා. එයා තාත්තාගේ මිනී මරුවව හොයනවා, ඒකට උදව් ගන්නවා සමරනායකගෙන්.... බලනකොට සමරනායකයා පාතලේ බුවෙක්.... ඌ ගැන හොයන්න කියලා භානුකයා හම්බ වෙන්න යනවා එතකොට ලිහිණි තව කතාවක් කියනවා... කොල්ලා ආයේ හිර වෙනවා. මේ ඔක්කොම නූල් බෝලයක් වගේ එකට පටලැවිලා තියෙන්නේ... ඒ අස්සේ ලිහිණි පිටිපස්සේ සී අයි ඩී එකෙන් ඉන්නවා.... ලිහිණිව පාව දෙන්න මට බෑ... ඒත් සී අයි ඩී එකට කොකා පෙන්නලා හතරවෙනි තට්ටුවේ පඩි ගණන් කරන්නත් මට බෑ. හත් දෙයියනේ මට උනේ මොන අපරාදයක්ද?
" මොකද බං උඹ කන්නේ බොන්නේ නෑ කියලා අර අම්මා හූල්ලන්නේ...?" අප්පටසිරි අයියාත් වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා
"ඒක මම කොහොමද දන්නේ ලොක්කයියේ...?"
"ගිහිල්ලා කාපං.."
"බඩගිනි නම් නෑ"
"උඹ ආයේ ප්‍රශ්නෙක පැටලිලාද කියපං?"
"පිස්සුද මට මොන ප්‍රශ්නද උඹලාට මාව ප්‍රශ්නයක් මිසක්"
"කාටද බං උඹව ප්‍රශ්නයක් වෙන්නේ.... මට පේන හැටියට උඹ ඉන්නේ මොකක් හරි ගැටළුවක"
"එහෙම අවමඟුලක් නෑ බං...." ලිහිණි මතක් වෙනකොට නම් හිත මෝචරියක් වගේ ඒත් ඒක වෙනම කතාවක්නේ
"උඹ ආයේ අවුලක වැටෙන්න එපා මයියා... උඹ නොදන්නවා උණාට මේ ගෙදර හැමෝම උඹට එක වගේ ආදරෙයි"
"ඒක ඉතිං මම දන්නේ නැතුවෑ... ඕවට මට හිනා හැබැයි"
"ඉතිං හිනා වෙනවා...."
"ඒක නෙවෙයි මම අද අයියාගේ ෆිට් එකක් දැක්කා"
"කවුද?"
"කසුන් අයියා...."
"කොහෙදිද දැක්කේ?" අයියා පොඩ්ඩක් අවුල් උණා
"උඹත් එක්ක කතා කලාද?"
"නෑ නෑ නිකං පාස් වෙනවා දැක්කේ.." කසුන් අයියා ඉල්ලපු ඉල්ලීම් ගැනත් හිතලා මම එහෙම කිව්වා. අනික මම කියන්න ඕනෙ යෑ එයා සී අයි ඩී කියලා මහලොකු කජු කිරි යාලුවෝ නම් මෙයා දන්න එපෑ
" ඔව් කතා කලේ නැති එක හොඳයි.... ඕක මොකද්ද හුටපටේකට අවුරුදු 3ක් හිරෙ ලැග්ගාලු... ඊටත් වඩා ඕකා ගංජා පප්පා.. උඹ දැක්කත් කතා කරන්න යනවා එහෙම නෙවෙයි.... ඕකුන් ඉස්සර ෆිට් බව ඇත්ත ඒත් දැං අනිත් උනුත් ඕකව වැද්ද ගන්නේ නෑ" මේ මොන හරුපයක්ද? අයියා මෙ කියන්නේ වෙන කසුන් කෙනෙක් ගැනද දන්නේ නෑ. මගේ ඔළුව දැං නම් යකාගෙන් ණයට ඉල්ලගත්ත ෆුට් බෝල් පිට්ටනිය වගේ





Monday, August 30, 2010

61 කොටස



මමයි ටොලයි හරියට පන්සලේ කණු දෙක අල්ලන් ඉන්න බහිරවයෝ වගේ පාෂානභූතයෝ උණා. සුළියත් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලනවා. 
"මිසිස් සමරනායකද?" මෙහෙම ඉන්න එක පිරිමි කමටත් හිරිකිතයි
"ඒ ඉස්සර.... ඔයාලා කවුද?" අප්පාටසිරි සිංහලද ඉංග්‍රීසිද මොනාද භාෂාවක් තමයි කතා කරන්නේ... දිවත් උළුක් වෙනවා
" අපි ආවේ මැඩම්ව හම්බ වෙන්න තමයි..... " මෙයාට මාර හිනාවක් ගියා
" මොකක් හරි ඕඩර් එකක්ද? යමු අපි ඇතුලට ගිහින් කතා කරමු" ටොලා මට ඇඟිල්ලකින් අනින්න ගත්තා. මටත් තේරුණා එන පොට එච්චර හොඳ නෑ කියලා. මොකද රත්තරං හරි මොනා හරි වළලු දැම්ම අතකින් ගුටියක් කෑවොත් සුළු පටුද? අපේ පරම්පරාවංශයෙත් ලියවෙයි රන් අකුරෙන්.
"නෑ නෑ මැඩම් පරක්කු වෙනවා... ඇත්තම කියනවා නම් අපි ආවේ කම්ප්ලේන් එකක් කරන්න...." මගේ වචන ටිකට ගෑනි කොර උණා. දැං වටපිටත් බැලුවා.
"මෙහෙම කතා කරන එක හොඳ මදිනේ අපි ඇතුලට යමු මිස්ටර්...." තව පොඩ්ඩෙන් අර ගෑනි මට දණගහලා වැදලා අයියාට වඳින ගාථාව කියනවා. ශබ්ද නගා....
"එහෙම නෙවෙයි මට ඇත්තටම පරක්කුයි.... ඔයාගේ අර කැබින් එකේ දාගෙන ඉන්නේ සර්පයෙක් මැඩම්..."
"සර්පයෙක්........ස්නේක්......." බුදු අප්පේ තනිකර ඉංග්‍රීසි පාඩමක්.... දැං මෙතනට මේ ගෑනි ගිනි නිවන හමුදාව ගෙනෙයිද දන්නේ නෑ නයා අත්තඩංගුවට ගන්න. නයෙක් නැති කැබින් එකේ අපි දෙන්නට තමයි පෙනේ පුප්පන්න වෙන්නේ.
"නෑ නෑ... මැඩම් කලබල වෙන්න එපා..... නයෙන් නෑ... අපි කිව්වේ මැඩම්  යනකන් ඉඳලා අර ඇතුලේ ඉන්න මිනිහා හොරකන් කරනවා...." සුළිය ටිකක් ගැස්සුනා. වීදුරුව අස්සෙන් දැම්මා ලේසර් බැල්මක් අර පොර දිහා... අරුත් කලිසම තෙමාගෙනද දන්නේ නෑ. තව ටිකක් වෙලා හිටියොත් අපිවත් තෙමිලා යන්න පුළුවන්.... වැහි දිය මහා බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරක් නොවෙච්චි..... 
"අපේ යුතුකම අපි කලා.... අපි ගිහින් එන්නම් මැඩම්...." මම ශේප් වෙන්න බැලුවා
" තැන්ක් යූ කරපු උදව්වට.... මිසටර්ගේ නම...."
"මගේ නමද?" කාලා වරෙන්කෝ මගේ නම මොකටද මෙයාට... මොකෝ නම් ප්‍රසිද්ද කරන්න යෑ..... ඕකනේ කියන්නේ රම්පෙ ගහට නඟිනවා කියලා පොල් කඩන්න....
" ඔව් ඔව්... ලොකු හෙල්ප් එකක්නේ කලේ.... "
"අයියෝ ඕවා මොනාද.... නම මතක තියා ගන්න ඕනෙ නෑ.... මැඩම් ඕනෙ වෙලාවක ඕන වැඩක් කියන්නකෝ බබානිස් අය්යා කියලා... මේ බජාර් එකේ මාව නොදන්න කෙනෙක් නෑ... " බබානිස් කියලා එකෙක් හිටියොත් ඌටත් පිං අනුමෝදං වෙයි. කමක් නෑ අපි තව වැඩ මොකුත් පෙන්නන්නේ නැතුව එළියට ආවා.
සිකයි, බුවයි අපි දෙන්නා දිහා බැලුවේ යකෝ මුන් තාම යහතින්ද වගේ
" උඹලා මොනාද සුළියට කිව්වේ...?"
"අපි කිව්වා මචං.... උඹට එයාව දැකලා පිස්සු හැදිලා ඉන්නේ... භාර ගන්න උණත් කැමතියි කිව්වා කියලා" ටොලාට බඩ පැලෙන්න හිනා ඒක අහලා....  මෙතන දැං බයිලා ගහලා වැඩක් නෑ.. අපි දෙන්නා හොයා ගත්ත දේවල් මුන් දෙන්නාටත් කිව්වා..
" මචං ඒ කියන්නේ කතාව පැහැදිලි.... ඔය අර පප්පා කිව්ව පිනට හම්බ උණ බිස්නස් එක තාරකාගේ තාත්තාගේ..." බුවා කතාව පටන් ගත්තේ බස් ස්ටෑන්ඩ් එකේ ලස්සනට තියලා තිබුණ බංකුවකට පස්ස තියන ගමන්
"ඒක් කොහෙද ඇත්තේ...?" මම කල්පනා කලා
"තාරකා දන්නවා ඇතිනේ බං"
"නෑ ඒකි මොකුත් දන්නේ නෑ...." මට ඒක බුදු ෂුවර්
" සමරනායකයාගේ පුතා ඉගෙනත් ගන්නවා නම්.... ඕකත් ඇත්තේ මේ කොන්ක්‍රීට් භවනෙම තමයි. ඔතනට යන්න ක්‍රමයක් තියනවාද?"
"මයියා...... මට පොඩි අදහසක් ආවා....." බුවාට සූරන ක්‍රමයට අදහස් නම් එනවා... සූරද්දි කෙල්ලෙක් එහෙම දැක්කොත් තමයි ඔක්කොම කණපිට ගහන්නේ
"මොකද්ද?"
"සමරනායකයා ජයවීරගේ අතක් නම්... භානුකයා මොනා හරි දැනගන්න පුළුවං..." මූ අදහන්න වටිනවානේ... ඔව්ම නේන්නම්... හරි වැඩේ සිරා...
" ඔක්කොටම ඉස්සල්ලා කියපං මයියා උඹට භානුකයාව හොඳටම ෂුවර්ද කියල" සිකා මගේ කර වටේට අත දැම්මේ ඒකත් අහන ගමන්
" මට ඒකේ අවුලක් නෑ බං... ඒත් තාරකා ගැන භානුකයා දැන ගන්නවාට මම එච්චර කැමති නෑ"
"ඒ කියන්නේ උඹට පොඩි පහේ අවිශ්වාසෙකුත් තියනවා"
"මට අවිශ්වාසයක් නෑ... ඒත් ඕකා මොන විදියට හැසිරෙයිද කියලා මම දන්නේ නෑනේ.... එහෙනම් වරෙං අපි යං දැං ඉස්පිරිතාලේ...?" මම හිතපු තැනින් නැගිට්ටා
"මේ බබානිස් තමුසේ දැං ඉස්පිරිතාලේ යන්නේ කාගෙන් ගුටි කාලද?"
"හෝතඹුවෝ.... දැං වර ලිහිණිව බලන්න යන්න" මම ඈත් එන බස් එක දිහා බලාගෙන සාක්කුවට අත දැම්මා.  මුන් සෙට් එකටත් එක්කම බස් ගාස්තුවට කියලා තියෙන්නෙ මගේ ලඟ රුපියල් සීයයි.... මොනා හරි වැඩ කෑල්ලක් දාන්න බලනවා. කියලා හිතාගෙන මම බස් එකට අත ඇල්ලුවා.


අපි අර ඉස්පිරිතාලෙට යනකොට හවස 3ට විතර ඇති අම්බානකට බඩගිනි. කරන්න දේකුත් නෑ. රුපියල් සීයයිනේ හැමදේටම තියෙන්නේ.. මට ඉතිං මාර පව් කියලා හිතෙනව ගැන්සියත්. උන් මේ කට්ට සූප්පු කරන්නේ මම නිසානේ. මට නිකමටවත් මුන් බඩගිනි කියලා කිව්වේ නෑ. ඕකුන්ට බඩගිනි ඇති ඒත් උන් දන්නවා මට හිරෙන් නිදහස් උනාට මොකුත් සම්තින්ග් එකක් නෑ කියලා.
"මයියා... උඹ ඔහොම හිටපං... අපි කාමරේට ඔලුව දාල තත්වෙ බලාගෙන එන්නම්... හදිස්සියේ හරි ජයවීර හිටියොත්" බුවාගේ කිඩ්නිය සෑහෙන්න වැවිලා.. ඒ වගෙම බල්ලාට වගේ ඉව වැඩ කරනවා
"හරි මම මේකේ ඉන්නම්... හැම දෙයක්ම හරි නම් සිකාව එවපං පහලට..." මගේ අන්තිම කැමැත්තෙන් ගැන්සිය උඩට ගියා.මම තියලා තියන පුටුවක් උඩට වෙලා මනෝව ලඟට ගන්න ට්‍රයි එකක් දුන්නා. ඒත් එක්ක්ම හොඳට දැකලා පුරුදු ඩයල් එකක් ඇවිල්ලා කවුන්ටරේ නංගියෙක්ගෙන් මොනාද ඇහුවා, උසට උසේ... පොල් ගහක් වගේ... අපිට වඩා ඕනෙනම් අවුරුදු 8ක් විතර වයස පාටක් පේන්නේ... කොහෙද අප්පා මම මූව දැක්කේ....  ඩයල් එක දැකලා තියානවා ඒත් කවුද මතක නෑ... හරි බලමු පොර යන්නේ කොහෙද කියලා. මම හිමින්ම ඩයල් එක පිටිපස්සෙන් යන පැත්තට ගියා. කොහෙද යකඩෝ මම මූව දැක්කේ.... මම පස්සෙන් එනවා දැනිලාද කොහෙද පොර මගෙ දිහා බැලුවා. මට ඉතිං දුකටයි බයටයි සැපටයි හැම එකටම දාන්න තියෙන්නේ පනාව. ඒක දැම්මා. මේ ඩයල් එකත් මාදිහාම බලාගෙන හිටියා
" දිමත්ගේ මල්ලි නේද?" දිමත් කියන්නේ අපේ අයියා නේද? හරි මේ අයියාගේ ෆිට් එකනේ.... බඩුම තමයි. ඒකනෙ මට මතක.
"ඔව් ඔව්.. කසුන් අයියා...?"
"හරියට හරි... දිමත් කොහොමද ලංකාවට එන්නේ කවදද?"
"අයියා දැං ඇවිල්ලා සෑහෙන කාලයක්නෙ.... කසුන් අයියා මොනාද දැං කරන්නේ..."
"මම සී අයී ඩී මල්ලි.... "අම්මා තාත්තා දෙන්නවාම ජීවමානවම මතක් වෙලා ගියා. එසේ මෙසේද? ඒත් අපි කරන හොර වැඩ අහු උණොත් එහෙම....
"ඉතිං ඉතිං මල්ලි.... දිමත්ගේ නම්බර් එකවත් දෙන්නකෝ බලන්න"
" අයියෝ හා.... " මම ඉතිං අපේ ගෙදර නම්බර් එක පොරට දුන්නා. 
" අයියා හොස්පිටල් එකේ...?" මටත් ඕනෙ නැති දෙයක් නැති එකේ ඔන්න ඔහෙ අහලා දැම්මා. පොර එක්ක මට කතා කරන්න ආසයි අප්පා... 
"පොඩි වැඩකට ආවා.... ඩියුටි එකකට.... "
" හරි හරි... එහෙනම් මම යන්නද අයියේ...." 
"මට ඉඩ ලැබුණාම දිමත්ට කියන්නකෝ ඒ පැත්තේ එනවා කියලා"
"අනිවා මම කියන්නම්....." මොනා උණත් පොර එක්ක කතා කලාම මගේ බඩත් පිරිලා ගියා. ඒ අස්සේ ගැන්සියත් බඩ පිරෙන්න කනවාද දන්නේ නෑ. මම හිටිය තැනට යනකොට සිකා ඉන්නවා කජු පෙනුමක් හදාගෙන
"කොහෙද බං යන්නේ...?'
"අඳුනන කෙනෙක් දැකලා කතා කලා බං"
"කවුද?"
" අයියාගේ යාලුවෙක්... කොහොමද ලිහිණි ලඟ තත්වෙ"
" භානුකයා විතරයි ඉන්නේ...."
" එහෙනම් යමන්.." මම සිකා එක්ක ලිහිණි බලන්න කාමරේට ගියා. හිතේ පොඩි ගැස්මක් නැත්තෙමත් නෑ. ඒත් ලිහිණි තාරකා කියන දෙන්නාගෙන් මගෙ හිත පොඩ්ඩක් හරි නතර කරගෙන ඉන්නේ තාරකා අනේ මන්දා ලිහිණි දැක්කාම මොනා වෙයිද කියලා. අපි යනකොට කට්ටියම එළියට වෙලා භානුක එක්ක ලොකු කතාවක් 
"තෙනුර උඹ ආව එක හොඳයි.... ඊයේ ඉඳලා මචං ඩොක්ටර් කෙනෙක් මෙයාව කතා කරවන්න බලනවා.. ඒත් මෙයා නෙවෙයි කතා කරන්නේ.... මචං උඹටවත් ලිහිණිව කතා කරවන්න පුළුවංද බලපං" භනුකයා අමු අදෝනාවක් දාන්න ගත්තා. ඩොක්ටර්ලාට කරන්න බැරි දේ මට පුළුවංද .. මූටත් මූඩියක් පෑගිලාද කොහෙද? 
"යමුකෝ බලන්න...." මම දොර අරින්න ලෑස්ති උනා.. භානුකයා මාව නැවත්තුවා.
"මචං ඩොක්‍ටර් ඇතුලෙ උඹ එක්ස්කුයුස් කරලා පලයං "මම ඔලුවත් වනාගෙන කාමරේ ඇරියා එක්ස්කියුම් පාරක් දාගෙන ඇතුලට ගියා. දොස්තරයා මගේ පැත්තට හැරුණා. දොස්තරයා දැකලා මට දෙලෝ රත් උණා. කසුන් අයියා... කොහොමද මෙච්චර ඉක්මනට දොස්තර උණේ....? මේ ටිකකට කලින් මෙයා මට කිව්වානේ මෙයා සී අයි ඩී කියලා. මේකද අර මට කිව්ව ඩියුටිය... ජයවීරයා ලිහිණිගේ කට අරින්න සී අයි ඩී එකට භාර දීලාද? මාව නිකං බාබ්කියු වෙලා ගියා. මේ මොකද්ද මේ වෙන්න යන්නේ...?





