පිටුව

Monday, May 31, 2010

10 කොටස




උන් හිටි තැන් පවා නැති වෙලා යන විදියේ වැඩක් වෙලා වගේ දැනෙන්න ගත්තා. දැං මම මොකද්ද කරන්නේ.
" කලිසම හෝදන්න දැම්මා කියලා ඔය තරම් මූණ එල්ල ගත්තේ මොකො...?" 
අම්මත් ඉතිං මේ වෙලාවට වාද බයිලා ගහනවා. මම මොකුත් නොකියා කාමරෙන් එලියට ගියේ වතුරේ දැම්මා කියන කලිසම හොයාගෙන. ඒක දැක්කාම මගෙ හිත කඩාගෙන වැටුනා. මම ඊයේ මේක ඇඳගෙන හිටියේ මොන තරම් සන්තෝසෙන්ද? මම කලිසම් සාක්කු අස්සට අත දාලා බැලුවා. අනේ අර මගේ කලිසම අස්සේ තිබ්බ කොල කෑලි දෙකම වතුරෙන් පෙඟිලා පාප්ප වෙලා. දුකේ බෑ. ඒකෙ අකුරක් තියා මොකවත් හොයා ගන්න බෑ. මම ඒ කොල කෑලි දෙක දිහාම බලල හොඳවයින් හුස්මක් ඇරියා. එක අතකට මෙහෙම උන එක හොඳයි. මේ ලියුම දෙන්න ගිහින් චාටරයක් වෙනවට වඩා හොඳයි මෙහෙම උන එක. එහෙමවත් හිත හදා ගෙන මම සුපුරුදු පරිදි ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා.
" මයියා.. මෙන්න සල්ලි" අක්කා මගේ කාමරේට ආවා
"සමාවෙන්න මට ඔයාගෙ වැඩේ කරන්න බෑ" මම අක්කාව මඟාඇරලා යන්න හදනකොට අක්කා මගේ අතකින් අල්ලගත්තා
" කවදාවත් නැතුව තමුසේ අද සෑහෙන්න අප්සෙට් එකේ... මොකද්ද කේස් එක තාත්තා බැන්නද?" අක්කා කවදත් මගේ හිත කියවන එක හොඳටම කරනවා. මම අක්කා දිහා බලද්දිත් ලෝකෙ පාළු වෙන්න හුස්මක් පිට උනා.
" කවුරුත් මට මොකුත් කිව්වේ නෑ. තමුසෙගෙ අර තුන්ඩු කෑල්ලත් එක්ක අම්ම මගේ කලිසම හෝදලා"
අක්කා මගේ ඇස් දෙකටම එඹුනා. 
" මගේ තුන්ඩු කෑල්ල නිසා නම් නෙවෙයි තමුසේ මේ හූල්ලන්නේ.... අර ලියුමත් වතුරෙද?" අක්කා තවත් හොඳට මගේ ඇස් දෙක දිහා බැලුවා. මම කිව්වේ අපේ අක්කට බැල්ලියෙක්ට වගේ ඉව තියනවා.මම හින් සැරේ මොකුත් නොකියා ගෙදරින් පිට උනා.
වෙනදාට වඩා ඉක්මනට මම ඉස්කෝලෙට ආවා. අපේ සෙට් එකේ එක්කෙනෙක්වත් පේන්න හිටියේ නෑ. මම හිමින් 13 වසර පැත්තට පා උනා. 13 වසර පොල් මෝරු දකිනකොට ආපස්සට හැරෙන්න හිතුනත් අර පිරිමි මොකද්ද එක දාල මම එක අහිංසක වගේ පොරකට කතා කලා.
" මෙවන් අයියාව දන්නවාද?" මම මේ ඉස්කෝලෙ ඉගෙනගත්තා කියන්නත් ලැජ්ජයි. අඩු ගානේ මේ ඉන්න එක හාලපාරුවෙක්වත් මම අඳුනන්නෙ නෑනෙ.
" මෙවන්... අර ඉන්නේ.. තමුසේ මොනාටද මෙවන්ව හොයන්නේ..?" එකෙක් කතා කලේ ඌ මෙවන්ගේ බොඩි ඉන් චාර්ජ් වගේ.
