පිටුව

Wednesday, June 30, 2010

26 කොටස



මම හැරුණ පිංහාමි ස්ටයිල් එකට මට ඇහුණෙ හූ පාරක් එක්ක බක බක හිනාවක්. මේ පාරනම් මට අම්බානකට තද උනා.
" මොනාද අය්යේ කරන්නේ.." මම මලපැනලා අයියා දිහා බැලුවා.
"තමුසේ පැනි පෙරනකොට ඊරිසියා හිතුනා බං.... ඕක ඉවර කරලා වරෙංකෝ..." අයියා නංගිගේ කරට අත දාගෙන කුස්සිය පැත්තට යනවා මම දැක්කා. මගේ පපුව තාම පිටිමෝල වගේ. 
"තෙනුර ඇයි?" යකෝ ෆෝන් එක තාම කනේනෙ. දැං ඉතිං අර මූඩ් එකට එන්න නම් මේ කපේට බෑ. ෂිඃ මූ නම් මගේ අයියා වෙන්න පුළුවන්ංද?
"නෑ නෑ කිසි අවුලක් නෑ... "
" ඔයා බය වෙලා වගේ කතා කරන්නේ ඇයි එහෙනම්" මේ කෙල්ලොන්ට නම් මොකුත් හංගගන්න බෑ. මම හිතුවා මේකා මගේ පෞරුෂය කෙලෙසයි කියලා. කොහෙද අර නිලා කූරට බයේ වෙව්ලපු මිනිහා ඉස්සරහා බාබකියු එකක් ගැහුවා වගේ වැඩක්නේ මට උනේ.
"එහෙම මොනාට බය වෙන්නද? මම හෙට ඉස්කෝලෙ ඇරිලා හොස්පිටල් එකට එන්නම්.... හැබැයි ඔයා වට පිටාව ක්ලියර් කරන්න ඕනෙ හරිද?" ලිහිණි හීනියට හිනා උනා වගේ. මරු අප්පා හිනාවත්. මට මැවිලා පෙනුනා.
"ඔයා බය වෙන්න එපා තාත්ති හෙට හැටන් යනවා... එයා එන්නේ නෑ. භානුක විතරයි ඉන්නේ. "
 බඩුම තමයි. කොල්ලාගේ චාන්ස් එක. ඕකට තමයි දෙන දෙයියෝ කකුල් අතපය කඩලා හරි දෙනවා කිව්වේ.
" මම එන්නම්.... එහෙනම් අපි කැපෙන්නද?" මම ඇයෙත්ඇහුවේ හිනාව අහන්න ආසවෙන්
" අනේ ඔයා ෆෝන් එක තියන්නද යන්නේ..." මාර කතාවක්නේ මෙයා අහන්නේ.. මම එළි වෙනකන් මේක අල්ලන් ඉන්නද? 
" මේකනේ ලිහිණි මේක මගේ ෆෝන් එකනම් ඔහෙ අල්ලන් ඉන්න තිබ්බා.. ඒත් මේක අපේ තාත්තා බිල ගෙවන ෆෝන් එකනේ ඒ නිසා තියන්න වෙනවා" මම තේරුම් කලා. තේරුම් ගත්තොත් හොඳයි.
" එහෙනම් හෙට එනවා නේද?"
" ආයෙත් අහලා... මම කිව්වොත් කිව්ව"
" එහෙනම් බායි" බායි නොකියා වෙන වචනයක් කියන්නකෝ අප්පා. හිත දඩ බඩාං ගාල කඩා වැටුනා.
" බායි.." මම ශෝක මුඩ් එකෙන් කිව්වා. මක්කොරන්නද..... ඩකස් ගාල සද්දෙකින් ෆෝන් එක තියනවා මට ඇහුනා. මම හිමින් සැරේ කාමරයට ගියේ ලොක්කයියා වටපිටාවේ ඉන්නවද බලන ගමන්.
"ඔහොම ඉන්නවා ඔහොම ඉන්නවා.... කොහෙද මේ ඌරු මීයා වගේ රිංගන්න යන්නේ?" මට නෙවෙයි මූටයි ඌරු මී ඉව තියෙන්නේ. බලපංකෝ මගේ පස්සෙන්මනේ මූ
" ඒ පාර මොකෝ..."
"උඹ හෙට කොහෙද යන්නේ..?" අයියා මගෙන් අහනකොට මම අතෙන් කට වහගෙන නංගි දිහා බලල එරෙව්වා.
" කෙල්ල බලන්න...." මම එහෙම කියලා කාමරේට ගියා
"උඹ දැං කිව්වේ එහෙම දෙයක් නෑ කියලා." අයියාත් කාන්දම වගේ  මගේ පස්සෙන්මයි.
"නෑ කිව්වට ෂුවර් නෑනේ තමුසේලාට..."
"හරි හරි දැං ඔය බලන්න යන්නේ ලිහිණිවනේ..." අයියා කටට උත්තරේ දීලා ඇහුවා
"ඔව්.... "
"තමුසෙට ලැජ්ජාවක් නැද්ද ඕයි" අයියා මට කෑ ගැහුවා
"ලැජ්ජා තියනවානම් මොනා කරන්න බැරිද ලොක්කයියේ"
"තනියමද දැං යන්නේ?"
" නැතුව ඔයා කියන්නේ ගැන්සිය හොස්පිටල් එකට බස්සන්න කියලාද?"
"හොස්පිටල්...?"
" ලිහිණිට සනීප නෑ.."
"මොකද්ද වෙලා තියෙන්නේ?"
"මානසික පීඩනයක්ලු" මම දුකෙන් කිව්වේ.
"තමුසේ මේ ගුටි කන්නේ පිස්සියක් වෙනුවෙන්ද?" මට මූ මගේ අයියද කියලා හිතන්නවත් බෑ. මූ මගේ අයියා නොවෙන්න දෙනව හොම්බ කට සමතලා වෙන්න. මොකුත්ම නොකියා කට තද කරලා පියා ගෙන අහක බලා ගන්නවා ඇරෙන්න මට වෙනදෙයක් කරන්න බැරි උනා

Monday, June 28, 2010

25 කොටස


" තෙනුර ඔයා ඉන්නවාද?" මම ඉන්න තැන පවා අමතක වෙලා ඉන්න වෙලාවක ලිහිණි මගෙන් ඇහුවා.
"ඉන්නවා ඉන්නවා...." මම පුරුෂ මොකද්ද එක ඉස්සරහාට දාලා කතා කලා.
" ඔයාට කරදරයක් උනේ නෑනෙ" මොන කරදරයක්ද සුදො මේ ඉන්නෙ කොල්ලා ෆුල් ආතල් එකේ. දැං කොල්ලාටත් කෙල්ලෝ කතා කරනවා කිව්වාම සෙල්ලංද?
"මට මොන කරදරයක්ද?" මම වටපිටාව බැලුවා. නංගි පැත්තකට වෙලා කට අතුලේ දාගෙන හිනා වෙනවා. ෂිඃ මේකිට මීටර් ඇති මම තලපතා වගේ වෙව්ලපු වෙව්ලිල්ල.
" හිරාන් එක්ක ඔයාව ගෙදර යැව්වයි කියලා භානුක කිව්වාම මට තරහත් ගියා. හිරාන්  වගේ සර්පයෙක් එක්ක ඔයාව ආයේ යැව්ව එක ගැන"
"මාව කිසි අවුලක් අන්තරාවක් නැතුව ඌ ගෙදරටම බැස්සුවා. ඔයා ඒ ගැන මොනාට හිතනවාද?"
"එහෙනම් කමක් නෑ... මම එහෙනම් ෆෝන් එක තියන්නද?" අනේ එපා කියන්න හිතුනා ඒත් නිකං ආයේ ඉල්ලන් සීනි නැතුව තේ මොකටද? මම මොකුත් කිව්වේ නෑ.
" හෙටත් මාව බලන්න එනවා නේද?" ඔය ඉතිං ඔහොම ප්‍රශ්න අහුවාම මම කොර වෙනවනේ බබා... දැං මොකද කරන්නේ
"හෙටනම් බැරි වෙයි වගේ ලිහිණි.... " මම නම කිව්වේ පොඩ්ඩක් වටපිට බලන ගමන්. ඇන්ටනාව දාගෙන මගේ දිහා නංගි බලාගෙන ඉන්නව ඇරෙන්න ලඟ පාතක කූඹියෙක්වත් නෑ
"අනේ ඇයි ඒ..?"
"මෙහෙමනේ..... අදත් පරක්කු උන නිසා ගෙදරින් බර බරේ... ගුටි කාපු නිසා මම ගැන වැඩියෙන් හොයනවා" මම ඔන්න ඔහේ ඇත්තම කියලා දැම්මා.
" ඔයාට මම නිසා ඔක්කොම කරදර"
"කරදර මොනාද? ඕවා සාමන්‍ය දේවල්  තමයි."
"තෙනුර මට ආසයි ඔයා එක්ක කතා කර කර ඉන්න... ඔයා කතා කරනවා අනිත් අයට වඩා සෑහෙන්න වෙනස්. කියන දේවල් වලට හිත හිතා  හිනා වෙන්න පුළුවන්, ඒකයි එන්න කිව්වේ" අනේ දෙයියනේ මේකිට මම ජෝකර් වෙච්චි. මක් කොරන්නද ඕක ලබා උපන් හැටි තමා.
" මට හිනා වෙන්න ඕනෙ තෙනුර" ඕක ඉතිං අහන්නත් දෙයක්ද, ඕක පිස්සෙක්ගේ ස්වභාවය තමයි. චික් චික් මම මේ මොනාද හිතන්නේ. එහෙම හිතන එක සම්පූරණ වැරදියි.
" ඔයා හිතනව ඇති මට පිස්සු කියලා" මෙයා කොහොමද මම හිතපු එක දන්නේ... මම මේ දැං ඒක හිතලා ඉල්ලා අස් කරගත්තානේ. අනේ මන්දා මොකෙක් හරි මම හිතන දේවල් මෙයාට ගිහින් කියනවා.
"මම ඔයා ගැන එහෙම හිතනවද? " මම බොරු හිනාවක් දැම්මා.
"එහෙනම් මම හැමදාම ඔයාට මේ නම්බර් එකට කෝල් කරන්නද?" හුටා.... මේකට කෝල් කරල කාට හරි මාට්ටු උණොත් කොල්ලට එල්ලුම් ගස් යන්න තමයි වෙන්නේ. ඒක හරි යන වැඩක් නෙවෙයි. අනේ ඇයි මෙහෙම ප්‍රශ්න අහිංසක මටම එන්නේ.
"නෑ නෑ එහෙම කරන්න ඕනේ නෑ... මම හෙට එන්නම්කෝ" මම එහෙම කිව්වේ මගේ ගැලවීම තකා. එතකොට එයත් හිනා වෙවී නිදා ගනී මටත් හොඳ රෙස්ලිං හීන දෙකක් තුනක් බල බලා දොයිය ගන්න පුළුවංනේ.
" හෙට කොහෙටද එන්නම් කිව්වේ?" මාව ෆුල් අනාථ උනා. වොයිස් බොක්ස් එක ගහලා ගියා වගේ දැනුනා. කටහඬ එළියට එන්නේ නෑ. සර්වාංගයම ඇනකොන්ඩා දැකලා වගේ ගැහෙන්න ගත්තා. කිරි අප්පේ මම මේ ලොකේ බයම කටහඬ මේක වෙච්චි. මම මොනා කියන්නද? කොල්ලාගේ පැනි කතා ඔක්කොම ඉවරයි. මම හිමින් සැරේ පිටිපස්ස හැරුනේ අනේ බුදු තාත්තේ මම අහිංසකයි කියනවා වගේ...

Sunday, June 27, 2010

24 කොටස


මගේ හිත යකාගේ ෆුට් බෝල් කෝට් එක වගේ. එහෙන් බෝල පාස් වෙනවා මෙහෙන් බෝල පාස් වෙනවා. ඒ හැම දේම අස්සේ ලිහිණිවත් මතක් වෙනවා. මටම තේරෙන්නේ නෑ මට මොනා වෙලාද කියලා. ඔහේ කාමරේට වෙලා සීලිමේ මකුළු දැල් ගණන් කර කර හිටපු මම එක පාරටම දොර දිහා බැලුවේ අඩි සද්දයක් ඇහුණ නිසා. ලොක්කයියා මගේ කාමරේට ඇවිල්ලා දොරත් වැහුවා. ඒ පාර මොකද්ද වෙන්න යන්නේ. 
"තමුසේ මට ඇත්ත කියනව මයියා..." ලොක්කයියා මගේ ඇඳ උඩින් පස්ස තිබ්බේ මගේ දිහා සී අයි ඩී බැල්මක් දාන ගමන්. දැං නම් නෝ චාන්ස් මූට ඔක්කොම කියන්න වෙනවා. 
"මොනාද?"
" තමුසේ මොකද්ද මේ පැටලිලා ඉන්න හුටපටේ?" 
මේක හුටපටයක් විතරක් නෙවෙයි මා දැලක්, දඟලන්න දඟලන්න තව පැටලෙනවා. කොහෙන් නවතීද දන්නේ නෑ.
"ලොක්කයියේ... තමුසේ මට අම්මපා කියලා පොරොන්දු වෙයන් මට සපෝට් එක දෙනවා කියලා" මමත් බොක්කෙන්ම ගේමට බැස්සා. මේක ඇවිල්ලා සහෝදරයෙක් සහොදරයෙක්ගෙන් ඉල්ලන මෙව්ව එකකනේ.
"හරි හරි කියපංකො..." ඔය බලන්නකෝ මට ඉතිං මූ අම්මපා කිව්වේ නෑ නේ. ඉතිං මම කොහොමද මූව විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම මූට තියෙන්නේත් මගේ ජාන නේ. ඔන්න ඔහෙ කමක් නෑ මම කතාව මුල ඉඳංම වැමෑරුවා. බොරුවක් ඇත්ත වගේ කියන එක මොන තරම් ලේසිද? ඒත් ඇත්තක් කියන්න ගියාම කොමා තිත් එහෙම මොකුත් නැතුව කියවෙන්නේ. ලොක්කයියත් ඔක්කොම අහගෙන ඉඳලා කල්පනා කලා.
"දැං තමුසේ කියන විදියට තමුසේ ඒ කෙල්ලත් එක්ක මොකුත් හුටපටයක් නෑ. තමුසෙට ඕනෙත් ගැලවෙන්න... එහෙම නේද?" 
අහන්නේම අදාල නැති මල උලව් තමයි, අම්මපා මම හීනෙකින්වත් එහෙම දෙයක් මූට කිව්වේ නෑ. ඒත් ලිහිණි කියන්නේ මම ටිකක් වැඩියෙන් හිතපු කෑල්ලක්. මට කියලා කෙල්ලෝ කීදෙනෙක් වැටෙන්න ගිහින් මිස් වෙලා තියනවාද?, ඒත් ලිහිණි ඒ හැම අයිටම් එකකටම වඩා වෙනස්. ඒක මූට තේරුම් කරන්නෙ කොහොමද?
"ලොක්කයියේ.... ඔය ප්‍රශ්නේට උත්තරේ මමවත් දන්නේ නෑ බං, බොක්කෙන්මයි කියන්නේ.. ඔය කෙල්ල ගැන මට මාර දුකක් තියෙන්නේ" මම කිව්ව දේ කෝකටත් හොඳයි මම හිතන්නේ... 
" කෙල්ලෙක්ට අනුකම්පා කරන එකනම් එච්චර හොඳ ලකුණක් නෙවෙයි පුතෝ..." ලොක්කයියා කල්පනා කරන්න ගත්තා.
" තමුසේ මට අනුකම්පා කරලා පොලව පැලෙන බොරුවක් කියලා තාත්තාගෙන් බේර ගත්තා. මටත් තියෙන්නේ එයා ගැන එහෙම සීන් එකක්. "
"උඹයි මමයි කියන්නේ එක බඩවැල කඩාගෙන ඇවිත් එකට වැටිලා තම්බල දෙන දෙයක් කාපු උන්, ඒත් මේ කෙල්ල උඹ කියන විදියට මහ අමාරුකාරියක්, මම එහෙම කිව්වේ ඒකි වටේ ඉන්න එවුන් ගැන හිතලා. බලපං උන් තමුසේගෙ අත පය බෝංචි කඩනවා වගේ කඩලා දැම්මානේ"
"ඒක මගේ උපන් ගෙයි ගොන් කම, ඒකට ඒ අහිංසක කෙල්ල පලි නෑ ලොක්කයියා."
"උඹේ ඔය කතා නම් මට වැඩිය අල්ලන්නේ නෑ. මොනා උණත් මමත් අයේ යන්නේ නෑ. මෙහෙ මොකක් හරි ජොබක් සෙට් කර ගන්නවා. උඹට ඕනේ දෙයක් කියපං පුළුවන් ප්‍රමාණෙන් සලකලා බලන්නම්" අයියා එතනින් නැගිට්ටා.
" මට එකක් කියනවා තමුසේ කොහොමද දන්නේ මාව ඇදලා වාහනේට දාගත්තා කියලා"
"තමුසෙව දැකලා මම කැබ් එකට එතන නවත්තන්න කියනකොටම තමයි අර වාහනේ උන් තමුසෙව ඇතුලට දා ගත්තේ... මම ඒ වාහනේ ෆොලෝ කලා. ඒක හොස්පිටල් එකකට ගියාම මම සෑහෙන්න බය උනා. මම දිගටම උඹේ පිටිපස්සෙන්ම හිටියා, ඒත් උඹ ඒකෙ උන් එක්ක බැහැල හොස්පිටල් එක ඇතුලට යනකොට මට දැණුනා ගමන නෝමල් කියලා. අන්තිමට තමුසේ වාහනේට ඇවිත් පන්සල පාර ලඟින් බහිනවත් මම දැක්කා."
" ඇයි මට කතා නොකලේ..." 
"මම තමුසෙට කතා කලා නම් තමුසෙව අතනදි බේර ගන්නේ කවුද?"
"මොනා උණත් හැම දේටම තෑන්ක්ස්" මම අමාරුවෙන් නැගිටලා අයියාව පොඩ්ඩවෙන්න බදා ගත්තා.
"ඕව සුළු දේවල් බං... උඹව අමාරුවේ වැටෙනවා මට බලං ඉන්න බෑ... ඕනෙ දේකට මම ඉන්නවා එක දෙයක්, තමුසෙ කරන හැම දෙයක්ම මට වාර්තා කරන්නත් ඕනේ..." ලොක්කයියා කාමරෙන් පිට උනා. ඕකනේ කාල ඉන්න බැරි. ඔය වාර්තාකරණට මල ඇනයක්. මම ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට නංගි බෙරිහන් දෙනවා ඇහුණා.