Sunday, August 29, 2010

60 කොටස


තාත්තාගේ ශ්‍රී මූණ පේන්න කලින් මමයි ගැන්සියයි ගෙදරින් පිට උණා.දාහක් ප්‍රශ්න ඕවර්ටේක් කරලා තමයි කොහොම හරි සෙකන්ඩ් ගියර් එකට දාගෙන ගෙදරින් ශේප් උනේ.... ගැන්සියේ උනුත් මගේ කිරිකිත්තෝ වගේ මම සමරනායකට පේන්න ඉන්නවාට වෙව්ලනවා. මම බය නැත්නම් මුන් වෙව්ලලා හරි යනවාද සන්නිපාතේ වගේ, කමක් නෑ අපි තාරකා කිව්ව තැනට පා උණා.මාර පොට් එක තමයි. මේකත් හොඳයි සුද්දොන්ව වටේ යවන්න අපේ පරණ බිල්ඩිමක් කියලා පෙන්නන්න, අම්මපා හත් අවුරුද්දකින් මකුළු දැල් කඩලා නෑ. සමරනායකයා නෝනට හරි යන පාට නම් ගාල නෑ. අපිට මොකටද අනුන්ගේ ටකරං. අපරාදේ කියන්න බෑ බේරේ පුරාම දැනෙන සුවඳ නම්..... මම කවදාවත් හිතුවද බේරේ ලඟට වෙලා කුරුම්බා ගෙඩියක් ශෙයාර් කරන්න හම්බ වෙයි කියලා අනික මට අදාල නම් කමක් නෑ. මමත් ඉතිං කම්බුලක වලක් ගැහුණාම ඕනෙ දෙයක් කරනවා.
"මේ මයියා... කල්පනා කලා ඇති දැං කොහොම හරි අර ගුහව ඇතුලට යන්න ඕනේ" බුවා හැමදාම වගේ ඉක්මන් උනා.
"මමත් මේ හිතන්නේ ඕක තමයි බුවා.... ඕක ඇතුලට යන්න ක්‍රමයක්?"
"මම කියන්නද අපි බේරෙන් මාලුවෙක් බාගෙන ඇතුලට ගිහින් මාළු වෙළදාමක් කරමු" අනේ අම්මපා සිකාගේ මොලේ හොඳට තිබ්බ වයරුත් ෂෝට් වේගෙන එනවාද කොහෙද? පණ තියන සත්වයෙක් මේකෙ මාළු අල්ලන්න කතා කරයිද?
"මේ ඕයි... තමුසේට ඔයිට වඩා ගොන් අදහසක් ආවෙම නැද්ද?" බුවාත් මම වගේම සිකා දිහා බැලුවේ අප්පිරියාසෙන්. ඒත් එක්කම වාහනයක් අපේ කන ලඟින් පාස් උණා. ඒක හැරෙව්වේ අර භූත බුල්ඩිම පැත්තට. 
"මොකද්ද බං ඒ ගියේ... තඩි දෙබරෙක් කන චෙක් කලා වගේ නේ..." ආයේ අහලා මටත් දැනුනේ එහෙමමයි. අපි සෙට් එකම මොකද්ද ඊ ලඟට වෙන සීන් එක කියලා බලාගෙන හිටියා.

"ෂුවර් එකට ඕක එලවන්න ඇත්තේ පැන්ෂන් ගිය පයිලට් කෙනෙක්....?" ටොලා කිව්ව දේට මාත් එකඟයි. ඇයි යකෝ තාම ලංකාවේ පාරවල් හයි වේ කිව්වාට මොලොක්... වැස්සොත් වලවල්.. එහෙව් එකේ ඔහොම වාහනවල් එළවන්න පුළුවන්ද? අර වාහනේ දොර ඇරුණා..... බැස්සා පිස්සු හැදෙන අවුරුදු පනහක විතර කෙල්ලක් ආව වේගෙන්ම ගියා භූත බිල්ඩිම ඇතුලට
"සිරාවටම පිස්සු කොරනේ මයියෝ ඇවිල්ලා තියෙන්නේ පයිලට්ගේ පවුලනේ බං....." බුවාගේ කතාවට මටත් හිනාව ඔක්කාරෙට ආවා.
" මචං මචං... අර බලපං ආව සුළියේ වාහනේ පිටිපස්සේ මොක්ද්ද එකක් ගහලා තියනවා..... පේන හැටියට වාහනේ ගහලා තියෙන්නේ මොකක් හරි කඩේක නමක්.... " මටත් බස්සාට වගේ ඇස් දෙකනම් දෙයියන්ගේ පිහිටෙන් පේනවා. මම මේ ඇස් දෙකෙන් වැඩිපුර ප්‍රයෝජන අරං නෑනේ....බුවා හිමින් සැරේ එතෙන්ට ගියා. එහා පැත්තේ සික්කෙකුත් ඉන්නවා.. ඌට හම්බ උණොත් ගිනි බටේකින් බඩ පිරෙන්න කන්න පුළුවන්. අනේ අතුරු අන්තරාවක් නැතුව බුවා අපේ පැත්තට ආවා.
" නම සුභා ටෙක්ස්ටයිල්...මට යන්තම් මතකයි ඔය ෂොප් එක තියන තැන"
" ඒක මොකටද බං අපිට... අපි ආවේ සුභාව බලන්න නෙවෙයිනේ...?" මට මලත් පැන්නා... මම හිතුවේ මූට චීත්ත කෑල්ලක් දැක්කත් ටියුන් වෙනවා කියලා බලාගෙන යනකොට මූට දැං කෙල්ලෙක්ගේ නමක් ඇහුණත් ඇතිනේ.
"හැල ගෙම්බෝ... සුභාව හොයන්න අපිට ඕනෙ නෑ... මොකෝ අර කල් පැනපු සීනිබෝලේ කසාද බදින්න යෑ... මට මොකද්දෝ එකක් දැනෙනවා බං..." බුවාගේ කතාවට සිකා බකස් ගාලා හිනා උනා...

" උඹට දැං අම්මාගේ වයස අය දැක්කාමත් කික් එකක් එනවාද? වයසේ වැරැද්ද බං" සිකාගේ කතාවට බුවා සිකාව ඇදලා අරගෙන තල්ලු කරලා දැම්මා...
"ෂිඃ විතරක් උණ හපුලුවා..... මම කිව්වේ මයියා.. අර සුළිය අර ගුහාව ඇතුලට ගියේ..... හොඳ පුරුද්දක් තියන එකක් වගේ.../"
"ඉතිං දැං උඹ අපිට කියන්නේ එයාගෙන් අපිටත් පුරුදු වෙන්න කියලාද?" ආයෙත් සිකා ඉල්ලන් කන්න යන්නේ...
"මේ කල වැද්ද එක්ක බෑ බං.... අපිට සමරනායකයා ගැන ඔය ගෑනිගේ මාර්ගෙන් විස්තර හොයා ගන්න පුළුවන්...." බුවා මාර මීටරයක් නේ බලාගෙන ගියාම... මූ වැරදිලාවත් රහස් පොලිසියේ කුස්සියක හැලියකින් දංකුඩවත් ගිල්ලද දන්නේ නෑ.... මොනා උණත් මාර පොට..

"ගොඩනේ බං... ඔය සුළිය යන්න කලින් අපි ෂොප් එකට යං ගිහින් ඒකෙ ඉන්න හොතම්බුවෙක්ව දිවා ආහාරයට වලදමු. " ඔක්කොමලා කැමති උන නිසා  බේරේ අමතක කරලා අපි ඉස්සරහාටම ගියා. බුවා කිව්ව විදියට අපි අර රෙදි කඩේට ආවා. මේක රෙදි කිව්වට දිය රෙදි කඩයක් වගේ... දෙයි අප්පේ මේකේ තියන දේවල්... පත කලු ගල් වලින් තියන ඇට මාල.... කුරුල්ලන්ගේ පිහාටු ගලෝලා තොප්පි වලට හයි කරලා. හත්වලාමයි මේ ඇඳුම් ඔක්කොම භාගෙට මහපුවා නොවැ.... ඕනෙ සයිස් එකකින් මූට්ටුවක් දාල අරං අදින්න තමයි තියෙන්නේ.....අපිත් ඉතිං බණ්ඩා වෙසක් බැලුවා වගේ වට පිට බල බලා හිටියා ඒ අස්සේ සිකාටයි බුවාටයි වෙසක් කූඩුත් සෙට් වෙලා. හිරිකිතයි අප්පා.... තව ඉස්සරහට ගියොත් අපේ හිරිඔතප්පේ නැති වෙලා යනවා.



" මයියා.... මෙතන වැඩි වෙලා හිටියොත් අරුන්ගෙන් හැලෙන පැණි කන්දරාවට අපි දෙන්නාට  හැදි කැවුමක් හදා ගන්න තමයි වෙන්නේ..." ටොලාගේ කතාව ඇත්ත... මී මැස්සෝ රොන් හොයනවා.... මමයි ටොලයි... බුවාටයි සිකාටයි ඕනෙ සපත්තු සයිස් එකක් බලාගන්න කියලා පැත්තක ඔෆිස් කියලා ගහලා තිබ්බ තැනට ගියා. මෙලෝ රහක් නැති කම්මැලි හිතෙන බුවෙක් ඉන්නවා ඒක ඇතුලේ.... දවස් ගානකින් කාලා නෑ වගේ.. මේ වෙලාවට ඇත්තමයි හිතෙනවා අර බේරෙන් මාළුවෙක්වත් අල්ලලා ගෙනල්ල මූට කන්න දෙන්න තිබ්බනම් කියලා.ඇත්තටම අර මූණ දැක්කාම හිතෙන්නෙම බඩ කට පිරෙන්න දෙන්න...වීදුරු හින්දා තට්ටු කලාට ඇහෙන්නෙත් නෑ... මූ මාර ගෝතයෙක්නේ.... අම්මාට සිරි අන්න තිබ්බ චෙක් දෙක තුනක්ම සාක්කුවේ දාගත්තා. මූ මෙතන මාටින්ස් පාරක් දෙන්නේ.... මමත් මාටින් මාමාලාට හරි ආසයි.. උඹට දෙන්නංකෝ ජම නාරං... මමයි ටොලයි අර කාමරේ ඇතුලට ගියා. අරූට අපිව දැකලා නිදි මත නැති වෙලා ගියා.

"කෝ මැඩම්...?" මම පොඩ්ඩක් බර කරලා ඇහුවා... තාත්තාගන් උණත් මට ඉගෙනගන්න ගොඩාක් දේවල් තියනවා.
"මැ මැඩම් නෑනේ... කවුද ඔයාලා.../" මිනිහාට ඒ සී එකේ කන පැලෙන්න දාඩිය දාලා. බඩුම තමයි....
" අපිද...? අපි මේ ආයතනේ අයතා මුදල් වංචා සිද්ද වෙනව කියලා දාපු පැමිණිල්ල විභාග කරන්න ආවේ..." මිනිහාගේ කකුල් මැඩ්ලින් ගහනවා ඇති. මම උණත් හිනාව ඛ්‍රේක් එකේ තියාගෙන ඉන්නේ අමාරුවෙන්.... ඒ අස්සේ ටොලා හිනාව හිර වෙලා පණ අදිනවා. මොකෝ විහිළිවටවත් හිනා උණොත් අපි මාට්ටුනේ.
"මුදල් වංචා........?" 
"ඔව් මුදල් වංචා..." මම මොකුත් නොකියා වාඩි උණා...ටොලත් ඉඳගත්තා... අර පොරටත් පිස්සු මෝදු වෙලා
"එහෙම දෙයක් නෑ සර්..."
"එහෙනම් පැමිණිල්ල බොරුවක්ද?"
"ආයේ අහලා ... ඉන්න මම එකවුන්ට්ස් චෙක් කරන්න දෙන්නම්..."
" හරි ගේනවා බලන්න" මමත් ඉතිං ඕවර් යනවානේ.. ඒත් මේ යකාට නෝතෙරෙන්න ගේම දෙන්නත් එපෑ...
" සමරනායක ඉන්ඩස්ට්‍රීස් ෆයිල් එක ගේනවා..."
"අපි එයාලා එක්ක ඩීල් කරන්නේ නෑ සර්..." මම අවුල් වෙලා ටොලා දිහා බැලුවා...
"එහෙනම් මේ ටිකකට කලින් මැඩම් අපිට කිව්වේ එහෙ යනවා කියලා..." ටොලාත් වැදගත් ප්‍රශ්නයක් දැම්මා
අර සීයා පප්පාට හිනා ගියා.... අපරාදේ කියන්න බෑ පණු කොට නැති එක දතක් හරි තිබ්බා නම් සිරියාවයි
"ඒ මාසේ වන්දිය අරං එන්න සර්..." මූ මාර අලවංගුවක්නේ.... සමරනායකයා මොකටද මේ ගෑනිට වන්දි ගෙවන්නේ...
"වන්දි මොකටද අයිසේ...?" ටොලත් අතාරින්නේ නෑ
"සමරනායක මහත්තයාගෙන් මැඩම් ඩිවෝස් උනාට පස්සේ හැම මාසෙකම සමරනායක මහත්තයා මැඩම්ට වන්දියක් ගෙවනවා සර්" බඩුම තමයි.. ඒ කියන්නේ අර සුළිය සමරනායකයාගේ ගෑනි.
"එතකොට මැඩම්ට විතරද වන්දි ගෙවන්නේ... ලමයින්ට මොකද වෙන්නේ...?" මට ඕව අදාලද? මටත් හිතෙන්නේ මාර ඒවා තමයි.
"පුතා ඉන්නේ සමරනායක මහත්තයා ලඟනේ...."
"එයා මොකද කරන්නේ...?" මේ හැලපයත් අපි අහන ඕනෙ එකකට දැං උත්තර දෙනවා
"පුතා තාම ඉගෙන ගන්නවා... ඒ අතර තුර සමරනායක මහත්තයාට පිනට හම්බ උණ බිස්නස් එකත් බලා ගන්නවා."
"පිනට හම්බ උණ බිස්නස් එක?" 
"ඔව් සමරනායක මහත්තයාගේ යාලුවෙක්ගේ බිස්නස් එකක් ඒ යාළුවා නැති උණාට පස්සේ හම්බ උණානේ..." සැලකිය යුතු මොකක් හරි එකක් මුගේ කටින් කියවුණාමයි මම හිතන්නේ.... 
"නැති උණ යාලුවා කවුද?"
"ඒක මම හරිය දන්නේ නෑ සර්...?" හපොයි සිරිසේන.... හැම ලබ්බම දන්නවා ඕනෙම කරන එක දන්නේ නෑ...
"හරි........ ජයවීර මහත්තයා ලඟදි ආවද?" සමරනායකයා ජයවිරට ණයට කහිනවා නම් සමරනායකයාගේ ගෑනිවත් ජයවීර දැන ගන්න එපෑ...
"සර් ජයවීර මහත්තයාව අඳුණනවාද?"
"නැතුව එයා මගේ හොඳ යාළුවෙක්නේ...? " මම එහෙම කිව්වේ මුගෙන් වචනයක් ගන්න ලේසි වෙයි කියලා හිතාගෙන.
"සර් එහෙනම් මට ජයවීර මහත්තයා ලඟ රස්සාවක් සෙට් කරලා දෙන්නකො..." අනේ දෙයියනේ මූ වගේ කොටළුවෙක්..... මේකගේ බයිලා අහගෙන ඉඳලා වැඩක් නෑ... ඕකා දන්නේ ඔච්චරයි. මම හිටපු තැනින් නැගිට්ටා... ටොලාත් එක්ක අපි එළියට එන්න හදනකොටම බුවයි සිකයි අපේ පැත්තට ආවා.
"මේ මොකෝ බං හති දාගෙන ගුටිවත් කෑවද කෙල්ලෙක්ගෙන්..?" 
 "කොහෙද බං මක බෑ උනේ... අන්න සුළිය කැරකෙනවා ඔය පැත්තට"ආයෙත් බුවයි සිකයි හොයාගන්න තැනක් නෑ අපිත් කොහාට හරි මාරු වෙන්න කියලා යන්න හදනකොටම අර සුළිය අපේ ඉස්සරහම නැවතිලා. මේක නම් එසේ මෙසේ සුළියක් නෙවෙයි සුළි සුළියක්


 

