පිටුව

Saturday, July 31, 2010

39 කොටස


පාන්දරම කෑගල්ලට යන්න මම පිටත් උනේ තාත්තාගේ අමාත්‍යංශෙ වාහනෙන්. ගෙදර මල ගෙයක් වගේ අම්මා, අක්කා , නංගි ඔක්කොමලා අඬනවා. මම මේ සදහටම යන ගමන් නෙවෙයිනේ.... ඒක ගැන හිතලා හිතේ ගලපු කඳුළු ඇහෙට ගන්නේ නැතුව ඉන්න ගේම දුන්නා. මම දක්ෂයා කඳුළු නම් ආවේ නෑ. තාත්තා උණත් මාත් එක්ක වැඩිය කතා කලේ නෑ. කෑගල්ලට යනකොට උදේ දහයාමාර විතර උනා. මම බෑග් එකත් අරන් බහිනකොට පොඩි ඩයිනමයිට් එක ඇවිල්ලා මගෙන් බෑග් එක උඳුරගෙන ගෙදරට දුවගෙන ගියා, උන්ට නම් ජොලි. මට ඒත් මාර මෙව්වා එකක් දැනෙන්න ගත්තා. 
"පොඩි පුතා මෙහෙ නැවතෙන්න ගත්ත තීරණේ හොඳයි. ඔය මිනිස්සුත් එක්ක හැප්පෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි." මාමා මගේ ඔළුවත් අත ගගා එහෙම කියද්දි මගේ පපුව හෝස් ගාල ගියා. ගෙදර උන්ව මතක් වෙනකොට මට දිගටම මේ හෝස් සීන් එක පත්තු වෙයිද දන්නේ නෑ. දවල් වෙනකන් තාත්තාත් ඉඳලා දවල්ට එහෙම කාල යන්න ගියා. එයා නොපෙන්නුවට එයාටත් දුකයි. ආයෙ මොකටද බොරු කියන්නේ එයා යද්දි මටත් දුකයි. අනේ බුදු තාත්තේ මාව අරගෙන යන්න කියලා කකුල් දෙක ලඟ වැටලා අඬන්න මට හිතුනා. ඒත් මම එහෙම කළේ නෑ. ඒක කොල්ලාගේ තත්වෙට හොඳ මදි. මට අස් කරලා තිබුණු කාමරේට ගිහින් මම ඇඳේ හාන්සි උණා. මම කාත් එක්කවත් වැඩිපුර කතා කරන්න ගියේ නෑ. මගේ ඇඳ ලඟ බිත්තියේ ලාවට අකුරු පේළියක් තිබුණා. සෑහෙන දාඩිය හළලා ඒක මම කියව ගත්තා. 

'සඳටත් හොරෙන්
හිරුටත් හොරෙන්
කාටත් හොරෙන්
මම එන්නද ඔබේ තුරුලට
ඇස් දෙක පියා ගෙන හිටියාම
ඔබේ උණුසුම වැඩි කමට 
කල්පාන්තය කෙලවර
වෙනවා වගේ දැනේවි.
මෙතෙක් නිදි වැරුණු ඇස් දෙකට
නින්ද ඇවිදින් තට්ටු කරාවි'

මාරයිනේ.... මේ මෙහෙම වෙනවනම්... මටත් නින්ද යාවි. ඒත් කා ලඟටද මම යන්නේ... මම ඉතිං කල්පනා කල යුතු දෙයක් නෙවෙයි කල්පනා කලේ.. කරන්න වැඩක් නැති උනාම මිනිස්සු මනෝ ගහනවා. මටත් එහෙම වෙලා දැං තියෙන්නේ....
"පොඩි අයියේ....." මේ ඩයිනමයිට් එක ලඟට ඇවිල්ලා සද්ද කරනකම්ම මම දැක්කේ නෑනෙ. මාව උඩ විසි උණා. ඒක දැකලා ඩයිනමයිට් එකට මාර හිනා. මුන්ට පුළුවං ඉතිං අහිංසකයෙක් දිහා බලලා හිනා වෙන්න තමයි.
"තමුසෙලාගේ එහා ගෙදරත් පොඩි අයියෙක් ඉන්නවාද?"
"ඇයි?"
"තමුසෙ කතා කලේ එහා ගෙදර එකාට ඇහෙන්න වගේනේ..." මේකි ආයෙමත් හිනා වෙන්න ගත්තා.
"දැං මෙතන සිරික්කිය දාන්නේ නැතුව කියන්න ඕනේ දේ කියලා මෙතනින් කැපෙනවා" පොඩි ඩයිනමයිට් එක ඩයිනමයිට් පෙනුමකට පත් උණා.
"තමුසේ නම් මහ නපුරෙක්...."
"ඒක කියන්නද ආවේ..."
" නැහැ.."
"එහෙනම් කියන්න ආව දේ කියනවා"
"අම්මා තේ බොන්න එන්න කිව්වා" ඩයිනමයිට් එක මට ගස්සගෙන යන්න ගියා. බලාපල්ලකෝ මෙයාගේ ගණන්. මම නැගිටලා හිමින් සැරේ කුස්සිය පැත්තට පා උණා.
" ලොකු අත්තම්මා කියන්නේ කොළඹ යන්න එපා කියලා ඇන්ටි" කුස්සියට දාපු දොර රෙද්ද කිට්ටුව මම ඛ්‍රේක් එක ගැහුවා. දොර රෙද්දෙ එහා පැත්තේ කෑම මේසෙ ලොකු ඩයිනමයිට් එකයි නැන්දයි ලිහිණියි.. ආ............. ලිහිණි නෙවෙයි තාරකා. කොච්චර උණත් ලිහිණිවමයි මතක් වෙන්නේ... ඒ තුන්දෙනා බර කතාවක්
"ලොකු අත්තම්මා අකමැති නම් දුව එහෙ ගිහින් කොහොමද?"
"ඒකනේ ඇන්ටි... මම කල්පනා කලේ මොනා කරන්නද කියලා"
"තාරකා නංගි ආයෙත් ඉස්කෝලේ යන්න..." ඩයිනමයිට් එක කිව්වා
" මම කොහොමත් ප්‍රයිවට් ඒලෙවල් කරනවානෙ අක්කේ... ඒ අතරතුර එහෙනම් මම මැහුම් පන්ති යනවා.
" ඒක හොඳයි මම දැක්කා ටවුමේ හොඳ තැනක් දාලා තියනවා."
"ඔව් මම එන ගමන් එතනට ගිහින් ආවේ මාසෙකට 1000යි, මාස 6යි" මම හෙමින් සැරේ එතනට ගියා එතකොට නැන්දා දැකලා මට මේසෙ උඩ තිබ්බ  බිබික්කන් පිඟාන දික් කලා. මම හොරෙන් අරයා දිහා බලන ගමන්ම ඒක ගත්තා. මෙයා මගේ දිහා තාම කෙලින් බලලා නෑනේ.... මට ඔන්න ඔය වෙලාවට තමයි මල පනින්නේ....
" මයියාට මෙහෙ පාළු ඇති අම්මා..." ලොකු ඩයිනමයිට් එක එයා ඉඳගෙන හිටපු පුටුව මට දුන්නා. හරි ශෝක් මට දැං කෙලින්ම අරයාව පේනවා, දැංවත් මා දිහා බලයිද දන්නේ නෑ.
"එහෙම එකක් නෑ...." මම තව බිබික්කන් කෑල්ලක් අරගෙන කටේ දාගත්තා... කෝ මෙයා බලන්නෙම නෑනේ. මෙයාගෙ ඇස් වපරද දන්නේ නෑ. බිම බැලුවාම මාව පේනවද දන්නේ නෑ. යකෝ මෙහෙම නෝණ්ඩි වෙන්න පුළුවංද? මමත් ගණන් ගන්නේ නෑ. 
"ඇන්ටි මම වොෂ් එකක් දාගන්න යනවා." තාරකා එතනින් නැගිට්ටෙත් මගේ දිහා නොබලමයි. ඉතිං මට මොකෝ මමත්  ගණන් ගන්නේ නෑ. කෙල්ලෝ උණාම ඔහොම ගණන් උස්සලා කොහොමද? අනේ කවුද කෙල්ලෝ ගණන් ගන්නේ. මෙයාට වඩා ලිහිණි කොච්චර හොඳද? මට එහෙම හිතුණා.
"මයියා... අපි පන්සල් යනවා... ඔයත් එනවද?"
"අපි කිව්වේ..... " මම එහෙම අහනකොටත් කුස්සියේ පයිප්පේ ලඟ එයාගෙ තේ කෝප්පේ හෝදන තාරකා දිහා හොරෙන් බැලුවා
" මමයි, නංගියි, තාරකායි" 
"ඔයයි, නංගියි විතරක් යන වෙලාවට කියන්න.... " මම එහෙම කියලා තේ කෝප්පෙත් අරං නැගිටලා ආවා. 
සැර වැඩි උණාද මන්දා. ඒත් මම  මොකටද සෙකන්ඩ් ක්ලාස් වෙන්නේ.. මමත් ඇවිල්ලා කොළඹ පාතලයොන්ගෙනුත් ගුටි කාපු හයේ හතරේ පොරක්. මේ කජු කෙල්ලොන්ගේ ගණන් වලට දෙකට නැවෙන්න තරම් මගේ කොන්ද අප්සෙට් නෑ.