" පොඩි අයියේ කෝල් එකක්....." කිරි අප්පගේ අපච්චියේ.. මට කවුද කෝල් දෙන්න ඉන්නේ, මම ඉතිං කොර පිටම එතනට ගියා. නංගිගේ මූනෙ තිබ්බ පැණි පාට දැක්කම ඇත්ත වශයෙන්ම හොම්බ කට සමතලා වෙන්න දෙන්න හිතෙනවා. මම රිසිවරය අතට අරං හලො පාරක් දුන්නා
" හලෝ..."
" තෙනුර මම ලිහිණි...." ඔය ඉතිං ආයෙත් සර්වාංගයම පණ නැති උනා. ඒ කටහඬ ඇහිලා උණ සන්නිපාතය හැදිලා වගේ කටහඬත් වෙව්ලන්න ගත්තා. ඇත්තම කියනවා නම්  දැං මම පිරිමියෙක්ද කියලත් මට ෂුවර් නෑ.

Friday, June 25, 2010

23 කොටස



අහන ප්‍රශ්න වලට ගොළු භාෂාවෙන් උත්තර දීලා කොහොම හරි මම ඉස්පිරිතාලෙන් පැන ගත්තා. තල්මසා මාව ගෙදරටම ඇරලනවා කියලා වාහනේ නග්ග ගත්තා, ඇත්තම කිව්වොත් මට තාම බුල්ටෝ එකක තරම් වත් ඕකව ෂුවර් නෑ. වාහනේ නැවත්තලා මාව එම්බාම් කරයි කියලාත් මට හිතෙනවානෙ. මොකද මම අරූට කේලාම් කිව්වේ මූට විරුද්ධවනේ. මමත් ඉතිං ඉඳලා ඉඳලා වැඩක් කලෝත් නා ගන්නවා, 
"උඹ මොනාද හිතන්නේ...? " තල්මසා මගේ දිහා බලලා ඇහුවා.
"මොනා හිතන්නද බං... මම මේ කල්පනා කලේ අපේ ගෙදර උන් පොලිසියේ පුවත් වලට දාලද දන්නේ නෑ" 
"උඹ කොයිම වෙලාවකමවත් කියන්න එපා උඹව මෙහෙම අරං ආවේ මමයි කියලා."
"පිස්සුද බං, මට කරදරයක් නැති උන්ට මගෙන් කරදරයක් නෑ" මම එහෙම කිව්වට මට කරදරයක් කලත් උන්ට මගෙන් කරදරයක් නෑ. අලි භාෂාවෙන් රෙස්ලින් බලනවා, ඒත් අම්බානකට ගුටි කනවා ඇරෙන්න කාටවත් ගහන්න මට ගටක් තියනවාද, නෑ. අරු ගහනකන් වෙව්ල වෙව්ල දැං ගහයි දැං ගහයි කිය කියා බලන් ඉන්නවා මිසක්.
"හිරාන් උඹට මාත් එක්ක ඔරොප්පුවක් නැද්ද?" ඇසිය යුතු ප්‍රශ්නයක්ද කියලා නම් මම දන්නේ නෑ. ඔන්න ඔහේ ඇහුවා. දැං ඕක අහලා ඕකට පරණ ණයක් එහෙම මතක් උණොත් බඩුම තමයි. මමත් ඉතිං කවදා හරි මැරුම් කන්නේ මේ ගොන් කතාවක් නිසා තමයි.
"තමුසේ එක්ක ඔරොප්පු වෙලා මොනා කරන්නද? , උඹ එක්ක මට කිසි අවුලක් නෑ. ඒත් අර මෙවන් කාරයාගෙන් පරිස්සම් වෙයන්"
" ලිහිණි ඔය වගේ එකෙක්ට බොක්ක දුන්නේ මොනා හිතිලාද දන්නේ නෑ" මම ආයෙත් මෝඩ වගේ ප්‍රශ්නයක් ඇහුවා. 
" අනේ මන්දා බං මටත් තේරෙන්නේ නෑ. ලිහිණි අහිංසක වැඩීයි. ඕනෙම හාල්පාරුවෙකුට අහු වෙනවා" මූ කියන්නේ බොක්කෙන්මයි. ලිහිණි කියන්නේ මේ ලොකේ එකෙක් ගැන දන්න කෙනෙක් නෙවෙයි. නැත්නම් මම වගේ හෝතඹුවෙක්ට සොරී කියන්න මෙච්චර කට්ට කයිද?
"මට උඹලෑ ගෙදරට යන පාර කියපං" මනෝ එක්ක පාරේ දෙපැත්තේ වැඩ කිඩ බලං හිටපු මගෙන් තල්මසා ඇහුවා.
" උඹ අපේ ගෙදර එන්න ඕනෙ නෑ. අනික දැං එහෙ මොන තත්වයක් තියෙයිද දන්නේ නෑ. අර ට්‍රයිෂෝ එක ගාවින් මාව දාපං" මම පැත්තක නවත්තලා නියපොතු කකා ඉන්න පොරක්ව පෙන්නුවා.
"උඹට අවුලක් නෑනේ.... " තල්මසා නැවැත්තුවා. මම බැහැලා අරකෙ නැංගා.
" අයියේ මාව පන්සල පාරට දානවාද?" මම එහෙම කියලමයි නැග්ගේ, මිනිහා ඉතිං සුපුරුදු ස්පීඩ් එකෙන් ගමන පටන් ගත්තා. ඒ අස්සේ මට ආයෙමත් ලිහිණිව මතක් උනා. ටිකක් දුර තියාම මම දැක්කෙ කලබලයක්, ජීප් එකකුත් තියනවා. තාත්තාගේ අමාත්‍යංශෙ වාහනෙ නෙවෙයි. මම මගින්ම බැහැලා කොර පිටම ගේ පැත්තට පා උනා.
"අර තාත්තේ මයියා.... ඔය එන්නේ...." අක්කා ඉස්සරහට දුවගෙන ආවා. මෙයා නිකං හැසිරෙන්නේ මාව පළවෙනි වතාවට දැක්කා වගේ. 
"මොනාද ඕයි වෙලා තියෙන්නේ?" මම හිමින් සැරේ ඇහුවා. 
"කොහෙද තමුසේ ගියේ...?" අක්කා මාව අතපත ගාන ගමන් අහන්න ගත්තා, එතකොට මම දැක්කා තාත්තා පොලිසියේ එකෙක් එක්ක එළියට බහිනවා. කිරි අප්පේ.... මම නැති වෙලා කියලා ඒ ටිකට පොලිසියටත් කියලාද?
" කොහෙද මී හරකෝ තමුසේ මක බෑ උනේ....?" තාත්තා පැන්න ගමන් මගේ කොලර් එකෙන් අල්ල ගත්තා. ඔන්න ආයෙත් ගුටි කන්නයි යන්නේ....
" තා තාත්තේ.... මට මට...." ඒ එක්කම සිකායි ටොලායි ගේ ඇතුලේ ඉදං එළියට ආවා. අම්මා කෑ ගහගෙන දුවගෙන ආවා. 
" අනේ අතඅරින්න මගේ දරුවව... මොන තත්වෙකින් ඇවිල්ලද දන්නේ නෑ." අම්ම අඬන්න ගත්තා. තාත්තා මගේ කොලර් එක අත ඇරියා. 
" කොහෙද ගියේ කියනවා... උලමා.. මෙතන කී දෙනක් බය උනාද?" තාත්තා තාමත් යක්ෂාවේශෙන් මගේ දිහා බලං ඉන්නවා.
" අයියෝ මයියාව ඇඳලා වාහනේට දා ගත්තේ මම" එකපාරටම කවුදෝ එහෙම එකක් කිව්වා. යකෝ සක්‍රයාගෙ අසනේ රත් වෙලාවත් මාව බේරගන්න ඇවිත්ද කියලා බලන්න මම ඒ පැත්ත හැරුණා.
"ලොකු පුතා...." අම්මා මාව අතෑරලා ලොකු අයියා ලඟට දිව්වා. මට හිතා ගන්න බෑ. මූ කොහෙන්ද පාත් උනේ, අනික වාහනේ මාව ඇඳලා දා ගත්ත කතාව මු දන්නේ කොහොමද? පොලිසියේ එකා තාත්තාට මොනාද කියලා යන්න ගියා. ඔක්කොමලා අයියා වටේට රොක් උනා. මම සිකයි ටොලයි දිහා බැලුවා.
"උඹව වාහනේට ඇඳලා දා ගත්තේ උඹේ අයියාද?" සිකා සැකෙන් මගෙ දිහා බැලුවා. මට කියා ගන්න අතක් නෑ. මගේ දිව උළුක් වෙලා. ඔළුවත් රිදෙනවා. මම මොකුත් නොකියා කාමරේට පා උනා.

Thursday, June 24, 2010

22 කොටස



"මචං ඔහොමම කලන්තේ දාලා වගේ මට හේත්තු වෙයං...." භානුකයා මාව උගේ ඇඟට හේත්තු කර ගත්තා. මට තියෙන්නෙ දොයි වගෙ ඉන්නලු. අනේ මන්දා මට ඇක්ටින් කියන එක ඇඟේ නෑ. මොනා හරි වෙද්දි මට බකස් ගාල හිනා යයිද දන්නේ නෑ. මම දන්නවද ඔය ටකරං. 

"හිරාන් පුතා මොකෝ පරක්කු උනේ...?" මට පොඩ්ඩක් අන්ඩර් ග්‍රවුන්ඩ් වොයිස් එකක් ඇහුනා. මම ඉතිං විහිළුවටවත් ඇස් දෙක ඇරියේ නම් නෑ.

"පරක්කු උනේ අංකල්... අද ක්ලස් ඇරිලා එනකොට මගේ යාලුවෙක්ට ඇක්සිඩන්ට් එකක් උනානෙ. මිනිහාට ටිකක් අමාරුයි, අපි හොස්පිටල් එන නිසා ඌවත් දාගෙන ආවා. භානුක එක්ක මූව ඕ. පි.ඩී එකට යවනවා."
කිරි අප්පේ මූ මටත් වඩා හොඳ මුසා පප්පෙක්නේ. ඔය අංකල් කාරයා මගේ ප්ලාස්ටර් දාලා තිබ්බ අත එහෙම දෙක්කොත් ඕකා විතරක් නෙවෙයි මමත් හොඳටම කනවා.

"හරි හරි එහෙනම් යන්නකෝ මමත් මේ ඔෆිස් යන්න කියලා." ටික වෙලාවකින් වාහනේ ඉස්සරහට යන්න ගත්ත හින්දා මම ලාවට ඇස් ඇරියා. එතකොට මම දැක්ක මගේ ප්ලාස්ටරේ දාලා තිබ්බ අතට උඩින් කාගේ හරි ජැකට් එකක් එලලා තියනවා. මුන් නම් මාර හොරු. ඔයින් ගියා මදෑ.
"මචං යමු ඇතුලට" භානුකයා මට තට්ටුවක් දාගෙන වාහනෙන් බැස්සා මමත් ඉතිං ඒකෙන් බැස්සා. මාව දැකලා ඉස්පිරිතාලෙ උන් රෝද පුටුවක් අරං එයිද දන්නේ නෑ. ඒ තරම් අබ්ලික්. කොර ගහන නිසා භානුකයා මාත් එක්කම ස්පීඩ් එක අඩු කරලා ඉස්සරහට ආවා. තල්මසා අපිට ඉස්සරහින් ගියේ වට පිට ඇන්ටනාව දාන ගමන්. 
"උඹ මේ කරන උදව්ව මම කවදාවත් අමතක කරන්නේ නෑ මචං" භානුකයා ලා වොයිස් එකකින් කිව්වේ. මම අර මොකාද එකා වගේ අතෙනුයි කකුලෙනුයි එන අම්බානක කැක්කුම ඉවසගෙන හීනියට හිනා උනා. මුන් මට සලකනව මදි.

5 වැනි තට්ටුවට ලිෆ්ට් එකෙන් ගොඩ බැහැලා 508 කාමරේ ලඟ අපි නැවතුනා. මම මෙහෙම ඉස්පිරිතාලෙකට ආවමයි මගෙ හිතේ. මම අතරමං උන ඇලිස් වගේ වට පිටාව ස්කෑන් කලා. 

 ඒ එක්කම අර කාමරේ දොර ඇරියා. හැට පැනපු වයසක ගෑනු කෙනෙක් දත් දෙක තුනක් පෙන්නලා හිනා උනා. මම කාමරේ ඇතුල බලන්න හැදුවා ඒත් පේන්නේ නෑ.