Friday, August 27, 2010

59 කොටස


ඇස් දෙක ඇරලා බලනකොට හෙන ගහනවා වගේ එළිවෙලා... මගේ ඇඳේ තිබ්බ සැපටද කොහෙද අද රවියා ඇවිල්ල පස්සට තට්ටුව දානකන්ම් මට නින්ද ගිහිං. මම ඉතිං නැගිටලා එහෙම කුස්සිය පැත්තට යනකොට පොඩි කසුකුසුවක් ඇහෙනවා... ගෑනුන්ගේ උණත් කතා හොරෙන් අහන් ඉන්න එකේ මාර ගතියක් තියනවා, ඒ නිසා පොඩ්ඩක් හැංගි මුත්තං දාල හොරෙන්ම අහගෙන හිටියා.
"අම්මා හිතන්නේ තාම මයියා පොඩි එකා කියලා...." අක්කාට තියන ඊරිසියාව බලාපල්ලාකෝ....
"ඌ තාම පොඩි එකා තමයි... ලොක්කි"
"අම්මාලා දැං ඌට ඕනේ විදියට ඉන්න දෙනවා නම් හොඳයි... වැඩිය නීති දාන්න ගිහින් මයියාට අපි ඔක්කොමලාව එපා වෙනවා.
"පොඩි එකා ලොකු එකා වගේ නෙවෙයි ලොක්කි... හිත හොඳ වැඩියි.... හැමවෙලේම දා ගන්නේ කරදරමයි ඔළුවට...."අම්මාත් මම ගැන සැලකිය යුතු දෙයක් දන්නවා. 
"මම දන්නවා අම්මේ..... ඒත් මම කියන්නේ... ඌටත් නිදහස දෙන්න කියලා"
" අපි පොඩි එකාව හිර කරගෙන නෑ..... "
"මට හිතෙන විදියට තාරකා එක්ක මයියාගේ සම්බන්දයක් තියනවා" අම්මා කර කර හිටපු වැඩේ දාල ඇවිල්ලා අක්කා ලඟින් වාඩි උණා.
"ඔයාට එහෙම කිව්වාද?"
"නැහැ නැහැ ඒත් මට තේරෙනවා අම්මේ.... අයියාටයි නංගිටයි වඩා මට මයියාව හොඳට තේරෙනවා" මෙයා මාර ගින්නක්නෙ අම්මාට දෙන්නේ.. මෙහෙම ගිහින් කොල්ලාගේ චරිතේ ගන්නම දෙයක් නැති කරයිද දන්නේ නෑ.
"එහෙම උණොත් ඌ සතුටින් ඉදියි ලොක්කියේ.... ඌව හොඳින් තියා ගන්නනේ මේ හැමදෙයක්ම කරන්නේ?" අක්කා බෝදිලිමා වගේ ඔළුව වනන්න ගත්තා.
"හොඳ වෙලාවට අපි මයියාට අරක කිව්වේ නැත්තේ..." මොකද්ද මෙයාල මට හංගන අරක....? මීට කලිනුත් ඔය හැංගිමුත්තම මට අහු උණා. අනේ මන්දා... මොනා උණත් ඒක මට ගොඩාක් වැදගත් දෙයක්. මෙහෙමම කන දාගෙන ඉන්නකොට ඒක මොකද්ද කියලා හොයා ගන්න පුලුවං වෙයි.
"ඔය හැම දෙයක්ම මමත් අමතක කරලා ඉන්නේ ලොක්කියේ..."
"මෙන්න මෙයා ඔතනට කන දාගෙන ඉන්නේ..." එකපාරටම මගේ පිටට පාරක් වඳින ගමන් කන ලඟ හෙනයක් වැඳුණා වගේ... අර ඩයිනමයිට් එක හොඳයි.මම කිව්වේ මේ කෙල්ලෝ එන්න්නෙම හොඳම හරියේදි වැඩේ කණපිට ගහන්න.


"තමුසේ වඩේ කෑවනේ..." මම නංගිට ටොක්කක් ඇනගෙන කුස්සියට ගියා
"මෙයා දැං හොර වැඩත් පුරුදු වෙලා නේද අම්මේ...?" අක්කාත් අර අපේ ගෙදර පූස් නාම්බා වගේ එනවා ඇඟේ එතෙන්න. මම නම් එයාව හුරතල් කරන්නේ නෑ. මම නපුරා..., යකඩයා වෙච්චි.
"යනවා යනවා... හිතක් පපුවක් නැති උන් ලඟ එතෙන්නේ නැතුව" මම තේකත් අරං කුස්සියෙන් ෂේප් උණා... මොකද අනුන්ගේ සීනි තරාදි වලට දානව බලං ඉඳලා වෙච්ච චාටරේම සුළු පටුද? අර ඇනකොන්ඩා නොහිටින්න මම ඔක්කොම කතාව අහගන්නවානේ නැතුව. ආපු දෙන්කෝ ඕකි පොඩි අයියේ කියාගෙන....

"පොඩි අයියේ...." හිතනකොට එනවා.... ඕකිවත් හුරතල් කරන එක අත අරින්න ඕනේ..
"තමුසෙත් එන්න එපා කතා කරන්න මාත් එක්ක"
"මේ මොකෝ මෙයාට ඩෝං ගිහින්....?  අන්න ආයේ තාරකා කතා කරනවා"
"මම නෑ කියනවා..." මම මල පැන්නා වගේ ඇක්ටින් පාරක් දැම්මා
"එහෙම කොහොමද.... මම කිව්වා ඔයා ඉන්නවා කියලා...." මට ඉතිං දැං අර රැව්ලයි කැඳයි දෙකම ඕන උණ මිනිහාට වගේ... මේකත් හොඳ චාන්ස් එක මම නංගිවත් තල්ලු කරගෙන එළියට ගියා.... වටපිටාවේ කවුරුත් නැති හින්දා මට අර තිබ්බ බොරු මලත් ඉබේම නැති වෙලා ගියා
"හලෝ..."
"තෙනුර...."
"ඉක්මනට කියනවා කියන දෙයක්... මෙහෙ පැපරාසි ඉන්නවා..."
"මොකද අනේ තරහා ගිහින්..?'"
" මේ මේ බයිලා කියලා හුරතල් කරන්න මට වෙලාවක් නෑ කියනවා මොකද්ද හදිස්සිය කියලා..?"
"ඔයා කොළඹ ආවා විතරයි වෙනස් වෙලා.." මෙයා මේ බයිලා ගහනවානෙ රීමික්ස් කරලා
"වෙනස් වෙන්න මම කටුස්සෙක්ද?"
"හ්ම්ම්ම්ම්"
"දැං මොකටද කතා කරන්නේ ප්‍රශ්නටක්ද?" මගේ ඔක්කොම මුර්ති දැං අමතක උණා... තාරකාගේ හිනාව මතක් වෙලා
"ඊයෙත් මම කතා කලා"
"මම දන්නවා..."
"ඉතිං කතා නොකලේ....?"
"අපෙ ෆෝන් එක ලොක්.... එන ඒවා විතරයි කෝල් ගන්න ඉබ්බා කඩන්න ඕනේ.."තාරකා හිනා වෙන්න ගත්තා. ඔන්න දැං මට මැවිලා පේනවා එයාව
"ලිහිණිව හම්බ උණාද?" රෝන්ග් නම්බර් එකක්නේ නංගි ප්ලේ කරන්නේ... සිරාවටම එයාව මෙතනට අදාල නෑනේ.. ඔයාත් මෙතන එයාව මතක් කරලා නාගන්නවානේ
"මම හිතන්නේ එයාව හම්බ වෙලාත් දැං සෑහෙන කාලයක් වෙලා ඇති... දැං කියන්නකෝ ඔයා හදිස්සියේ කතා කලේ ඇයි කියලා"
"ඊයේ සමරනායක අංකල් කතා කලා.."
"ඉතිං?"
"අද කොළඹ එනවාද ඇහුවා.."
"ඔයා හා කිව්වාද?"
"හා කිව්වා නම් මම මෙහෙ ඉන්නවාද පිස්සෝ..?"
"ඒ කියන්නේ දැං කිඩ්නිය පාවිච්චි කරනවා... හොඳයි හොඳයි.."
"ඒත් මට හැමදාම බෑ කියන්න බෑනේ තෙනුර"
"බෑ කියන්න එපා ඔයා වෙන වචන සෙට් එකක් හොයා ගන්න"
"විහිළු නෙවෙයි"
"සමරනායකගේ ඔෆිස් එක කොහෙද තියනවා කිව්වේ..?' මම ආයෙත් කාගෙ හරි ඇන්ටනාවක් වැඩ කරනවාද කියලා වටපිට බැලුවා. හොඳ වෙලාවට කවුරුත් නෑ.
"ගංගාරාම පාරේ..."
"හරි මොකද්ද ඕකේ නම...?"
"සමරනායක ඉන්ඩස්ට්‍රීස් ඇන්ඩ් ඉන්ටර්නැෂනල්" තාරකා කියාගෙන ගියාට ඒක මතක තියා ගන්න දිග වැඩියි අප්පා
"මම මොනාහරි දැනගෙන එන්න බලන්නම්."
"ඒත් ඔයා ඒ පැත්ත්හේ යන්න එපා තෙනුර..."
"ඒ මොකද ඒ...?"
"මම නිසා ප්‍රශ්න දාගන්න එපා.." අයියෝ මේවා ප්‍රශ්නද නංගී.... මම පෙරලගෙන තියෙන්නේ බාල්දි නෙවෙයි බැරල් නේ...
"පිස්සුද එහෙම නෑ..." තාරකා ටික වෙලාවක් සද්දේ වහලා හිටියා
"කුමාරි ඇන්ටි අක්කා එක්ක එහා ගෙදර දානෙට උදව් වෙන්න ගියා..."
"ආ ඒක තමයි අපිව මතක් උණේ..."
"ඊයෙත් මම කෝල් කලේ බණ ගෙදර ගිය වෙලාවේ...."
" ඔව් ඔව් මට තාත්තා කිව්වා.... තව පොඩ්ඩෙන් එයාලා නැකතුත් බලනවා..."
"ඒ මොකටද?"
"අපිව කසාද බන්දන්න..." තාරකා හිනා උණා
"මම තියන්නම් එහෙනම් ඔයා පරිස්සමෙන් ඉන්න..."
"හරි හරි ඒවා හරි..." තාරකා ෆෝන් එක කට් කලා, මට දැනෙන්න ගත්තේ අර අළුගෝසු ෆීලින් එක නෙවෙයි හරි අමුතු ගතියක්. තාරකා මාව ටික ටික වෙනස් කරනවා. යකෝ මමත් පිණි මුවා වගේ වෙනස් වෙනවාද? මම කල්පනා කර කර ඉන්නකොට පිට හරහාට වැදුනේ තරු විසි වෙන ෂොට් එකක්. මම හැරිලා බැලුවෙ කවුද මට අත උස්සන්නේ වගේ, කිරි අප්පේ මේ ගැන්සියනේ.. මට නැති වෙලා හිටපු මුත්තෝ දැක්කා වගේ...
"උඹ මොකද බං බිම බලාගෙන කරන්නේ... අර වන වාසේ ඉඳලා හොබී එකට භාවනාවක්වත් දානවද?'
බුවා ඇහුවා. ඇත්තනේ මම ටෙලිෆෝන් එක තිබ්බ තැන ඉඳං තාම ගිහින් තියෙන්නේ අඩි දෙකයි.
" මම කල්පනා කලේ ප්ලෑනක් මචං"
"ඒ මොකද්ද?"
"අර එදා නැව් යානේ දාගෙන ගිහින් මට නෙලුවේ සාමරනායක කියලා පොරක් බං" ඔන්න මම සීන් එකට එන්ටර් උණා. ගැන්සිය මූණු ටික බලා ගත්තා...
"උඹ කොහෙන්ද ඕවා හොයා ගත්තේ...?"
"ලිහිණි තාරකා කියන්නේ දෙන්නෙක්... මම ඊයෙ සිකාට ඔප්පු කරලා පෙන්නුවා"
"ඔව් අපිට සිකා ඒක කිය කියා ආවේ..." බුවාට ලාවට වගේ සීන් එක විශ්වාස බව මට තේරුණා. මම තාරකාගේ කතාව උන් එක්ක කිව්වා... මට මුන්ව බුදු ෂුවර් තැන් තැන් වල කියවන්නේ නෑ කියලා
"උඹට දැං අපෙන් මොනාද ඕනේ...?"
" අපි ඔය සමරනායකයා ගැන හොයන්න ඕනේ බුවා..?
"උඹ කියනවා නම් අපි ගේමට බහිමු...." බුවා ඉතිං කවදත් වගේ එවර් රෙඩි
"ප්ලෑනක් සෙට් කරගෙනම බහිමු... අපතයෝ වගේ ගිය තැන අනා ගන්නේ නැතුව" මම කල්පනා කලා මුලින්ම පටන් ගන්නෙ කොහෙන්ද කියලා
" හරි ඉස්සල්ලාම අපි ඔෆිස් එක පැත්තේ  රවුමක් දාලා බැක්ග්‍රව්න්ඩ් එකේ තියන මල් පැල එහෙම ලිස්ට් කර ගත්තොත් නරකද? " බුවාගේ කතාව ඇත්ත.. චාටර් වෙන්නේ නැතුව මූ කවුද කියලා හොයා ගන්න පටන් ගන්න තියන හොඳම වැඩේ ඒක තමයි....