Thursday, July 29, 2010

38 කොටස


මම ඇස් දෙක ඇරලා වට පිට බලනකොට මාව තද කරලා දෙන්නෙක් අල්ලගෙන ඉන්නවා මම දැක්කා. පොඩ්ඩක් දඟලන්න ගත්තාම මාව අල්ලගෙන හිටපු මෝරා කතා කලා
"බොස් මූට පණ ඇවිල්ලා..." මම තවත් හයියෙන් දැඟලුවා.... එහා පැත්තෙ හිටපු එකා මගේ බඩට ඇන්න කතා කර ගන්න වචන එන්නේ නැති තරමට. බුදු අම්මේ මුළු බඩම කොර වෙලා ගියා.
"තමුසේට සුහද අනතුරු ඇඟයීමක් කරන්න හදන්නේ හොඳට අහගෙන ඉන්නවා..." මම ගේම දුන්නේම ඉස්සරහා සීට් එකේ ඉදං හඬකවන එකාව දැක ගන්න... ඌ බොස් ලූ. බොස් තියා ජබොස් උණත් මට කමක් නෑ  මොකාද කියලා බලා ගන්න තියනවා නම් ඇති.
"තමුසෙලා කවුද? ලැජ්ජා නැද්ද... තමුසෙලාගෙ සයිස් එකේ එකෙක් හොයාගන්නවාකෝ " මම එහෙම කිව්වෙත් ගොත ගැහි ගැහි බඩ පුරාම තිබ්බ අමාරුවත් එක්කමයි.
"බොස් මොකද කියන්නේ.. අනින්නද තව දෙක තුනක් මූට කතා කරගන්නම බැරි වෙන්න.... කට වැඩී..." අර එක මෝරෙක් මාව තවත් හිර කරලා අල්ලගත්තා. මම තවත් දඟලන්න ගත්තේ ඊට පස්සේ...
"නෑ ඔහොම ඉන්නවා අයිසේ...." අර ඉස්සරහා සීට් එකෙ ඉන්න බොස් කතා කළා.  දැං මට මල පැනලා තියෙන්නේ. මමත් මෙහෙම හිටියාට ජීවිතේ වැඩි හරියක්ම බැලුවේ රෙස්ලින් තමයි.
"තමුසේට පළවෙනි සහ අන්තිමට වතාවට මේ අවවාදේ දෙන්නේ..... "
"අවවාද දෙන්න තමුසෙලා මාව ජාතක කලාද?" මමත් කට තියාගෙන හිටියේ නෑ.
" හොඳට අහගෙන ඉන්නවා නැත්නම් පසු තැවෙන්න වෙනවා..." මට උගේ බයිලා අහන්න ඕනෙ කමක් නෑ. මම තවත් එහාට මෙහාට දඟලන්න ගත්තා.
" වහාම තමුසේ ජයවීරගේ පවුලේ කට්ටිය එක්ක තියන ඇයි හොඳයිය නවත්තනවා" මගෙ කට කොණට හීනියට හිනාවක් ආවා.
"ඇයි නැවැත්තුවේ නැත්නම් තමුසේ මට මොනා කරන්නද?"
"තමුසේ වගේ හරක් පැටියෙක්ව පරලොව ඇරලා මට කිසි ගතියක් නෑ.. ඒත් තමුසෙට ඉන්නවානේ ගින්දර වගේ අක්කෙකුයි නංගියෙකුයි..... තමුසේ ජයවීරගේ පවුලේ අයව මුණ ගැහෙන්න ආයේ හිතන්න කලිං තමුසේගේ අක්කගෙයි නංගිගෙයි මූණු අන්තිම වතාවට බලාගෙන පලයං" මාව හිරි වැටිලා ගියා.... මගේ ප්‍රශ්න වලට එයාලා මොනා කරන්නද? 
"මොකද සද්ද නැත්තේ.... කල්පනා කරනවාද? හොඳට කල්පනා කරපං... කරලා තීරණය ගනින්.. ජය වීරගේ පවුලේ අයද නැත්නම් ගෙදර අයද කියලා. ඔන්න ඕකව එළියට දානවා..." අර බොස් නාම්බා එහෙම කියනකොට වාහනේ දොර ඇරලා මාව අර මෝරා එළියට තල්ලු කළා. මාව පෙරලලිලා පාරෙ අයිනට විසි වෙලා ගියා. බුදු අම්මේ... මගේ අත.... අතත් බදා ගෙන මම අමාරුවෙන් නැගිට ගත්තා, ඒත් එක්කම පිටිපස්සෙන් ආපු ට්‍රයිෂෝ එක නැවතුණා, ඒකෙන් ගැන්සිය බැහැලා ආවා.
" මයියා..... " බුවා මාව ඉන වටේ අත යවලා හරියට නැගිට්ටවා ගත්තා. 
"මොක්කුද බං ඒ...."
"මම දන්නේ නෑ ටොලා.... උන් මට කියනවා ජයවීරගේ පවුලෙ කට්ටියත් එක්ක තියන සම්බන්දේ නවත්තන්නලු....."
" උඹට උන් මොනාද කලේ..." 
"ඇඟට බඩක දෙක තුනක් ඇන්නා බං...."
"අපි පොලිසියට යමුද?"
"එපා.... උන් මට තර්ජනේ කලා එහෙම නැවැත්තුවේ නැත්නම් අක්කාටයි නංගිටයි..." මගෙ කටෙන් පිට වෙන්න යන දේ දැන ගත්ත ගැන්සිය මූණට මූණ බලා ගත්තා. 
"හැම දේම අමතක කරලා දාලා.. උඹ ටික දවසක් සීන් එකෙන් කැපිලා හිටපං...." සිකා අමු අඳෝනා වොයිස් එකකින් එහෙම කිව්වා. ඌ කියන්න කලින් මටත් ඒක හිතුණා, ඒත් අක්කයි නංගියි ගැන මට සෑහෙන බයක් දැනෙන්න ගත්තා. විශේෂයෙන්ම නංගි ගැන.
"වරෙං දැං අපි ගෙදර යං..." සිකා ආව ට්‍රයිෂෝ එකටම මාව රිංගව ගෙන ගෙදරට යන්න පිටත් උණා. මට එහා පැත්තේ හිටියේ ටොලා. බුවා ට්‍රයිෂෝ එක එලවන අයියාගේ සීට් එකෙන් කෑල්ලක ඉඳගෙන හිටියා.
" ඒ වාහනේ නොම්බර තහඩුවක්වත් නෑ" අපි කාටවත් මීටර් උණේ නැති දෙයක් ට්‍රයිෂෝ අයියා කිව්වා. 
"මොනා උණත් මයිය... උඹට සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා"
" මට මාර බයයි නංගි ගැන මචං..." මම ඇත්තම කියලා දැම්මා....
"උඹ නංගි ගැන බය වෙන්න ඕනේ නෑ... උඹ ටික දවසකට කොළඹින් පලයං... අපි නංගිටයි, අක්කාටයි ආරක්ෂාව සපයන්නම්" බුවා එහෙම කියනකොට මට ටිකක් විතර ෆිට් එකක් ආවා. මම දන්නවා මුන් මාත් එක්ක අපායට උණත් එන බව.
"මම කෑගල්ලේ යනවා හෙටම මචං..." මම එහෙම කියලා අම්බානකට රිදෙන අත අල්ලගත්තා... 


ගෙදර ගිහිල්ල වෙච්ච විස්තරේ නොකිය ඉන්න තරම් තත්වයක් මට තිබුණේ නෑ. ඒත් ජයවීරගේ සීන් එකවත්, අක්කලා නංගිලා ගැන සීන් එකවත් මම තාත්තාට කිව්වේ නෑ. තාත්තා මගේ ජීවිතේ පලවෙනි වතාවට මම ඇහුව දේකට කැමති උණා. අම්මා නම් ගොඩාක් අඬන්න පටන් ගත්තා. 
"මයේ පුතාට ඉස්කෝලේ එතකොට" අම්ම මගේ ඔළුව අතගාන ගමන් තාත්තාගෙන් ඇහුවා
"ඔහෙට ඕනේ කෙහෙල්මල් ඉස්කෝලේද එහෙම නැත්නම් මේකගෙ ජීවිතේද?" තාත්තාට ටික වෙන්න මල පැන්නා. ඒ මල පැනීම සාදාරණයි. අම්මා ඊට පස්සේ මොකුත් කියන්න ගියේ නෑ. නැන්දාට කෝල් කරලා හෙට මම එන  බව කියනවා මම කාමරේ ඉඳං අහගෙන හිටියා. මම මේ පළවෙනි පාරට ගෙදරින් දුරකට ගිහින් කාලයක් ඉන්න යන්නේ. හිතට මොකද්දෝ මෙව්වා එකක් දැනෙන්න ගත්තා. ගහගත්තත්, බැනගත්තත්, මම හිතන්නේ මේ ගෙදර මම හිටියේ සතුටින්. නැන්දලාගේ ගෙදර මට අමුතු තැනක් නෙවෙයි ඒත්.... අපේ ගෙදර, අම්මාගේ බත් පිඟාන. නංගිගේ කේලම, අක්කාගේ මරසිය, අයියාගේ ෆිට් එක තරම් ගතියක් එහෙ නෑ. ඒක නම් මට බුදු ෂුවර්. මම දිග හුස්මක් පිට කලා. පොඩි ට්‍රවලින් බෑග් එකට ඇඳුම් කෑලි දෙක තුනක් ඔබා ගත්තාට පස්සේ ඒක පැත්තකින් තියලා මම ඇඳේ හාන්සි උණා.
"මම මටම මහ බරක්" කියල හිතෙන්න ගත්තා. ලිහිණි කිව්ව දේ ඇත්ත එයා මගේ ජීවිතේට ආව වෙලාවෙ ඉදලා මට හැම වෙලෙම ජීවිතේ විඳින්න ලැබුණේ ප්‍රශ්න. අද මම අපේ මුළු ගෙදරටම හිසරදයක් වෙලා එහෙම උණෙත් ඔයා නිසා තමයි ලිහිණි. කොල්ලා හැම වෙලේම හිතුවේ කාට හරි උදව් කරන්න මිසක් බාලදියක් පෙරලන්න නෙවෙයි, ඒත් දැං කොල්ලාගෙ ඇඟට පෙරලිලා තියන බැරල් එකෙන් ගොඩ එන්න ඕනෙ බැරල් කටින්ම තමයි. හිත පුරාම දුවන හීනි වේදනවත් එක්ක මම ඇස් දෙක තද කරලා පියා ගත්තා.