"පොඩි බේබි මේ දැං භානුක මහත්තයාව ඇහුවා" අර වයසක ගෑනු කෙනා භානුකයා දිහා බලලා තල්මසා දිහා බැලුවා.
"භානු උඹ පලයං මූ එක්ක මම එළියේ ඉන්නම්. ලිහිණිට මාව දැක්කාම මල පනිනවානේ" තල්මසා කාමරෙන් පිට තිබ්බ පුටු පේලියේ වාඩි උනා.

" මැගිලින්.. පහලට ගිහිං අපි තුන් දෙනාටම මොනා හරි බොන්න අරන් එනවාද?" භානුකයා පස්සෙන් දාහෙ කොලයක් ඇදලා අර මනුස්සයාට දුන්නා. අනේ දෙයියනේ මට දාහක් දැක්ක කාලයක් මතක නෑ. ඒකට මුන්ට. බීම ගේන්නත් අදින්නේ මොනරු. ඕක තමයි වාසනාව කියන්නේ.
" වරෙන් ඇතුලට යන්න" අර  ගෑනු කෙනාව එළියට යැව්ව භානුකයා මාවත් අඬගහගෙන ඇතුලට ආවා.

" ලිහිණි....." භානුකයා කතා කලා

" මෝඩයා.. තමුසෙ දැංද එන්නේ?" ලිහිණි බැනගෙනම භානුක පැත්තට හැරුනා. බුදු අප්පොච්චියේ ඔන්න ආයේ හඳුන්පොත හිට්ටා.... මම මෙහෙම ලස්සන කෙල්ලෙක්ව මීට කලිං කොහෙදිවත් දැකලා නෑ. මට නම් බුදු ෂුවර්. මෙයා වෙනුවෙන් හිනා වෙවී ගුටි කන්නම්කො මම. ඒ තරම් හිතා ගන්න බැරි තරම් මොනාද එකක් මෙයා මෙයාගේ ඇස් දෙකෙන් කරනවා.
අනේ රත්තරනේ ඔහොම බලන්න එපා මාව අමු අමුවේ පිච්චෙනවා. 
"අනේ දෙයියනේ තෙනුර....." එයා මගේ ලඟට ඇවිල්ලා මගෙ කැඩුණු අත අත ගෑවා. 
"ආ.....ව්" මට පොඩ්ඩක්වත් රිදුනේ නෑ ඒත් රිදුණේ අතට වඩා හිත. අතපය සීතල වෙලා. මං හිතන්නේ මම මැරිලා අර කිරි හාමි වගේ.

"මට සමාවෙන්න දෙයියනේ....: "බලං ඉන්නැද්දි ලිහිණිගෙ ඇස් වල කඳුළු පිරින්න ගත්තා. පව් හත්දෙයියනේ.... 

" මොන සමාද අවුලක් නෑ..... ඔහොම දේවල් වෙනවා. ගණන් ගන්න එපා" මම හොඳ හුස්මක් අරං කිව්වා නැත්නම් දිව උගස් තිබ්බා වගේ ඉඳලා නිකං චාටර් වෙනවා.

 " ඔයා කොච්චර හොඳද?... මම හිතුවේ ආයේ ඔයා මගේ මූණ බලන එකක් නෑ කියලා. ඔයා ආවම කකුල් දෙක අල්ලලා වැඳලා හරි සමාව ගන්න මම හිතුවේ" මේ පාර නම් හුස්මත් හිර උනා. කෙල ගිලෙන්නෙත් නෑ. මොනා කියන්නද මට හිතා ගන්න බෑ.


" ම මම කිව්වනේ... ඕක අමතක කරන්න දැං ඔක්කොම ඉවරයිනේ"

" ඔයා මට සමාව දුන්නා නේද?" මම භානුකයා දිහා බැලුවේ අනේ මාව බේරගනිං යකෝ කියනවා වගේ.

"ඔව් ඔව් මේ දැං තිබ්බ සමාව ඔක්කොම දුන්නා" මම කියලා ආයේ භානුකයා දිහා බැලුවා


" ලිහිණි තෙනුරට ගෙදර යන්න ඕනෙලු, දැං ඔයාගේ හිතට හරි නේ" 

භානුකයා මාව බේරගන්න ඉදිරිපත් උණා. අන්න එහෙමනෙ මස්සිනා ඉන්න ඕනේ. මූව නම් මම මස්සිනා කර ගන්නවාමයි. පොඩ්ඩක් ගෑනු ජාන තිබ්බට එළ පොර

" තෙනුර හෙටත් එනවා නේද මාව බලන්න" මලා.... මේ මොකද්ද මේ වෙන්න යන්නේ.... හෙට... අපේ අම්මට කියන්න ඕනේ මගෙ කේන්දරේ බලවන්න කියලා. මාරන්තික ඒරෂ්ටකයක් එන පෙර නිමිති. මම හිනාවක් දාලා ආපහු හැරුණා.

"ඔයා හෙටත් ආවොත් මම සමාව දුන්න කියලා පිලිගන්නවා" ලිහිණිගෙ මූණ නොබැලුවාට මට එයා කියන කිසි දෙයකට බෑ කියන්න දිව හොලවගන්න බෑ. මම ගොළු උනා

Wednesday, June 23, 2010

21 කොටස



ඇස් දෙක ඇරෙනකොටත් මම හිටියේ වාහනේ ඇතුලේ කියලා දැක්ක ගමන් අඳුන ගත්තා. අතපය බැඳලත් නෑ. ඒ කියන්නේ මාව පැහැරගෙන යනවා නෙවෙයි  මම වටපිට බැලුවා.


" මචං උඹට අවුලක් නෑ නේද?" මට චාමර සල සල හිටිය පොර දිහා මම බැලුවා.


" භානුක උඹ?" මට ඉබේටම කියවුණා. මේ හාල්පාරුවද මාව මේ හැදලා වාහනේට දාගත්තේ. මම වාහනේ එළවන පයිලට් දිහා බැලුවා. අම්මාටසිරි මේ තල්මසානේ. මට නිකං ෆුල් හොල්මන්.




"උඹව මෙහෙම ඇදගෙන දාගත්තට සොරි වෙන්න ඕනේ..... අපිට කරන්න දෙයක් තිබ්බේ නෑ හිරා ට ක්ලාස් එකේ අයට මාට්ටු වෙන්න බෑ කිව්ව ඒකයි. භානුකයා ඇද ඇද ලතාවකට කියලා දැම්මා. අම්මපා මූව මගේ මස්සිනා කරගන්න දෙසරයක් හිතන්න වෙනවා. ඒවා පසුවට දැං මාව මේ දාගත්තේ මොන උලව්වකටද?


"උඹලා මට ලිෆ්ට් එකක් දෙනවා වෙන්න බෑනේ" මම අන්ත චොරම චොර මෝඩයෙක් විදියට ප්‍රශ්නේ ඇහුවේ.


"මචං.... උඹ අපිත් එක්ක හොස්පිටල් යන්න ඕනේ" භානුකයා ආයේ කතා කලා. මට ඉහෙන් බහින ලෙඩක් නෑ. මුන් මාව ෆුල් චෙක් අප් එකක් දාලා කැඩුණු තැන් හදල හොඳට තියන තැන් කඩන්න ගහපු ප්ලානක්ද දන්නේත් නෑ.ඒත් මේ යකාට මගේ නංගි ඕනෙ නම් ඌ මට එහෙම දෙයක් කරයිද?


"මම මොකටද හොස්පිටල් යන්නේ...?"


" ලිහිණිව බලන්න" භානුක කජු මූඩ් එකකින් කතා කලා.


" මේ මේ.... මාව දෙයියන්ගේ නාමෙට ඔය කොහෙන් හරි හලලා පල, මම උඹට එක සැරේකුත් කිව්වා හිරාන්..? "මම ඔන්න ආපු මල ඔක්කොම එක්ක කතාව පටන් ගත්තා.


" විනාඩි පහකට.... " භානුක අත් දෙක එකතු කරලා දැං වඳියි දැං වඳියි වගේ කතා කලේ.


"මොකද්ද අයිසේ මේ හරුපේ.... තමුසේගේ අක්කා හරි නංගි හරි මොකා හරි මට වැඩක් නෑ, මට ආයේ මගේ බොඩි පාට්ස් රිපයර් කරන්න බෑ. ඒ නිසා කරුණාකරලා හොඳ හිතින් මාව කොහෙන් හරි හලලා පලයල්ලා" මගෙ කතාවෙන් තල්මසා ක්‍රීස්ස්ස්ස්ස් ගාලා ඛ්‍රේක් එකක් ගැහුවා. ඇයි හත් ඉලව්වේ මම ඒ තරම් තදින් කිවද මොනා හරි.


"එකක් මතක තියාගන්නවා. අපිට තමුසෙව බලෙන් ගෙනියන්න ඕනේ නෑ. අපි හිතුවේ තමුසේ මනුස්සයෙක් කියලා. බලන් යනකොට කකුල් හතරෙ උන්ට තමුසෙට වඩා මනුස්සකම් තේරෙනවා. මේ ටික හරි කලේ අර අහිංසක කෙල්ල නිසා. භානුක උඹ ඕනෙ දෙයක් කර ගනිං මම තව අඩියක්වත් මෙතනින් හෙල්ලෙන්නේ නෑ." මේ මොන හතර බීරි කතාවද්ද? මට මනුස්සකම් නෑලු. ඇයි හත්දෙයියනේ මනුස්සකමට ගුටි කෑවා මදිද? මම වාහනේ දොර අරින්න හදනකොටම භානුක මාව තදින් අල්ලගත්තා.


" උඹට මම ඇත්තම කියන්නම්.... ඉතිං ඔහොම හිටපං" භානුක මාව නැවැත්තුවේ අර කොන්දොස්තරගේ කකුල් දෙක අල්ලලා වැඳලා බස් එක නවත්තගත්තා වගේ. මට බහින්නමයි හිත.


"ලිහිණි කියන්නේ මේ පැත්තෙම ඉන්න හොඳම සල්ලි කාරයගෙ දුව. මගේ නිවුන් සහෝදරී. උඹ ඒක දන්නවානේ." මට ඕවා මොකටද? මම ඇවිල්ලා මුන්ගේ තාත්තාව මංකොල්ලා කන්නද? මට ගානක් තිබ්බේ නෑ. ඕනෙ කමකුත් තිබ්බේ නෑ.


"මේ මචං උඹලෑ තාත්තාට තියන ඒවායි නැති ඒවායි මට වැඩක් තියනවාද?"


"මම උඹට කිව්වා නේද භානුක ඕකාට කියලා වැඩක් නෑ කියලා" තල්මසා ආයේ තල්මස් ස්ටයිල් එකෙන්ම ඇඟට ගොඩ උනා.


" ලිහිණි මෙවන් එක්ක පලහිලව්වක් නිසා ගෙදරින් සෑහෙන්න බැට කෑවා, තාත්තාගෙන් ගුටි කෑවා. දැං එයාව තාත්තාට කැමති කෙනෙක්ට බන්ඳලා දෙන්න යන්නේ..." දැං මුන්ට ඕනේ මාව බෙස්මන්ට ගන්නද? මට තාම කිසි දෙයක් පැහැදිලි නෑ.


" දැං උඹලා මාව ගෙනියන්නේ මොන කෙහෙල්මලකටද කියනවා"


" ලිහිණි මානසික පීඩනෙකින් ඉන්නේ... වෙලාවකට මොළේ අවුල් වෙනවා, කියන කරන කිසි දෙයක් එයා දන්නේ නෑ. ඒත් ඒක තාත්තාට තේරෙන්නේ නෑ."


මගෙ පපුව සුනාමියට අහු උනා වගේ උනා. ඇඟ ඔක්කොම අප්සෙට් ගියා ලාවට ඔලුවේ කැක්කුමත් ආවා. අර අහිංසක කෙල්ලට පිස්සු හැදිලා. උපන් ගෙයිම පිස්සි නම් කමක් නෑ. ඒත් හොඳට හිටපු කෙල්ලෙක්ට පිස්සු හැදුණා කිව්වාම බොක්කටම දැනෙනවා


"මට මොනාද කරන්න පුලූවං"


"මචං අපි හදන්නේ එයාව පුලුවං තරම් සතුටින් තියන්න. එයාව සනීප කරගන්න පුලුවං එහෙම විතරයි"


භානුක කියන්න යන දේ මට පැහැදිලියි. ලිහිණිට ඕනෙ මට සොරි කියන්න, ඒත් මේක මෙවන්ට හරි මුන්ගෙ තාත්තාට හරි අහු උනොත් මට සොරි වෙනවා ඒක නම් බුදු ෂුවර්.


"හරි උඹලා කියන නිසා මම එන්නම් හැබැයි මේ අන්තිම සැරේ..., මං ගැන අපේ ගෙදර උන් බිත්තර තම්බනවා ඇති. කරන දෙයක් ඉක්මන් කරලා. " මම මුන්ගේ කීමට එකඟ උනා, මමත් නංගියෙක් ඉන්න එකෙක් වෙච්චි. ඒකි වෙනුවෙන් මටත් මෙහෙම කරන්න උණොත් අම්මපා කකුල් අතපය නැති කරලා හරි මම ඒක කරනවානේ. ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා මම හිත හදා ගත්තා. අතනම් ෆුල් අවුල් ආත භූත නැති වෙන්න රිදෙනවා.


" ලිහිණිගෙ හිත රිද්දන්න එපා මචං" භානුක ආයේ හොටු පෙරන්න ගත්තා.


" නෑ නෑ..."


"තව දෙයක් , උඹට ආයේ එයා බලන්න එන්න බැරි නම් එකපාරට බෑ නොකියා වෙන මොනා හරි පානියක් දාපං" තල්මසාත් මට බණ කියන්න ගත්තා.