Thursday, August 26, 2010

58 කොටස



" ඔයානේ පිස්සා.... මම හිතුවා ආයේ ගුටි කාලා කියලා" මෙයා මට කලේ කන් අඩි පැලෙන නෝණ්ඩියක්නේ
"ඒ උණාට එක්කෙනෙක් බය උණානේ..."
"මම බය උණේ නෑ...." ඒත් එක්කම අර දැම්ම සිල්ලර කාසිවල අන්තිම හරිය යන්න ගත්තා..
"මම තියනවා..."
"ඇයි ඒ...?" දැං නම් මෙයා කතා කරන්නේ දුකෙන්
"මම නිකන් කතා කලේ... ඔයා ෂුවර් එකටම ලිහිණි නෙවෙයි නේද බලන්න..." ඒත් එක්කම මේ අටමගල කට් උණා. මම තිබ්බ තැනින්ම ෆෝන් එක තියලා සිකා දිහා බැලුවා.
"දැං විශ්වාසද?"
"ඔව් ඔව් ආයේ අහලා කට කපලා විශ්වාසයි... දැං යමන් ගෙදර.."ඒත් එක්කම කකුලේ ලාවට කැසිල්ලත් එක්ක ආතල් මියුසික් එකක් ලඟ පාතකින් එන්න ගත්තා.
"මොකද්ද මයියෝ ඒ එලාම් එක" අප්පටසිරි මම ගෙදරින් එනකොට නංගි ෆෝන් කටුවක් දුන්නා නේද? මම කලිසම් සාක්කුවට අත දාලා ෆෝන් එක එළියට ගත්තා. අනේ ඇත්තට මෙච්චර සුඛෝපභෝගි භාණ්ඩයක් තිබිලානේ මම පහේ කාසි ටික ඉවර කර ගත්තේ. කූඩැල්ලාට උණත් අමතක වෙන එකේ මම ඉන්නේ මෙට්ටෙ උඩ කියලා මට උණාම මොකෝ... සිකාගේ මූනෙ තියෙන්නෙ පිටසක්වල එකෙක් දැක්කා වගේ පෙනුමක්. මමත් ඉතිං පොර වගේ බොත්තම ඔබලා හලෝ පාරක් දැම්මා
"තමුසේ කොහෙද ඉන්නේ..." බුදු තාත්තා.... අනේ දෙයියනේ මේක මට දීලා තියෙන්නේ මේකේ මාර්ගෙනුත් කටේ හිරි ඇරගන්න...
" සිකා එක්ක..."
"මොකා එක්ක හිටියත් කමක් නෑ... දැං ගෙදර එනවා.."
"ඒත් තාත්තේ දැංනේ ආවේ....?" මේ මොන අසාධාරණයක්ද?
"දැං...... කොහෙද ඉබ්බෝ දැං වෙන්නේ... තමුසේ ගියේ බක්කි කරත්තෙකින් නෙවෙයිනේ..." මම සිකා දිහා බැලුවා. එයා එහෙම කියනකොට මම ඉතිං මොනා කියන්නද?
"එන්නම්..." මම අනිත් බොත්තම ඔබලා කට් කලා...
"මොකද්ද බං මේ වෙනස... උඹ කවදා ඉඳලාද මොබයිල් පාවිච්චි කරන්න ගත්තේ...?" මම ඇත්තටම හිටියේ කලකිරිලා....
"මොබයිල් කොහෙද බං මට... මේක තාත්තාගේ, එනකොට දුන්නා ඉන්න තැන හොයා ගන්න... මේකත් හරියට ගලිවර්ට හම්බ උණ සිතියම වගේ " සිකා හිනා උණා.
"දැං මොකද හොට දික් වෙලා..."
"ගෙදර එන්නලු..."
"දැංනේ ආවේ බං..."
"කාට කියන්නද?" මම ඇත්තටම හිටියේ නස්පියට තද වෙලා...
"හරි හරි උඹ පලයං... අද කිව්වනේ ආවේ තව මාසයක්ම ඉන්නවානේ..."
"උඹලා හෙට සෙට් වෙලා වරෙල්ලා"
"අනිවා බුවාට පණිවිඩේ ඇරලා ඌ සෙට් උණ ගමන් අපි උඹලෑ ගෙදර..." මම මට වඩා සිකාව දැගෙන හිටපු නිසා උගේ කතාවෙන් සෑහීමකට පත් උණා. ඊට පස්සේ අර බක්කියට නැගලා ගෙදර ආවා. මම එනකොට තාත්තා එළියට බැහැලා ඉන්නවා. තද වෙලා ආව එක ඇත්ත, ඒත් තාත්තා දැක්ක ගමන් බුරුල් වෙලා දිය වෙලා යනවා... මම ඉතිං පුරුදු විදියටම ගල් ආඳා වගේ ගෙට ගොඩ උණා.
"හරිම ලස්සනයි ආව වේගේ...." ඇයි අප්පා බයිසිකලේ තියෙන්නේ ඩක්කුවක වේගෙන් යන්නයෑ.. මම මොකුත් කිව්වේ නෑ. තාත්තා පොඩි කාලේ බයිසිකල් තියෙන්න නැතුව ඇති
"තමුසෙට තාරකා කියලා කෙල්ලෙක් කතා කලා" මලා... මේකිට අන්දකයිප්පුද ගෙදරට කතා කරන්නේ... අනික පණිවිඩේ තියලා තියෙන්නේ අපේ තාත්තා අතේ.... සෙංගමාලේ වගේ දැංනං මට. ලිහිණි හින්දා මයිසූර් පරිප්පු කෑවා..... තාරකා නිසා කඩල පරිප්පු ලැබෙන එක නම් ෂුවර්. මම මොකුත්ම නොකියා ඇතුලට ආවා. ඒ අස්සේ අයියා ඇවිල්ලා මාව බදා ගත්තා.
"ආව ගමන් කොහෙද බං රෝන්දේ...?" මටත් ඉන්නේ පොල් කෙන්ඳක් තරම්වත් මොළයක් නැති සහෝදර සහෝදරියෝ... මම පිටිපස්ස හැරිලා බැලුවා තාත්තා ගෙදරින් එළියට බහිනවා මම දැක්කා. ඇති යන්තං ඔයින් ගියා.
"රෝන්දේ නෙවෙයි යාලුවෙක් බලන්න ගියේ... ගිහින් කොහොමද මචං කියනකොටම තාත්තා කෝල කරලා කියපි ගෙදර එන්න කියලා" අක්කාත් හිනා වෙවී ඇවිල්ලා මාව ඇදලා අරං එයා ලඟින් වාඩි කරව ගත්තා.
"මේ මොකද බං මේ...?" මට හරි පුදුමයි. ආයේ බොත්තමක්වත් සෙට් කරන්න යනවාද දන්නේ නෑ
"අම්මා අද ෆ්රයිඩ් රයිස් හදනවා..." ඉතිං මට මොකෝ... ඇයි මම ගිහින් එළවළු තෙම්පරාදු කරන්න යෑ
" මොකද්ද මට තියන අදාලත්වේ... ? ඒක අම්මාගේ කැමැත්තනේ..."
"යකෝ මම රට ඉදං ආවා මට ඔහොම සැලකුවාද?"
"රට වගේද බං මම ආවේ අමු මූකලානේ ඉදලානේ"
"මූකලානේ කිව්වාට අයියේ එහේ කෙල්ලො නම් හොඳයි වගේ මූට" අක්කයි අයියායි එකතු වෙලා මට දානේ දාඩිය දාන්න නෝණ්ඩියක්නේ
"කොහෙ උණත් කෙල්ලෝ එක වගේ තමයි.. අනුන්ගේ චීත්තයක්මයි හෝදන්නේ..." මම නැගිටින්න ට්‍රයි එක දැම්ම කොහෙද අක්කා මාව ගෑනු ගැටයක් දාලා අල්ලගෙනෙනේ...
"තාරකා කෝල් කලා" අක්කා රහසින් කිව්වා
"තාත්තා කිව්වා"
"ඉතිං ආයේ කෝල් එකක් දීපං"
"ඕනෙ නෑ... දැං මට යන්න දීපං බං..." අක්කා හිමින් සැරේ අත ඇරියා. ඒත් දුකෙන්
"මම හිතුවේ උඹ පොඩ්ඩක් හරි හැදිලා ඇති කියලා මයියා..."
"පොඩ්ඩක් නෙවෙයි බං මම සම්පූර්ණෙන්ම හැදිලා දැං ඡන්ද අයිතියත් තියනවා" මම යන ගමන් කිව්වා
"උඹ එදා හිටපු යකඩයාම තමයි මයියා.... කෙල්ලෝ ගණන් ගන්නේ නෑ... උඹ එයාලට සලකන්නේ හිතක් පපුවක් නැති එකෙක් වගේ..."ඒක මගේ හිතට ඩග් ගාලා වැදුණා. මම එහෙම එකෙක් නෙවෙයි. ඒත් මම කෙල්ලෝ ගණන් ගන්නේ නෑ තමයි. හැබැයි මගෙත් හඳුන්පොත රිදෙනවා. මම ආපහු හැරිලා බැලුවා
"උඹලා හිතාගෙන ඉන්නේ මම හිතන්නේ මම ගැන විතරයි කියලානේ... ඒත් කවදාහරි දවසක් එයි උඹලාට තේරෙන මම හිතුවේ මම ගැන නෙවෙයි අනුන් ගැනමයි කියලා...."
"මම උඹව රිද්දන්න හිතාගෙන එහෙම දෙයක් කිව්වේ නෑ මයියා..." අක්කා එහෙම කියන්කොට ඊතලේ පපුව පසාරු කරගෙන ගිහින් ඉවරයි. දැං ඒකේ වේදනාව නැති කරන්න බෑ.
"මම මේ ගෙදර හිතක් පපුවක් නැති එකානේ.... නිවාඩුව ඉවර උණ ගමන් මම ආයේ යනවා... උඹලා සතුටින් හිටපල්ලා." මම කාමරේට ගියේ සෑහෙන්න හිතේ අමාරුවෙන්. මට ඕනෙ නෑ කාගෙවත් හිත් රිද්දන්න. මම එහෙම හිතාමතාම කරලාත් නෑ. ඒත් මම හිතක් පපුවක් නැති එකෙක් වෙච්චි. මම හිතන්නේ ඔය වචනේ මම මීට කලිනුත් අහලා තියනවා... සමහර විට මේ මම ඕක අහන අන්තිම වතාවත් නොවෙන්න පුළුවං... මොනා උණත් මට නපුරුකම හම්බ උණේ මගේ ජන්මෙන්ම තමයි.... මොකද මට ලැබුණේ මේ ගෙදරින් ඉතුරු උණ ආදරේ ටික විතරයි. ඒත් තාත්තා නම් මට ඒ ටිකවත් දුන්නේ නෑ.....

Wednesday, August 25, 2010

57 කොටස



"සිකාව හම්බ වෙලා එන්න යනවා....." මම අමාරුවෙන් මූණ නොබලාම කියාගත්තා.... තාත්තාට තිබුණේ දිය රකුසු මූණක්... මට හිතුණේම මාව ඩෙසට් එකට සෙට් වෙයි කියලා.
"රෑ වෙනකන් රස්තියාදු ගැහුවොත් බලාගන්න පුළුවං.... යනවා නම් අර බයික් එකේ යනවා...." මාර ආතල්නේ.... අර ගහට නඟින්න හදන වඳුරට ඉනිමඟක් සෙට් කලා වගේ. මටත් ඉතිං දැං හොඳ හොඳ ග්‍රහයෝ වැඩ කරනවා....මම මොකුත්ම නොකියා තාත්තා දිහා බැලුවා. මම හිතන්නේ මම නැති කාලේ මෙයා මොන්ටිසූරියකට වගේ ගිහින් ඉගෙනගෙන තියනවා.
"අයියා...?" මොනා උණත් ඔය අයියාගේ දඬුමොණරේ...
"අයියා නෑනේ... තමුසේ ගිහින් එනවා.. දැං අතේ අමාරුවක් නෑනේ...?" මට නම් හිතා ගන්නවත් බෑ මේ කතා කරන්නේ මගේ එක් කුස උපන් තාත්තාද කියලා.
" නෑ දැං ෆිට්...." තාත්තා මගේ දිහා බලාගෙන කුස්සිය පැත්තට ගියා... මටත් ඉතිං අන්තඃපුරේ මුණ ගැහුණා වගේ මාර සතුටක් ආවේ... ඉක්මනට බයික් එකේ යතුර හොයාගෙන ඒකට නැග්ගා... ඇත්තටම මම තාම දවල්ට කාල දොයිද බලන්නත් එක්ක හීනියට පාරක් අතට ගහ ගත්තා... ඇත්තම කිව්වොත් මෙවා වෙන්නෙ හැබෑටමයි අප්පා...

"පොඩි අයියේ................" යන්න හදනකොටම නංගි දුවගෙන ආවේ යකා ගහලා වගේ...
"මොකද අයිසේ.."
"මේ ෆෝන් එක තාත්තා දෙන්න කිව්වා..." මට නම් තාම තේරෙන්නේ නෑ මොකද්ද මේ හුටපටේ කියලා. මුලින්ම බයික්.. දැං ෆෝන්. කොල්ලා නැති අඩුව කට්ටිටයටම දැනිලා වගේ. මම ඒකත් අරං සාක්කුවේ දාගත්තා. දැං කොල්ලා සුළං කුරුල්ලා වගේ.. දඬු මොණරේ තමයි ගමන ඒත් මේකේ හොරාට යනවා තරම් ආතල් එකක් නම් නෑ. මම සිකාගේ ගෙදර ලඟ බයික් එක නවත්තලා හෝන් එක දෙතුන් පාරක්ම ගැහුවා... ඈ යකෝ මේකා ඒ ටිකට චුත වෙලාද? ආ.. අර එන්නේ ගල් ආඳා වගේ ෂර්ට් එකේ කණපිටත් ඇදගෙන.... 

"මයියා...."මුගේ කට කනේනේ..
"මොකද බං රෑ දොළහට හොල්මනකට මාව අසු උනා වගේ..."
" හොල්මන් දැක්කා නම් තව කමක් නෑ බං.... පිස්සු හැදෙනවානේ උඹව මේ කොන්ක්‍රීට් මූකලානේ... ඩිස්කවරියක් පිටේ දැක්කාම.."
" කොල්ලාට වැකේෂන් බං... මේකත් ණයට සෙට් කර ගත්තේ.... ටොලාවයි බුවාවයි සෙට් කර ගන්න විදියක් නැද්ද?"
"ටොලාගේ නැන්දාගේ දුව ගෙට වෙලා කියලා ඌ ගියා තනි රකින්න... බුවා නම් ගෙදර ඇති... වරෙන්කෝ ගෙට" ඇත්තම කියනවා නම් වලට බැස්සාම අපරාදේ කියන්න බෑ හොඳට හුස්ම පිට වෙනවා.. හිර වීමක් නැතුව.
"ටොලා හෙට සෙට් වෙන්න එයිද?"
"නැතුව බං නාවලා සුද්ද කරලා ගත්තාට පස්සේ ඕකා එතන මොනා කරන්නද... ඌ එයි.. හෙට අපි සෙට් වෙලා උඹලගේ ගෙදරට එන්නම්.. උඹ වැඩිය එහෙ මෙහෙ දර්ශනේට ඉන්න එපා"
"බය වෙන්න ඕනේ නෑ බං උන් අපිට මොනා කරන්නද?"
"මේ බලපංකෝ හාවා ගිය දුර.. යකෝ හඳේ හාවා ඉන්නවා තමයි ඒත් ඌට කන්න මොකුත් එහෙ නෑලූ...උඹත් කෑගල්ලේ ඉදං ඇවිල්ලා ෂෝ එක දාලා අනා ගන්නෙ නැතුව හිටපං.."
"උන්ට බය වෙලා ඉස්සරහාට වැඩ කරන්න බෑ සිකා.... " සිකාගේ මෙලෝ රහක් නැති මූණ පුරාවටම හිනාවක් ආවා.
"ඇයි උඹ පස් වෙනි මණඩලේ එකක් කරන්න යනවාද මයියායි ගුන්ඩෝ දෙන්නයි කියලා ... මේ ඒවයින් වැඩක් නෑ කොහොමද උඹේ ටිකිරි ලියා ලිහිණි එහෙම...?"
" ටිකිරි ලියා ඉස්පිරිතාලේ මචං..."
"කෑගල්ලේ.... මොනා වෙලාද?"
"බබා හම්බ වෙන්න...." මම සිකාගේ හඩු ගඳ ගහන සරම ඇඳලා බිමට දාල ඇදෙන් වාඩි උණා.
" කකුල කාපි දියබරියා එහෙනම්.... " සිකා මගේ කරට අත දාගන්න ගමන් එතන වාඩි උණා.
"ලිහිණි තාරකා කියන්නේ දෙන්නෙක් මචං..."
"එතකොට අර බුවා තප්පුලන්නේ ඒ ලිහිණිමයි කියලා...."
"ඔප්පු කරන්න මගේ ලඟත් ඇති වෙන්න සාක්ෂි තියනවා මචං.."
"හරි .... දැං ඔය උඹ කියන තාරකයි ලිහිණියි එකම වගෙයි කියලා උඹ පිළිගන්නවානේ"
" ඔව් ඒත් ලොකු වෙනස් කම් ඒ දෙන්නා ලඟ නැතත් එක කැපී පෙනෙන වෙනස් කමක් තාරකා ලඟ තියනවා"
"ඒ මොකද්ද බං ඒ...?"
" තාරකා හිනාවෙනකොට කම්බුල් වල ආවාට ගැහෙනවා බං..." සිකාගේ මූණ හතරැස් වෙන්න ගත්තා
"උඹට හොඳටම ෂුවර් ද ලිහිණිට එහෙම නෑ කියලා..." ඒක ඉතිං මටත් ෂුවර් නෑ තමයි.... මට දැං තාරකාව මිසක් ලිහිණිව හරියට මතක නෑ.
" හරි වරෙන් අර බූත් එක ලඟට යන්න..." මම සිකාව රුපියල් පහේ බූත් එකට දක්කගෙන ගියා. මූ ලඟ පත ඉඳලාත් මේක වැඩ කරන එක ගැන ඇත්තටම මට සතුටුයි

"උඹට මම තාරකයි ලිහිණියි දෙන්නෙක් කියලා ඔප්පු කරන්නම්..."
"මේ හොල්මන් බූත් එකෙන්..."
"ඔව් ඔව්...." මට එක පාරක් ඔබපු නම්බර් එකක් ඉතිං ලියා ගත්තා වගේ මතකයි. මොකද මම වැඩිය නම්බර් අතපත ගාන එකෙක් නෙවෙයිනේ.. මම ලිහිණි ඉන්න ඉස්පිරිතාලෙට කෝල් එක ගත්තා. අර ආතල් වොයිස් නංගි අපිව ලිහිණිගෙ නම කිව්ව ගමන් එයාගේ කාමරේට යොමු කලා. යොමු කලාට පස්සේ ආයෙ ගණුදෙනු මොකටද ලිහිණි ඉන්න නිසානේ යොමු කලේ මම කට් කරලා දැම්මා.
"දැං උඹට තේරෙනවානේ ලිහිණි කොළඹ කියලා... "මෙච්චර වෙලා රිසිවරේට කන දාගෙන හිටපු සිකා ඔළුව වැනුවා. දැං තාරකා... මම කෑගල්ලට කෝල් කලා.

"හලෝ..." කටහඬේ හැටියට නම් ලොකූ වගේ
"ලොකූ මම......"
" අනේ මයියා... උඹ නැතුව පාළුවේ බෑ බං..." මෙ ලෝකේ කවුරු කරි මම නැතුව පාළුවේනේ.. ඒකම මදෑ මට නින්ද යන්න
" නිවාඩුව ඉවර උණ ගමන් කොල්ලා ඔහෙනේ අක්කේ... ඒක නෙවෙයි තාරකා ඉන්නවාද?"
"හිටියා... හිටපංකෝ කතා කරන්න..." ලොකූ තාරකා කියලා බෙරිහන් දුන්නා.... අර ලිහිණිට කලා වගේ ෆෝන් එක මට කට් කරන්න හිතුනේම නෑ මම තව සිල්ලර කාසි ටිකක් අරකට එඹුවා.

"හලෝ..." මට ඔයා නැතුව පාළුයි තාරකා. එහෙම කියන්න මට පොඩි එකෙක්ට වගේ ආසාවක් ආවා. ඒත් කිව්වේ නෑ. ඔයා නොදැක ඉන්න දැං මට බෑ බෑ වගේ
"තාරකා මැඩම්ද?"
"ඔව්..." මම සිකාගේ කනටත් ෆෝන් එක ලං කලා මුටත් ඉතිං අනුන්ගේ බර කරත්තයක් නම් හොඳට හේත්තුව දාලා ඉන්නවා. 
"මම මේ කුරුඳුවත්තේ පොලීසියෙන් කතා කරන්නේ"
"පොලිසියෙන්...?" කෙල්ල සෑහෙන්න බය උණා.
"ඔව් ඔව්... තමුන් දන්නවාද තෙනුර අතපත්තු කියලා කෙනෙක්ව..."
"ඔව් දන්නවා..."
"කවුද එයා ඔයාගේ....?"
"යාළුවෙක්"
"එහෙනම් නිවුස් එක ඔයාට දීලා වැඩක් නෑ"
"ඇයි අනේ එයාට මොකද?"
" යාළුවන්ට පණිවිඩ දීලා අපේ තරුත් ගැලවෙන එකයි වෙන්නේ..."
" අනේ කියන්න .. තෙනුරට මොනා හරි කරදරයක්ද සර්...?" මේකි නියම ගානට ඇන්දිලා ඉන්නේ... හරිම ෂෝක් ආඩම්බර කම බහින්නත් එක්ක
"ඔව් ඔව් ලොකු කරදරයක්"
" අනේ කුමාරි ඇන්ටී........" තාරකා ලතෝනි දෙන්න පටන් ගත්තා... මම විතරක් නම් මදෑ සිකත් අවුල් වෙලා.
"ඕයි.... අයිසේ... පිස්සියේ.... මම තෙනුර තමයි මේ...." මට ඔයිට වඩා හොඳ වචන කටට ආවා. ඒත් කිව්වේ නෑ....