" නිකං .... පොඩි පණිවිඩේකට"
" මෙවන් මෙන්න උඹට පණිවිඩයක් කියන්න සීනි බෝලයක් වගේ වීරයෙක් ඇවිල්ලා..." අර හිටපු අහිංසකයත් මට කැපිල්ල දැම්මේ බෙල්ල මුලින්ම කැපිලා යන්න. මම නම් අමු චාටරයක් වෙනවා. මම අයේ අනිත් පැත්තට හැරුනා. මුන් එක්ක කතාවට යන්න මම කැමති නෑ. අනික අද කොල්ලගේ මූඩ් එකත් කචල්.
" ඕයි මොකද තමුසේ මාව හෙව්වේ..." මට යන්න ඇරලා මගේ ලඟටම ඇවිත් අරූ කතා කලා. අර හිතේ තිබ්බ වීරකම් වෙන්දේසි වෙලා වගේ අසරණ කමක් හිතට එන්න පටන් ගත්තා.
" අයියා හිරාන්ව දන්නවාද?" කියන්න ගිය එක නෙවෙයි ඉතිං මට කියවෙන්නේ. ඒත් කමක් නෑ මගේ ඔහේ කියවෙන වාචාල කමට මම තැන දුන්නා.
" කවුද හිරාන්...?"
" හිරාන් ලිහිණිගේ පස්සෙන් වැටිලා.. එයාගෙන් ලිහිණිට හරි කරදර කියල කියලා යන්න ආවේ..." කවදාවත් කියන්න හිතපු දෙයක් නම් නෙවෙයි මගේ කටෙන් පිට උනේ... අම්මපා මගේ කටත් හොඳයි ජාඩි දාලා ඇඹුල් තියල් හදන්න.
" තමුසෙ ලිහිණිව දන්නේ කොහොමද?"
" මගෙන් ප්‍රශ්න අහන එක නවත්තලා මොනා හරි කරන්න? " මම ආපහු හැරිලා අඩියට දෙකට තාප්පෙ පැත්තට මාරු උනා. ඇත්තටම මට හිතා ගන්න බෑ මම මොනාද කලේ කියලා. ඒත් හිතුවට වඩා හොඳට වැඩේ කෙරුණා.මමත් හොඳ ජීනියස් පොරක්නේ බලාගෙන යනකොට. මම තාප්පෙ ලඟට යනකොට සුපුරුදු පරිදි අපේ සෙට් එක තාප්පෙ වටේ ඉන්නවා මම එනකං.
" අඩෝ මයියා.. උඹ කොයි වෙලාවෙද ආවේ..?" සිකා මාව දැකලා හොල්මනක්ව පණපිටින් දැක්කා වගේ බලාගෙන ඉන්නවා.
" ටිකක් වෙලාසනින් ඉස්කෝලෙ ආව බං"
" මයියා උඹට සීන් එකක් තියනවා කියන්න " බුවා හෙමින් මගේ කර වටේ අත එතුවා
"මොකද්ද?"
" ඊයේ ඉකෝන් ක්ලාස් ආපු කෙල්ල අද හොස්පිටල් ලු"
" ඒ මොකෝ?" මට මේ සරේ නම් ඇති උනේ මාර දුකක්
" අර අපේ පන්තියේ ඉන්න ගයාන් ඉන්නේ ඒ කෙල්ලගේ ගෙවල් ලඟලු. ඊයෙ පන්තිය ඉවර වෙලා ඒ කෙල්ල කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා එයගෙ තාත්තා දැකලා. ගෙදර ගිහින් හොඳටම ගහලා. ඒ ගහපු එකේ තරහට මේකි පැනඩෝල් පෙති හැටක් විතර ගිලලා" බුවාගෙ කතාවෙන් මගෙ ඇඟ හිරි වැටිලා ගියා. ක්ලාස් ඉවර වෙලා එයා කතා කලේ මාත් එක්ක. එයා අද... අනේ දෙයියනේ මේ මොන හෙන ගෙඩියක්ද?