" හොස්පිටල් එකට වාහනේ ඇතුල් කරනකොටම තල්මසා ටික වෙන්න බය උනා


" භානුක අංකල් ..." තල්මසා වෙව්ලන්න ගත්තා. නොදකින් අනෝල්ඩ් වගේ ඇඟක් තියාගෙන මෙහෙම වෙව්ලනකොට හිරිකිතේ බෑ

Tuesday, June 22, 2010

20 කොටස



තල්මසාගේ මූණෙ කටේ ලේ කඳුළක් නෑ. පරණ මෝඩකං හායි කියනවා වගේ මට දැනෙන්නේ. දාඩියත් පිට දිගේ දාගෙන එන්නේ. කරන දෙයක් ඉක්මනට කරපං තල්මසෝ.... උඹ ඔහොම ඉන්නකොට මට තව ටිකක් වෙලා යද්දි මෙතන කලන්තේ දානවා හාර්ට් එක දඩිබිඩි ගාලා වැඩ කරලා ඕවර් හීට් වෙලා. 
"අද උඹ ක්ලාස් එනවාද?" තල්මසා එකපාරටම මාව කොර වෙන ප්‍රශ්නයක් ඇහුවා. මම හීනෙකින්වත් මෙහෙම ප්‍රශ්නයක් බලාපොරොත්තු උනාද. අඩුම තරමෙ ප්ලූටෝ දකින්න තමයි මම හිතාගෙන හිටියේ.
"ම මම මොන ක්ලාස්ද?" චාටර්... කතා කරගන්න බෑ. ෂිඃ විතරක්.... අර ඉපදෙනකොට තිබුණයි කිව්ව පිරිමිකම. ඒක එන්න එන්න නැති වෙනවා.
"ඉකෝන්..." තල්මසා මම ඉඳගෙන හිටපු පොට් එකේ වාඩි උනා. ඒ කියන්නේ මූ මට ගහන්නේ නෑ. මම මොනාද හිතුවේ.
" ක්ලාස් එන එක තාම හිතුවේ නෑ..."
"උඹ කතා කරන්නේ, මාත් එක්ක නිකං වලියට වගේනේ" තල්මසා මාර නෝමල් කතා කරනවා. බලාගෙන යනකොට මමයි ඇදේට කතා කරලා තියෙන්නේ. ඕව ඔක්කොම වෙන්න බය වැඩි උනාම
"එහෙම දෙයක් නෑ"
"ලිහිණි උඹට උන හැම දෙයක්ම දැනගෙන.. එයාට උඹව හම්බ වෙන්න ඕනෙ කිව්වා. උඹ අද ක්ලාස් එනවානම් මම කෙල්ලව ගෙදරින් පන්නගෙන එන්න ඕනෙ මොනා හරි කියලා" තල්මසාගේ ආත භූත නැති කතාව අහලා මාව එම්බාම් උනා. කියාගන්න වචන නෑ. මූ මෙහෙම කියලා අන්තිමට ආයෙත් කට්ටියක් එක්ක නෙලන්න හදනවාද දන්නේ නෑ. මට හිතෙන්නෙම මූ හදන්නේ මගේ හොඳට තියන අතත් කඩලා දාන්න කියලා.
" එකක් කියන්නම් මචං.... උඹේ ලිහිණිට කියපං... මේ කරපු හරිය හොඳටම ඇති කියලා. ආයේ තව ඕනේ නෑ. අනික මගේ කිසිම කැමත්තක් නෑ එයාව ආයේ හම්බ වෙන්න. " මම ඔන්න ඔහේ එහෙම කියලා දැම්මා.
ආත්ම ආරක්ෂාවට වෙන එකක් හිතට ආවෙත් නෑ. අම්මෝ කෙල්ලෝ නම් ආයේ අරහං. අර සිකා කියනවා වගේ කොල්ලො පිස්සො වෙන්නේ කෙල්ලො නිසා. පිස්සු විතර නම් කමක් නෑ අංග විකලත් වෙනවා. පෙන්නෙ නැද්ද මම ම ඉන්නේ උදාහරණෙට.

"ලිහිණි කියන්නේ සාමන්‍ය කෙල්ලෙක් නෙවෙයි  උඹ ඒක දන්නේ නැතුව ඇති" මේං මූ ඒ පාර  අරයාගෙ උප්පැන්නේ දිග අරිනවා. අම්මපා මම නෙවෙයි පණිවිඩකාරයා. 

"ලිහිණි කියන්නේ එංගලන්තේ චාල්ස්ගේ දුව උණත් මට කමක් නෑ. ආයේ නම් දෑහැට දකින්න නම් සලස්සන්න එපා. මට උඹත් එක්ක අවුලක් නෑ. එයත් එක්ක අවුලකුත් නෑ. ඒත් මම කැමතී මගෙ පාඩුවේ ඉන්න. "
"උඹේ කැමැත්තක්..." තල්මසා නැගිට්ටා. ඌ නැගිට්ටට පස්සේ මට පොඩි මෙව්වා එකකුත් ආවා. ලිහිණිව ආයේ දකින්න චාන්ස් එකක්... නෑ නෑ... මමත් දැං අර මාරන්තික උපවාස කරන උන් රෑට හොරෙන් බනිස් කනවා වගේ වැඩක් කරන්න යන්නේ. ඒත් ..... මම දෙලොවෙන් එක ලොවක වත් නැති අනාථනාථ තත්වයකට පත් උනා. තල්මසා යන්න ගියා. අනේ මන්දා අපරාදේ චාන්ස් එක. ඒත් ඒ වගේ ද මේ අතපය. දැනටත් ඇටකටු සමතලා වෙලා තියෙන්නේ. ඒත් මම ක්ලාස් නම් යනවා කියලා තීරණය කළා.

අපේ ගැන්සිය ආවට පස්සේ වඳින්න ඕනෙ හැමතැනටම වැඳලා මම ක්ලාස් යන්න සෙට් කරගත්තා. හීනෙන්වත් තල්මසාගේ සීන් එක උන්ට කිව්වේ නෑ. මොකද ඒක දැන ගත්තානම් තල්මසාට කලින් බුවා මාව මස් කරනවා. කොහොම හරි හවස අපි ක්ලාස් ගියා. ඒක පාලුවට ගිහින්, තල්මසාත් පේන්න හිටියේ නෑ. මම එදා ලිහිණි ඉඳගෙන හිටපු පොට් එක දිහා බලල හයියෙන් හීල්ලුවා.

"මයියා.... උඹ එකපාරටම ක්ලාස් එකට එමු කියලා අඬන්න ගත්තේ ඇයි?" සිකා ෂේප් එකේ ඇහුවා.
" නිකං... දැං සති ගානකින් ක්ලාස් ආවේ නෑනෙ බං" මම හොරෙන්ම උත්තර දුන්නා
" උඹ කෙල්ල එයි කියලා හිතුවා නේද" සිකාට බොරු කරන්න බෑ. ඌත් කෙල්ලෙක් නිසා හොටු පෙරුවානේ කාලයක්.
" ඔව් එහෙම තමයි" මම ඇත්තම කියලා දැම්මා. සිකා ඒ කතාවෙන් කට වහා ගත්තා. ක්ලාස් ආව මෝඩකම කියලා හිතුනා, පැය දෙකක්ම කිසි ආතල් එකක් නෑ. අනේ මන්දා මටත් උන වැඩක්.
"ඕයි මයියා... උඹ දැං ගෙදර යන්නේ කොහොමද?" බුවා බස් එක ගන්න පාර අයිනට ඇවිල්ලා ඇහුවා.
" රෝද තුනක එන්න කියලා තාත්තාගෙන් සල්ලි හම්බ උනා බං" අතයි කකුලයි අවුල් නිසා තාත්තා මට මොකක් හරි වාහනේක එන්න කියලා කට පාඩම් කෙරෙව්වා. සල්ලි වගේකුත් දුන්නා. ෂිකේ මටත් උන නව නිංගිරියාවක්.

බුවායි ජබ්බයි වෙනදා වගේම පාර එහා පැත්තට පැනලා බස් එකක නැංගා. සිකා මගෙ ලඟට සෙට් උනා
"මම උඹව වාහනේක නග්ගලාම යන්නද?" ඒ පාර මු අහන එක බලපල්ලාකෝ. හරියට මට බබා හම්බ වුනා වගේනේ. 
"නෑ නෑ උඹල යන තූත්තුකුඩියක පලයල්ලා.. යකෝ ...මට වාහනයක් නතර කර ගන්න පුළුවං..". මම එතනින් ගිය එකකට අත ඇල්ලුවා.. කොහෙද ඌ බලන්නෙවත් නැතුව ගියානේ. සිකාට මගේ හිතේ තිබ්බ අසහනය තේරිලාද කොහෙද පොඩ්ඩක් ටොලාත් එක්කම එහාට ගියා.
ආයෙත් එකක් එනවා. ඒත් නවත්තන්නේ නෑනෙ. ඇත්තමයි ඔන්න මට මල පැනගෙන එන්නේ. සිකයි ටොලයි පොඩ්ඩක් ඈතට ගිහින් කිණ්ඩියට හිනා වෙනවා මම දැක්කා. මට දැං කිණ්ඩියත් එක්ක මල පැන්නා. 
එක පාරටම මගේ ඉස්සරහින් රතු පාට වාහනයක් නැවැත්තුවා. වාහනේ පිටිපස්සේ දොර ඇරලා මාව ඇතුලට ඇදලා ගත්තා. දඟලන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා කොහෙද අතයි කකුලයි අවුල් නිසා මොකුත් කර ගන්න බැරි උනා. මාව ඇතුලට අරං දොර වහන්නත් කලිං වාහනේ රේස් කරලා පාරට දැම්මා. හිතා ගන්න බෑ මොනා වෙනවද කියලා මගේ කැඩුණ අත අම්බානකට රිදෙන්න ගත්තා ඒගමන් ඔලුව හිරිවැටීගෙන ආවේ ඉවසගන්න බැරි වේදනවත් එක්ක. තප්පරයකින් මගේ පේන තෙක්මානයම කළු වෙලා ගියා.

Monday, June 21, 2010

19 කොටස



අතේ ප්ලාස්ටරේ ගලවන්න කලින් මට බස් එකේ ෆුට් බෝඩ් එකේ යන්න තරම් ෆිට් එකක් තිබ්බේ නෑ, ඒ නිසා තාත්තා එයාගේ අමාත්‍යංශෙ වාහනෙන්ම මාව ඉස්කෝලෙට ඇරලුවා. චාටර් කියන්නෙ බුදු චාටර්... ඔක්කොමලා මගෙ දිහා බැලුවෙ හෝඩියට ආව අළුත් එකෙක් දිහා බලනවා වගේ. මට දැං ටික කාලයක් යනකං තාප්පෙ දිගේ බඩගාන්න වෙන්නේ නෑ, අනේ මන්ද මට ඉතිං ඉස්කෝලෙක ඉගෙනගෙන පුරුද්දක් ඇත්තෙම නෑනෙ.

"ඕයි මයියා....." සුපුරුදු ටකරං කටහඬක්,  මම ආපස්ස හැරුණා. සිකා මගේ දිහා බලන් හිටියේ හින්දි ෆිල්ම් එකක නැති වෙලා හම්බ උන නළුවා දිහා නිළිය බලන් ඉන්නවා වගේ ෆුල් අනාථ බැල්මක්.

"මොකෝ බං... ගෑනු ආත්මයක් වගේ ටැප් එකකට සෙට් වෙන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ... "

"උඹව ඔහොම දකිනකොට සිරාවටම දුකයි මචං"

"ඇයි මට මොනාද වෙලා තියෙන්නේ.... මගේ නම්බුව නම් එහෙමමයි.. කාටවත් කෙලෙසන්න දුන්නේ නෑ. කෙලෙසන්නවත් එහෙම එකක් තිබ්බෙත් නෑ මම හිතන්නේ" සිකා ලෝකෙ පාලූ වෙන්න හුලං පාරක් කටෙන් පිට කළා.

" මේ හැමදෙයක්ම අපි අමතක කරලා දාල අර හිටපු ආතල් එකේම ඉමු " සිකාම ඒක කිව්ව එක හොඳයි. ඕකට ගෑනු ජාන පිහිටලා තියනවා. පොඩ්ඩ ඇත්නම් ටැප් එක වැඩ කරන්නේ ඒ නිසා. අපි දෙන්න පන්තියට ගියා. පන්තියේ හිටපු මාමාලා සෙට් එකම මගේ දිහා බලන්න ගත්තා. මමත් මෙහෙම හිටියාට හොඳට ලැජ්ජා බයට හැදුන කොල්ලෙක්. බිම බලා ගත්ත මූණ කෙලින් කරන්නේ නැතුව එහෙමම තියා ගත්තා. චාටර් නැද්ද මේ ඉස්කෝලේ ඇතුලෙදිම කාලා. දැං අත පය වෙලාගෙන ආයේ මේකට ආවාම. පන්තියේම කසු කුසුවක් ඇහෙන්න ගත්තා. ඔය අතරතුර බුවායි ටොලායි පන්තියට ආව අපිව හොයාගෙන.

" කෙල්ලෙක්ගේ පණිවිඩ අරං ගිහින් ඇඩ්රස් නැතිවෙන්නම හොඳට කාලා" කොහෙද හිටපු හාල්පාරුවෙක් පන්තියට ඇහෙන්න කියලා හිනා උනා. අනිත් උනුත් හයියෙන් හිනා වෙන්න ගත්තා. මෙහෙම කිණ්ඩියක්නම් මට කවදාවත් වෙලා නෑ. මොනා උණත් ඉවසන්න වෙනවා. මමනෙ ඉල්ලන් කෑවේ.
"මොකද්ද තමුසේ කිව්වේ..." බුවා නැගිටලා ඒ පැත්තට ගියේ කුලප්පු වෙච්ච අස්සයෙක් වගේ, එකෙකුටවත් කොන්ට්‍රෝල් නෑ. පැන්න ගමන් අර පොරගේ මූනට දෙකක් දමලා ඇන්නා. ටොලායි සිකයි ගිහිං බුවාව ආපහු අපේ පොට් එකට අරං ආවා. අරූ පුටු ඩෙස් පේළි පෙරළගෙන වැටිලා අමාරුවෙන් නැගිට්ටා. ඒ සිද්ධිය වෙලා ටික වෙලාවකින් තල්මසා පන්තියට ආවා. එදා ගුටි කාපු එකේ මතු සම්බන්දය දැං කන්න වෙයි කියලත් මට හිතෙන්න ගත්තා. 

"හිරා බලපං මචං අරුන් අපිටත් අත පය විසි කරන්නත් එනවා" අර බුවාගෙන් ගුටි කාපු පොර තාත්තාට කියනවා වගේ හොටු පෙරාගෙන අපිව පෙන්න පෙන්න තල්මසාට කිව්වා. තල්මසා අපේ පැත්ත බලලා හිනා උනා. උගේ ඒ හිනාව නම් එච්චර අපිට ඇල්ලුවේ නෑ. ඒත් වලි වලට මගේ ඒ තරම් ඇල්මක් නෑ. ඒ නිසා ඔන්න ආයෙත් ඉවසුවා.

" උඹලත් මේ ගෑනුන්ගේ පණිවිඩ කාරයෝ එක්ක හැප්පෙනවානේ....." බුවා ආයේ දඟලන්න ගත්තා. මූ තල්මසාට අනින්න ගියොත් ඌ බුවාව සූප්පු කරනවා, ඒ නිසා අපි ඔක්කොමලා පන්තියෙන් එළියට බැහැලා බුවාවත් තඩලගෙන කවුරුත් යනනේ එන්නේ නැති මුල්ලකට අරන් ආවා.

" තොට පිස්සුද යකො..." ටොලා බුවාව තල්ලු කරලා දැම්මා

"ඔව් මට තමයි දැං පිස්සු.... අහගෙන හිටපල්ලා කියන හැලප කතා... රෙද්දක් ඇඳං පාරේ යන්න බෑ... ෂිඃ විතරක්" බුවා හොඳට කාරල කෙල බෝලයක් ඈතට ගැහුවා.

"උං ඕනෙ දෙයක් කිව්වදෙං ඔය කියන්නේ උඹට නෙවෙයි මටනේ..." මම ලාවොයිස් එකකින් ඌට තේරුම් කරලා දුන්නා..."

"උඹට කිව්වත් අපිට කිව්වත් ඒකෙ වෙනසක් නෑනෙ... අන්තිමට උන් අපිට නංගි කියලා අඬගහුවත් උඹලා සද්ද නැතුව හිටපල්ලා... ගුටි කාලා කතා අහලා ඔක්කොම වෙලා තවත් ඉවසපල්ලා" බුවාගෙ කතාවෙන් මට පොඩ්ඩක් රිදුණා. උන්ට එහෙම උනේ මම නිසා. මගේ එළ හරක් වැඩ නිසා. 

"සොරි වෙයල්ලා..." මම කජු මූඩ් එකකින් කට්ටියට කියලා පැත්තකට උනා. කොර ගැහෙන කකුලයි බෙල්ලෙ එල්ල ගත්ත අතයි එක්ක ආපහු හැරුණා. 

"මයියා... උඹට මොකුත් කිව්වා නෙවෙයි මචං" බුවා මගෙ පස්සෙන් එන්න ගත්තා. 

" අවුලක් කර ගන්න එපා .. උඹලා පන්තියට පලයල්ලා මම මෙතන ඉන්නං...." මම එතන තිබ්බ කැඩිච්ච ගල් පුවරුවකට පස්ස තියලා වාඩි උනා.