Tuesday, August 24, 2010

56 කොටස



ඩයිනමයිට් එකට විභාගේ පටන් ගන්නවත් එක්ක ඉස්කෝල නිවාඩුවත් පටන් ගත්තා. තාත්තා මට ගෙදර එන්න පර්මිට් එක පාස් කරපු හැටියේම මම ඇඳුම් දෙක තුනක් දාගෙන ගෙදර එන්න ලෑස්ති උනේ වලිකඩින් වැකේෂන් හම්බ වෙලා වගේ. නැන්දා නම් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ මාව තනියම කොළඹ යවන්න. එයාලට හිතෙන්න ඇති මට මෝහිණි අතවර කරයි කියලා. මම හිතන්නේ නැන්දා මාව ඩයිනමයිට් එකටත් වඩා පරිස්සම් කරනවා. මේ වෙලාවට මට දැනනවා අර බිත්තරේ අස්සේ ඉන්න කුකුල් පැටියා උණත් එළියට එනකොට එනවා ඇත්තේ... බිත්තරේ මැව්ව එකාට වැඩක් දෙන්න හිතාගෙන කියලා. ඒත් කාටවත් හිතෙන්නේ නැද්ද මමත් අඩුවක් පාඩුවක් නැතුව අත පය හතර තියන දෙකේ දෙකේ පොරක් කියලා. මම බෑග් එකත් අරගෙන එළියට ආවේ ගෙදර යන්න හිතාගෙන. ඩයිනමයිට් එක ඇරෙන්න ගෙදර අනිත් උන් නම් හිටියා. මොනා උණත් ඩයිනමයිට් එකේ බෝරේ දාන සද්දේ නැතුව කන් අඩියටත් පාළුයි.

"අනේ පුතේ පරිස්සමෙන් යන්න...." නැන්දගේ ඇස් වල කදුලුත් එක්ක..... ෂුවර් එකටම ඕවා නම් සතුටු කඳුළු
" මයියා... ගෙදර ගිය ගමන් අපිට කෝල් එකක් දෙනවානේ...." ලොකූගෙ කටහඬත් ඉතින් බැට්‍රිය බැහැපු එලාම් එකක් වගේ. මුන්ට මම යනවාට දුකද මන්දා. මටත් හීනියට එහෙම එකක් දැනෙනවා. මොනා උණත් මාස හයක්ම දුෂ්කර ක්‍රියා කරපු තැනනේ... මෙයාලගේ නරකක් නෑ. ඒත් සෑහෙන කාලෙකින් ගෙදර යන නිසා තියන ෆන් එක නම් ඉතිං කියලා වැඩක් නෑ.
"එකට දහයක් දෙන්නම්කෝ" මම එහෙම කියලා ෂේප් එකේ තාරකා දිහා බැලුවා. එයා ඉතින් බිම බලාගෙන. යන්න කලින් එක පාරක්වත් හිනා උණානම් ගෙවෙනවාද? අඬුගානේ පරිස්සමෙන් ගිහින් එන්නවත් කියනවා නම්.... වැඩි වෙලා අල බහින්න කලින් ගෙදරින් එළියට බැස්සා.


කොළඹට ගොඩ වෙනකොට ඇඟට ඇණුනේ ටැංකියක ඇති කරපු මාළුවාව මූදට දැම්මා වගේ සතුටක්.... අපෙ ගෙවල් පාරේ බස් එකට නැගලා තුන්කුදු උනාත් දැනුනේ මාර සනීපයක්. ඔන්න මම ගෙදර ආවා. අනේ තිබුණ එවා එහෙමමයි... තාමත් ගෙදරට ඇතුල් වෙන්න තියෙන්නේ දොරෙන්. මම ගේ ඇතුලට එනකන් කවුරුත් දැක්කේ නෑ. මුලින්ම මාව දැකලා මගේ ලඟට ආවේ අපේ ගෙදර ඇති කරන පූස් නාම්බා. 

"අම්මේ............." ඔන්න ඊට පස්සේ නංගි මාව දැක්කා... දැක්කාම මේකි කෑ ගැහුවේ අම්මාට. අම්මත් මම නැති අතරතුර කොහෙ හරි ටුවර් එකක් ගියාද දන්නේ නෑ. අම්මාත් ඉතින් හිමින්ම ඇවිල්ලා මාව දැක්ක ගමන් සුසන්තිකාගෙන් කකුල් ණයට අරං වගේ දුවගෙන ආවා.
"අනේ මගේ පොඩි එකා....." ආපු ගමන්ම මාව දෙකට නවලා අරගෙන බදාගත්තා. හැබැයි එයා ලඟ ඉන්නකොට තරම් සනීපයක් මේ ලෝකේ කා ලඟ වත් නෑ ඒක නම් මට බුදු ෂුවර්. එයාගෙන් මට තොත්තු වරුසාවයි. මටත් ඉතිං මාර සන්තෝසයි කොච්චර කාලෙකින්ද මෙයාලව දැක්කේ...
"කිව්වෙ වත් නැත්තේ ඇයි එන බව...?" අම්මා මගේ ඔලුව අතගාන ගමන් ඇහුවා...
"ඊයේ තාත්තා කෝල් කරපු වෙලාවේ එන්න කිව්වා... කෝකටත් තාත්තාගේ හිත වෙනස් වෙන්න කලින් මම ආවා." ඒක අහලා නංගිට මාර හිනා.
" මෙයා නැතුව සාංකාව ගහලා තිබ්බේ වැඩියම තාත්තාට නේද අම්මේ....?" ඔව් ඒක නම් පිලිගන්න වෙනවා, තාත්තාට මං ඇරෙන්න මේ ගෙදර එකෙක්වත් නෑනේ කටේ හිරි ඇරගන්නවත්. ඕක හිතුනා ඒත් කිව්වේ නෑ. මොනා උණත් වැරදීලා හරි අපේ අම්මා තාත්තාවනේ බැඳලා ඉන්නේ
"හැබැයි අක්කා කොල්ලාට මදි නොකියන්න කන්න නම් දීලා තියනවා... හොඳටම මස් එහෙම ඇඟේ දාලා ඇවිල්ලා..." අම්මාට නම් මාව දැකලා ආසාවේ බෑ... ඒත් අම්මා දන්නවාද මොනා කෑවත් මෙහෙදි කාපු රජ කෑම තරම් රහක් නෑ කියලා.

"ඕයි.... අර නැන්දාට කෝල් කරලා කියනවා මම ගෙදර ආවා කියලා..." මම නංගිට එහෙම කියලා හිමින් සැරේ මගේ කාමරේට ෂේප් උණා. ඇත්තටම මම මේ මගේ භවනට ආවේ කොච්චර කාලෙකින්ද? මේක මං හිටපු කාලේ වගේ මණ්ඩුල භවනක්නම් නෙවෙයි.... අපරාදේ කියන්න බෑ හොඳට සුද්ද කරලා. ෂා.. තාමත් මේ ඇඳ සැපයි අප්පා.... ඒත් එක්කම මට ගැන්සිය මතක් උනා. මම වැඩිකල් ඉන්නෙත් නැති එකේ අද ඉඳංම වලට සෙට් උණානම් වැඩේ ගොඩ... ලිහිණිව බලන්න යන්නත් ඕනේ.. සමරනායකයාව හොයා ගන්නත් ඕනේ...මේවා මම තනියම කරන්න ගිහින් පහුගියකාලේ වගේ ඇන ගන්නේ නැතිව ගැන්සියවත් සෙට් කරගෙනම වැඩේට බහින්න ඕනේ


දවල්ට එහෙම කාලා පොඩි ඇලට් එකක් එහෙම දාලා මම ගෙදරින් එළියට යන්න ලෑස්ති උණා, නංගි තේකත් අරං මගේ කාමරේට ආවා. දැං කොල්ලාට මාර සැලකිලි. බලන්න එපෑ තේකත් කාමරේටම එන හැටි.

"පොඩි අයියා කොහෙ යන්නද?"
"සිකා බලන්න..."
"භානුක කිව්වා ඔයා කෝල් කලා කියලා"
"හ්ම්ම්ම්ම්..."
"ලිහිණි අක්කාගේ තත්වේ බරපතලයි... දැං කතා කරන්නේ හරි අඩුවෙන්ලු"
"දන්නවා...."
"ඒත් ඔයා යන්න එහෙම එපා..." මේකි මාර මීටරයක්නේ... එකපාරටම සිරසේ තිබිලා වෙළඳසේවයට වැටුණා වගේ මීටරේ මාරු උණා
"දැං මම යන්නේ එහෙ නෙවෙයි අයිසේ.."
" මම දන්නවා..."
"එහෙනම් මෙතන ඇනයක් නොවී අයින් වෙනවා...." මම නංගිවත් සුළුවට තල්ලු කරගෙන කාමරෙන් එළියට ආවා.
"කොහෙ යන්නද මේ ආව ගමන්...?" එන ආත්මේ ඔය කටහඬ ඇහුණත් මට දැනෙන බය මේකම තමයි. අනේ තාත්තේ මම ඇබීන්දකට..... සිකාව බලලා එන්නද කියලා අහනවා වගේ තාත්තා දිහා මට බැලුනා

Sunday, August 22, 2010

55 කොටස


මට ජීවිතේ පළවෙනි වතාවට දැණුනේ මහා මුස්පේන්තු ගතියක්. මට එහා පැත්තේ ලිහිණි ඉඳලත් මාත් එක්ක කතා නොකරන්නේ මම කරපු වරද නිසාද?. එක අතකින් බලනකොට මම වරදක් කරලාත් නෑ. එයාමයි මට කිව්වෙ ආයේ මුණ නොගැහෙමු කියලා. අනික එවෙලේ මම හිතුවෙ මගෙ එවුන් ගැන... ඔයාව අමතක උනා නෙවෙයි. ඒත් මම වැරදියි කියලාමයි මට හිතෙන්නේ... මේකත් අර හතර බීරි දොම්පේ සීන් එක වගේ....

"ලිහිණි................. ඔයා මට කියන්න ඇයි මාත් එක කතා නොකරන්නේ කියලා......" අන්ත අසරණ බලු කුක්කෙක් වගේ මම කෙදිරි ගෑවා. අම්මපා..... මම මෙහෙම අපේ තාත්තා ඉස්සරහා වත් කෙඳිරිගාපු එකෙක් නෙවෙයි. ඒත් එක්කම මට ඇහුණේ හීනියට ඉකි ගහන සද්දයක්. මම ටැප් එක ලීක් වෙන්න මොකුත් කිව්වෙත් නෑ මගේ හිතේ.... ඔන්න එතකොට මට කන ලඟ භානුකයාගේ කටහඬ ඇහුණා.
"මචං... එයා අඬන්න ගත්තා..... හැමදාම එයා එහෙමයි................." භානුකයා එහෙම කිව්වේ ලෝකේ පාළු වෙන්න හුස්මක් පිට කරන ගමන්.
"භානුකයා මට කියපං මචං මම වැරදිද කියලා....? මගේ බොක්කම අවුල් බං සිරාවටම ලිහිණි අඬනවා ඇහිලා"
"උඹ මොනා කරන්නද....? මේ හැමදේටම වග කියන්න ඕනේ අපේ තාත්තා.... එයා අර ඇමතියාගේ පුතා බඳින්න කියලා බලකරනවා බං"
"ලිහිණි ඔහොම තත්වෙක ඉදිද්දී ඔහොම කරන්න උඹලෑ තාත්තාට හිතක් පපුවක් නැද්ද කියලපං"
"අපේ තාත්තාගේ පපුව නෙවෙයි සර්වාංගේම වැඩ කරන්නේ සල්ලි වලින් විතරයි මචං... එයා මේ ලෝකේ හැමදෙයක්ම සල්ලි වලට ගත්ත කෙනෙක්. එයා හිතන්නේ එයාට වගේ ආදරය, බැඳීම්.... නෑදෑකම්, සහෝදරකම් හැම දෙයක්ම සල්ලි වලට ගන්න පුළුවන් කියලා. අන්න එතනදි අපේ තාත්තා ඇන ගන්නවා. මම හිතනවා අපෙ තාත්තාට කවදාවත් එපා නොවෙන දෙයක් තියනවා නම් ඒ සල්ලි විතරයි කියලා.... ඒක නෙවෙයි දැං උඹ කොහෙද ඉන්නේ?"
"නැන්දලාගේ ගෙදර.... ඒත් කොහෙද නැනදලාගේ ගෙදර තියෙන්නෙ කියලා මගෙන් අහන්න එපා."
"මට තේරෙනවා තෙනුර.... උඹ හොඳින් හිටපං...."
"නිවාඩු කාලේ මම කොළඹ එන්න ට්‍රයි එකක් දෙනවා එහෙම උණොත් මම අනිවා ලිහිණිව ඇවිත් බලලා යන්න එන්නම්"
"ඒක නම් ලොකු දෙයක්" භානුකයා කතා කරන්නේ උගේ මොක්කෙන්ම එන වේදනාවත් එක්ක. ඒක මට තේරෙනවා එදා අර ගස් එළුවෝ අපේ නංගිටයි අක්කාටයි මොනා හරි කරනවා කිව්වාමත් මට ආවේ එහෙම වේදනාවක්, මාව මරනවා කියලා කිව්වනම් මම මෙහෙ පස් පාගන්නවත් හිතන්නේ නෑ. ඒත් උන් ගේම ඉල්ලුවේ මගේ අහිංසක අක්කාගෙනුයි නංගිගෙනුයි නේ... ඒකයි මම ගොඩාක්ම බය උනේ...."
"එහෙනම් මම කැපෙන්නම්...."
" උඹ මීට පස්සේ මගේ මොබයිල් එකට ගනින්..." භානුකයා කට ඇරලා මට උගේ නොම්බරේ කියන්න ලෑස්තිය
"එපා භානුකයා.... මම කොළඹ ආවාම නංගිට පණිවිඩේ දෙන්නම්... උඹ ඕක දුන්නයි කියලා මම කතා කරන එකක් නෑ"
"උඹේ කැමත්තක්..............එහෙනම් ආයෙත් හම්බ වෙමු...." භානුකයා එකම වාක්‍යය ගොත ගහනවා. මට ඇත්තම කිව්වොත් නිවාඩු කාලේ නෙවෙයි මේ දැං ලිහිණිව බලන්න යන්න හිතිලා තියෙන්නේ. ඒත් කාලය කෙතරම් නපුරුද කිව්වාලු. මම පුළුවං තරම් අවසානය කෙටි කරලා ෆෝන් එක තිබ්බා. 

පව් අප්පා තාත්තා කෙනෙක් වෙලා ජයවීරයා කරන්නේ අළුගෝසු වැඩක් නේ. ඒ අතින් අපේ තාත්තා හිට්ලර් වගේ පොරක් උණත් හැමදේම කරන්නේ අපි වෙනුවෙන්. මට ඉතිං අපේ තාත්තාගේ ගති ගුණ වලට ගුණ කියවෙන්නේ සූර්යග්‍රහණයක් වෙනවා වගේ කලාතුරකින් තමයි. ඒත් ජයවීරයා එක්ක බලනකොට අපේ තාත්තාට පාට හතක මල් පූජා කරලා හඳුන්කූරක් පත්තු කරන්න වටිනවා.


"හලෝ හලෝ .... අපි යනකොටත් කල්පනාව.. එනකොටත් කල්පනාව... මොකද මේ...?" මම එතකොට හිටියේ අර ෆෝන් එක ලඟ බිම වාඩිවෙලා. මගේ ඔක්කොම චැනල් වැඩ කලේ ලිහිණි ගැන
"ලිහිණි..." මටත් දවල්ට තරු පෙනීගෙන එන ලෙඩේ හැදීගෙන එනවද මන්දා.. කිව්වට පස්සේ මතක් උනේ කොල්ලා ඉන්නේ කෑගල්ලේ කියලා.චාටර්නේ ඉතිං දැං තාරකා හිනා වේගෙන මගේ දිහා බලන් ඉන්නවා. මමත් ඉතිං අපේ තාත්තාගේ ගල් ඉබ්බා වෙච්චි.
"මම ලිහිණි නම් නෙවෙයි..."
"හරි හරි ප්‍රින්ටින් අවුලක්.... ඔයා මොනාද මෙහෙ කරන්නේ...?" අනිත් අයත් මගේ වටේද බලන්න වගේ මම වටපිට බැලුවා.
"මට මහන්සි නිසා ගෙදර ආවා.... අංකල් පන්සල ලඟට ඇවිල්ලා කට්ටියවම ටවුමට එක්කං ගියා... මම ගේ ලඟින් බැස්සා. මට ටවුමට යන්න කම්මැලි හිතුණා..."තාරකා අයේත් මගේ ලඟ තියන අර තඩි ඩිරෙක්ට්‍රිය බලලා හිනා උණා.
"ඔයා විතරක් ආව නිසා හොඳට ගියා නැන්දා එහෙම ආවනම් අතේ මාට්ටු..." මම කරටේ පැන්ඩා වගේ නැගිට්ට ගමන් ඔක්කොම ටික තිබුණි තැන් වලට එඹුවා
"දැං මොනාද කරපු හොර වැඩ කෙල්ලටවත් කෝල් කලාද?" තාරකා ඒක ඇහුවේ නම් හිනා වෙවී.. මේ කෙල්ලොන්ට හොරයක් බොරුවක් වංචාවක් කලොත් අහු වෙනවානේ... ඒකට අර තක්කඩි... හොර බොරු වංචා කරනවා... උන් ඔය ලස්සනට ගේම ගෙනියන්නේ
" ආයේ අහලා චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා...." තාරකා හිනාව නවත්තලා මා දිහා බැලුවා.
"ඔයා මෙහෙ හිටියට හිත එහෙ නේද"
"මම එහෙ හිටියත් තාරකා මගේ හිත මේ ලෝකේ හැමතැනම... ඒක එක තැනකට තියලා බඳින්න පුළුවං ජගතෙක් කොහෙවත් නෑ...
" නෑ නෑ මම කිව්වේ ඔයාගේ හිත ලිහිණි ලඟ කියලා..." 