Wednesday, July 28, 2010

37 කොටස



" භානුකයා කිව්ව දේ හරි මයියා.... මෙවන් ලඟ ඔය ලියුම තියනවා කියන්නෙ අමු ලෙඩක්" මගෙ කතාවෙන් පස්සෙ සිකා කල්පනා කරන්න ගත්තා.
"දැං අපි මොකද කරන්නේ ... කොහොම හරි අපි ඒ ලියුම ගන්න ඕනේ..."මටත් මෙලෝ දෙයක් හිතා ගන්න බෑ.. අපේ ගැන්සියම කලේ කල්පනා කරපු එක
"මයියා... එක සිරා පොරක් ඉන්නවා..." බුවාගේ කතාවෙන් අපි ඔක්කොම ඌ දිහා බැලුවා. මූ පාතාලයකුටවත් වැඩේ භාර දෙන්න යනවාද මන්දා.
"මොකද්ද කියපං "
"අද රගර් ප්‍රැක්ටිස්... අනිවා මෙවන් අද ග්‍රවුන්ඩ් එකේ..." මූ දන්න දේවල් බලහල්ලාකෝ මෙවන් රගර් ගහනවාද? කවුද ඕවා දන්නේ
"ඉතිං" මම ටිකක් හිටියේ ඉවසීමේ කට්ට කැඩිච්ච ගානට
"අපි කෝම්පිටුවා දාල ඌවයි උගේ සබ්බ සකල මනාවයි චෙක් කරමු" කෝම් පිට්ටුවා කිව්වේ අපේ ඉස්කෝලෙ අපිට ගුස්පි ඇද්ද ප්‍රිෆෙක්ට් කෙනෙක්"
"උඹට පිස්සුද යකෝ ඌ දැන ගත්තාම මේ ලියුම ගැන"
"ඌ ඊයේ උගේ නාට්‍යයට නළුවෙක් හොය හොයා හිටියා" අපි තුන් දෙනාම එක පාර බුවා දිහා බැලුවා
"උගෙ නාට්‍යයට කිව්වේ...?"
"ඇයි දන්නෙ නැද්ද? කොමර්ස් ඩේ එකක් තියනවාලු, ඒකට කෝම්පිට්ටුවා නාට්‍යයක් කරනවාලු බං." 
"ඕනේ ඉලව්වක් .... ලියුම හොය ගැනීමෙයි නාට්‍යයෙයි අතර සම්බන්දේ?"
"උඹ කියපං උඹ නාට්‍යයේ රඟපානවා කියලා.... ඊට පස්සේ ශේප් කරගෙන අපේ වැඩේ බාව ගනිං" ඇයි හත් වලාමේ මේක මරණ තර්ජනයකට හපංනේ... මම ලැජ්ජා බයට හැදුණ එකා... මම කොහොමද රඟ පාන්නේ... ඒක හරි යන වැඩක් නෙවෙයි
"උඹට පාණ්ඩුවද?.... මට පුළුවංද හරකෝ රඟපාන්න..."
"රඟ පානෙක වගේද මයියා මේ වැඩේ.... ඔය රඟ පානක එක කළත් නොකළත් මොකද... ලියුම කාගෙවත් අතට යන්න කළින් හොයා ගත්තොත් ගොඩනේ"
 බුවාගේ කතාව ඇත්ත. ලියුම හොයා ගන්න රඟපාන්න නෙවෙයි ඕනෙ එකක් කරන්න බැරියේ... ඊට පස්සේ රඟපෑමට ටටා කිව්වත් මොකෝ... ගොනාට වගේ මොළයක් මූටවත් ලැබීම ගැන මට සතුටුයි. මොකද අපිට එහෙම එකක්වත් නෑනේ.
අපි ආයේ ඉස්කෝලෙට බඩ ගෑවා. බුවා කිව්ව වගේම මෙවන් කාරයා පිට්ටනියේ... අපි හිමින් සැරේ කෝම්පිට්ටුවා හොයන්න පටන් ගත්තා, අම්මෝ අන්තිමට අපේ හෝල් එකේ කොනක ඉඳලා ඌවා හොයා ගත්තා.
" මේ දසුන් උඹ ඊයේ නාට්‍යයට නළුවෙක් හෙව්වා නේද?" බුවා කතාව පටන් ගත්තා.
"ඔව් බං... "
"හම්බ උණාද?" 
"මොන.... එකෙක් නෑනෙ කැමැත්තෙන් එන උන්..." කෝම්පිට්ටුවගේ මූන ලැවරියා පරාදයි.
"අපේ තෙනුර එන්නම් කිව්වා..." ඔය මොනා කිව්වත් රඟපාන පුළුවන්ද අයියෝ මට. 
"ෂුවර්ද මචං...." කෝම්පිට්ටුවාගේ මූණ රට දෙල් ගෙඩියක් වගේ පිපිලා ආවා.
"මොකාටද බං රඟපාන්න තියෙන්නේ...." 
" පිස්සෙකුට" ටොලයි සිකයි මගේ දිහා බැලුවේ හයියෙන් හිනා වෙන ගමන්... බුවානම් හිනාව තද කර ගත්තා. මොනා උණත් වටින චරිතයක් කිසි ගේමක් නැතුව තාත්විකව කරන්න පුළුවං
"ඕක මොකද්ද දසුන්... මම හෙට ඉදන් එන්නම් ඕකේ රියසක් වලට... උඹට නොකරන උදව් වෙන කාට කරන්නද බං...."
"අනේ ඒක නම් ලොකු උදව්වක් මචං...., වැඩේ තියෙන්නෙ මේක ගෑනු චරිතයක්" ඔය කොලේ... මට වෙන්නෙම ඔය වගේ චාටර්... දැං අඳින්න වෙන්නේ පිස්සු ගෑනියෙකුටද? ඒක අහලා බුවාගේ හිර කරගෙන හිටපු හිනාව එළියට පැන්නා.... දැං ඉතිං මොනා කරන්නද අර ලියුම කාට හරි මාට්ටු වෙලා අත පය කුඩු කරගන්නවාට වඩා හොඳ නැද්ද පිස්සු ගෑනියෙකුට රඟපානවා.
"ඒක මොකද්ද?" මම ආයෙත් කිව්වේ හිනාව නවත්තගන්න බැරුව බඩ අල්ලන් හිනා වෙන සිකාගෙ කරට අත දාන ගමන්.
" උඹේ ඔය කැඩුච්ච අත." කෝම්පිට්ටුවා කාලෝචිත ප්‍රශ්නයක් ඇහුවා.
"ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා ඒකේ ප්ලාස්ටරේ එන සුමනේ ගලවනවා" ඒක ඇත්ත මම දන්න විදියට.
"උඹලා මට කලේ ලොකු උදව්වක්" කෝම්පිට්ටුවා සෑහෙන්න පිං දෙන්න පටන් ගත්තා.. පව් අහිංසකයා...
"දසුන් මටත් උඹෙන් උදව්වක් ඕනේ..." මම හෙමින් කිව්වේ වටේ පිටේ කවුරුවත් ඉන්නවාද කියලා ඇන්ටනාව දාන ගමන්
"මොකද්ද?" කෝම්පිට්ටුවත් කන මගේ පැත්තට ලං කලා
"උඹ දන්නවානේ මෙවන් මාත් එක්ක ඔරොප්පුයි කියලා...." කෝම්පිට්ටුවා ඔටුවා වගේ ඔලුව වැනුවා
"දැං ඌ කෙල්ලෙක් විදියට ලියුමක් ලියලා ඒක තියාගෙන ඉන්නවාලු මට මඩ ගහන්න.... මචං ඒ ලියුම අල්ලලා දීපංකෝ උඹේ විදායක බලේ පාවිච්චි කරලා" කෝම්පිට්ටුවා කල්පනා කලා. වරෙල්ලාකෝ යන්න, මම සමරසේකර සර්ට කියලා එයා එක්කම යන්නම් දසුන් අපි කට්ටියත් එක්ක ගියේ සර් කෙනෙක් ලඟට...ඇත්තමයි කියන්නේ මම මේ සර්ව දැකලා තියනවා ඒත් කට හඬ ඇහුවේ අද. පස්සේ අපි සර් එක්කම මෙවන් සෙල්ලම් කරන තැනට ගියා. මිනිහා පොඩ්ඩ වෙන්න අවුල් උණා සර් ලියුම ඉල්ලුවාම.... ඌට කර ගන්න කියා ගන්න දෙයක් නෑ.. මී හරකා වගේ සර්ට ලියුම දුන්නා....අනේ පව් අසරණයා.... දුකෙත් බෑ.
" මඩ ගැහිලි මෙතනින් ඉවරයි.. සර් මගේ ඇස් ඉස්සරහාම අර ලියුම බලලා කෑලි කෑලි වලට ඉරුවා.... කිරි අප්පේ හඳුන්පොත... ඒක කී ගාගත්ත ගමන්මයි. මෙවන්ගෙන් ලියුම බේරුණා ඒක ලොකු දෙයක් ඒත් ලිහිණිගේ සුවඳ ඒ කොල කෑල්ල පුරාම තිබුණා මට මතකයි. මම නට ඹුන් වෙච්ච ලියුම දිහා බලාගෙන හිටියා. අනේ දෙයියනේ....කියනවා වගේ මගේ හිතට දැණුන දුක ගැන්සියට තේරුන නිසා උන් මොකුත්ම කියන්න ආවේ නෑ...
"තෙනුර හෙට මම සාරියක් ගේන්නම් උඹ ඒක ඇඳගෙනම ප්‍රැක්ටිස් කරපං එතකොට අවුලක් වෙන්නේ නෑ..." කෝම්පිට්ටුවා මට කියලා තට්ටුවක් දාගෙම එතනින් යන්න ගියා... මම ගැන්සියත් එක්කම පාරට බැහැලා ගෙදර යන්න පිටත් උනේ හිතා ගන්න බැරි දුකකින්... ඒත් එක්කම කළු කැබ් එකක් මගේ ඉස්සරහා නැවත්තුවා... මොකද්දෝ එක පාරටම ඔළුවට වැදෙනවා වගේ දැණුනා එච්චරයි මට මතක....