" උඹව දාල අපි යන්නේ නෑ බං.... වරෙං කැන්ටිම පැත්තේ ගිහිං ප්ලේන්ටියක් බොමු" සිකා මගේ කර වටේර අත දැම්මා.

" නෑ... මට දැං තනියම ඉන්න ඕනේ.... උඹලා පලයල්ලා..." මම ටිකක් තදින් කිව්වා. මගේ මූඩ් එක දැනුන සිකා අනිත් උන් දිහා බලලා " අපි ප්ලේන්ටියක් බීල එමු, මූට මෙහෙම ඉන්න දීලා" කියලා කිව්වා. ටික වෙලාවකින් මට පොඩි තට්ටු පෙලක් දාගෙන ගැන්සිය කැන්ටිම පැත්තට පාවෙන්න ගත්තා. මම තනි උනා. 


මම හුස්මක් එහෙම ඇරලා මනො එක්ක සෙට් වෙන්න බැලුවා. එක පාරටම මම දැක්කේ තල්මසා. බයට නෙවෙයි ඒත් උගේ සයිස් එක දැකලා මට ඉබේටම හිට ගැනුනා.



Sunday, June 20, 2010

18 කොටස


තාත්තා මගේ දිහා බලන් ඉන්නේ හිරෙන් පැනපු පොරක් ආයේ මාට්ටු උනාම ජේලර් බලන් ඉන්නවා වගේ මලෙන්. ලිහිණි කියන්නේ කවුද? ඇත්තම කියනවා නම් මාත් හරියටම ඒක දන්නෙ නෑ. 
"ලි ලිහිණි කියන්නේ.... බුවාගේ ගර්ල් ෆ්රෙන්ඩ් තාත්තේ.." මට මොළෙ හෙල්ලිලාද කොහෙද ඔන්න ඔහෙ මොකද්දෝ එකක් කියවුණා. තාත්තා මගෙන් ඇස් දෙක අරං බුවා දිහා බැලුවා. කාලා වරෙන්කො බුවාගේ මුණ දැක්කාම මට බකස් ගාල හිනාව ආවා. ඌට චූ යන්න වගේ එන එක අමාරුවෙන් නවත්තගෙන මගේ දිහා බැලුවේ ' අනේ මාව බේරගනිං" කියනවා වගේ. මම බේරෙන්න ඕනෙ මුට කලිං හේතුව මේ ප්‍රශ්නේ ඇහුවේ මුගේ තාත්තා නෙවෙයිනේ. 


"එතකොට තමුසෙලා ගුටි කෑවේ ඔය කෙල්ල නිසා...?" දැං ප්‍රශ්න අහන්නේ මගෙන් නෙවෙයි බුවාගෙන්. ඌ තාත්තා දිහා බලාගෙන ඉන්නේ දිව අමතක වෙලා බස් එකේ දාලා ආවා වගේ. මුගේ අර තිබ්බ ගිරා වොයිස් එකත් දැං නෑ. සිරාවටම මූට දැං දෙයියෝ බුදුන් එහෙම අහසෙ වැඩලා ඉන්නවා පෙනිලා ඉන්නේ.

"ඇත්තටම තාත්තේ ඒ කෙල්ලගෙ වරදක් නෑ. බුවා තාම ට්‍රයි විතරයි, ඒකෙ කෙලවරක් නෑ. ඊට පස්සෙ බුවා කිසිම කෙල්ලෙකුට ට්‍රයි කරන්නේ නෑ කියල මේ දැං මට අම්මපා කියලා පොරොන්දු උනා. " මම තාත්තා දිහා නොබලාම බිම බලගෙනම සහජයෙන් උරම උණු බොරු එක දිගටම කීමේ හැකියාව ප්‍රයොජනයට ගත්තා. තාත්තා අහු උනාද කියලවත් ඔලුව උස්සලා බලන්න ගියේ නෑ. 

" ලිහිණි කිව්වා නේද නම?" තාත්තා පොඩ්ඩ වෙන්න කල්පනා කලා. 
" නෑ නෑ අංකල් ලිහිණි නෙවෙයි.. මොකද්ද වෙන නමක් අපි එයාට ආදරේට කියන්නේ ලිහිණි කියලා" ටොලා පැනලා ආන්සර් එක දුන්නා. අනේ දෙයියනේ මටත් මම වගේම උන් ටිකක් මුණගස්සපු එක ගැන දෙයියන්ට උණත් මම සලකනවා මදි. තාත්තා පොඩ්ඩ වෙලාවක් ඉඳලා එතනින් පිට උනේ හීනියට කල්පනාවකුත් කරන ගමන්. 

" උඹ නම් මර පොරක්නේ... ලිහිණි මගෙ කෙල්ල වෙන්නේ කොහොමද?" බුවා හුස්මක් පිට කරන ගමන් මගේ දිහා බැලුවේ අම්බානකට කිපිලා. දකිනකොට මතක් වෙන්නේ කුලප්පු උන පොර හරකෙක්ව.

" නැතුව ලිහිණි මගේ කෙල්ලද? උඹනේ අපි කට්ටියගෙන්ම ඒකිට පැණි හැලුවේ"

"ඒත් උඹ ගුටි කෑවේ වෙන කේස් එකකටනේ" මම මගේ හීනියට රිදෙන ඔලුව පොඩ්ඩක් අත ගගා ඇඳේ වාඩි උනා.
" තාත්තා ඇහුවෙ මම ගුටි කෑවේ ඇයි කියලා නෙවෙයිනේ... ලිහිණි කියන්නේ කවුද කියලානේ" මම එහෙම කියන ගමන් හීනියට මනෝ පාරකට සෙට් උනා. තාත්තා ලිහිණි ගැන හොයාගෙන වැඩේ අබ්ලික් කරයිද? ඒ අහිංසක කෙල්ල මේ කිසි දෙයක් දන්නේ නෑ. මේ හැමදේම උනේ අම්මා මගේ කලිසම එදා ලියුමත් එක්කම හේදුව නිසා, නැත්නම් මම කවදාවත් ඔය ලියුම මගේ අත් දෙකෙන්ම ගෙනත් අරූට දෙන්නේ නෑනෙ. ඉස්කෝලේ පොඩිම ළමයා හොයලා ඒක දීලා අරූට යවනවා මිසක්. ඔක්කොම දැං කණපිට යාගෙන එන්නේ

"දැං මොනාද උඹ කට කකුල් දෙකේ උලාගෙන කල්පනා කරන්නේ?"

"මම අපේ තාත්තාගේ හැටි දන්නවා ටොලා... එයා මේ හැමදෙයක්ම සෙන්ටිමෙන්ටල් කරයිද දන්නේ නෑ. අන්තිමට අර කෙල්ල සෑහෙන්න විඳියි. මේකට ඒකි පලි නෑ බං"

"උඹට මොකද්ද කියපං ඒකි ගැන තියන කැක්කුම?" බුවා තාම ඉන්නේ මල පැනලා

" මට ඇති කැක්කුමක් නෑ... ඒත් ඒකි උඹ අපි වගේ ෆුල් ෆන් එකෙ ඉන්න එකියක් නෙවෙයිනෙ බං, ඕක දුරදිග ගියොත් එයාගේ ජීවිතේට අපිටත් වග කියන්න වෙයි." 

"මට පැණි පෙරනවා කිව්වාට මූනේ පෙරන්නේ බලපන්කො ටොලා මුගේ කතාව" බුවා ටොලා ලඟට ගියේ හිනා වෙවී.
"පෙරනවා නෙවෙයි බං තේරුම් ගනිං.... අපිට වඩා කෙල්ලෙක්ට මේ ප්‍රශ්නේ දැනෙනවා වැඩියි. මටත් නංගි කෙනෙක් ඉන්නවා." මම ටිකක් සැරෙන් බුවාට කිව්වේ සිරාවට ටික වෙන්න මල පැන්න නිසා
"දැං උඹට ඔය ඇවිත් තියෙන්න සහෝදර ප්‍රේමයක්............. මේ බලපං.. මෙතනිනුත් මට හිනා" බුවා මගේ පැත්තට උගේ පස්ස හැරෙව්වා. ටොලා හිනා වෙලා බුවාගේ පස්සට රත් වෙන්න පාරක් දුන්නා.

"උඹලා එක්ක කතා කරලා වැඩක් නෑ" 

"හරි උඹ ඇත්ත සීන් එක කියපං අපි සප් එක දෙනවානෙ... නැත්නම් උඹේ තෙලට අපි නිරපරාදේ ගුටි කනවාද?" ටොලා මගේ ලඟින් ඉඳගත්තා.

"මට උදව් කරපං..."

" ඉතිං මොනාටද කියපං"

" ලිහිණිව මඟඅරින්න"

මගේ කතාවෙන් ටොලායිම බුවයි මූණට මූණ බලා ගත්තා, මගේ වචන ටිකෙන් හීනි වේදනාවක් දැනෙන්න ගත්තා මේ සැරේ නම් ඔලුවෙන් නෙවෙයි පපුවෙන්.

" උඹ ඒ කියන්නේ ඉකෝන් ක්ලාස් එන්නෙ නැද්ද?" බුවා දුක වොයිස් එකකින් මගෙන් ඇහුවා


"එනවා...." 

"එතකොට එයාව හම්බ වෙයිනේ..."

" ඔව් මාව දකියි. ඒත් මම කවදාවත් එයා ඉස්සරහට යන්නෙ නෑ... ඒ මගෙ හිතේ තරහක් නිසා නෙවෙයි එයාගෙම හොඳට"

" එතකොට උඹ..."

"ප්‍රශ්න ඕනේ නෑ බුවා මට සප් එක දියං"

"හරි උඹ කියන ඕනේ දේකට.... උඹ දන්නවානේ අපි අපායට උණත් යන්න අවුලක් නෑ කියලා" බුවාගේ ටෝක් එකට මාව ෆුල් අවුල් වෙලා ගියා.


 

Wednesday, June 16, 2010

17 කොටස


සෑහෙන්න වෙලා යනකන් ඔලුව බදාගෙන ඉදලා යන්තම් වගේ හරි යාගෙන එනකොට මම වටපිට බැලුවා. ගෙදර යාවජීව සාමජිකයෝ ඔක්කොම මගේ වටේ. අක්කා පැත්තකට වෙලා අඬනවා, අම්මා මට පත්තරේකින් පවන් ගහනවා. තාත්තා මාව කන්න වගේ බලන් ඉන්නවා. ඇයි හත් දෙයියනේ මම ගැන මෙයාලා මීට කලින් කවදාවත් මෙහෙම හොයලා තියනවද, අර ගහපු එවුනුත් මගේ ශරීරයේ හිස්ම අවයවේ බලලා තමයි ගහලා තියෙන්නෙ. මොකද මේ ඔලු ගෙඩියේ හෙල්ලෙන්නවත් මොළයක් තිබ්බේ නෑනෙ. ඒත් සැරෙන් සැරේ මට මාව නැති වෙලා යන්න ඔලුව කැක්කුම එන්නේ මට ඔලුව තියනවා කියලා මතක් කරන්නද කොහෙද. අනේ මන්දා.
" දැං මට අවුලක් නෑ" මම කට්ටිටයම දිහා මාරුවෙන් මාරුවට බැලුවා. අම්මා හුස්ම ස්ටාට් කලා. මොකක් නමුත් අරුන් ගහපු නිසා මට දෙයියනේ කියලා සැලකිලි නම් ලැබෙනවා. කට්ටියම මගේ කාමරෙන් යන්න ගියාට පස්සෙ මට චුට්ටක් ගුටි කාපු කැවිල්ල මතක් කලා. ඒත් හරි හැටි මතකයක් නෑ. ඕනෙ එකක් වෙන්න කියලා මම පොඩි ඇලට් එකක් දාන්න ඇස් දෙක පියා ගත්තා....
මට එක එක විදියේ සද්ද ඇහෙන්න පටන් ගත්ත නිස හිමීට ඇස් දෙක ඇරියා. හොඳට දැකලා පුරුදු ඩයල් ටිකක්. ඔන්න මම හොඳටම ඇස් දෙක ඇරියා. 
"සන්ධ්‍යාව ගුඩ් වේවා!" මුලින්ම කතා කලේ ටොලා. දැකීමත් සතුටක්. පේන තරම් මුන්ටනම් අහේනියක් නෑ. 
"උඹලාට කොහොමද බං" මට ඉබේම වගේ ඇහුනා.
" අපි ෆුල් ෆිට්.... උඹටයි සිකාටයි නෙ හොඳටම වැදුනේ.... මේ සිකාව බලලා එන ගමන්" බුවා ඇවිත් මගේ ලඟින් වාඩි උනා.
" උඹලාට මම හින්දා ගුටි කන්නත් උනා" මම බොක්කෙන්ම ආපු දුකත් එක්කම කියලා දැම්මා.
"ඕවා ගැන හිතන්න එපා මචං.... උඹේ තත්වෙ කොහොමද දැං" ටොලා මගේ පොත් මේසෙ උඩ වාඩි උනා
" අවුලක් නෑ වගේ... අතපය නම් තාම රිදෙනවා බං"
" මේ ඔක්කොම මෙවන් කාරයගේ වැඩ" බුවා ඒක කිව්වේ පොඩ්ඩක් මල පැනලා
" මම දන්නවා..." මම ඒක දැනගත්තේ භානුකගෙන්
"ඕකාට දවසක අපි කට්ටිය එකතු වෙලා හොඳ ගේමක් දෙමු" බුවා ආයෙත් කතා කලා එවෙලේ අර ඉස්සල්ලටත් වඩා මල පැනලයි හිටියේ
" මේ මේ බුවා උඹ මේ අහක යන සරුංගල් මිදුලේ එල්ල ගන්න එපා. දැක්කනේ එක පාරක් උන් එක්ක හැප්පිලා වෙච්ච දේ.. අන්තිමට මූව අපිට ඩුප්ලිකේට් හදා ගන්න වෙන්නේ... කටේ දත් එහෙම නැතුව බත් කන්න අමාරුයිනේ බං" ටොලාගෙ කතාව මමත් අනුමත කලා. ඒ බයට නෙවෙයි, මට ඔය වලි වැඩිය දුරදිග ගෙනියන්න ආසාවක් තිබ්බේ නෑ. මොනා උනත් මම කෑව එක කෑවානේ බට කට, කන කර අත පය ඉඟ සුඟ පිරිලා යන්න. 
"එහෙම කියලා උන්ට දිනුම දීලා සුදු කොඩිය වනන්න පුලුවන්ද බං පිරිමි වෙලා ඉපදිලා" දැං බුවා හිටිය තැනින් බැහැලා කාමරේ එහාට මෙහාට ඇවිදිනවා. මූට ඉතිං කඩි කාලා වගේලු.
" ඔය කතාව ඔතනින් ඉවර කරමු බං.... මමත් කැමති නෑ තවත් කන්න" මම අන්තිම තීරණය ප්‍රකාශ කලා.
" අනික මම අරකිවත් තියන්නේ නෑ... ඕකි හින්දා තමයි මේ ඔක්කොම විනාසේ" බුවා මතුරන්න ගත්තා.
" කවුරු ගැනද බං උඹ ඒ පාර දොඩවන්නේ...? " ටොලාට තිබුනෙත් මගේ ප්‍රශ්නෙම තමයි.
" අර මොකාද එකී සැලලිහිණි" බුවා කතා කලේ මාර මලකින්, මගේ පපුව හිරි වැටිලා ගියා. බුවා ලිහිණිට මොනා හරි කියයිද?
"එයාට මොනවත් කිව්වොත් බලාගෙනයි.."
 මම එහෙම කිව්වේ අප්සෙට් මූඩ් එකෙන්
" ඕකි නොහිටින්න අපි තාමත් ආතල් එකේ" බුවා මගේ දිහා බැලුවේ මගේ ලඟින් වාඩි වෙන ගමන්මයි.
" ලිහිණි මේ කිසි දේකට සම්බන්ද නෑ " මම සිරා මූඩ් එකෙන් එහෙම කියද්දි ටොලාගෙයි, බුවාගෙයි කටවල් ඇද උනා.
" කවුද ඔය ලිහිණි කියන්නේ...?" තාත්තා කාමරේට කඩාගෙන පැන්නා. මාව සීතල වෙලා ගියා. එතකොටයි මම දැක්කේ අරුන් දෙන්නත් සෙල්මුවාලා වෙලා ඉන්නවා