ඒ කොහොමද එහෙම වෙන්නේ මගේ හිත තියෙන්නේ කොහෙද කියලා මමවත් දන්නේ නෑ. වෙලාවකට අම්මාගේ බත් එක මතක් උණාම හිත එතන, අයියාගේ මෝඩ ජෝක් මතක් වෙලා ඊට පස්සේ හිත එතන, නංගිගේ නෝණ්ඩියක් මතක් උණාම හිත එතනට යනවා. ආයේත් අක්කාගේ බොත්තම් ලිස්ට් එක මතක් වෙනවා ඔන්න මෙතනින් එතනට හිත යනවා. තාත්තාගේ රාස්ස මූණ මතක් උණාම එතනට හිත යනවා නෙවෙයි එතනින් හිත දුවලා දුවලා ගිහින් ලිහිණිගේ අහිංසක මූණ ඉස්සරහා නවතිනවා... ආයෙත් මට පේනවා ගැන්සිය බලාගෙන ඉන්නවා. ඔන්න ආයෙත් උන් එක්කම හිත තාප්පේ දිගේ බඩ ගානවා. අන්තිමට මෙයාගේ වල ගැහෙන කම්බුල් දෙක මතක් වෙනවා එතකොට අර ඔක්කොම දාලා මෙහෙට හිත දුවගෙන එනවා. ඒ මිසක් ඒ හිත එක තැනක් තියලා එන්න තරම් මට ගටක් නෑ.

"ඔයා ආයෙත් කල්පනා කරනවානේ තෙනුර..."
"ඇත්තමයි තාරකා මම මේ කල්පනා කලේ.. මේ වෙලාවේ ඇත්තටම මගේ හිත කොයි හරියේ ඇද්ද කියලා." තාරකා හිනා උණා... දැං නම් ඇත්තමයි බබා මගේ හිත තියෙන්නේ ඔයාගේ හිනාව ලඟ. ඒත් ලිහිණිගේ තත්වේ ගැන ඇහුවාම මට දැණුන අමාරුවත් එක්ක මට ගොඩාක් වෙලා ඔයාගෙ හිනාව ලඟ ඒ හිත තියන්න විදියක් නෑ... දැං නම් මට ඇත්තටම හිතෙනවා මේ දෙන්න එක්කෙනෙක් උණානම් කියලා.....

Thursday, August 19, 2010

54 කොටස



පොඩ්ඩ වෙන්න ඇස් දෙක පියවෙනකොට තාරකා මට ඇනලා ඇහැරවනවා. මම මාර දුකක් තමයි අද වින්දේ.... එන සුමානේ ඩයිනමයිට් එකට ඕලෙවල් පටන් ගන්නවා.ඉස්කෝල නිවාඩු නිසා මාවත් කොළඹ ගෙන්න ගන්න පුළුවන්ද කියලා අපේ තාත්තාගෙන් අහන්න ඕනේ. මම ඉතෝප්පුවට වෙලා නැන්දා හදලා දුන්න කිරිතේකත් අතේ තියාගෙන මනෝව ලං කර ගත්තා. 
"ඔයා එනවාද පන්සල් යන්න" කණ ලඟ ලව්ඩ්ස් ස්පීකරයක් වැඩ කලා. මාව උඩ ගිහින් තවත් උඩ ගියා. අනේ අම්මපා මට පුළුවන් නම් මේ ඩයිනමයිට් එකේ ස්පීකරේ කඩන්න මම ඒක කඩලා ගොඩාක් කල්.
"මම තමුසෙට කීපාරක් කියලා තියනවාද කන ලඟට ඇවිල්ලා කතා කරන්න එපා කියලා."
"ඉතිං තමුසේට මම කොච්චර කතා කලාද....... කොහෙද තමුසේ හිටියේ හඳේනේ..." වෙන්න ඇති මටත් මේ මොනෝව සෙට් කර ගත්තාම මෙලො දෙයක් ඇහෙන්නේ නෑනේ. මේ වගේ කන ලඟ ගැහුවේ නැත්තං ටකේ....
"කියනවකෝ.... එනවාද?"
"නෑ නෑ... තව මට ජීවත් වෙන්න කල් තියනවා... දැන්ම පිං කර ගන්න ඕනේ නෑ..."
"එහෙනම් ඉන්නවාකෝ.... තමුසේ රස්තියාදුවේ යයි කියලා අම්මා බයෙන්..."
"බය වෙන්න එපා කියන්න මට රෑ උණාම ඇස් පේන්නේ නෑ..."  මම බිබී හිටපු තේක බීල කෝප්පේ ඩයිනමයිට් එකට දුන්නා. 
"ඔයාට අපි නැතුව පාළු නැද්ද ගෙදර ඉන්න...?"
"අම්මෝ නෑ... කනක් ඇහිලා ඉන්න පුළුවන්..... ගෙදර ඔක්කොමලා යනවාද?" ඩයිනමයිට් එක බලස් ගාලා හිනා උණා.
"මමයි අම්මයි අක්කයි තාරකයි යනවා. තාත්තා එන්න තව පරක්කු වෙයිනේ...." ඒක කිව්වෙත් අසාමන්‍ය විදියට ඇදලා. 
"හරි හරි ගිහින් එනවලාකෝ...."
"මම කියන්නද තාරකාට ඔයා ඉන්න කිව්වා කියලා?" මේ මේකි මාර බඩුවක්නේ..... ඒ මොකටද එයාට ඉන්න කියන්නේ... මට උයලා පිහලා දෙන්නද?
"තමුසෙට පිස්සුද ඕයි... එයා මෙහෙ ඉඳලා මගේ රෙදි ටික හෝදලා දෙන්නද?"
"එහෙනම් දුකෙන් වගේ ඇහුවේ ගෙදර ඔක්කොමලා යනවාද කියලා..?"
"දැන ගන්න..... හිත හදාගන්න... කවුරු හරි වදකයෙක් නැවතුනොත් ඉන්න" ඩයිනමයිට් එක රවාගෙන ගෙට ගියා. ඒ මොනා උණත් තාරකා ගෙදර හිටියානම් මරු තමයි. මම එයා හිනා වෙනවා බලන්න මාර ආසයි. ඒත් ඉතිං ඕවා සණිප වෙන්නේ නැති ලෙඩ වෙච්චි.... ඔන්න ඔහේ පන්සල් යන එකම තමයි හොඳ...


ටික වෙලාවකින් ගෙදර හිටපු කට්ටිය සුදු එහෙම ඇදගෙන එළියට බස්සා. නැනදා ෆුල් අනාත වෙන්න කියවලා කියවලා තමයි එළියට බස්සේ.... ඒ කියන්නේ මට මේ ගෙදර හතර මායිමෙන් එළියට යන්න බෑ. චාටර් අප්පා. මොනා උණත් අපේ ගෙදර හොරෙන් හරි එළියට යන පුලූවන්. කුස්සිය පැත්තේ තාප්පෙන් පැන්න ගමන් එහා පාර. ඒත් මෙහෙ වැටෙන් පැන්නොත් එහා ගෙදරට... බල්ලෙක් එහෙම හිටියොත් බඩුම තමයි. කමක් නෑ මට මේකෙන් පනින්න ඕනේ නෑ. නිකන් ඉන්න එකේ තාරකායි ලිහිණියි කියන්නේ එක්කෙනයිද කියලා හොයා ගන්න පොඩි ගේමක් ගහන්න ඕනේ. කොහෙද මම අපේ ගැන්සියේ ගෙවල් වල ටෙලිෆෝන් තියනවාද කියලාවත් දන්න එකක් යෑ. හොඳම වැඩේ ගෙදරට කතා කරලා තත්වෙ බලා ගන්න එක.


මම ටෙලිෆෝන් එක නොම්බර ටික ඔබලා ගෙදරට කෝල් එකක් ගත්තා. මම එච්චර පුරුද්දකින් කෝල් ගන්න එකෙක් නෙවෙයි. ඕනෙ එකෙක් මට කෝල් කරනවා මිසක් මම කාටවත් කෝල් කරන්නේ නෑ. 
"හලෝ" බඩුම තමයි එහා පැත්තෙන් කතා කරන්නේ අක්කා.
"අක්කේ.... මම මම... නංගි ඉන්නවාද?
"අනේ මයියෝ.... උඹට කොහොමද බං...... මෙහෙ මාර පාළුයි...."
" මම මේ ඉන්නේ මයික් ටයිසන් වගේ... නංගිට දෙනවාකෝ.. තාත්තා දැන ගන්න කලින්"
"නංගි ක්ලාස් ගිහින් මය්යෝ... අම්මායි තාත්තායි එළියට ගිහින්...."
"අයියෝ... චාටර්නේ.... කීය විතර වෙයිද ඒකි එනකොට....."
"ඒක දන්නේ නෑ... මොකෝ හදිස්සියේම නංගිව හොයන්නේ....."
" නිකන් නිකන්... කටහඬ අහන්න ආස හිතුණා. මම තියනවා.... කාටවත් කියන්න එපා මම කතා කලා කියලා"
"මයියා... උඹ හොඳින් නේද ?"
"ආයේ අහනවා... මම තමුසෙට කිව්වේ හොඳ ෆිට් එකේ කියලා" තව වැඩිය මොකුත් අහන්න කලින් මම ෆෝන් එක තිබ්බා. අම්මායි තාත්තායි නැත්නම් මම දන්නවා ඔය ෆෝන් එක ලොක් කරලා ඇත්තේ.... මොකද අක්කයි නංගියි තරඟෙට මල් කඩලා. ඕකට ඉබ්බා වැටුණානේ. ඒ නිසා ආයේ අක්කාට මට කෝල් කරන්න විදියක් නෑ. ඒකත් හොඳයි. හ්ම්ම්ම්ම්ම්........... මොකද මම කරන්නේ..... හරි මම ජයවීරගේ ගෙදර නොම්බරේ හොයා ගත්තා නම් වැඩේ ගොඩනේ. කෝල් එකක් දීලා කොම්ෆර්ම් පාරක් දාගන්නවා. ඒත් කොහෙන්ද ඒක හොයා ගන්නේ..... අර පත පොතක් තියනවා නේද ඔක්කොම නම්බර් දාලා. ඒකේ කොහෙ හරි ඇති බලමු. මම ඉතිං මකුළු දැං පෙරාගෙන පොත හෙව්වා. ඒකෙ පොතක් තිබ්බා කොළඹ නම්බර් නැති. මල පනිනවානේ, දැං ඉතිං පොලිසියෙන් අහන්න යෑ. හරි මරු අයිඩියා එකක් ආවා. අර ලිහිණි හිටපු ඉස්පිරිතාලෙට කතා කරනවා.උන් ලඟ නම්බර් ඇති. කොල්ලාට එළුවාට වගේ මොලේ එනවා හඳ කාලෙට
. අර තඩි පොතේ ඉස්පිරිතාලෙ නම්බර් එක නම් තිබ්බා.
"හලෝ......" 
"ඔව් සර්ට කාටද කතා කරන්න ඕනේ..." ලස්සන කටහඬක් අප්පා... මට මෙයටම දිගටම කතා කරගෙන යන්න පුළුවන් නම්.. ඒක නෙවෙයි දැං මම කතා කලෙ කාටද? ආ.
" ලිහිණි ජයවීර...." පොඩ්ඩක්  ඉන්න.......... මෙන්න ඊට පස්සේ මලෝ රහක් නැති සිංදුවක් යනවා. මමත් ඇරියේ නෑ... අල්ලගෙනම හිටියා.
" හලෝ......" අර ලස්සන කටහඬ මලකඩ කාලා වගේ කටහඬක් ඇහෙනවා. එහා පැත්තේ...
" කවුද මේ..." ආයෙත් අහනවා.... ඇයි අප්පා මම කවුද කියලා කියන්න පුළුවන්ද එහෙම. මෙයාට තියෙන්නේ මාර හදිස්සියක්නේ... භානුක හරි ලිහිණි හරි ඉන්නවාද? ටිකක් අවුලෙන් මම ඇහුවා....
" ලිහිණි බේබි බාත් රූම් එක ඇතුලේ.... භානුක මහත්තයා එළියේ.... ඉන්න මම කතා කරන්නම්...." ගොඩනේ... මේ අර එදා මම දැක්ක ඇන්ටික් ආච්චි වෙන්න ඇති. ඒ කියන්නේ ආයේ ලිහිණි ඉස්පිරිතාලේ.... දැං නම් ආයේ මාර ෂුවර් ලිහිණියි තාරකයි කියන්නේ ඩබලක්.
" හලෝ...."
"මචං.... භානුක..."
"ඔව්..."
"මම තෙනුර.." 
" උඹ ගැන ආරංචියක් නැතුව මම අනාථ වෙලා හිටියේ.... ෂවිනිගෙන් නම්බර් එකක් ඉල්ලුවට දුන්නෙත් නෑ.."
" හැමකෙනාගෙම හොඳට මම කැපුණා මචං..."
" උඹ කැපුණාට පස්සේ ලිහිණිගේ තත්වෙ තමයි නරක් උනේ..."
"මචං ලිහිණි ලඟපාත ඉන්නවාද?"
"ලිහිණි කතා කරන්නේ හරි අඩුවෙන් තෙනුර..."
"ඇයි?"
" එයාට හැමදේටම තාත්තා බල කරනවා..."
" එහෙම කරන්නේ කොහොමද?"
" ඉන්න මම දෙන්නම් ෆෝන් එක ..." මට ඇහෙනවා භානුකයා ලිහිණිට කතා කරනවා.
"ලිහිණි... මේ තෙනුර කතා කරනවා" සද්දක් නම් නෑ.....ටික වෙලාවකින් ෆෝන් එකට හුස්මක් වැටෙන සද්දක් ඇහෙන්න ගත්තා.
"හලෝ..." මම ආයෙත් හලෝ පාරක් දාල බැලුවා.
" ලිහිණි මේ ඔයාද?" ටික වෙලාවකට පස්සේ මම ආයේ ඇහුවා.
"ඔව්...." ගොඩාක් කාලෙකින් මට ඒ කටහඬ ඇහුණේ.... ඒත් ඒ කටහඬ මම මටත් වඩා හොඳට අඳුනනවා.
"ලිහිණි මාත් එක්ක තරහා වෙලාද?" හුස්ම සද්දේ ඇහෙනකොට මගේ පපුව හෝස් ගාල ගියා. මේ කෙල්ලට මෙහෙම උණේ මම නිසාද? ඒත් මම මොනා කරන්නද? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. හිතෙන්නේම මම මේ හැම දේටම වැරදියි කියලා, හැබැයි අනිත් හැමෝම කියයි මම වැරදි නෑ කියලා. තාරකාවයි ලිහිණිවයි එක්කෙනෙක් කරන්න බෑ. තාරකා හිතෙන් යකඩයක් වගේ.. ඒත් ලිහිණි ..... මාෂ්මෙලෝ එකක් වගේ.. ඒකයි ලිහිණිට මෙහෙම වෙන්නේ.

Wednesday, August 18, 2010

53 කොටස



කරුමෙට මටත් ක්ලාස් එකකට යන්න සෙට් උණානේ. මටත් උනේ හරියට අර හැමදේටම කට දාන්න ගිය මාලුවාට වෙච්ච දේ. දැං ඉතිං උදෙන්ම නැගිටලා දවසම ඉන්න බලාගෙන ක්ලාස් එකට යනවා කියන්නේ මරනවා වගේ කේස් එකක්. අනික ගැන්සියවත් හිටියානම් දුක නෑ. මම පුළුවං තරම් හෙමින් ලෑස්ති උණා.


"පොඩි අයියේ......... ඉක්මනට ලෑස්ති වෙන්නකො.. තාරකා කීයේ ඉඳංද යන්න බලාගෙන ඉන්නේ...?' ඩයිනමයිට් එක ඔය රෙකෝඩ් එක ගහපු 5 වෙනි පාර තමයි ඔය.
"ලෑස්ති උණ අයට යන්න කියන්න... මම එන විදියකට එන්නම්...." මටත් ඉතිං ඕනෙවාට වඩා හදිස්සි කලාම නස්පියට තද වෙනවා
"අම්මා කිව්වා තාරකට ඔයත් එක්කම යන්න කියලා නැත්නම් ඔයා රස්තියාදු ගහනවා කියලා" මම වගේ තොත්ත බබෙක්ව ආම්බාන් කරන්න තාරකාගෙ සයිස් එක ඇති වෙයිද මන්දා. මම කාමරෙන් එළියට ආවා.