Monday, July 26, 2010

36 කොටස



ඉස්කෝලේ ඇරෙන්න කලින් අපි වෙනදා වගේම තාප්පෙන් පැන ගත්තා. මට දැං ටාසන් ක්‍රියා කරන එක ගේමක් නෑ. තාප්පේන් පනින එක කජ්ජක්ද තට්ටු පහකින් පැන්නා නම්. ඉස්කෝලෙ එහා පැත්තේ තියන තේ කඩේට රිංගලා අපි ප්ලේන්ටි දෙකක් අත් පිට මුදලට අරං හතර දෙනාම බඩ පුරෝ ගත්තා.
"මයියා... ඔය භානුකයා, තල්මසා කියන්නේ මට පේන විදියට සෑහෙන්න කළු චරිත" ටොලා සාහිත්‍ය පාඩමක් පටන් ගත්තා.
"කළු කිව්වේ බං.. උඹ ඔය කියන තරම් තල්මසා කළු නෑනේ" සිකා හැමදාම වගේ වැඩේ අනා ගත්තා.
"කළු කිව්වේ උපත නෙවෙයි බං..... අනේ මන්දා... කළු කිව්වේ දුෂ්ට ලුක් එක"
"එහෙම දෙයක් නෑ ටොලා... උන් දෙන්නාම අවුලක් නෑ... උන් ලිහිණි වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා. පොතේ හැටියට මම ගුටි කන්න තිබ්බේ තල්මසාගෙන් ඒත් කෑවේ වෙන එකෙක්ගෙන්... තල්මසාගෙ ඇඟ තිබ්බාට ඉක්මනට ෆයර් වෙන්නෙ නෑ"
"මේං බලපංකෝ මූ දුන්න චරිත සහතිකේ.....ඔහොම ගියොත් උන්ගේ හත්මුතු පරම්පරාවටම චරිත සහතික දෙයි උඹ අයේ සක්‍රයා වගේ" ඒත් එක්කම අපි දැක්කා භානුක වාහනෙන් ඇවිල්ලා තෝසෙ කඩේට ඇතුල් වෙනවා. 
"අන්න අරූ ආවා..." මම බිබී හිටපු ප්ලේන්ටිය සිකා අතට දිලා යන්න ලෑස්ති උනා. මට ඌ ආව සීන් එක මොකද්ද කියලා දැන ගන්නකන් ඇඟ පුරාම කුලප්පු සීන් එකක් වැඩ කලා.
"ඕයි... උඹ කොහෙද යන්නේ.. මේ බෑග් එක අරං පලයං.. ඔය හමුවීම ඉවරවෙලා මෙතනට වරෙං අතුරුදහන් නොවී" බුවා මට මගෙම බෑග් එකෙන් දමලා ගැහුව ,මට මේ කෙහෙල්මල අමතකම වෙනවානේ.... මම ඒකත් කරේ දාගෙන තෝසෙ කඩේ පැත්තට පා උණා. භානුකයා ඇවිත් තිබ්බේ තනියම...
"තෙනුර... මචං" මාව දැක්ක ගමන්ම භානුකයා ඉඳගෙන හිටපු ටකරං මේසෙන් නැගිටලා ඉස්සරහාට ආවා.
"උඹ එනවා දැකලා ආවා. මොකද්ද සීන් එක"
"ඉස්කෝලෙ ඇරෙන්නත් තව පැය භාගයක් විතර තියනවා නේ" භානුකයා වෙලාව බැලුවා.
"ඉස්කෝලේ ඇරෙනකං කවුද බං ඉන්නේ... ඉතිං මොකද්ද සීන් එක කියපංකෝ... ලිහිණිට අවුලක් නෑනේද?"
" මචං... ආයේ ලිහිණිට සනීප නැති උණා ඊයේ...."
"ඒ මොනා වෙලාද?" මම පොඩ්ඩක් අවුල් උණා. ලිහිණිට කරදරයක්වත්ද කියල හිතෙන්න ගත්තා.
"තිබ්බ ලෙඩේම තමයි... දවසම මට උඹ ගැනයි උඹ කිව්ව ඒවයි කියකියා හිනා වෙවී ඉඳලා. රෑ කෑ ගහ ගහා අඬන්න ගත්තා අම්ම ඕනේ කියලා."
"කිරි ඕනේ වෙලාද?" මගේ කට ඉතිං මෙලෝ හීලෑවක් නෑනේ... ඔහෙ වාචාලයා වගේ කියවනවා, ෂිඃ අහපු එකේ කැත. භානුකයා හිනා උණා
"නැහැ... එයා ගොඩාක් හිතන්නේ එයා මේ ලෝකේ තනි වෙලා කියලා එතකොට එයා අහන්නේ අම්මාව. "
"හරි හරි... ඉතිං කියපං මට එන්න කිව්ව කාරණේ..."
"මචං.... මම මේ කියන දේ ගැන වැරදියට හිතන්න එපා.... ලිහිණි එක පාරටම අපි කතා නොකර ඉමු කිව්ව පලියට උඹ ඒක කරන්න යන්න එපා.... ලිහිණි උඹත් එක්ක කතා කරන්නේ ගොඩාක් සතුටින්.... "
"උඹ මට දැං කියන්න හදන්නේ ලිහිණිත් එක්ක මට කතා කරන්න කියලාද?"
"ඔව් මචං...."
"උඹ දන්නවාද මගේ ජීවිතේ කවදාවත් මම සෙකන්ඩ් වෙලා නෑ" මම එන්න එහෙම කිව්වා. ඒක පට්ටපල් බොරු.. ගෙදරම කීදෙනක්ට සෙකන්ඩ්ද මම... ඒත් කොල්ලාගේ ආත්ම ගරුත්වයද මොකද්ද එක අනිත් උන්ට වත් පෙන්නලා දෙන්න එපෑ.
"උඹ කියන දේ මට තේරෙනවා.... මම ලිහිණිට කෝල් එකක් අරං දෙන්නද අද?"
"අයියෝ හා...."
"උඹ කතා කරපං"
" භානුක උඹ මෙතනට ආවේ ඔය ටික කියන්නමද?" මට මොකද්දෝ කියා ගන්න බැරි සීන් එකක් උගේ මූනේ තියනබව දැනෙන්න ගත්තා. ඌ හිටියේ ගල් ආදාව ගොඩට අරං වගේ මොකද්දෝ අමාරුවකින්
" නෑ මට උඹට තව දෙයක් කියන්න තියනවා... ඒක ඉල්ලීමක්" ඔය වමාරන්නේ... අඬන්නම ඕනේලු කිරි එරෙන්න.... දැං මූ කිව්වොත් උඹ තව එක පාරක් ගිහින් කාගෙන් හරි ගුටි කාලා වරෙන් කියලා. මම යයිද?
"ඉල්ලපංකෝ බලන්න"
" තාත්තා ලිහිණිව ඉස්කෝලෙ යවන එක නැවැත්තුවේ ඇමති තුමාගේ පුතාට එයාව කසාද බන්ඳලා දෙන්න" එහෙම කතාවක් එක දවසක් අපේ තාත්තාත් කිව්වා එවෙලෙ දැනුනා වගේම හීනියට කැක්කුමක් පපුවට වැටෙන්න ගත්තා. මට ජයමංගල ගථා කියන්න එන්න කියන්න හදනවාද දන්නේ නෑ මූ.
"ඉතිං...." 
"එන අවුරුද්දේ එයාලව කසාද බන්දන්න තාත්තා තීරණේ කරලා ඉලෙක්ෂන් එකට කලින්" මාව අනාථ වෙලා ගියේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. ඒත් හිතට හෙනයක් ගැහුවා වගේ උණා.
"ඇයි ලිහිණිගෙ අසනීපෙ ගැනවත් උඹලාගෙ තාත්තා නොහිතන්නේ..?" පපුව කෑ ගහ ගහා අඬනකොට කතා කරන්න අමාරුයි. වචන හිර වෙනවා. ඒත් භානුකයාට ඒක නොතේරෙන්න මම ගේම දුන්නා.
" තාත්තා ඒ නිසා තමයි බන්ඳන්න මෙච්චර ඉක්මන් වෙන්නේ.... දැනටමත් මිනිස්සු කියන්න අරං ලිහිණි පිස්සියක් කියලා"
"භානුකයා මට කියනවා උඹ ඇයි මේවා මට කියන්නේ..."
"මට ලිහිණිව අරං ගිහින් තියන්න තැනක් නෑ..... නැත්නම් මම ලිහිණිව ගෙදරින් පන්නනවා"
"උඹලාට කොහෙ හරි ඉන්න තැනක් සෙට් කරන්නද"
"ඒක මට කරන්න පුළුවන් එතකොට ෂවිනි..." භානුකයාගෙ කතාවෙන් මට අපේ නංගිව මතක් උණා. 
"උඹ මට මොනවාද කරන්න කියන්නේ?"
"තෙනුර .... මම දන්නවා ලිහිණි උඹ ඉන්න තැනක සතුටින් ඉඳී... ලිහිණිව උඹ පන්නපං මචං..."
"උඹට මෝල්ද?" මගේ ඇඟේ හිරිගඬු පිපෙන්න ගත්තා
"උඹ දන්නේ නෑ ලිහිණි විඳින දුක.... මට උදව් කරපං මචං..." 
"උදව් කරන්නම්... ඒත් ලිහිණිව පන්නගෙන යන්න කියන්න එපා"
" නැතුව කොහොමද මේ ප්‍රශ්නේ නවත්තන්නේ... කියපං" භානුකගේ කතාව හරි. ඒත් ලිහිණිව පන්නගෙන ගිහින් ජීවත් වෙන්න තරම් සිකක් මට නෑනේ... ඕකනේ කියන්නේ අනුකම්පානම් භූමිකම්පා හොති සබ්බදා කියලා. 
"භානුක තරහා වෙන්න එපා මචං උඹ ඔය කියන වැඩේ මටනම් කරන්න බෑ... මචං මටත් අම්මේක් තාත්තේක් ඉන්නවානේ.. එයාලගෙත් මොකක් හරි පොඩි හීනයක් මම වෙනුවෙන් ඇති. නිකං කාලකණ්ණියෙක් වගෙ මම එයාලගෙ හීනත් කුඩු කරලා, ලිහිණිගෙ ජීවිතෙත් අපායක් කරලා, ගඟක මුහුදක පැනලා මැරෙන්න උණොත් ඒක අපරාධයක්... අපි මීට වඩා හොද ගේමක් ගැන හිතලා බලමු" මම සැර වැඩි නෑනේ.... ලිහිණි කියන්නේ මම දැක්ක ලස්සනම කෙල්ල ඒක ඇත්ත, ලිහිණිව මට ජීවිතේටම අමතක කරලා දාන්නත් බෑ ඒකත් ඇත්ත.... ඒකිට මමත් මට ඒකිත් කැමතියි ඒකත ඇත්ත.. එහෙම උනා කියල භානුකයා මට මෙහෙම යෝජනාවක් කරන එක සාධාරණ නෑනේ. අම්මලා තාත්තාලගේ හීන පැත්තකින් දාමු මම ඒ කිව්වේ බයිලා. ඒත් කෙල්ලෙක්ව පන්නගෙන ගිහින් කන්න අඳින්න දෙන්න මට පුළුවංද?
භානුකයා ක්ෂීර පථයම පාළු වෙලා යන්න හුස්මක් ඇරියා. 
"මේකයි මචං ලිහිණි අරූව බදින්න කළින් එයාගේ ජීවිතේට මොකක් හරි කර ගනී කියලා මට බයයි."
"එහෙම වෙන්නේ නෑ.... උඹ බය නොවී හිටපං... මම කතා කරන්නම්"
"මචං මමයි උඹයි, ලිහිණියි උඹයි අතරේ තියන ෆිට් එක කාටවත් දැන ගන්න තියන්න එපා"
"මගේ යාලුවෝ ඇරෙන්න ඒවා කවුරු දැන ගන්නද බං"
"ලිහිණි උඹට දුන්න ලියුම උණත් කාටවත් පෙන්නන්න එපා ඒකෙන් ලිහිණිට කරදරයක් වෙන්න පුළුවං"
"ලිහිණි මට දුන්න ලියුම මගේ සාක්කුවේ ඩිපොසිට් වෙලා තියෙන්නේ...." මම සාක්කුවට අත දැම්මේ ලියුම අරං පෙන්නන්න. ඒත් හත් දෙයියනේ කෝ ලියුම.මාව කැරකිල කැරකිලා අත ඇරුණා වගේ උණා. හිතා ගන්න බැරි විදියට කිළි පොලා ගියා.. හත් දෙයියනේ අර ලියුම මෙවන් ලඟ නේද?