Monday, June 14, 2010

16 කොටස


 මගේ ග්‍රහයා සෑහෙන්න නීච වෙලා. නැත්නම් පහුවදාම මාව ගෙදර යවයිද? යන්න කලින් සිකා මාව බලලා යන්න ආවා. ඌගෙත් ඔලු කට්ටෙ තැනින් තැන බම්පර් දාලාලු. මගෙන ඔලුවේ එක පැත්තක් නෑ වගේ දැනෙන්නේ. වෙලාවකට අම්බානකට රිදෙනවා. ආයේ දැනෙන්නෙ නැති වෙනවා. ඔලුව නොදැනෙන එකම හොඳයි. ඔය ඔලුවයි හදවතයි තියනකන් මිනිහෙකුට ජිවිතේ ආතල් නෑ කියනවානේ. ඕක කවුරුත් කියපු එකක් නෙවෙයි මම මයි කිව්වේ. අක්කායි, අම්මායි අවිල්ලා මාව ගෙදර එක්කන් ආවා. මලා තාත්තාත් වැඩට ගිහින් නෑ. වාහනේ මිදුලේ නවත්තලා තියනකොට මට හීන් දාඩිය දැම්මා. අරුන්ගෙන් ගුටි කන එක සැපයි තාත්තාගෙ මූණ බලනවාට වඩා. සැරෙන් සැරී අම්මා මගේ ඔලුව හිමින් අත ගෑවේ කඳුලු පුරෝගන. ඔන්න ඔය වෙලාවට තමයි මොන තරම් හිත ගල් කරන් හිටියත් මටත් ටැප් එක අරින්න හිතෙන්නේ. මම ගේ ඇතුලට ගියේ පොලවේ වැලි කැට ගණන් කරන ගමන්. තාත්තා දිහා බලන්න තරම් මට ගටක් නෑ. මොනා උනත් ඔය මනුස්සයා නොහිටින්න අපි කාලා ඇඳලා ඉඳලාත් හමාරයි. මට මෙහෙම අපේ පවුලේ අය ගැන දුක පහළ වෙන්නේ මාර කලාතුරකින්.
"තෙනුර ඔහොම ඉන්නවා...." තාත්තා එහෙම කතා කරද්දි මගෙ කකුල් දෙක එක තැන නතර උනා. අද මොන තරම් මම බැනුම් අහුවත් මම කට අරින්නෙවත් නෑ. අන්න එහෙම මම හිතා ගත්තා. බිම බලාගෙනම මම තාත්තා පැත්ත හැරුනා. ඔන්න මගෙ අඟේ පතේ වේදනාව මට දැනෙන්න ගත්තා. ඉවසපං කිව්වලු. මම ඉවසගෙන තාත්තා දිහා බැලුවා.
"මොනවාද පුතේ මේ දා ගන්න ලෙඩ?" තාත්තා එහෙම ඇහුව ඇදලා පැදලා... අම්මපා මගේ ජීවිතකාලෙටම තාත්තා මට පුතා කිව්වාමයි ඔය. මට සාමන්‍යයෙන් තාත්තා ආදරේට අමතන්නේ හරකා, ඉබ්බා,  මීහරකා, කොටළුවා, වගේ හුරතල් නම් වලින්. මගේ ඇස් එක පාරටම තාත්තා දිහා බැලුවා. 
"කතා කරපං.... තමුසෙට මොනා හරි උනා නම් එහෙම...?" 
"මම... මේ .... කි කිසි දෙයක් ගැන ද දන්නේ නෑ තා තාත්තේ..." මම මේවා කිව්වේ අර මුලින් කතා කරන්න පුරුදු වෙන උන් වගේ ගොත ගහා ගහා
" ඒක මම දන්නවා... මේ හැම දේටම මුල තමුසේ අපි කියන දේ නාහන එක. දැං කාමරේ ට ගිහින් ඉන්නවා. මීට පස්සේ ඉස්කෝලෙ බස්සන්නේ මම වාහනෙන්.." බුදු අම්මේ මේක විලි ලැජ්ජා නැති දඬුවමක්. තාත්තා මාව ගෙදරින් එළියට විසි කලත් මට මෙච්චර නෝණ්ඩි නෑ. ඒත් වැඩිය කතා කරන්න හොඳ නෑ. මම කාමරේට ගියා. හැබැයි හිතට ඇඟට දැනෙන්නෙ එල්ලලා මරන්න නියම කලා වගේ. 
"කොල්ලාට සැර වෙන්න එපා අපෙ මහත්තයා.." අම්මා මං වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලනවා මට ඇහුනා. ඊ ලඟට තාත්තා මොන මොනාද මුණු මුණු ගෑවා. 
"මහත්තයාට කැමති දෙයක් කරන්න" අම්මා ඇඬෙන වොයිස් එකකින් කියනවා මට ඇහුණා, ඒත් එක්කම අක්කා මගෙ කාමරයට ආවා.
" මයියා ගොඩාක් රිදෙනවාද තමුසෙට?" අක්කා ඉතිං සුපුරුදු ප්‍රශ්නයක් ඇහුවා, මම තැමීගෙන ආවාම අහනවා තෙමුනද කියලා, නාගෙන ආවම අහනවා නෑවද කියලා, මෙලෝ සිහියක් නැතුව ගිලිනකොට අහනවා කනවද කියලා. දැං මේ තරම් ඩොක්ටර් අංකල් මාව වෙලලා වෙලලා තියනවා මෙයා අහනවා රිදෙනවාද කියලා.
" අනේ නෑ මාර සැපයි. සැපට දිව්‍ය ලොකෙත් පෙනි පෙනි අපායත් පේනවා," මම එහෙම කියන ගමන් පුංචි කෙඳිරියක් ගෑවා.
"තමුසෙට ඉස්කෝලෙ යන්න එපා කිව්වා සති දෙකක් යනකන් දොස්තර" අක්කා මගේ ලඟින් වාඩි උනේ මගෙ වෙලලා තිබ්බ අතක් අත ගගා.
"එතකොට දොස්තරද ඒ ලෙවල් ලියන්නේ....?" මට ටික වෙන්න තද උනා.
"ඔහොම කොහොමද මයියා ඉස්කෝලෙ යන්නේ...?" ඒකත් ඇත්ත.... මම මෙහෙම ඉස්කෝලෙ නෙවෙයි කොහෙ හරි පේමන්ට් එකක ලේන්සුවක් එලා ගත්තානම් කොටි පතියෙක් වෙන්න තිබ්බා.
"මේවා දවස් දෙක තුනකින් ගැලෙව්වාම යනවා.
"තාත්තා කිව්වා ඔයාව වෙන ඉස්කෝලෙකට දානවා කියලා" හෙන පිට හෙන වැදුනා වගේ.
"මොකක්?" මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙන්න ගත්තා. කරගන්න කියාගන්න දෙයක් නෑ, අත් දෙකෙන්ම ඔලුව බදාගෙන මම කෑගැහුවා " අම්මෝ..." කියලා

Saturday, June 12, 2010

15 කොටස


ලාවට ඇස් දෙක ඇරෙනකොට මට තේරුනා මම ඉන්නෙ මීට කලින් හිටපු තැනක නම් නෙවෙයි කියලා. වටපිටාවට ඇන්ටනාව දාන්න බෙල්ල පොඩ්ඩක් කරකවන්න බැලුවා. දෙලෝකෙන් එක ලෝකයකවත් නැති තරම් වේදනවක් තැපෑලෙන් වගේ අඟ පුරාම එන්න ගත්තා. ඔන්න ඒත් එක්කම එහෙන් මෙහෙන් කෙඳිරිලි ඇහෙන්න ගත්තා. මම මේ ඉඳලා තියෙන්නෙ ඉස්පිරිතාලෙනෙ බොලේ... අම්බානකට ඇඟ රිදෙනවා. රාජකීය කෑමක්නෙ කෑවේ. ඇත්තටම මට ගැහුවේ කවුද? මට ගහපු උන් එකෙක් වත් මීටර් නෑනෙ.මටත් දැං හීනියට කෙඳිරි ගෑවෙනවා.
" තෙනුර......" මම මරනාසන්න අස්සයා වගේ ඒ පැත්ත බැලුවා.ඩයල් එක දැකලා පුරුදුයි ඒත් අම්මපා මතක නැති හැටි. අර වැදුණ පාරක් ඔලුවට වැදිලා රැම් එකත් ගහලා ගිහින්ද දන්නේ නෑ
මම නිකං මන්ද බුද්ධික ටයිප් එකෙන් පොර දිහා බැලුවා.
"මාව අඳුනගන්න බැරිද?" මම පොඩ්ඩක් කෙඳිරියක් එහෙම ගහලා ඉඳගන්න ට්‍රයි එක දුන්නා.
"නෑ ඔහොම ඉන්න.... , කමක් නෑ...... මම භානුක.... " ඇත්තම නේන්නම් මේ අර අපේ නංගිගේ ටොයියානේ. මගෙ මීටරේ අවුල් වෙලා තමයි. ඊයේ මම මූ ඉස්සරහනේ පොර වෙන්න ගියේ. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.
" දැං මතකයි. ඔයා මෙහෙ...?" මම අත් එහෙම අමාරුවෙන්හොලවලා බැලුවා. ඒවා වැඩ. මොකුත් අඩුවක් නෑ, අම්බානකට රිදෙනවා. අර දුකටයි සැපටයි හිටපු සැමීලා ටිකත් පේන්න නෑ. උන් කොහෙද දන්නේත් නෑ.
"ෂවිනි කෝල් කරලා කිව්වා.." මලා...මම මෙහෙ කියලා ගෙදර අයත් දන්නවාද?
" දැං වෙලාව කීයද?"
" දැං හයට විතර ඇති.... ඔයාට දැං කොහොමද?"
"හයයි..... මම මෙච්චර වෙලා...."
"දවල් තිස්සෙම ඔයාගෙ අම්මා මෙහෙ ඉඳලා ගියේ, ෂවිනි උණත් මට කතා කලේ අඬ අඬා... ඔයා ඇයි මෙවන්ලාත් එක්ක රණ්ඩුවට ගියේ.."
මම ඌ එක්ක රණ්ඩුවට ගියාද....? මට මතක නෑනෙ.... මට මෙහෙම ගැස්සෙව්වේ මෙවන්ද? මේක මහා අපඛ්‍රන්ස ලෝකයක්නේ. 
"මට මේ මොකුත් තේරෙන්නේ නෑ..... මම කාත් එක්කවත් රණ්ඩුවට ගියේ නෑ."
" එහෙනම් මෙවන් ඔයාට ගැහුවේ ඇයි?"
" ඒක මම කොහොමද දන්නේ... මම කවුද ගැහුවේ කියලාවත් දන්නේ නෑ. මට ගැහුවේ මෙවන් කියලා උඹ කොහොමද දන්නේ..?"
" මෙවන්ගෙ පන්ති තහනම් කරලා තව එයාගෙ යාලුවෝ කීප දෙනෙක් එක්ක. මට ඒක කිව්වෙ හිරාන්" 
මේ හැම දෙයක්ම මට උණු උණු නිවුස්. ඒත් අපේ ගැන්සියේ එකෙක්වත් තාම ඇයි පේන්න නැත්තේ..?
"මට ගහලා උන් මොනවා බලාපොරොත්තු උනාද මම දන්නේ නෑ භානුක...., මමත් ෆුල් හොල්මන්.මගෙ යාලුවෝ එහෙම දැක්කද?"
" එක්කෙනෙක් නම් එහා වාට්ටුවේ ඉන්නවා. අනික් අය නම් දවල් ටිකට් කපලා ගෙදර ඇරියා" ඒ කියන්නේ මම නිසා අනිත් උනුත් ගුටි කාලා. පව් දෙයියනේ.
" කවුද එහා වට්ටුටේ ඉන්නේ...."

" හර්ෂ" මගේ හුස්ම වෙනදාට වඩා දිගම දිග එකක් උනා. 

"ඌට කොහොමද?"
" එයාටත් හොඳයි... හවස නැත්නම් හෙට උදේට ටිකට් කපයි.
"මාව බලන්න ආවට තැන්ක් යූ මචං"
" මම හෙටත් එන්නම්.... උඹ ලිහිණිගෙ පණිවිඩ කාටවත් මීට පස්සේ ගෙනියන්න එපා" මේ හැමදේකටම හේතුව කෙල්ලෙක් කියලා හිතනකොටත් ලැජ්ජයි. එයාට කඩේ ගිහින් අන්තිමට මට නතර වෙන්න උණේ ඉස්පිරිතාලේ. ඒත් ඒ කෙල්ලට බනින්න මගේ හිත ඉඩ දෙන්නේ නෑ. හැමදේකම අග ඉන්නේ එයා. 
"ලිහිණි....."
" ඔව් තෙනුර... ලිහිණි මගෙ අක්කා ....විනාඩි ගානකට.... අපි දෙන්නාගෙ ගොඩාක් ගති ගුණ එක වගේ. ලිහිණි කාටවත් කරදරයක් කරන්න හිතන්නේවත් නෑ. එයා අහිංසකයි. මම දන්නවා ඔයාට මේ හැමදෙයක්ම උනේ ලිහිණි හින්දා කියලා."
"ඔව් එයා හින්දා තමයි... මම දන්නවා මට ඉස්පිරිතාලෙ ඉඳලා ගෙදර යන එක ඔක්කොටම වඩා අමාරුයි කියලා"
" මට තේරෙනවා මචං.. මම අක්කා වෙනුවෙන් උඹෙන් සමාව ඉල්ලනවා,"
" කමක් නෑ මචං... මේවා වෙන්න තිබ්බ දේවල් වෙන්න ඇති, මට දුක මම හින්දා මගේ යාලුවෝත් කෑව එක" මම අභිධර්මය ටිකක් දැම්මා.
" මට ආයෙත් සමාවෙන්න. "
"උඹ මොනා කලාටද මේ හතරගාතෙන් සමාව ඉල්ලන්නේ..?"
"අක්කා වෙනුවෙන්.. ඒ වගේම කවදාවත් අක්කාට දැන ගන්න තියන්න එපා ඔයා එයා නිසා ගුටි කෑව බව"
"ඇයි?" මට මේ මනුස්ස ප්‍රාණෙ ගැන ආවේ මාර කේන්තියක්. යකෝ මම එයා හින්දා ගුටි කාලා දැං මූ කියනවා ඒක කියන්නත් එපාලූ. මේක මාර ආණ්ඩුවක්නේ