"අප්පටසිරි... බලාපල්ලාකො පොඩි අයියාගේ හැඩ...?" ඩයිනමයිට් එකේ කතාව නම් මට දිරෙව්වේ නෑ. බෙල්ල කැපිලා යන්න නෝණ්ඩිය දාලා හිනා වෙන හැටි විතරක් හැල ගෙම්බි....
"ඔව් එහෙම නැතුව බෑනේ.... ක්ලාස් එකේ ලස්සන කෑලි ටිකට හරියන්න අපිත් ඇහැට කනට පේන්න ඉන්න එපෑ". මම එහෙම කියන ගමන් තාරකා දිහා බැලුවා. ඒත් බලපු එකත් අපරාදේ මෙයා රහසින් වත් මගේ දිහා බලන්නෙම නෑනේ. කමක් නෑ අපි ඔහොම යන්කෝ නංගි


අපි පාරට බැස්සා ටික වෙලාවක් යනකන් නෝ කතා... තාරකා දෙතුන් පාරක්ම මගේ දිහා බලනවා කියලා මට තේරුණා. ඒත් මම නම් ඔන්න බැලුවේ නෑ. ලේඩිස් ෆස්ට් කිව්වලු. කතා කලොත් සෙකන්ඩ් එකට දාලා කතා කරනවා.
"ඇයි ඔයා ඊයේ මාව හොයාගෙන ගියේ...?" ඔය මම කිව්වේ එයාම එන්ටර් වෙයි කියලා ගේමට. ඕකට තමයි කිව්වේ ඉවසන එකාට හම්බ වෙන කඩුව කොස් කොටන්නද කියලා.
"මට හරි ආස හිතුනා ඔයා ගුටි කනවා බලන්න"
"මම...?"
"ඔව් ඔව්... මට එදා හම්බ උණ මඟුල් කෑම මතක් උණා. මම හිතුවා ඔයාටත් අඩුම ගානේ සම්බෝල නැතුව තෝසෙයක්වත් කන්න ලැබෙයි කියලා.
"මම ගුටි කෑවානම් ඔයා මොකද කරන්නේ..." මෙයා ආස ඇති මමත් සුපර් මෑන් වගේ කොහෙන් හරි පාත් වෙලා මෙයත් එක්කම ගුටි කනවා කියලා අහගන්න
"මම ඉතිං මොනා කරන්නද? ඔයා ගුටි කාල ඉවර උනාම ෂෝ එක කලාස් කියලා ගෙදර එනවා මිසක්" තාරකාට මල පැන්නද දන්නේ නෑ මම හිමින් සැරේ එයාගේ මූණ දිහාවට හැරුණා. මේං බොලේ මේකි හිනා වෙනවා.
"ඇන්ටිටත් බොරු කියලා හැටන් ගියේ මම ගුටි කනවා බලන්නද?"
" ආයේ අහලා හුඟ කාලෙකින් රෙස්ලින් කෑල්ලක් බලන්න සෙට් උණෙත් නෑනේ" තාරකා අයෙත් හිනා උණා.
"දවසේ කතාව"
"මේ ඒක නෙවෙයි... අර ගරුඬෙක් හිටියා නේද වාහනේ එළවන්න?"
"ගරුඬෙක්...?" තාරකා මගේ දිහා බැලුවේ හිනාව තද කරගන්න ගමන් ... ඒතකොට කම්බුලේ හෑරුණ බව ආවටයක් වෙලා එහෙමම තියනවා. බලන්න ලස්සනයි.
"ඔව් ඔව් අර තට්ටේ එහෙම ගාල හිටිය රස්ති පොර?"
"ආ......... ඔව් ඉතිං...?"
"ඌත් ඔයාගේ නෑයෝ වෙනවාද?" තාරකා ආයේ හිනා උණා.
"නෑ නෑ ඒ සමරනායක අංකල්ගේ බොඩිගාර්ඩ්ස්ලා....."
"ඕකා මගේ බඩ කොර වෙන්න නෙලුවා..." තාරකාගේ හිනාව නැති වෙලා ගියා.
ඊටපස්සේ...?"
"ඊට පස්සේ කියන්නේ මමත් ඉතිං ගුටි කාගෙන හිටියා,,,"
" ඔයා කියනකන් මම සමරනායක අංකල් ගැන හිතන් හිටියේ හරිම හොඳ කෙනෙක් විදියට..."
"ඔව් ඔව් හරීම හොඳයි නම් තමයි"
"හොඳයි.............?" තාරකා මගේ දිහා බැලුවේ මූට පාගල්ද කොහෙද කියනවා වගේ.
"ඕකා නොහිටින්න මම මෙහෙ එයිද?" තාරකා හිනා උණාට එක පාරටම වරකා පෙනුමක් මූණට ආවා.
"එයා මට නොකියන ගොඩාක් රහස් තියනවා තෙනුර" මෙයාටත් ඕනේ කතා කරන බෝනික්කෙක් වගේ ඔක්කොම ටික එක පාර ගන්න. සමරනායක ජයවීරගේ යාලුවා නම් ලිහිණිව දැකලා ඇති. මේ දෙන්නගේ මූණත්තහඩුවේ තියන සම්බන්දේ නිසා තාරකාට මොකක් හරි කරදරයක් කරන්නඩත් බැරි නෑ
"ඔයා මොනාද හිතන්නේ.....?"
"මම හිතන්නේ ඔයා තනියම කොළඹ යන එක නවත්තලා දාන්න. ඒක ඔයාගේ ජීවිතේට අනතුරක් වෙන්න ඉඩ තියනවා" කොල්ලාගේ වචන පිට උනේ බොක්කෙන්ම තමයි.
"එතකොට මට තාත්තා ගැන හොයාගන්න වෙන්නේ නෑනේ...?"
"ඔයාගේ ජීවිතේ අමාරුවේ දාගෙන හොයන දේ හොයලා තේරුමක් නෑ... අපි කොහෙන් හරි පොටක් පාද ගමු එතකම් ඉවසලා ඉමු" තාරකා මාර හුස්මක් හෙලලා දැම්මා.
"ඔව් ඔයා කියන එක ඇත්තක් වෙන්න පුළුවං..."
"සමරනායක ඔයාගෙන් දැන ගන්න හදන දේවල් ගැනත් පරිස්සමෙන් උත්තර දෙන්න හරිද?" 
"මම එහෙම හැමදේම එයාට කියන්නේ නෑ..."
"ඔය සමරනායක කොහෙද ඉන්නේ කොළඹ?"
"මට එයාව හම්බ වෙන්නේ එයාගේ ඔෆිස් එකේදි.... අනික මගේ ලඟ තියන ඇඩ්‍රස් එකත් ඔෆිස් එකේ එක"
"ඒකත් එහෙමද?"
"දැං කොහොමද ඔය පොරව සෙට් උනේ ඔයාට...?"
" අත්තම්මා මට නැති වෙන්න කලින් ලියුමක් එවලා තිබ්බනේ මෙයාගේ ඇඩ්‍රස් එක එහෙම දාලා. මම ඒ ඇඩ්‍රක් එකට ලියුමක් දැම්මා... මම හඩ්සන් වික්‍රමනායකගේ දුව කියලා මට අංකල්ව හම්බ වෙන්න ඕනේ කියලා. පස්සේ එක දවසක් එයා කෑගල්ලට ආව මාව හම්බ වෙන්න. අන්තිමට එයා මාව හැම මාසෙකම එහෙ ගෙන්න ගන්නවා කියලා ගියා. එදා ඉදං මට හැම මාසෙකෙම වාහනේ එවනවා කොළඹ එන්න.... කුමාරි ඇන්ටිට මම කියලා තියෙන්නේ ඒ මගේ මාමා කෙනෙක් කියලා, අත්තම්මා බලන්න යන්න වාහනෙ එවනවා කියලා. මම හොරෙන්ම දෙ තුන් පාරක් කොළඹ ගියා දැනට මම සමරනායක අංකල්ව දෙතුන් වතාවක් කොළඹදි හම්බ වෙලා තියනවා."
" ඔයා යකඩ කෙල්ලෙක්නේ... බය හිතුනේ නැද්ද?"
"මුලින් බය හිතුනා ඒත් සමරනායක අංකල් මට දරුවෙක්ට වගේ සලකනකොට මට බය ඉබේටම නැතුව ගියා, එයාගේ පුතත් හරිම හොඳයි.... එයා තමයි මෙහෙ ඇවිල්ලා මෙහෙ කොල්ලොන්ට පොඩ්ඩක් ෂෝ එක දැම්මේ"


අපි කතා කරන ගමන් ක්ලාස් එක ලහටම ආවා. ඒත් මට තවම මේ තාරකා ලිහිණිවත්ද කියලා හිතෙනවා අප්පා. 

"අර නරි රැළවනම් ගණන් ගන්න එපා" තාරකා මට ලං වෙලා කියලා එතනින් ඉස්සරහාට ගියා. ඒක කියලා හැරෙන්න හම්බ උණේ නෑ අර අශාන් ද මොකාද එකා මගේ ලඟට බඩ ගාගෙන ආවා
"උඹත් දැං මාර සයිස් නේ.." 
"ඒ මොකෝ බං.. උඹට දැං මාව ආනල්ඩ් වගේ ද පේන්නේ?" මම ගානක් නැතුව කියලා දැම්මා. ඒ අතරතුර තාරකා මගේ දිහා හැරිලා බැලුවා.
"මචං.... මැටිල්ඩා උඹත් එක්ක ෆිට් එකේ අපේ රොමේෂ්ට පොඩි සප් එකක් දීපංකෝ..." මේ හාල්පාරුවා ඉල්ලන්නේ මහ මුස්පේන්තු උදව්නේ... අර නිළි පොරට හරි යන්නේ හයේ හතරේ පොරක් මිසක් කෙල්ලෙක් නෙවෙයි. මොකද උගේ ඇඟ පුරාම තියෙන්නේ ගෑනු ජාන.
"අනේ මට ඒ වැඩේ නම් අවුල් මචං... මම ඇත්තටම අහිංසක කොල්ලා.. ඔය කෙල්ලොන්ගෙන් ගුටි එහෙම කාලා මට පුරුද්දක් නෑ" කෙල්ලොන්ගෙන් නොකෑවට ඕනෙම තරාතිරමක එකෙක්ගෙන් කන පුරුද්ද නම් මට අඩුවක් නැතිව පිහිටලා තියනවා.
 ඒත් එක්කම තාරකා එයාගේ සබ්බ සකලමනාවම අරං ඇවිල්ලා මට එහා පුටුවෙන් වාඩි උනා.
"මේ මොකද.. හිටපු තැන මකුණොද?"
" මම මීට පස්සේ ඉඳගන්නේ ඔයා ලඟ.... එතකොට අරුන් ඔයාගේ වටේ කැරකෙන්නේ නෑ... රස්තියාදුකාරයෝ" තාරකා එහෙම කියලා තවත් හොඳට එයාගේ බඩු එහෙම පිලිවලක් කරගෙන වාඩි උනා. අර අශාන් කාරයාගෙයි අනිත් සෙට් එකෙයි මූණු වකුටු වෙලා ගියා මම දැක්කා. හැබැයි මොක උණත් ඒකෙනුත් චාටරේ මට. දැං ඉතිං ආසාවකටවත් ඇලට් එකක් දාන්න කියලාද? ෂුවර් එකට මට නම් ලබලා තියෙන්නේ හෙනහුරාගේ මුත්තාගෙ දසාව.

Tuesday, August 17, 2010

52 කොටස



මම දුරුකතර ගෙවාගෙන සෙලෙ ව බලන්න ගිහින් ආයේ එන්නෙ නම් ඔක්කොම සීන් එක කුජීත වෙලා. තාරකා මොකා උණත් කමක් නෑ ඒත් බොරු කරන එකේ සීමාවක් තියෙන්න ඕනේ. අනික නැන්දාටත් මේකි කරන්නේ මුලාව. ඒත් ආයෙත් හිතෙනවා මේකි මොකක් හරි අමාරුවකවත් වැටෙන්න යනවාද කියලා. තාරකාට මොනා උණත් මට මොකෝ ආයෙත් හිතෙනවා, ඒත් අනේ මන්දා. මම ගෙදර එනකොට හතාමාරට විතර ඇති. ඇයි අප්පා බස් එකක් එනකන් මම කෑවෙ සුළුපටු කට්ටක්ද? කොහෙද අපිට තියනවාද නැව් යාන. දැං ගෙදර ගිහිං නැන්දාගේ ප්‍රශ්න අසූහාරදාහටත් උත්තර දීලා තාරකාගේන් අහන්න තියන ප්‍රශ්න අසූහාරදාහත් මතක් කර ගන්න ඕනේ. ඒත් තාරකාට මොනා හරි කරදරයක් නම්...... මොලේ පුරා සක්මන් කරන්න අජූත ප්‍රශ්න. ෂිඃ මමත් පැටලුණානේ කෙල්ලෙක්ට. එකෙක්ටනම් මදෑ දෙන්නෙක්ට. කරුමේ කියන්නේ ඔය කෙල්ලෝ දෙන්නා ගෙන් එකෙක්වත් දන්නේ නෑ මම කන තරමක් චාටර් කන්නේ උන් හින්දා කියලා. ලිහිණි තාරාකා කියන දෙන්නගේම මූණත්තහඩුව එකයි. මුන් දෙන්නාම එක්කෙනෙක් උනොත් කොහොමද ආතල් එක. මම ගෙට ගොඩ උන ගමන්ම හොයාගෙන ගියේ ඩයිනමයිට් එකව.


"පොඩ්ඩී......පොඩ්ඩී....." කවුරුත් නෑ පේන්න නම්..,  ඩයිනමයිට් එකේ සද්දෙත් ඇහෙන්න නෑ. මම ඩයිනමයිට්ගේ කාමරේට තට්ටු කලා. දොර ඇරියේ තාරකා.
" මේකලායි, අක්කායි ඇන්ටියි පන්සල් ගියා බෝධි පූජාවට.... මොනාද ඕනේ" අනේ ඇත්තට පත්තිනි අම්මා වගේ ඉන්න හැටි විතරක්. මම මේ චාටර් උනේ මෙයා නිසා.
"ලොකු දෙයක්.... මැඩම්ට කරදරයක් නැත්නම් පොඩ්ඩක් එළියට එනවාද?" මම ඔන්න ගරු නම්බු දීලාම කතා කලා. තාරකා මගේ දිහාම බලාගෙන එළියට ආවා.
"ඇයි?"
"කවුද කියනවා තමුසේ..." මම මෙහෙම එයාට කතා කරපු පළවෙනි වතාව මේක තමයි. ඇත්තටම මට පැනලා තිබිණේ සාධාරණ මලක්. මගේ ප්‍රශ්නෙන් තාරකාගේ මූණ අවුල් උණා. ඒ මම ප්‍රශ්නේ අහපු විදියටද එහෙම නැත්නම් ප්‍රශ්නෙට උත්තරයක් හිතාගන්න බැරුවද කියලා  ෂුවර් නෑ. මොනා උණත් අද දෙකෙන් එකක් විසඳගන්න ඕනේ.
" මොනාද මේ අහන්නේ....?"
"හරි වටවංගියක් කරකවන්නේ නැතුව මම කෙලින්ම අහන්නම්කෝ.... අද කොහෙද ගියේ...?" තාරකා යන්තන් හිනා උනා. ඇයි අප්පා මම හිනා වෙන්න දෙයක් කිව්වද?  මගේ ඇඟ දැං රත් වේගෙන එන්නේ...
"අත්තම්මා බලන්න...,  ඒක ඔයා දන්නවානේ...." තාමත් කියනවානේ බොරු..... අනේ ඇත්තට මෙහෙම ගෑනු... මම හිතුවේ ජරා ජාතිය කියලා ඒත් දැංනම් හිතෙන්න ජරාම ජාතිය කියලාමයි.
"එතකොට අර නැව් යානේ ඔයාව අත්තම්මා බලන්න එක්කං ගියේ පරලොවටද?" තාරකාගේ ඇස්දෙක කෙලින්ම මගේ ඇස් දෙක දිහා බැලුවා. මට මතක ඇති කාලෙක කෙල්ලෙක් මගේ ඇස් දෙක දිහා බලපු පලවෙනි වතාව මේක. මට වැඩි වෙලා ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න බැරි උණා. සර්වාංගෙම පණ නැති වේගෙන එන්න ගත්තා. අමාරුවෙන් සයිඩ් එකට ඕවර් ටේක් කරලා ශේප් උණා.
" ඔයා......"
" තාරකා මම ඔක්කොම දන්නවා. මට ඇත්ත කියන්න..... ඔයා ලිහිණි නේද?" මම නැකත් බල බලා හිටියේ නෑ කෙලින්ම අහන්න ඕනේ දේ අහලා දැම්මා. එතකොට අර පනපු මල පරවේගෙන වගේ යමින් තිබ්බේ.... තාරකාගේ ඇස් වල කඳුළු පිරුණා.
"මම තාරකා... මාව විශ්වාස කරන්න.... අත්තම්මා මැරුණ බව කුමාරි ඇන්ටිට කියන්න එපා. තෙනුර මට කියන්න ඔයා කොහොමද මේවා දැන ගත්තේ කියලා." මටයි ප්‍රශ්න තියෙන්නේ මෙයයි මගෙන් අහන්නේ. මේවත් මාර සීන් තමයි. මම අර ලියුම් කවරේ තාරකාට දික් කලා. ඒක ගන්න ගමන් තාරකාගේ මූණ වෙනස් උණා.
"ඔයාට මොකද්ද මම දීලා තියන අයිතිය මගේ දේවල් හොයන්න තරම්...." කොර වෙන ප්‍රශ්නයක්නේ ඇහුවේ. දැං මොකද්ද ඒකට දෙන උත්තරේ. 
"ඔයා ගිය නැව් යානේ මම අඳුනනවා ... ඒක පාතාලේ එකෙක්ගේ යානයක්..." තාරකා මගෙ දිහා බලන් ඉන්නේ මලෙන්
"ඔය වාහනේ ඇතුලෙදි තමයි මට සෑහෙන්න ගැහුවේ..." තාරකාගේ මල පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවා වගේ මට දැනෙනවා
"ඔයා ඒකෙ නැගලා යනකොට මට හිතුනේ ඔයාට කරදරයක් වෙන්න යනවා කියලා.... මම හැටන් ගියා ඔයාව හොයාගෙන" තාරකාගේ මල නැති වෙලා ආයෙත් ඇස් වල කඳුළු පිරෙන්න ගත්තා. මට මේ ටැප් එක තමයි දිරවන්නේ නැත්තේ. ගෑනු අඬනකොට මූකලන් බස්සෝ වගේ වස කැතයි.