Sunday, July 25, 2010

35 කොටස



" උඹ මහ කෙරුමා කියලාද හිතන් ඉන්නේ...." මෙවන් එයාගෙ යාලුවෝ එක්ක, මල පැන්න මා දිහා බලලා හිනා උණා. 
" මම කාටවත් මට කරන්න පුළුවන් දේ පෙන්නලා නෑ.... මතක තියා ගන්නවා.... ඒක"
" මොකද්ද උඹට කරන්න පුලුවන් දේ..."  දැං ඉතිං ඇනුනානේ.... මම කියලා මොනා කියන්නද දැං... මට අඩු ගානේ මදුරුවෙක් වත් එක ෂොට් එකෙන් මරන්න පුළුවන්ද? 
"තමුසේ ජීවිත කාලේම විඳවද්දි අපි කොහොමද තවත් දේවල් කරන්නේ... නැද්ද මචං...." මෙවන් අනිත් අයත් එක්ක හිනා වෙන ගමන් අර ලියුමත් සාක්කුවෙ දාගෙන යන්න හැරුණා... ඒක දැක්ක බුවා "බදෝයි" ගාල මිට මොලවලා මෙවන්ගේ මූණටම  පාරක් දුන්නා. දැං වැඩේ අබ්ලික් සීන් වෙන්නයි යන්නේ..... මූගේන් කාපු කෑමේ රහ තාමත් මට දැනෙනවා.
" මේ මෙවන් උඹට ලැජ්ජා නැද්ද යකෝ.... කෙල්ලෙක් වෙනුවෙන් අපිත් එක්ක මෙහෙම ගේම ඉල්ලන්න...." මම කිණ්ඩි වොයිස් එකකින් මෙවන්ට කිව්වා. දැං ටොලා මාව අල්ල ගෙන සිකා බුවාව අල්ලගෙන. ලුණු ගෙනියනවා වගේ.... මෙවන්ගෙ යාළුවෝ සෙට් එක ටිකක් පිටි පස්සට වෙලා. උන්ට ප්‍රින්සිපල්ගෙන් ලැබිච්ච සෙම්බුව මතක් වෙන්න ඇති. මෙවන් දුවිලි ගස ගසා එතනින් නැගිටිනකොට බුවා අර සන්නිය හැදිච්ච යකා වගේ දඟලන්න ගත්තා.
" ලැජ්ජා තියෙන්නේ උඹට කෙල්ලොන්ගේ පණිවිඩ ගේනවට"
" ඔව් මම ඒකට ලැජ්ජා වෙනවා... ඒ පණිවිඩේ උඹ වගේ එකෙකුට ඇවිත් කියපු එකට..... මතක තියා ගන්නවා.. පාරේ වැටිලා ඉන්න සතෙක්ට මගෙන් උදව්වාක් ඕනේ නම් මම ඒක කරනවා...." 
"උඹ වගේ එකෙක් සතුන්ට උදව් කරන එක හොඳයි.... පිං කර ගනින් ඉක්මනට පරලොව යන්න ඉන්න එකේ..." මූ මේ කියන්න හදන්නේ මම ඌ අතින් මැරුම් කනවා කියන එකද? ඇයි ඌ මාව මරනකන් මගේ අත පය නැද්ද?
" පරලොව උඹත් යනවා .... පිං පව් වලට වඩා.. මම බලන්නේ මනුස්සකම.... ලිහිණි මගෙන් උදව්වක් ඉල්ලුවා මම ඒක කලා.... එච්චරයි.... තමුසේ මෙතන මාත් එක්කයි මගේ යාලුවෝ එක්කයි ගේම අල්ලන්න ගිහින් නිකං නාගත්තා.... මතක තියා ගන්නවා... උඹ අපිට අත ඉස්සුවේ කෙල්ලෙක් වෙනුවෙන්... හිතන්නත් ලැජ්ජයි... ෂිඃ තමුසෙගේ පිරිමි කම" මගේ කතාවට අර යාලුවෝ සෙට් එක නම් කොර උනා. දෙයියෝ මට මොළේ නැතත් හොඳ කටක් නම් දීලා තියනවා. සන්තෝසෙ බෑ.
"අනික දැන ගන්නවා.... අයේ තෙනුරට අත තියන්න තමුසේලාට අපි ඉන්නකන් ඉඩ නෑ කියලා" බුවාගේ කෑ ගැහිල්ලට ඉස්කෝලේ සෑහෙන කට්ටියක් එතන පිරුණා.
"මාව අත ඇරපං ටොලා..." මම උගෙන් අයින් වෙලා මෙවන් ලඟට ගියා...."
"මචං...  කෙල්ලෝ කියන්නේ සරුංගල් වගේ..... නූල තියනකං කරනම් ගස්සන්න පුළුවං, ඒත් නූල අත ඇරුණොත් සොරිම තමයි.... උඹට දැං නූල අතඇරිලා.... ආයේ නූල පස්සේ දුවලා හති වට්ටගන්න එපා.... අත ඇරල දාපං.... " මම බුවාගේ කරට අත් දාල ආපහු හැරුණා....
" උඹ නූල අල්ලාගනින්කෝ බලන්න.... එදාට සරුංගලෙයි නූලයි දෙකම එක්ක උඹටත් වෙන්නේ වාෂ්ප වෙන්න..." බුවාට ආයේ මල පැන්නා.. ඌ ආයේ දඟලන්න ගත්තා....
" මට සරුංගල්  එපා..... ඊට වඩා මම නිදහසට ආසයි...., උඹම තියා ගනින්...." මම බුවාම ආම්බන් කරගත්තේ මාර ගේමක් දීලා.. මූ කුලප්පු වෙච්ච කුළු හරකෙක් වගේ අනින්නමයි යන්න හදන්නේ.....
 ඉස්කෝලේ වටේ රොක් වෙලා හිටපු උන්ව පාස් කරගෙන අපි පංතියට ගියා...
"ඕකා තව එක සැරයක් හරි අත ඉස්සුවනම් මම ඕකාව තමයි පරලොව අරින්නේ..."
" මේ මේ බුවා... නිකං උඩු බුරලන බල්ලෝ මරලා පව් පුරවගන්නේ මොකද?" මම එහෙම කියලා ඌව පොඩ්ඩක් ශේප් කලා. ඒත් මගේ ඔළුව හීනයට රිදෙන්න ගත්ත එක අම්බානකට වැඩි වෙන්න ගත්තා.
"සිකා මට වතුර ටිකක් දීපං බං...." මම පොඩ්ඩක් අමාරුවෙන් ඔළුව අල්ල ගත්තා.... සිකා කොහෙන්දෝ වතුර අරගෙන ඇවිත් මට දුන්නා.... මම ඒක බීලා එහෙමම හිටියා..
"මයියා..... උඹට මොකද බං... කියපංකෝ" ටොලා මාව හොලවන්න ගත්තා
"අර කාලකණ්ණි ඔලුව කැක්කුම මචං...."
"මයියා... උඹ අපිට නොකියන දෙයක් තියනවා" බුවා මගේ කර වටෙ අත දානව මට දැනුනා.
"එහෙම එකක් නෑ..."
"උඹ ලිගිණිට සිරාවටම ලව් ද?" බුවාගේ ඒ ප්‍රශ්නෙන් මම හොල්මන් උනා. "ලව්" මේ මට.... මම හිතන්නේ නෑ... කොලු කමට ලස්සන කෙල්ලෙක්ට ආස හිතෙනවා ඒත් ලව් කරන්න තරම් උවමනාවක් මට නෑ. මම හිතන්නේ නෑ මට එහෙම දෙයක් ඇති වෙයි කියලා
"උඹට පිස්සුද බුවා.."
"උඹ ලිහිණි වෙනුවෙන් මෙහෙම චාටර් වෙද්දි ඒක අපිට දැනෙනවා මයියා... ඒක අපි තුන්දෙනා ඊයෙත් කතා කලා" සිකාත් කතා කලා.
"මම හිතන්නේ නෑ සිකා මට එහෙම උවමනාවක් තියනවා කියලා.... "
" නෑ මචං උඹට එහෙම උවමනාවක් නැත්තෙත් නෑ..... ලිහිණි දැං උඹේ බොක්කේ තැම්පත් වෙලා ඉන්නේ... උඹ එක දෙයක් අමතක කරලා ..... අපි හතර දෙනාගේ තියන ෆිට් එක" බුවා මාර දුක කතාවක් කිව්වා... ඒත් මට ඒවා අමතක වෙලා නෑ...
" මම මලේ නෑ මචං ඒවා අමතක වෙන්න..... මට තේරෙන්නේ නෑ මචං මට මොනා වෙලාද කියලා.... ලිහිණි උදව්වක් ඉල්ලුවාම මට බෑ කියන්න ගටක් නෑ... මට ඒකි ගැන අම්බානකට දුකයි බං. අනික ලිහිණි වගේම කෙල්ලෙක් ආයේ මගේ ජීවිතේට එනවා කිව්වොත් උඹලා විශ්වාස කරනවාද?"
"තේරුන් නෑ" සිකයි ටොලායි එක පාරටම මගෙන් ඇහුවා...
"ඔව්.... එන මාසෙ ඉඳලා තව හෙන ගෙඩියක් පාත් වෙන්නයි යන්නේ.... ලිහිණි වගේම කෙල්ලෙක් අපේ ගෙදර නවතින්න එනවා" ගැන්සියම මූණට මූණ බලා ගත්තා...
" උඹේ මොළේ කචල් වේගෙන එනවාද?" බුවා හිනා වෙන්න ට්‍රයි කලා.
"මම මේ කියන්නේ බුදු සීරියස් මචං.... උඹලාත් දකිනකන් මාව විශ්වාස කරන්නේ නෑ.. ඒත් මට ඊට පස්සේ.."
" මයියා.... උඹ අවුලක ඉන්නේ..."
"ඇත්තම කිව්වොත් ලිහිණිව මට කවදාවත් අමතක කරන්න බෑ...."
"මොකද්ද බං මේ හරුපේ...., උඹ මොන කුණු හරුපයක් කියනවාද අපිට තේරෙන්නේ නෑ"
" මචං ලිහිණිව දකින්න, ඒකි එක්ක කතා කරන්න, ඒකිව හිනස්සන්න, මම මාර ආසයි, ඊට වඩා දෙයක් මට ඕනේ නෑ...."
"උඹ හිතනවාද ඒ ලව නෙවෙයි කියලා"
"ඔව් ඒ ලව නෙවෙයි" සිකාගේ ප්‍රශ්නෙට මම උත්තර දීලා දැම්මා
" උඹට තේරෙනකොට පෙරහැර ටටා කිය කියා ගිහින් තියෙයි.. එකක් කියන්නම් උඹ කිව්වොත් අපි ලිහිණිව උස්සලා හරි උඹ ලඟට ගෙනත් දෙන්නම්" මේ මොනා කියනවාද ඒ කෙල්ලගේ බර බලන්නද මුන් හඳන්නේ
"උඹලාට පිස්සුද?  ලිහිණි මගෙන් ඉල්ලීමක් කලා එයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා මම ඒක කරනවා"
"ඈත් වෙලා ලව් කරනවා... තෝත් පිස්සෙක් වෙලා නවතී සිකා වගේ" ටොලා හිනා වෙන්න ගත්තා
"ලව් නෑ බං කීපාරක් කිව්වද"
" තෙනුර අයියා කවුද" එක පාරටම මගේ ලඟට බටු මල්ලියෙක් ඇවිත් ඇහුවා. 
"මම" මම ඌ දිහා බැලුවේ දරු කමට හදා ගන්න හොඳ සයිස් එක වගේ බැල්මකින්.
"භානුක අයියා කිව්වා ඉස්කෝලේ ඇරිලා තෝසෙ කඩේ ලඟට එන්න කියලා" ඌ ඒක කියලා ආපහු හැරුණා. ඒ පාර මොකක් සෙට් වෙනවාද මන්දා.... ලිහිණිගෙන් පණිවිඩයක්වත් වෙන්න පුලුවං... පොඩි ෆන් එකකුත් ගියා. කට කොනකට හිනාව තද කරගෙන ගැන්සිය දිහා බලනකොට උන් මගේ මූනේ තිබ්බ ගොඩක් දේවල් කියවලා ඉවරයි. ලිහිණිගේ නම ඇහෙනවාටත් මම ආසයි.. මම ඒක නම් ගැන්සියට කිව්වේ නෑ.