Tuesday, June 8, 2010

14 කොටස




පාට පාට මල් මල් හීන මට කවමදාවත් පෙනිලා නෑ. මට හැමවෙලේම හීනෙන් උණත් පෙනුනේ ජෝන් සීනාට, එතකොට ටයිසන්ට, රොකාට එහෙම අම්මා තාත්තා මතක් වෙන්න නෙලනවා. ඒවා හීනම හින්දා තමයි වටින්නේ. එක දවසක් මම ජැකී චෑන්ව අපේ ගෙදර ගෙනවා ඌට ගෙදර යන්න පාර අමතක වෙලා. ඕවා මතක් වෙනකොට මට කටින් විතරක් නෙවෙයි අධෝභාගයෙනුත් අම්බානකට හිනා යනවා, මම හීනෙන් පොර වැඩ කලාට කවදාවත් කෙල්ලෙක්ව හීනෙන් පෙනෙන්න කියල උණ විකාරෙන්වත් ප්‍රාර්ථනා කරලා නෑ. ඒ තරම් සීලාචාර මට ඊයේ රෑ පුරාම පෙනුනේ ලිහිණිව. මාර සීන් එක කියන්නේ මම මාර ගේමක් දීලා ඇහැරිලා ආයෙ නිදා ගන්නවානෙ ආයෙත් ඒ හීනෙම මතු සම්බන්ද වෙලා වැල නොකැඩී දැක්කා. හිතේ කොනකවක් කෙල්ලෙක් හිටිය නැති මගේ හිතට වෙච්ච මේ ෆුල් අනාථ සීන් එක ගැන හිත හිතාම මම ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා. 
" මයියා තමුසෙට කෝල් එකක්" අක්කා පාන්දරම තවත් හිතා ගන්න බැරි කතාවක් කලා. මට අපේ ගෙදරට කතා කරන්නෙ මොකෙක් හරි එකෙක් ස්වර්ගස්ථ උණොත් විතරයි. 
" හලෝ....." 
" මයියා..." මට කටහඬ අඳුනගන්න එච්චර වෙලා ගියේ නෑ. කට කන ලඟටම ගියා.
" ලොක්කයියා...." මම බෙරුහන් දුන්නා. මගේ ලොකු සහෝදරයා. මේ ලෝකේ මාව තේරුම් ගත්ත එකම එකා ඌ විතරයි. ඌ මේ දවස් වල මෙල්බන් හන්දියේ ඇනෙක්ස් එකක තමයි ඉන්නේ. ඉගෙන ගන්න ගිහින්. ඌ නැති එක මට දැනුනේ මගේ කොහෙ හරි කෑල්ලක් මිසින් වගේ කියලා.
"තමුසෙ හොඳින් නේද?"
"ආයේ අහලා කොල්ලා එළකිරි වගේ තමයි"
"ඊයේ තාත්තා මට කතා කලා" ඔය කැවිලා තියෙන්නේ... ෂුවර් එකටම කේලම කියන්න ඇති ඒක තමයි මේකා හැති ඇරගෙන උදේ පාන්දරම මට කතා කරන්නේ
" ආ.. එහෙනම් කියන්න ඇති මගෙන් තමුසෙට ඔක්කොම විස්තර අහගන්න කියලා..."
"ඔව් එහෙම තමයි. මොකද්ද මයියා මේ හුට පටේ..?"
" තමුසේ මේවා ඇඟට ගන්න ඕනෙ නෑ.. තාත්තා නැට්ට පාගගෙන... කවුරු හරි විස බෝම්බයක් අතාඇරලා. තාත්තාටත් මාව විශ්වාස නෑනෙ." ලොක්කයියාගේ කටහඬ ටික වෙලාවකට ඇහුනෙ නෑ, ඌට ෂුවර් එකටම තේරෙන්න ඇති මම හංගන හැංගිල්ල. ඒත් ඌ කිසිම දෙයක් බලෙන් මගෙන් එළියට ගන්න හඳන එකෙක් නෙවෙයි.
" මොනා උනත් කරන දෙයක් හිතලා බලලා කරපං.... ඒලෙවල් ඉවර උණාම මම තමුසෙව මෙහෙට ගෙන්න ගන්නවා" අන්න ඒ වචන ටිකනම් ජීවිතාන්තය දක්වා හිර දඩුවම දෙනවා කිව්වාට වඩා ඇඟ කිලිපොලා යනවා. 
" ලොක්කයියේ... සියරට දේ සිරිසැප දේ කිව්වලූ.... මට ඉපදුන රට හොඳයි. අනික මම කැමති නෑ ලංකාව උනත් මම නැතුව අඬනවා දකින්න." හිමින් සැරේ ෂේප් වීමෙ පරම චේතනාවෙන් ආරක්ෂාකාරි පියවරක් මම ගත්තා.
" එන මාසෙ දිහාට මම සති දෙකකට ලංකාවට එන්නත් අදහසක් තියනවා. "
" එළනෙ.... " මට මාර ජොලියක් ගියා. ඒ කාලෙ වෙනකොට මම ජීවතුන් අතර හිටියොත් ෆුල් ෆන් එකක් ගන්න පුළුවං. ඒත් මේ වෙන දේවල් වල හැටියට පණ කෙන්ඳෙ කිසිම ෂුවර් එකක් නෑ.
" තමුසෙට මොනා  හරි කියන්න එහෙම තියනවා නම් ගෙදරින්ම මට කෝල් එකක් දීපං" ලොක්කයියා අන්තිම තුරුම්පුවත් අත ඇරියේ මගේ කට ඇරවගන්න බව මම දන්නවා. අපි නොදන්න චෙස්... මම ඌගෙම මල්ලිනේ... 
" ආයෙ අහලා කිසි අවුලක් නෑ... මම මොනා හරි තිබ්බොත් කියන්නම් දැනට නම් නෑ.." මම ගොන් හිනාවක් දාන ගමන් කිව්වා. 
" හරි එහෙනම් ෆෝන් එක අම්මාට දියං" අයියා තව තව කතා නොකරම මේක මෙතනින් ඉවර කරපු එක ගැන මට මාර සතුටක් ආවේ. මම අම්මාට කෑගහලා කෝල් එක දීලා හෙමින් සැරේ ඉස්කෝලෙ යන්න පිටත් උනා. 
අපේ පාරේ සුඛෝපභෝගි බස් එකේ ෆුට් බෝඩ් එකට පින්සිද්ද වෙන්න 8.15 වගේ වෙනකොට මම ඉස්කෝලෙ ලඟට ගියා. තාප්පෙ දිගේ බඩගාල ඇතුලට පැනගෙන වටපිට බැලුවාට ගැන්සියේ එකෙක්වත් පේන තෙක්මානෙක හිටියේ නෑ. මම හිමින්ම ඉස්කෝලෙ ඇතුලට රිංගුවා. වැඩිවෙලා ගියේ නෑ... අපේ සිකායි, බුවායි මීටර් සීයේ තරගේ බල්ලෙක් පිටිපස්සෙන් පන්නං එනවා වගේ 160ට විතර ස්පීඩ් එකකින් දුවගෙන එනවා.
" මොකද මොකද මේ..."
" මයියා.. දුවපං..... දුවපං බං..." උන් මාව පාස් කරගෙන ගියේ මාවත් ඇදගෙන කෑගහගෙන. මම දැක්කා ටොලාත් දුවගෙන එනවා ඌට පිටිපස්සෙන් තව සෙට් එකක්ම එනවා. ජබ්බානම් පේන්න නෑ.
මමත් සිකාලා එක්ක දුවගෙනම ගිහින් ඒ පිම්මටම තප්පෙ තරණය කරන්න හැදුවා. ඒත් බැරි උනා ඊට කලින් අර පිටිපස්සෙ පන්නපු උන් ටික මාව වට කර ගත්තා. හතර වටින්ම නිල් වෙන්න වදින්න ගත්තා. ටාර්...
ටෝර් ගාලා, එකෙක් කියනවා මට ඇහුනා.. ' ඕකා තමයි ඕකට දීපං..' මට මුලූ ලෝකෙම ලයිට් නිවෙනවා වගේ දැනුනා. ඒත් මට බඩට පපුවට කකුල් වලට මදි නොකියන්න වදිනවා, මම පොලව බදා ගත්තා එච්චරයි මට මතක.






Monday, June 7, 2010

13 කොටස



නංගිගේ වචන ටික නිසා මාව හොල්මන් උනා කිව්වොත් හරි. ඒ කියන්නේ ලිහිණි දැනගෙන හිටියාද මම මෙයාගෙ අයියා කියලා,

" තමුසේ කොහොමද දන්නේ...?
" ලිහිණි අක්කා  අද මට කිව්වා එයා කතා කර කර හිටියේ ක්ලාස් එකේ තෙනුර කියලා කොල්ලෙක් එක්ක කියලා.."
"ඉතිං...?" මගේ කම්බුලේ කැරකුණ තරු ඔක්කොම වාෂ්ප වෙනවා මට දැනුනා
"ඉතිං මම මොකුත් කියන්න ගියේ නෑ.... මම සද්ද නැතුව හිටියා....?" බුදු අප්පොච්චිගේ අම්මේ මෙයින් ගියා ඇති, මෙය කිව්වනම් එහෙම මට ආයේ මූණ ගලවලා අතට අරං සාක්කුවේ දාගෙන තමයි එයා ලඟට යන්න වෙන්නේ.
" තමුසේ මොලේ පාවිච්චි කරලා වැඩක් කරලා තියනවා... ගැහුවට මට සමා වෙනවා" ඒක නම් මම කිව්වේ බොක්කෙන්
"ඒකට කමක් නෑ.... ඔයා මාව තාත්තාගෙන් බේර ගත්තානේ"
"ඒත් වැඩි හුරතල් ඕනෙ නෑ..."
"ඔයාට මම දෙයක් කියන්නද? "නංගි මට ලං උනා. මට ඒ ලං වෙච්ච ලංවිල්ල නං ඇල්ලුවේම නෑ
" මොකද්ද?"
" ලිහිණි අක්කා එක්ක අයියාගේ සම්බන්දයක් තියනවා නම් ඒක අත අරින්න.... එයාගේ තාත්තා හරිම නපුරුයි. පාතාලෙටත් සම්බන්දයි. ඉස්සල්ලා ලිහිණි අක්ක එක්ක යාලූ වෙලා හිටිය අයියාවත් කොහෙටද ගෙනිහින් හොඳටම ගහලා. අන්තිමට එයා ලිහිණි අක්කාව අත ඇරියා" මේක නම් රොයිටර් එකට හපං... ඔක්කොම බලං හිටයා වගේ වාර්ථා කරන්නේ. මේ ගෑනුන්ට තියන ඕපාදූප හොයා ගැනීමේ හැකියාව නම් මාරයි. අම්මපා අපිට නෑනෙ ඔහොම හැකියාවක්.
"තමුසේ බී බී සී වගේනෙ.... මගෙ ඇති සම්බන්දයක් නෑ..... එයා මොකෙද්ද අයියෙකුට ලියුමක් ගෙනිහිං දෙන්න කිව්වා... එච්චරයි"
"අනේ දෙයියනේ.... පොඩි අයියා ... ඔයා ඒක ගිහිල්ලා දුන්නද?'
"ආයේ අහලා.. බාර ගත්ත වැඩක් මම කරන්නේ නැතුව ඉදලා නෑනෙ"
"ඔයා නම් ලොකු අමාරුවක වැටෙනවා පොඩි අයියේ... " නංගිගේ මූණ දම් පාට උනා. මම ඉතිං ආයෙත් භූතයෙක් වගේ එයා දිහා බැලුවා.
" ඒ මොකෝ.... " 
" මෙවන් අයියා ලිහිණි අක්කාට දැං ආදරේ කරන්නේ නෑ. ලිහිණි අක්කාගේ තාත්තාගෙන් ගුටි කෑවට පස්සේ එයා පොරොන්දු වෙලා තියනවා ලිහිණි අක්කා කරන හැම දෙයක්ම ඔත්තු බලලා එයගෙ තාත්තාට දන්වනවා කියලා."
බුදු අම්මේ ඔය වෙලා තියෙන්නෙ හාල් ගරන කේස් එකක්. නොදකිං මම නං අත දැම්මොත් දාන්නේ බඹර කූඩෙකට. දැං මොකද කරන්නේ.
" තමුසෙ ඕවා කොහොමද දන්නේ.."
" මට ඔය හැම දෙයක්ම කිව්වේ භානුක..." නංගි බිම බලා ගත්තා. ඒ ඇක්ෂන් එක නම් මට පොඩ්ඩක්වත් ඇල්ලුවේ නෑ
" ලිහිණිගෙ මල්ලිගෙයි තමුසෙගෙයි මොකද්ද තියන ගනුදෙනුව"
"අපි හොඳ යාලූවෝ..."
"ඇත්ත කියනවා...."
"භානුක එයාගෙ අක්කා ගැන ගොඩාක් හිතනවා. එයා අක්කාට ගොඩාක් ආදරෙයි. අක්කාට වෙන අසාධාරණේ එයාට බලං ඉන්න බෑ. "
"වට වන්දනාවේ යන්නේ නැතුව කියන දැයක් හරියට කියනවා... කරන්න පුලුවං සප් එකක් දෙන්නං"
"ඔය ඇත්තමද පොඩි අයියේ..... "
" හ්ම් හ්ම්... මොකද්ද කියනවා දැං සීන් එක"
"අපි අතරේ පොඩි සම්බන්දයක් තියනවා...."
"තමුසෙ මට පරිස්සම් වෙන්න කියලා ඔය කරන්න හදන්නේ තමන්ගේ වල තමා විසින්ම කපා ගැනීමක්නේ"
"මම දන්නවා, ඒත් මට ඒක නවත්තන්න බෑ... ලිහිණි අක්කාත් ඒ බව දන්නවා. එයා අපි දෙන්නට උදව් කරනවා"
"තමුසේ අමාරුවේ වැටෙන්නෙ නෑ කියලා හොඳටම ෂුවර්ද?"
"භානුක නරක කෙනෙක් නෙවෙයි.... එයාට එයාගෙ තාත්තාගෙ ගතිගුණ කිසි දෙයක් නෑ. ඉගෙනගෙන ඉවර වෙලා එයා රට යනවා කිව්ව ඊට පස්සේ මාව එහාට ගෙන්න ගන්නවා කිව්වා."
අම්මට සිරි මුන් ගිහින් තියන දුර. මොනා උනත් දැන් නම් සිරාවටම මේකි ගැන පව් කියලා හිතෙනවා. කමක් නෑ මොනා උණත් මම නංගිට සප් එක දෙන්න එකඟ උනා. ලිහිණිගෙ ප්‍රශ්නෙන් ගැලවෙන්න මම ප්ලෑනක් ගහන්න ඕනෙ. අහක යන තොප්පි වලට ඔලුව අල්ලුවාම මෙහෙම දේවල් වෙනවා. 
"පොඩි අයියේ.... මම කිව්ව කිසි දෙයක් ලිහිණි අක්කා එක්ක කියන්න එපා. එයා සෑහෙන්න හිතෙන් විඳවනවා."
" පිස්සුද ඕයි .... මීට පස්සේ එයා බලන පැත්තකටවත් මම යන්නේ නෑ. මගෙ ඇටකටු කුඩු කරගන්න මට ඕනෙ නෑ."
"එයා තෙනුර කියල කියද්දි තිබුණෙ ලොකු පැහැදීමක් "
ඔන්න ඉතිං ආයේ වචන හඳුන්පොතේ ලියවුනා. ලිහිණි කියන්නේ මගේ ජීවිතෙ මාත් එක්ක අඩුවෙන්ම කතා කරපු කෙල්ල. ඒත් පිස්සු හැදෙනවානෙ එයා ගැන අහන හැම වචනයක්ම මගේ බොක්කේ තැම්පත් වෙනවා ගිනි පොලියට.