"මට සමාවෙන්න ඔයාගෙ අත්තම්මා ඉන්න තැන ඇඩ්‍රස් එක හොයා ගන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ." මමත් අවසාන කතාව කරලා දත කට පියාගත්තා. හතිලව්වායි මෙන්න මට ඇහෙනවා තාරකා ඉකි ගහනවා. දැං මොකද කරන්නේ...? මට ඉතිං කෙල්ලෙක් අඬනකොට හුරතල් කරලා පුරුද්දක් තියන එකක්යෑ. 
"අඬන්න එපා ඕකෙ තිබ්බ කිසි දෙයක් මගේන් පිට යන්නේ නෑ... ඕනෙ තැනක කියන්නම් ඒක"
"මට තාත්තාට උණ දේ හරියටම හොයා ගන්න ඕනේ..... "
" ඉතිං ඔයා අර නැව් යානේ කොහෙද ගියේ... ඒ නැව් යානේ කාගෙද?"
"මම කොළඹ ගියා... ඒක සමරනායක අංකල්ගේ වාහනයක්..." සමරනායක... එතකොට පොරට මාත් එක්ක තියනව පැටලැවිල්ල මොකද්ද? මාව කම්බස් කරලා අපේ ගෙදර උන්ටත් තර්ජනේ කරන්න තරම්.
"සමරනායක කියන බුවාට වයර් ශෝට් එකක් එහෙම තියනවාද?"
"ඇයි?"
"මිනිහා මට ගැහුවේ  ජයවීරගේ පවුලක් එක්ක තියන ඇයි හොඳයිය නවත්තන්න කියලා" තාරකා ටික වෙලාවල් කල්පනා කලා.
" ජයවීර කියන්නේ කවුද?"ඔන්න ආයේ බබා වෙන්න යනවා මෙයා... මට ගස්සවපු එකා සමරනායක නම් ජයවීරව දන්නේ නැතිවෙන්න විදියක් නෑනේ.....
" තාරකා... අපි ඇත්ත ඇති සැටියෙන් කතා කරමුද? මම මේ මූකලානේ පව් ගෙවන්න ඔයාගේ ඔය සමරනායකයා නිසා. ඌ මට තර්ජනේ දැම්මා ජයවිරගේ පවුලේ අයත් එක්ක තියන සම්බන්දේ නතර කලේ නැත්නම් අපේ අක්කාටයි නංගිටයි මොනා හරි කරනවා කියලා. උන් දෙන්න හින්දයි මම මෙහෙ තපස් රකින්නේ..." 
"සමරනායක් අංකල් මට කවදාවත් කියලා නෑ ජයවීර කෙනෙක් ගැන..."
" දැං මොනවටද ඔයා ඔය කියන මිනිහාව හම්බ වෙන්න යන්නේ...?"
"තාත්තාගේ පරණ බිස්නස් වයිල් වගයක් සමරනායක අංකල් ලඟ තියනවා. ඒ වගේම තාත්තාට හිටපු හතුරෝ ගැනත් සමරනායක අංකල් දන්නවා."
"ඉතිං..."
"මම ඒ විස්තර හොයා ගන්න එහෙ යන්නේ...?" මට මොකද්දෝ අමුතු දෙයක් මෙතන තියන බව දැනෙන්න අරගෙන තිබුණා.
"තාරකා ඔයා දන්නවාද ලිහිණි ඔයා වගේමයි කියලා..."
"ඒ ඔයාට පේන විදිය....."
"නෑ.... ලිහිණිව ඇකලා තියන ඕනෙම කෙනෙක් ඔයා ලිහිණි කියලා රැවටෙනවා." තාරකා යන්තන් හිනා උනා.
"හරි එහෙම කියමුකෝ... ඒක මට සම්බන්ද නෑනේද?"
"මට හිතෙන විදියට සම්බන්දයක් තියනවා....."
"ඒ කොහොමද?"
" ලිහිණිගේ තාත්තා තමයි ජයවීර කියන්නේ... එතකොට සමරනායක වැඩක්ලේ ජයවිර කියන විදියට..." තාරකා සෙල්මුවා වෙලා ගියා.... එයා විතරක් නෙවෙයි එයා ඉන්න තැන මම හිටියත් එහෙම දෙයක් වෙනවා.

" තෙනුර... මම සෑහෙන්න පැටලැවිලා.."


" පැටලුම ලෙහා ගන්න අපි කොළඹ යන්න ඕනේ.... "
"ගිහින්...?"
" ඔයා කැමති නම් විතරක් මම ඔයාට උදව් කරන්නම් හැබැයි... ඒ බව කවුරුත් දැනගන්න බෑ..." ඒ එක්කම ඩයිනමයිට් එකේ කට හඬ ලඟ ලඟම ඇහෙන්න ගත්තා. 
"ඒ ලෙවෙල් ඉවර වෙලා කොළඹ යන්න මගේ අදහසක් තියනවා. එතකන් මට ඉවසන්න වෙනවා තෙනුර"
"ඔව් ඉවසමු.. හැබැයි කොළඹ යන එක කරන්න වෙන්නේ ඔයාට පරිස්සමෙන්...."


" මට තේරෙනවා....." ඒත් එක්කම නැන්දා මගේ ලඟට ආවා.
"කොහෙද ළමයෝ ගියේ....?  මගේ ඇඟේ ලේවතුර වෙලා හිටියේ මල්ලිට මොනා කියන්නද කියලා."
"මම කිව්වේ නැන්දේ ගිය තැන..." මම හිමින්ම ශේප් වෙන්න ට්‍රයි එකක් දුන්නා
"අපිට බොරු කියලා එහෙ මෙහෙ රස්තියාදු යන්න නම් තියා ගන්න එපා.... අන්න ආච්ච මැරුණයි කියපු ළමයයි අනිත් දෙන්නයි දවල් වෙලා මෙහෙ ආවා." මලා මේ අපතයෝ ඇවිල්ලාද? අනේ අම්ම්පා මම දෙබලක් දිහා බැලුවත් බඹර කූඩයක්නේ.... දැං ඉතිං චාටර්නේ. ඒක ඇහිලා මේ අඬ අඬා හිටපු තාරකාට බකස් ගාල හිනා ගියා. මුන්ටත් ඉතිං චාටර් වෙන මටම තමයි හිනා වෙන්න ඕනේ.... ඒත් ඉතිං චාටර් වීම ඇවිල්ලා මම මහෝෂධ වගේ අතේම තියාගෙන ආව එකක්නේ.... ඕව ඔහොම තමයි.

Monday, August 16, 2010

51 කොටස



පොඩ්ඩක් වෙලා ඇස් දෙක පියාගෙන හිටපුවාම හිතට දැනුන දඩිබිඩිය නැති වෙලා ගියා. ලියුම ආයෙ දිග ඇරියා. ඒකෙ ඉතුරු ටික කියවන්නම ඕනේ.


" තාත්තාගේ නම හඩ්සන් වික්‍රමනායක. අම්මායි ඔයාගේ තාත්තායි ජීවත් උනේ කුරුළු ජෝඩුවක් වගේ. ඔයාගේ අම්මාට ඔයාගෙ තාත්තා හැම සැපක්ම දුන්නා. ලස්සන ගෙයක්, ඇදුම් රත්තරං බඩු වගෙ හැමදේම. ඒත් ඒ හැම දේටම වඩා ලස්සන දේ උනේ ඔයා. ඔයා හම්බ වෙන්න ඉන්නකොට තාත්තා අම්මාට මේ ලොකේ තියන හැම සැප සම්පතක්ම දීලා බලා ගත්තා. ඔයාව හම්බ වෙන්ට හිටපු නිසා අම්මා ඔයාව හම්බ වෙනකන් කියලා මගෙ ගෙදර ආවා. මම අම්මාව මගේ ඇහැක් වගේ බලාගත්තා. තාත්තා කොළඹ ඉඳං මෙහෙ ඇවිල්ලා ආයේ පාන්දර කොළඹ යනවා. තාත්තාට බැරි උනා එක දවසක්වත් අම්මාව නොදැක ඉන්න. පසලොස්වක දවසක අම්මාට හොඳටෝම අමාරු උණා. එදා හොඳටම වැස්ස. තාත්තා අමාරුවෙන් වාහනේ අරගෙන ඉස්පිරිතාලේ ගෙනිච්චා. ඒත් පුතේ තාත්තාට බැරි උනා අම්මාව ඉස්පිරිතාලේ ගෙනියන්න. කවුද කට්ටියක් තාත්තාව වාහනේ ඇදලා අරගෙන හොඳටම ගහනවා අම්මා දැකලා තියනවා, වැස්සයි අම්මාට තිබුණු අමාරුවයි නිසා අම්මාට කවුද ගැහුවේ කියන්න හරි මතකයක් නෑ. අම්මා වේදනව වැඩි කමට කලන්තේ දාලා තියනවා. අම්මා ඇස් දෙක අරිනකොට ඉඳලා තියෙන්නේ හැටන් මහා ඉස්පිරිතාලේ.... පුංචි ඔයාත් ලඟම ඉඳලා තියනවා.  ඒත් එක්කම එයා දැනගෙන තියනවා පුතාගේ තාත්තා ජීවතුන් අතර නෑ කියලා. අම්මා දාහක් බර හිතේ තියාගෙන ඔයාවත් අරගෙන ඉස්පිරිතාලෙන් හොරෙන්ම පිටත් වෙලා තියනවා, ඒ එක්කම අම්මා දැකලා තියෙනවා කවුදෝ කට්ටියක් ඇවිල්ලා අම්මා හිටපු ඇඳ වටේ හොයනවා. 


ඕකයි අම්මා කවදාවත් ඔයාට නොකියපු කතාව. මේ හැම දෙයක්ම දන්න එකම එක කෙනෙක් ඉන්නවා. ඒ තාත්තාගේ හොඳම යාලුවා තරංග සමරනායක, ඉන්නෙ කොළඹ පල්ලෙහා මම ඇඩ්‍රස් එකත් ලියලා තියවනවා. පුතාට ඕනෙනම් ඒ අංකල්ගෙන් ඒ හැම දේකම විස්තර අහ ගන්න. තව එක දෙයක් කියන්න තියනවා. ඔයා ඉපදිලා තියෙන්නේ තනියම නම් නෙවෙයි. ඔයා එක්ක අයියා කෙනෙක් ඉපදිලා තියනවා. එයා ඉපදෙනකොටම මැරුණයි කියලා තමයි ඉස්පිරිතාලෙන් කියන්නේ. මම ගොඩාක් දේවල් ලිව්වා... මම මේවා කිව්වට මගේ පුතා වැඩිය හිතන්න ඕනේ නෑ. ඒත් ඔයාගේ තාත්තාගේ මිනී මරුවව හොයා ගන්න හැබැයි තමන්ගේ ජීවිතේ අනතුරේ දාගන්න එපා. වැඩිය කොළඹ ගැවසෙන්නත් එපා. පරිස්සමෙන් ඉන්න.
මගෙ රත්තරංට රත්නතරේ පිහිටයි


මීට ලොකු අත්තම්මා.


මට මේ සීන් එකේ මුලක් මැදක් අගක් තේරෙන්නේ නෑ. තාරකා වගේම කෙනෙක් මම කොළඹදි දකිනවා එයා ලිහිණි එයා ජයවීරගේ දුව, එතකොට තාරකාගේ තාත්තා වෙන කෙනෙක් එයා දැං මැරිලා. තාරකාට අත්තම්මා කෙනෙක් කියනවා තාත්තාගේ මිනී මරුවා හොයාගන්න කියලා. ඒකට සමරනායක කියලා පොරක්ව උදව්වට ගන්නලු. ඒ අස්සේ මට එක දවසක් ගෙනිහින් අම්බානකට කන්න දීපු වාහනේ නැගලා තාරකා අත්තම්මා බලන්න එනවා. මේ කිසිම තැනක කිසිම සම්බන්දයක් නෑ. හරියට ලුණු මිරියි පුහුල් දෝසියි වගේ. තේරුමක් නෑ. මේ ප්‍රශ්න මට අදාල නෑ කොහොමත්.... ඒත් මේ සීන් එක ගැන වැඩි දුර හොයන්න නම් පොඩි උණක් හැදීගෙන එනවා. හරි දැං ගිහින් අත්තම්මාව හම්බ වෙමුකෝ. 

මේ ලොකු අත්තම්මාගේ නම ඇවිල්ලා සෙලෙස්තිනා කුමාරි... මේ තියෙන්නේ ... හරි සෙලෙ මම එනවා ඔයාව බලන්න... මට ඉබේටම හිනා ගියේ ඒක නිකමට වගේ හිතිලා. ඒත් තාරකාට මම කියන බොරුව මොකද්ද දැං?    

කොන්දා කන් අඩිය පැලෙන්න කෑ ගහන්න ගත්තා, 

"දිඹුල්ල පාර බැහැ ගන්න...... "


මම මිනිහාව පොඩ්ඩක් සයිලන්ස් කරලා බැහැගත්තා.ඌ ඔය කෑ ගහන විදියට අනිවා වොයි බොක්ස් එකම දාගන්න වෙනවා හැටන් හන්දියෙන්. මම නොම්බරේ හොයාගෙන පාර දිගේ ඇවිද්දා. දැං නම් අම්බානකට බඩගිනියි. වෙලාව දෙකත් පහු වෙලා.පරන  ගෙයක් නම් තියනවා......  පොතේ හැටියට මේක වෙන්න ඕනේ පොට් එක හැබැයි අර නැව් කැබ් එක නම් පේන්න නෑ. අර ගරුඬා තාරකාව බස්සලා යන්න ඇති. හරි මම ඇතුලට ආවා. දැං නම් සෙලෙව නෙවෙයි මේකෙ කුස්සිය පැත්තට යන්න ඕනෙ වෙලාව. ඒත් මුලින් සෙලේ ව හොයාගන්නම්කෝ. බඩුම තමයි. ඔය ඉන්නේ සීයලා අච්චිලා ආතල් එකේ. සීයලා දෙන්නේක් තදටම දාං අතක් අදීනවා. දත්වත් නෑ දිව පොඩ්ඩ වෙන්න හපා ගන්න. මම කෙලින්ම ගොඩ උනේ කාර්යාලය කියලා ගහලා තිබ්බ තැනකට. අපේ ඉස්කෝලේට එහා කොන්වන්ට් එකේ ප්‍රින්සිපල් සිස්ටර් වගේ කෙනෙක් ඉන්නවා, කට කපලා කටත් ඇරගෙන හොඳ ඇලට් එකක් දාගෙන ඒක ඇතුලේ. මාව දැක්කේ නැති නිසා දොරට රිදෙන්නෙ නැති වෙන්න හිමින් තට්ටු කලා. ඒකට උඩ ගිය පාර අරයා හඳත් අල්ලලා එන්න ඇති
" ආධාර නෑ..... " මේ මොන ආධාරයක්ද? මාව පේන්න හිඟන ආත්මයක් වගේද?
"නෑ නෑ ආධාර නෙවෙයි..." මම වැරදි වැටහිම නැති කරන්න හිතාගෙන එහෙම කිව්වා.
"එහෙනම් මොනා හරි විකුණන්නද?" ෂිකේ මෙහෙම චාටර් එකක්. ඒ පාර මාව මෙයාට පේන්නේ තොප්පි වෙළෙන්දෙක් වගේ ද?
"නෑ නෑ..... " මම කියන්න කලින් ඇවිල්ලා ලඟින් වාඩි උණා. නැත්නම් හරි යන්නේ නෑ. මෙයා තාම ඉන්නේ හීන ලෝකේ. ෂුවර් එකටම හීනෙන් දකින්න ඇති බීච් සීන් එකක්. එතනට කඩලකාරයෙක් එන සීන් එකේදි වෙන්න ඇති මම ඇහැරවන්න ඇත්තේ
"මැඩම් මට සෙලෙස්තිනා කුමාරිව හම්බ වෙන්න පුළුවන්ද?" අරයා හීන බලන්න දාගෙන හිටපු කණ්ණාඩි දෙකත් ගලවලා මගේ දිහා බැලුවා. මම හිතන්නේ මෙයාට හොඳට පේන්නේ කණ්ණාඩි ගැලෙව්වාම වෙන්න ඇති.
"ඔයා එයාගේ කවුද?"
"මම ....පුතෙක්" නෑ කම චාටර්... ඒත් කටට ආවේ ඒකනේ
"රෙකෝඩ්ස් වල තියෙන්නේ බැඳලා නෑ කියලා "
"ඔව් ඔව්... අම්මෝ එයා සීයෙක් දිහා ඇහැක් අරලවත් බැලුවේ නෑ... මම එයාට පුතෙක් තමයි වෙන්නේ.."
"මොකද්ද නම..."
"සෙලෙස්තිනා කුමාරි"
"නෑ නෑ තමුන්ගේ නම?"
"මගෙ නම.. එහෙම කියන්නකෝ..... තෙනුර අතපත්තු" අරයා මගේ දිහා ඔරවලා බැලුවා.
"එහෙම කෙනෙක් කවදාවත් මෙයා බලන්න ඇවිල්ලා නෑ."
"ආවේ නෑ තමයි අදයි ආවේ.... ඇත්තම කියනවා නම් මම ලංකාවේ හිටියේ නෑ..... " ආයෙත් රවලා බැලුවේ සැකෙන් වගේ. හරි මේක හරි යන්නේ නෑ. වෙන මොකක් හරි කෙප්පයක් බා ගන්න ඕනේ
"තාරකාත් එනවා කිව්වා...." ඒ පාර අරයා ටිකක් සාමන්‍ය උනා. 
"ඒ මොකටද ඩොනේෂන් එකක් දෙන්නද? අනේ මේ ලඟදිත් සෑහෙන ගානක් අපිට ඩොනේට් කරලා ගියා".
"වෙන්න ඇති... අත්තම්මාව මට බලන්න පුළුවන්ද?" ආයේ අරයා අප්සෙට් ගියා. මේක මාර ලෙඩක් නේ. මෙයා කියන විදියට තාරකා තාම ඇවිල්ලා නෑ.
" ඇයි තාරකා මිස්ටර්ට කිව්වේ නැද්ද?" එයා මට මොනා කියන්නද මම හොයන්නෙත් එයාව තමයි හලෝ
"මොනාද?"
"දැං සෙලෙස්තිනා නැති වෙලා තුන්මාසෙකටත් වැඩිනේ...." මේක මාර හුටපටයක්නේ... ඇයි හත් දෙයියනේ එහෙනම් දැං තාරකා ආවේ කොහෙද? ඒ කියන්නේ තාරකා අර නැව් යානයේ නැගලා ආවේ හැටන් නෙවෙයි... එහෙනම් යන්න ඇත්තේ කොළඹ. මගේ පපුව පත්තු උනා. දැං එයා කොහොම ඇද්ද? මේක මාර සීන් එකක්. මේකට මම සම්බන්ද නෑ ඒත් කොහෙන් හරි සම්බන්දෙකුත් තියනවා.