Thursday, July 22, 2010

34 කොටස



මට මේ හැම දෙයක්ම හින්දි ෆිල්ම් එකක අමු අබ්ලික් සීන් එකක් වගේ.... කාට නැතත් මට නම් පිස්සු කොර තමයි. මොනා උණත් ඊයේ නැන්දලා ගියේ තාරකාව ලබන මාසෙ අපේ ගෙදර එවනවා කියන ආරංචියත් එක්ක. මට අද ඉස්කෝලෙට ගිහින් අපේ ගැන්සියට කියන්න ෆුල් ඉස්ටෝරියක්ම තියනවා. ටාසන් සීන්, හොරර් සීන් විතරක්ද ඇස් අදහා ගන්න බැරි මැජික් සීන් එකකුත්තියනවානේ. අහන් ඉන්න උන්වත් කිලිපොලා යයි,. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච මම වට පිටට රබර් ඇහැ දැම්මේ කවුරු හරි ගැන්සියට සම්බන්ද එකෙක් කොහෙන් හරි මතු වෙයිද බලන ගමන්. 
" මයියා....." අම්මෝ අහන්නත ආසයි. සිකාගේ කටහඬ.
"මොකද බං උඹට උනේ..... "
"කියන්න අම්බානක සීන් තියනව මචං.. කෝ අනිත් උන්....."
" අපිටත් කියන්න මාර සීන් තියනවා"
"ඒ මොනාද?" මම සිකා එක්ක පන්තිය පැත්තට පා උණා"
"අන්න මෙවන් ආයෙ ඉස්කෝලෙ ඇවිල්ලා.... උගේ තහනම් සති දෙක ඉවරනේ..." හත් වලාමේ සති දෙකක් ගියාද? ආයේ මට මොන වගේ දෙයක් වෙන්න යනවද කියන එක දන්නේ සක්‍රයා තමයි. 
"මොනාද උඹ කල්පනා කරන්නේ..?" සිකා මට තට්ටුවක් දානකන් මගෙ සිහිය තිබ්බේ අයේ පාරක් ගුටි කනවා දැක දැක....
:"ඌ උඹලාට මොනා හරි බයිලා කියන්න ආවද?"
" නෑ... ඊයේ අපි දිහා කිඹුල් බැල්මක් දාගෙන ගියා.. ඒත් මචං උඹ පරිස්සමෙන්.. ඌට අපිත් එක්ක නෙවෙයිනේ ගේම තියෙන්නේ... උඹ තනියෙන් එහෙ මෙහෙ අන්තරස්දාන වෙන එක නවත්තපං.."
"මම කවද්ද බං අන්තරස්දාන උනේ.."
"මේ දවස් ටිකේම උඹ එක පාරටම ආ ගිය අතක් නැති වෙනවා. "
"ඒකට හේතුව කියන්න තමයි බං මේ හදන්නේ ... කෝ අනිත් උන්?" සිකා සුපුරුදු කණ්ඩියේ ඉඳගත්තා.
"දැං එයි" ඒ කියනකොටම අනිත් උන් ඈත් එනවා අපි දෙන්නා දැක්කා.
"බුවාට උඹත් එක්ක අම්බානකට මල පැනලා ඉන්නේ" සිකා හිමින් සැරේ කිව්වා
"මම දන්නවා.. ඌ නහර කාරයා... ඒ උණාට බොක්ක ඔරිජිනල්" මම ඒ කිව්වේ ආයේ බොක්කෙම්ම තමයි
" උඹලා දන්නවාද මේ දවස් වල අපේ මරු සිරා මොනාටද එන්ටර් වෙලා ඉන්නේ කියලා" බුවා මගෙ දිහා නොබලාම කතාව පටන් ගත්තා.ඌ ඉන්නේ මලෙන් ඉතිං මම නිකන් ඉල්ලන් කන්න ගියේ නෑ කියන ඔක්කොම අහගෙන හිටියා.
"කවුද බං මරු සිරා...."
"තෙනුර කනිෂ්ක අතපත්තු" මූ මරු සිරා කියලා තියෙන්නේ මට... ඒකත් ගති කාඩ් එක .. බලමු දැං මොනාද මූ කියන්න යන්නේ කියලා.ඒ කතාවෙන් ටොලායි, සිකයි දෙන්නම මගේ දිහා බැලුවා.
" මොකද්ද?" ටොලා හීනියට කතා කලා
" ලිහිණිව බා ගන්න... අපි ඔක්කොටම කොකා පෙන්නලා තනියම දැං දැං එයාව හම්බත් වෙනවා." කිරි අප්පේ මූ කියන ගල් පැලෙන බොරූ.... මම හීනෙකින්ව්ත් එහෙම හිතලා නෑ.
"පච හලන්න එපා බුවා... කවුද උඹට ඔය ගල් මුසාව කිව්වේ...?" මෙහෙම කතා කියනකොට මම කොහොමද කට වහගෙන ඉන්නේ..
"බොරු කියන්නේ උඹ මයියා.... උඹ හිතන් ඉන්නේ අපිවත් ගෙදර උන් වගේම රවට්ටන්න... මම නම් කවදාවත් හිතුවේ නෑ උඹ අපිව මෙච්චර චාටර් කරයි කියලා. යකෝ තොට ගහද්දි.. අපිත් ගුටි කාගෙන උඹව බේර ගන්න ගේම දුන්නා... ඒත් කරපු වැඩේ නම් කුජීතයි...." මගේ බොක්කෙන්ම ආවේ හිතා ගන්න බැරි වේදනවාක්... මම මුන්ව නොමඟ අරින්න කවදාවත් හිතුවේ නෑ. කියා ගන්න වෙලාවක් තිබ්බේ නැති එක විතරයි සීන් එක.
"උඹලා මේ කොහෙද යන කෙල්ලෙක්ගේ සීන් එකකට මාව මේ තරම් පහත් කරනවා නේද? ඔය කෙල්ලට පැනි පෙරන්න මට උවමනාවක් තිබ්බේ නෑ ඒත්..."
 මම ඒත් කියනකොටම ඔක්කොමල මගේ දිහා බැලුවේ පොකට් ගැහුව හොරෙක් දිහා බලනවා වගේ.
"උඹ ඒත් කියන්න කලින් මම ඔක්කොම දන්නව මයියා.... මට දුක එකට බොක්ක දීගෙන හිටපු අපිට උඹ මරසිය දාන එක ගැන...."
"බුවා උඹලා ඔක්කොම කණපිට ඕයි හිතන්නේ...."
"ඊයේ තල්මසා... ඔටුවා වගේ ඔක්කොම මට වැමෑරුවා... ඌ ඇවිත් හිටියේ උඹව හම්බ වෙන්න" බුවාගෙ කතාවෙන් මාව සදා මොංගල් උණා. 
"ඌ උඹට මොනාද කිව්වේ..."
" එදා උඹව වාහනේ දාගෙන ගියේ උඹේ අයියා නෙවෙයි, තල්මසා.. ගෙනිච්ච ලිහිණි බලන්න ඉස්පිරිතාලෙට" ඇත්තනේ... නෑ කියන්න බෑනේ
"ඔව්"
" පහුවදාත් උඹ ගියා ලිහිණිව බලන්න... ලිහිණිගෙ තාත්තා එතනට ඇවිල්ල උඹ වොෂ් රූම් එකෙන් අතුරුදහන් උණා..?"
"ඔව්..."
" උඹ අතුරුදහන් උනේ ලිහිණිගෙ කාමරේ බෑග් එකත් දාලා"
"ඔව්" මම මිනී මැරුමකට අහු උණ විත්ති කාරයා වගේ වැරදි පිලිගත්තා.
" ලිහිණි උඹට ලියුමක් ලිව්වා ආයෙ හම්බ වෙන්න එපා කියලා" ඒක කොහොමද මූ දන්නේ..?
"උඹ කොහොමද ඒක දන්නේ...?" උඹ මෙච්චර කාලයක් ගැහුව ගේම් මම දන්නවා මයියා... උඹ ඕවා ඔක්කොම අපිට හැංගුවා.
"බුවා මම අද ආවේ මේ ඔක්කොම උඹලාට කියන්න.. මේ හැම දේටම වෙනස් ඒත් මේවාට කොහෙන් හරි සම්බන්ද දෙයකුත් එක්ක" ගැන්සියම මගේ දිහා බැලුවත් බුවා අහක බලා ගත්තා.
" උඹලා පිළි ගත්තත් නැත්තත් මම ඕනෙ තැනක දිවුරන්නම්.. මගෙයි ලිහිණිගෙයි අතර උඹලා හිත තරම් දෙයක් නෑ. ලිහිණිට මම අනුකම්පා කරනවා. දඩයම් බල්ලෝ ගොඩක් මැද බයේ ගැහි ගැහි ඉන්න මුව පැටියෙක් වගේ බං ලිහිණි...."
"උඹ ඒකිට සික නැත්නම් ඔහොම දේවල් කියන්වාද?" ටොලා හිනා වෙවී මගේ පිටට තට්ටු කලා.
"නංගිගේ කොල්ලා ඇවිල්ලා ලිහිණිගේ මල්ලි..." මගේ කතාවෙන් බුවා මගේ දිහා බලලා කිණ්ඩියට හිනා උණා
"දැං උඹ කියපං මම නංගිට සපෝට් එක දෙන්න ඕනේ නිසා ලිහිණි බලන්න ගියා කියලා"
"නෑ මචං මම ලිහිණි බලන්න ගියේ ඇත්තටම ඒකි ගැන මට මාර දුකක් ආව නිසා."
"මේක මතක තියා ගනින් මයියා... උඹ කවදා හරි මැරුම් කන්නේ ඔය කෙල්ල නිසා"
"විකාර කතා කියන්න එපා මචං" සිකා බුවා දිහා බලලා මගේ පැත්තට හැරුණා
" උඹ දැං අපිට පැහැදිලි කරපං... ලිහිණි කියන්නේ උඹේ කවුද?" 
" යාලුවෙක්"
" මයියා.... බයිලා එපා යකෝ"
"ඊයෙන් ලිහිණි එක්ක තිබ්බ ගනුදෙනු මම ඉවර කලා" මම සාක්කුවෙ තිබ්බ ලිහිණිගේ ලියුම අතට ගත්තා
"ඒ කිව්වේ..."
"ආයේ ඒකි දකින්න මම යන්නේ නෑ" 
"මීට කලිනුත් උඹ ඕක මට කිව්වා මට මතක විදියට" බුවා අහක බලාගෙනම කිව්වා.
"මාව අවිශ්වාස නැත්නම් මෙන්න ලිහිණි මට එව්ව ලියුම" මම සාක්කුවෙන් ලියුම අරන් බුවාට දුන්නා. ඌ ඒක ගත්තේ නෑ. මූ ඉන්නේ මාත් එක්ක පැහැදිලි මලෙන්....
"මෙහෙ දෙනවා උඹේ ලියුම බලන්න... මටත් ඕනේ උඹව අල්ල ගන්න තමයි" එක පාරටම මගේ අතින් ලියුම කවුදෝ උදුර ගත්තා. මම ඒ පැත්ත හැරුණා.... 
"මෙවන් උඹ" මෙවන්ගේ පිඹුරු මූණ දකිනකොට මගේ ඇඟටත් මාර අමාරුවක් ආව ඌට දෙකක් අනින්න.... ඒත් සිකයි ටොලයි මාව බඩෙන් දාලා අල්ල ගත්තා.