Thursday, June 3, 2010

12 කොටස



මල පැනීමෙ වෙලාවක් කලාවක් තියෙන්නෙ ඕනෙනෙ. අඩු ගානෙ තැනක් නොතැනක් මොනා උනත් මේක මට අලුත්ම අලුත් අත්දැකීමක්.... මම කවදාවත් නංගිගෙවත් අක්කාගෙවත් කඩ වල සීනි කිරන්න යන්නෙ නෑ. එයාලා එයාලාගෙ ලෝකෙ, මම මගේ ලෝකෙ. නංගි කොල්ලෙක් එක්ක ගියාම මට පාඩුවක් වෙන්නේ නෑ කියලා දැන දැනත් මම නළුව වෙන්න ගිය එක තමයි මෙතන අවුල. මොනා උණත් දැං මගේ අතත් පුපුරු ගහනවා.

"මොකද බං උඹට ඇත්තටම උනේ...?" සිකා මගේ කර වටේ අත පටලෙව්වා. මටවත් පැහැදිලි නෑ මට උනේ මොකද්ද කියලා. මගේ බොක්කම අවුල් වෙල.... හිතනවට වඩා හයියෙන් හිතෙනවා. 


" නංගි කොල්ලෙක් එක්ක දැක්කාම මොනා උනාද දන්නෙ නෑ බං." මම බොක්කෙ එකයි හක්කෙ එකයි තියාගෙන කතා කරන එකෙක් නෙවෙයි. 



"ඒත් උඹ මෙච්චර කාලෙකට ඔහොම හැසිරෙනවා මම දැකලා නෑ" බුවාගෙ කතාව ඇත්ත, මම හරිම සීලාචාර විදියට පාරෙ තොටේ ගිය එකෙක්. මහා පාරෙ කෙල්ලෙකුට අත උස්සනවා තියා හීනෙන්වත් එහෙම කරන ජාතියෙ එකෙක් නෙවෙයි. 

"මමවත් දන්නේ නෑ බං මට මොනා උනාද කියලා... සිරාවටම උන්න තැන අමතක උනානෙ"

" උඹ තාම අර කෙල්ල ගැන හිතනවා" ඒ කිව්වේ ටොලා. මම ඒක පිලිගන්නවා. ඒත් එයාට පුලුවන්ද මගෙ මුළු ආත්මෙම මෙහෙම කණපිට හරවන්න. එකම එක දවසක් වචන දෙක තුනකට වඩා කතා නොකරපු කෙල්ලෙක්. මම ඒක නම් පිලිගන්න කැමති නෑ.

" උඹට පයිත්තියන්ද?, මොනා උනත් මට වල බහින්න ආසාවක් නෑ... මම යනවා ගෙදර" මම ආපහු හැරුනේ වාවගන්න බැරි හිතේ අමාරුවකින්.

"මේ වෙලාවෙ ගෙදර ගිහින් කොහොමද?"

සිකා භූත්යෙක්ගෙ වගේ මූණ හදාගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවෙ ගෙදර ගියොත් පත් වෙන අකුසලය ගැන මමත් දන්නවා. ඒත් වල බහින්න මූඩ් එකක් නම් පේන තෙක් මානෙක නෑ. 

"මට තේරෙනවා ඒත් මම මොනා හරි කර ගන්නම්... උඹලා පලයල්ලා..."

මම ආපස්සට ආව බස් එකකට අත අල්ලලා ගොඩ උනා. මම බස් එකෙ එල්ලිලා බලද්දිත් අපේ සෙට් එකම මගෙ දිහා බලන් ඉන්නවා වඳුරෝ සෙට් එකක් වගේ. නෝණ්ඩියක් කිණ්ඩියක් නැතුවම මම ගෙදර ගියා. ඒ වෙනකොට නංගි ගෙදර ඇවිල්ලා හිටියේ. ඇත්තමයි මට ඒකිගේ මූණ බලන්න ලැජ්ජයි.මම කිසි කෙනෙක්ගෙ මූණ බලන්නේ නැතුව මගේ කාමරේට ගියා. කෙල්ලෙකුට අත උස්සලා මට වීරයෙක් වෙන්න කොහොමත් ඕනෙ නෑ. ඒකත් අපේ ගෙදර හුරතලීගෙ. හිටපු ඇඳුම පිටින්ම මම ඇඳේ දිගා උනා. කාටවත් කියාගන්න බැරි මොකද්දෝ එකක් නිසා මගෙ මුළු සිස්ටම් එකම ආතුර වෙලා. 

"තෙනුර..... මෙහෙ එනවා..." ඒ තාත්තාගෙ කට හඬ, මේ මහ දවල් තාත්තා මොකද කරන්නේ. දැං මම මොකද කරන්නේ.

"තා තාත්තා අද වැඩට ගියේ නැද්ද?" මට ඉබේටම වගේ ඇහුණා..

"තමුසේ නන්නත්තාරේ යනවා.. අපිට තමයි මෙතන රට්ටු කතා හදනනේ"

"මම... මම නන්නත්තාරේ... " තාත්තාට පිටිපස්සේ හිටපු නංගි දිහා බැලුනෙ මට ඉබේටම. එයාගෙ ඇස් වල කඳුළු. මේකි ඒ ටිකට හැම දෙයක්ම කනේ තියලාද..... අම්මපා... මට ඔන්න ආයෙමත් මල පැනගෙන ආවා.

" ඊයේ ක්ලාස් ඇරිලා කෙල්ලෙක් එක්ක මුකුළු කර කර ඉන්නවා අපේ අමාත්‍යංශෙ එකෙක් දැකලා. ඌම අද තමුසේ මහ දවල් කෙල්ලෙක්ට ගහනවා දැකලා. මොකද්ද මිනිහෝ මේ ලැජ්ජා නැති වැඩ, ඉස්කෝලේ අරිනවා... ඒත් යන්නේ නෑ" තාත්තාගෙ මූණේ තිබ්බෙ ගිනි පුපුරු ඇවිලෙන තරහක්. 

"ක්ලාස් එකේ එකට ඉඟෙන ගන්න කෙල්ලෙක් එක්ක කතා කරන එක වැරදක් කියල මම හිතුවේ නෑ" මම එහෙම කිව්වේ ගට අරං... කවදාවත් තාත්තා ඉස්සරහ මෙහෙම කතා කරන්න හයියක් මට තිබ්බේ නෑ.

" අනික අද මම ගැහුවේ..." නංගි පිටි පස්සෙ ඉඳං මට වැඳ වැඳ අඬනවා මට පේනවා. එයා මේ කියන්නේ මොකුත් කියන්න එපා කියලා බවත් මම දන්නවා.

"ඔව් ඔව් කියනවා කෙල්ලෙකුට අත උස්සලා ඒකත් වැරද්දක් නෙවෙයි කියලා. ඒකත් මේ මහා පාරේ..?

"තාත්තාට හැමදේටම මම වැරදි.... ඔව් මම කෙල්ලෙක්ට ගැහුවා. ඒ මගෙ පෞද්ගලික ප්‍රශ්නයක්." මගේ කට අද වෙනදට වඩා මාර සැරයි, තාත්තා ඉස්සරහ මෙහෙම කතා කරන්න තරම් ගටක් ආව එක නම් මට හිතා ගන්න බැරි කේස් එකක්.

තප්පර දෙකක්වත් ගියෙ නෑ. තාත්තා පැන්න ගමන් මගෙ කම්බුලට දුන්නා පාරක් ග්‍රහලෝකාගාරයම පේන්න. ආයෙත් අනිත් පැත්තටත් වැදුනා ඒ හා සමානවම පාරක් දැන් නම් මට කලන්තේ වගේ. තාත්තාගෙන් කාලා හින්දි නලූ පාට දාන්න මට පණ නෑ. මම කැරකිලා ගිහින් ලඟ තිබ්බ පුටුවේ දඩාං ගාලා ඇදගෙන වැටුනා.

අම්මයි නංගියි දෙන්නම මාව හරස් කලා

"අනේ ඔය ඇති.... " අම්මා හැමදාම වගේ මම වෙනුවෙන් අදත් අඬනවා.

"ඔහේගේ හුරතලේ නිසා මේකා කවදාහරි හිරේ විලංගුවේ වැටිලා තමයි පස්ස බලන්නේ, බලාගෙන ඉන්නවා..." තාත්තා එතනින් එළියට ගියා.

අම්මයි නංගියි දෙන්නම මාව අත් දෙකෙන් ඇදලා උස්සලා කාමරේට ගෙනිච්චා.ඒ දෙන්නා හොටු පෙරාගෙන අඬනවා. මට තාම තරු එක දෙක පේනවා. අම්මා අඬ අඬාම කාමරෙන් පිට උනා නංගි මගෙ ලඟ දණගහලා වාඩි උනා
"පොඩි අයියේ.... මම නිසා මේ හැම දේම.."

 මම මොකුත් කිව්වේ නෑ. මේ හැම දේටම වග කියන්න ඕනේ එයා තමයි. කතා කරගන්න කටේ දත් තියනවාද දන්නෙත් නෑ මුළු හක්කම හිරි වැටිලා

"මම වැරදි ... මට සමාවෙන්න. ...."
 මම මොකුත් නොකියා අහක බලා ගත්තා

"පොඩි අයියේ... ඊයේ ඔයා එක්ක කතා කර කර හිටිය ගෑනු ළමයා ලිහිණි අක්කා කියලා මම දන්නවා.." මගෙ ඇස් එක පාරටම නංගි දිහාට හැරුණා.





Tuesday, June 1, 2010

11 කොටස




මගේ ජීවිතේ පළවෙනි පාරට මගෙ හිත හිරි වැටීගෙන ගියා. එකට වල බහින්න කැමති මගේ හිත දැං තනිවෙන්න තනිවෙන්න කියලා කෑගහන්න ගත්තා, මගේ මූණත් හුලං ගිය පැරෂූට් එකක් වගේ උනා මට දැනුනා. මේ කිසිම දෙයක් මම හිතලා කරපුවා එහෙම නෙවෙයි. මගේ වෙනස අනිත් හැම කෙනාටම නොතේරුනොත් උන් අන්ධයෝ.... ලිහිණිට මෙහෙම උනේ මම නිසාද?
" මයියා මොකද බං උඹව කළුවෙලා ගියේ..?"
" එයා ඊයෙ කතා කර කර හිටපු කොල්ලා මමයි සිකා" මට ඒක කියවුනේ මාර අහිංසක විදියට. ඒත් එක්කම මම දැක්කා සට සට ගාලා අපේ කට්ටියම මූණට මූණ බලා ගන්නවා.
" උඹ ඒකි එක්ක කතා කලේ මොන අලයක්ද?" ටොලා මගේ ලඟට ආවා.... මම මේ දැං වෙනකං වෙච්ච හැමදෙයක්ම අම්මාට තාත්තාට කියනවා වගේ ගැන්සියට කිව්වා. උන් ඔක්කොම මගෙ ඩයල් එකේ නිසා මගේ බොක්ක උන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑ.
"මයියා.... උඹ අවුල් වෙන්න එපා බං.... " ටොලා අන්තිමට මගෙ පිටට පොඩි තට්ටුවක් දාන ගමන් කිව්වා.
"මට ඒ කෙල්ලව හම්බවෙන්න ඕනෙ බං" ඒක ආසාවක්ද, යුතුකමක්ද කියන එක නම් මට තේරෙන්නේ නෑ. ඒත් මට හිතෙන්නෙම මේ සිද්ධිය කොනක හරි මමත් ගෑවිලා ඇති කියලා.
" උඹට මෝල්ද?" සිකාගෙ මූණ දෙක උනා
" උඹ මේ අස්සේ කෙල්ලව හම්බ උණොත් අම්බානකට කන්න වෙනවා.... කොහෙන් කන්න වෙයිද කියන එක තමයි ෂුවර් නැත්තේ...?" බුවා ටික වෙලාවකට පස්සේ කතා කලා
" බුවාගේ කතාව ඇත්ත තමයි මයියා... අපි පොඩ්ඩක් බලමු.. අනික මේ සීන් එකට උඹ කොහොමත් අදාල නෑ.. මේක පවුල් ප්‍රශ්නයක්" සිකාත් බුවාට හවුල් උනා. 
එක අතකට මුන් මට මේ කට පාඩම් කරවන පාඩම හරි. මේකට මගේ සම්බන්දයක් නෑ... ඒත් හිතේ මොකද්දෝ එකක් හිර වෙලා තිබුනා මක්කරලාවත් එළියට දාගන්න බැරි.
අපි ඉස්කෝලෙන් පැනලා විහාර මහාදේවි එක පැත්තට පයින්ම ගියා. 
" මයියා...මයියා..... අර බලපං..." ටොලා පෙන්නන පැත්ත මමත් නිකමට වගේ බැලුවා. මගේ ඇස් අදහාගන්න බෑ. නංගි තව පොරක් එක්ක... මට උන් හිටි තැන් පවා අමතක උනා මම එතනට පැනගෙන දුවගෙන ගියේ අනිත් උන් මගේ පස්සෙන් පන්නද්දි


" තමුසේ ක්ලාස් යනවා කියලා..." මම නංගිව ඇදලා අරගෙන පාරවල් දෙකක් විතර කම්බුලට ගැහුවා. මට කොහෙන් මල පැන්නද දන්නේ නෑ. මට මොනා වේගෙන එනවද දන්නේත් නෑ. මගේ හැසිරීම නම් බිංදුවයි. වටේ හිටිය දෙතුන් දෙනෙක්ම කටවලුත් ඇරගෙන මගේ දිහා බලාගෙන හිටියා.හිංදි පිච්චරයක් වගේ. අර හිටපු පොරත් සෑහෙන්න බය වෙලා. නංගි ඉකි ගගහා අඬන්න ගත්තා. සිකා ඔළුවෙ අත ගහගෙන මගේ දිහා බලාගෙන හිටියා.
" ඔයාට වැරදිලා... ෂවිනි මේ ආවෙ මගෙ අක්කා හොස්පිටල් එකේ හින්දා බලන්න. මට නෝට්ස් ටිකත් අරන් ආවේ.." අර පොර හොල්මන් වෙලා කියවගෙන ගියා. නංගි ඉකි ගහ ගහා වටපිට බැලුවා.
" තමුසේ ගෙදරට කියලා එන්නේ ක්ලාස් යනවා කියලා.. අන්තිමට එක එකාට නෝට්ස් අරං ඇවිත්.... ලැජ්ජා නැද්ද?" මගේ මල තවමත් එහෙමමයි. මට හිතෙන්නේම නංගිවට තවත් අත බදලා දෙන්න. මගේ අත ආයේ ඉස්සුනා
" අනේ ගහන්න එපා පොඩි අයියේ... භානුකගේ අක්කා ඊයේ බෙහෙත් වගයක් බීලා ජීවිතේ නැති කරගන්න ගිහිං.... මම අද ගෙදරටත් කියලයි හොස්පිටල් ආවේ" නංගි මට වැඳගෙන අඬන්න පටන් ගත්තා. මගේ පපුව හෝස් ගාලා ගියා. මම අර පොර දිහා බැලුවා. මිනිහත් බිම බලාගෙන.
" දැං යනවා ගෙදර...?" ඒත් මම ටිකක් සැරෙන් කිව්වා.. නංගි අඬ අඬාම අර පොර දිහා බැලුවා.
" ලිහිණි අක්කාට කියන්න මම හෙටත් එනවා කියලා එයාව බලන්න" නංගි එහෙම කියගෙන බිම බලාගෙනම බස් ස්ටෑන්ඩ් එකට ගියා. නංගිගේ අන්තිම වචන ටික මාව තවත් හොල්මන් කලා. ලිහිණි .... ඒ කියන්නේ නංගි ගියේ ලිහිණි බලන්නද? මගේ දෙලොව රත් උනා.