Tuesday, July 20, 2010

33 කොටස


 
මගේ කටහඬට ලිහිණි විතරක් නෙවෙයි ඔක්කොමලා හොල්මන් වෙලා ගියා. මමත් ෆුල් කචල්, මොලේ අවුල්, ලිහිණි කොන්ඩෙ කඩලා දාලා ෆුල් අනාථ වෙන විදියෙන් හිටියේ. ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවගන කිව්වලු. මට අර හින්දි පිච්චර් වල වගේ වටා පිටාවේ ඉන්න ඔක්කොමලාව ලිහිණි විදියට පෙනෙනවාද දන්නේ නෑ. මට දැන්නේ මතක් උනේ මගේ කටත් ටික වෙන්න ඇරිලා වගේ දැං මට දැනෙන්නේ. ලිහිණිගේ ලස්සන මට කවදාවත් හිතෙන් අස් කරන්න බෑ. මම පොඩ්ඩක් හයියෙන් මගේ අතම කොනිත්ත ගත්තා... ඒත් මම මේ දකින්නේ හීනයක්නම් නෙවෙයි ඒක නම් බුදු ෂුවර්.....
" කවුද චූටි අක්කේ ලිහිණි කියන්නේ....?" පොඩි ඩයිනමයිට් එක නංගිගෙන් ඇහුවා.
" ආ..... ඒ අයියාගේ පන්තියේ යාලුවෙක්... තාරකා දැකලා එයා කියල හිතන්න ඇති මේනකා... වාහනෙන් බහිනකොට මටත් තාරකව දැක්ක ගමන් ලිහිණිව තමයි මතක් උණේ..."  තාරකා.... මේ මොන බහුභූත කතාවක්ද? අපේ නංගි ලිහිණිව ලඟින් ඉන්ඳවගෙන කඩේ දාගෙන ඉන්නවා මදිවට දැං තාරකා කතාවක් කියනවා. මම පොඩ්ඩක් අවුලෙන් නංගි දිහා බැලුවා. නංගිට මොකුත් මට කියා ගන්න බැරුව වගේ වටපිටාව බලන්න ගත්තා...
"කවුද ලොකූ ලිහිණි කියන්නේ....?" ලොකු ඩයිනමයිට් එක අපේ අක්කා එක්ක අපේ පැත්තට ආවා.
"මටත් ඒ නම හොඳට පුරුදුයි.. කවුද මයියා...?" දැං ඉතිං කියපංකෝ විස්තරේ.... මම මොකුත් නොකියා ආපහු හැරුණා. 
"මයියාගේ ගර්ල් ෆ්රෙන්ඩ් ද? "ලොකු ඩයිනමයිට් එක කෑගහලා ඇහුවා. මට ඉබේටම බැලුණේ ලිහිණි දිහා. එයා වට පිටාව බල බලා හිනා වෙවී හිටියා. මට මොංගල් පාණ්ඩුව වගේ ලෙඩක් හැදීගෙන එනවද මන්දා. මම කාමරේට ගියා.
"අක්කාටත් ඕනේ නැති දෙයක් නෑ.... මේ දවස් වල පොඩි අයියාට සනීපත් නෑ කියලා දැන දැනත් එයාව අප්සෙට් කලා" නංගි අක්කාටත් බැනගෙන මගේ පස්සෙන් ආවා. 
" මට පිස්සුද කොහෙද?" මම එහෙම කිව්වේ ෆුල් අසරණ සරණ මූඩ් එකකින්. රෑ තිස්සේ එක එක විකාර හිතලා මුල්ලෙරියාවෙන් තමයි මට කාමරයක් රෙන්ට් එකට ගන්න වෙන්නේ...
"පොඩි අයියේ.... "
"මට තනියම ඉන්න දෙනවා..."
"එයා ලිහිණි අක්කාගේ කපාපු පළුවමයි"
"ඒ කිව්වේ...?"
"ඒ ලිහිණි අක්කා නෙවෙයි.... එයාගෙ නම තාරකා..... ඔයාලගෙම වයස තමයි..."
"මේ තමුසේ මගේ ඔළුව අවුල් නොකර ඉන්නවා...."
"පොඩි අයියේ... ඔයාට මතකද නැන්දා කිව්වා එයාගෙ හොඳම යාලුවා නැති උණා කියලා, එයාට ඉන්න එකම දුවව නැන්දා ගිහින් එක්කන් ආවා කියලා" එහෙම කතාවක් මට ලාවට වගේ අහලා පුරුදුයි. ඒක අහලා අපේ අම්මා බැන්න තමයි. අනුන්ගේ ළමයි අරන් හදාගන්න අක්කාට පිස්සුවත් හැදීගෙන එනවාද කොහෙද කියලා
"ඉතිං"
"ඒ එක්කන් ඇවිත් තියෙන්නේ තාරකාව..." 
"එතකොට තමුසේ කියන්නේ ඒ ලිහිණි නෙවෙයිද?"
"නෑ පොඩි අයියේ... ඔයාට ඕනෙ නම් මම දැං ලිහිණි අක්කාට කෝල් එකක් අරං දෙන්නම්..." මට මේක හරියට වීජ ගණිතය ගානක් වගේ කොච්චර කලත් ඔලුවට යන්නේ නෑ. ලිහිණි නෙවෙයි නම් එයාගෙයි මෙයාගෙයි අතර මෙච්චර සමානකමක් කෙහෙන් ආවද?
"තමුසේ මාව අන්ඳනවා නෙවෙයි නේද?"
" නෑ දෙයියනේ නෑ..... දැං පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව සාමන්‍ය විදියට ඉන්නවා...."
" මට තමුසේම ෂුවර් නෑ..." නංගිට මල පැනලා ගස්සගෙන යන්න ගියා. මේ මොන හෙන ගෙඩියක්ද? මේ තාරකාලු...., ඒත් මේ ලිහිණි.... අනේ මන්දා මට පොල්ලකින් ගහලා වගේ අන්ත පාගල් වෙලා තියෙන්නේ. 

ලොකු ඩයිනමයිට් එකව කවුද කට්ටියක් ඇවිල්ලා කරකවලා, ඉන්ඳෝලා, හිටෝලා බලලා යන්න ගියා. උන් ගියාට පස්සේ මම හිමින් සැරේ කෑම මේසෙ පැත්තට ලිස්සන්න ගත්තේ අම්බානකට බඩගිනි නිසා. හැලපයෝ.. මේ ඩයිනමයිට් එකේ මොනා බැලුවද මන්දා 11 වගේ ඉදං 3 වෙනකන්ම හිටියානේ.... මගේ බඩේ පණුවෝ උණත් වෙලාවට කාපු උන්. කෑම මේසේ පුරෝලා කෑම.... මේ රටේ තියන ඔක්කොම එළ්වළු එතන තියනවා. මම කෑම බෙදාගන්න ගමන් නංගිගේ කාමරේ පැත්තට ඇන්ටනාව දැම්මා. මොකද මම දැක්කා ලිහිණි .. වැරදුනා තාරකාත් ඒකේ ඉන්නවා.
"තාරකා අක්කා ලස්සනට කවි ලියනවා" පොඩි ඩයිනමයිට් එක කිව්වා

" ඇත්තද .. කියන්නකො ඔයා ලිව්ව කවියක්..."
" අනේ එහෙම මතක නෑ..." එයාට තියෙන්නෙත් ලිහිණිගෙ කටහඬමයි
" තාරකා අක්කාගෙ අම්මාට ලස්සනට සිංදු කියන්න පුලුවං. ඒ වගේමයි එයා මාර ලස්සනයි චූටි අක්කා.."
" මෙයාව දැක්කම ඒක නම් පේනවා"
"අම්මා තරුණ කාලේ අවුරුදු කුමාරියක් වෙලා තියනවා... මොකද්ද පත්තරේකින් කරපු. එයා ඒකාලේ හැම පත්තරේකම වගේ හිටියාලු... මගේ ලඟ තියනවා ඒවයේ පෙපර් කටින්"
" ඔයාටත් තිබ්බේ මිස් ශ්‍රීලංකා වගේ යන්න.."
" අම්ම කවදාවත් කැමති තිබුනෙ නෑ ඒවට.. එයා මම පත්තරේකට කවියක් දානවටවත් කැමති තිබුනේ නෑ"
"එතකොට තාරකාගේ තාත්තා..."
"තාත්තා මම පුංචි කාලෙදිම මැරිලාලු" තාරකා දුක වොයිස් එකකින් කිව්වා.
"තාරකා කොළඹ ඇවිල්ලාම නැද්ද?"
" කවදාවත් නෑ.... ඒත් මට කොළඹ එන්න වෙනවා ලඟදීම" තාරකා සතුටින් කිව්වා මට ඇහුණා.
"ඔව් මෙයා මොන්ටිසූරි කෝස් එකක් කරනවාලු ... කලම්බු සෙවන් ක්ලාසස්.... අපේ අම්මා කිව්වා පොඩි නැන්දාට කතා කරලා මෙහෙ නවත්තනවා කියලා." හත්වලාමයි.....
"ඒකනම් හොඳයි...." නංගි එහෙම කියනගමන් එබිලා මගේ දිහා බැලුවා. ඒ කියන්නේ ලිහිණි.. නෑ නෑ තාරකා ... අපේ ගෙදර නවතිනවද? ඉබ්බා උණත් වතුරට දැම්ම ගමන් ගේම දුන්නේ නෑනෙ. බලමුකෝ එන පොට බලලාම ඇන්නෑවේ කියනවා.



32 කොටස



වෙනදා වගේ පස්ස පැත්තට එළිය පයින් ගහනකන් මට නින්ද ගියේ නෑ. මගේ හිත මොකද්දෝ සීන් එකක් ගැන ඕවර් යනවා. ඒක ලිහිණිද? තාත්තාලා මට හංගන දේද? එහෙමත් නැත්නම් තල්මසාගේ කතාවද කියලා හිතා ගන්න බෑ. මොනා උණත් අද ඉස්කෝලේ යන්න ඕනේ. කොල්ලාට අද ඉස්කෝලෙ යන්න නම් කිසිම ෆිට් එකක් නෑ. ඒත් ගැන්සියටවත් මේ සේරම දේවල් කියලා ඇඩ්වයිසින් පාරක් වත් දාගන්න ඕනෙ නිසා මම ඉස්කෝලෙ යන්න ඇඳ ගත්තා. ලිහිණිගෙන් හම්බ උණ ලියුමත් මම සාක්කුවට දාගෙන කාමරෙන් එළියට ආවා. 
"මයියා.... අද ඉස්කෝලේ යන්නම ඕනේද?" අක්කාගේ කතා කරන තාලෙනම් මට ඇල්ලුවේම නෑ.
"ඕනෙද අහනවා ....තමුසේ අදත් මට මොකද්ද සෙට් කරන්න යන නඩුව...."
"නඩුවක් නෙවෙයි.... ඊයේ තමුසෙට කියන්න එනකොට දොරත් වහගෙන දොයි..... අද කෑගල්ලේ නැන්දලා මෙහෙ එනවා කිව්වා. ලොකු අක්කාට මනමාලයෙක් බලන්න එනවාලු. එයාලට දුර වැඩි නිසා මනමාලයට එන්න කියලා තියෙන්නේ මෙහෙට" නාලා වරෙන්කෝ... ඉතුරු ගෑස් බෝම්බ දෙකත් සම්ප්රාප්ත වෙන්නයි යන්නේ...
"ඉතිං දැං මම ගෙදර ඉඳලා මොනා කරන්නද?" මම ගෙදරින් යන එකම මගේ සරීර සෞඛ්යයට සුභයි. මේ දවස් වල මගේ ග්රහයෝ භ්රමණය වන්නේ අනිත් පැත්තට. මෝල් ගහත් මගේ පැත්තට හැරුණොත් පත්තු වෙනවා ෂුවර්.
"මොනවත් නෑ.... ඒත් නැන්දා කිව්වා ගෙදර හැමෝම හිටියොත් හොඳයි කියලා. "
"ඒක මාර කේස් එකක්නේ .. දැං ඔය බුවාව බන්ඳන්න හදන්නේ අපේ ගෙදර හැමෝටමද?"
 මට ඔය මඟුල් කේස් තේරෙන්නේ නෑ. මොකො කොල්ලාට මීට කලින් මඟුලක් කතා කරලා නෑනේ කවුරුවත්.
" මේ මේ මට ඔය අයිසින් තේරෙන්නේ නෑ.... මම හිටියා කියලා ඔය එන එකා ඇස් පේන්න ගන්නේ නෑනෙ එක පාරට... මට පරක්කු වෙනවා...."
" තාත්තා ගෙනියන්න අද වාහනේ එන්නේ නෑ... " අක්කා කෑගැහුවා....
"මම බස් වල කරනම් ගහපු පොරක් මෙහෙම හිටියට.... " මම එහෙම කියාගෙනම එළියට බැස්සා. තාත්තාව පෙර මඟටම හම්බ උණා කියමුකෝ. අර හාට් එක හිට්ටා. ගෙදරින් එළියට යනකොට සුභ දෙයක් දැකලා ගියාම දෙයියන්ගේ පිහිටෙන් චාටර් එකක් නොකා ඉන්න පුළුවං කියලා මම අහලා තියනවා.
"තමුසෙට කිව්වා නේද බස් වල ගමන් දැං බෑ කියලා.. වහනේ නැත්නම් ගෙදර ඉන්නවා.... " හත් දෙයියනේ... ඉස්සර ඉස්කොලේ නොගියාම කනෙන් අල්ලලා ඉස්කෝලෙ යවනවා, දැං ඉස්කෝලෙ යන්න එපා කියලා තර්ජනේ දානවා. මම කාට මේවා කියන්නද? මේවා අසාදරණ.මොන අසාදණේ උනත් මට තාත්තාට බම්බු ගහගන්න කියලා ඉස්කෝලෙ යන්න ගටක් නෑනේ. ඔන්න කොල්ලා ආයෙත් ගෙට ගියා. දැං නම් අම්බානකට මළ පැනලා ඉන්නේ. මගේ ඔක්කොම වැඩ කිඩ වතුරේ..... ෂිඃ විතරක් අර තල්මසාගේ කතාවටත් ටටා බායි තමයි.
කාමරෙට වෙලා ලිහිණි එව්ව ලියුම ආයෙ තුන් හතර පාරක් කියව්වා. වෙන මක් කොරන්නද මම. අදනම් අමු කාලකණ්ණි දවසක්. මට නෑයෝත් එපා වෙනවා මේ වෙලාවට. වාහනයක් ගේ ඉස්සරහින් නවත්තන සද්දේ හුණා. මම නම් තාත්තා මෙතන දණ ගහලා අඬ ගැහුවත් එළියට නම් යන්නේ නෑ. මම තද කරලා ඇස් දෙක පියා ගත්තා. ඒත් කන තිබුණේ එළියට ඒරියල් එක දාලා.
" ලොකු අක්කා ඇදිලා ගිහින්නේ..." අම්මා දුක වොයිස් එකකින් පටන් ගත්තා.
"මොනා කරන්නද නංගියේ.... මේ දවස් වල පොඩ්ඩි එක්ක මමත් නිදි මරනවා. විභාගෙටත් ලඟයිනේ දැං"
" අපේ අම්මාට කිව්වට අහන්නේ නෑ නැන්දේ.. මගෙ හොර අල්ලන්න මගෙ ලඟටම වෙලා ඉන්නවා." නම් පොඩි ඩයිනමයිට් එකේ වොයිස් එක
"මම කෑම ටික නම් භාගෙට ඉව්වා.... කීය විතර වෙනවා කිව්වද අක්කේ කට්ටිය එන්න" අම්මාගේ වොයිස් එක කුස්සිය පැත්තට යන ගමන් වොලියුම් අඩු උණා.
"කෝ චූටි අක්කේ අයියලා...." පොඩි ඩයිනමයිට් එක අපේ නංගිගෙන් අහනවා මට අහුණා.
"ලොක්කයියා නම් තාත්තා එක්ක හන්දියට ගියා බඩු වගයක් ගේන්න පොඩි අයියානම් කාමරේ ඉන්නවා."
"උඹට මම කියලා තියනවා නේද අපේ පොඩි අයියා ගැන....? පොඩි ඩයිනමයිට් එක කාටද එහෙම කිව්වේ. මාව එහෙම අඳුනලා දෙන්න තරම් කෙනෙක් ඉන්නවාද? මම තවත් හොඳට කන් බෙරේ ඇරලා ඇන්ටනාව පොඩ්ඩක් දික් කලා. ඒත් සද්දක් නෑ. යකෝ මගේ සෝනා එකට අහුවෙන තැනක නෙවෙයිද මෙයා ඉන්නේ.
"මේකලා නංගි කාමරේට යන්න එපා පොඩි අයියාට ටිකක් සනීප නෑ" අපේ නංගි කතා කරනවා ඇහුණා. බඩුම තමයි කියන්නේ ඩයිනමයිට් එක මගේ කාමරේට එනවා. දැං මොකෝ කරන්නේ.
 හිතන්න කලින් මේ හැලපි මෙතන
" .... මේ ඉන්නේ අඟේට කිසි අසනීපයක් නෑ...."එන්න කලින් මට ඇස් දෙක පියා ගන්න අමතක උණානේ. ඇත්තටම මම කන එළියට දැම්මේ කටයි ඇසුයි ඔක්කොම ෆුල් ඇරගෙනනේ..
" මේ මේ මගේ කිසි දෙයක් අඳිනවා නෙවෙයි" මම පැන්න ගමන් මගේ පොත් මේසෙ හරහාට කවර් උණා.
"හරි හරි මම අදින්නේ නෑ.... මම ඔයාට බඩ්ඩක් ගෙනාවා" මේකි අතත් මිට මොළවලා මට පෙන්නුවා. මෙයාගෙ හැටියට ඔය කියන හැම බඩ්ඩම වහා ගිනි ඇවිලෙන සුළුයි. 
"මට ඕනේ නෑ තමුසේගේ බඩු"කෙල්ලගේ මූණ බලං ඉන්නැද්දි අවුල් උනා. මටත් ගස්සගෙන කාමරෙන් ගියා. පව් කියලා හිතුනා ඉතිං මට,  මම කාමරෙන් එළියට ගියා.
"ඕයි ඉතිං දෙනවා ගෙනාව එක" ඒත් එක්කම මාව කරකැවිලා අනාථ වෙලා ගියා. මම හීනයක්වත් දකිනවද?
ලිහිණි …………” මට ඉබේටම කියවුණා.