Sunday, May 30, 2010

9 කොටස


යන්තං එළිය වැටීගෙන එනකොට මට හීනියට වගේ යටිගිරියෙන් කෑ ගහන සද්දයක් ඇහුණා. හීනෙන්ද ෂුවර් නැති නිසා මම ඇස් දෙක අරින්න කලිං අහගෙන හිටියා. හත්වලාමේ මේ කෑ ගහන්නේ අපේ අම්මානේ. නංගිගේ කට හඬත් ඇහෙනවා, මොකද්ද මේ සීන් එක. මමත් ඉතිං මේ ගෙදර තවම පිරිමිකම ප්‍රදර්ශනය කරලා නෑනෙ. ඔන්න ඔහෙ ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා මමත් ඒ පැත්තට පා උනා. මේකත් මාව ඇහැරවගන්න කරන වැඩක්ද කියලත් මට සැකයක් එමින් තිබ්බේ. කුස්සිය එඹිකම් කරද්දි අපේ අම්මා මේසෙ උඩ ඉඳගෙන, නංගි ඒ මේසෙම උඩ හිටගෙන, අක්කා පුටුවක් උඩ හිටගෙන. තාත්තා කොස්සක් අරගෙන මුලූ අස්සෙ ඉව කරනවා. මේ මොකද්ද මේ සීන් එක. නිදිත් මතයි.
"ඔයාල කාවද හොයන්නේ....?" මම ඔහේ ඇහුවා.
" අනේ මයියා.. කුස්සියට මීයෙක් ඇවිත්..." අක්කා අඬන්න වගේ කියනවා. යකෝ මීයට මෙච්චර බය නම් අපිට මෙයාල කොච්චර බය වෙන්න ඕනෙද?.
" මීයෙක්....?" මට ඉබේටම හිනා ගියා.
" ඔතන මෝල් ගහක් වගේ ඉන්නේ නැතුව ඇවිල්ලා මට උදව් වෙනවා මේ යකාව හොයා ගන්න... මෙතන මල ගෙයක් වෙන්න කලිං" තාත්තා සුපුරුදු පරිදි මගේ ඇඟට කඩාගෙන පැන්නා. අනේ මේ අහිංසක මම.... කොහේ ගියත් අහු වෙන්නෙම චාටරේකට.
" ඉතිං මම කොහොමද මීයෙක් හොයන්නේ.... ඌ මොන පාටද? ඇඳගෙන හිටියේ මොනාද මොකුත් දන්නේ නැතුව" මම හෙමින් කිව්වේ තාත්තාට ඇහෙන්න නෙවෙයි, ඒත් ඒක ඇහුන අක්කාට බකස් ගාලා හිනා ගියා.
" මොනවද හරකෝ කරන්නේ... මෙහෙට එනවා ඇවිල්ලා අර කබඩ් එක අස්සේ බලනවා..." තාත්තාට මල පැනලා.. මාත් එක්කද මීයත් එක්කද කියලා දෙයියෝ තමයි දන්නේ...කමක් නෑ ඉතිං මමත් මී ඉන්වෙස්ටිගේෂන් එකට සහභාගි උනා. ඒත් මීයෙක් තියා මී නැට්ටක් වත් හොයා ගන්න නෑ. තාත්තාටම ඇති වෙලා මේස පුටු අරක්ගෙන ඉන්න බවලත් පාර්ශවේ දිහා බැලුවා.
"ඌ කොහෙට හරි වෙලා ඇති මම අද එනකොට මී කතුරක් ගේන්නම්කෝ" තාත්තා වැඩේ ලස්සනට ඉවර කලා. ඔයින් ගියා මදෑ... මගෙත් උදේ පටන් ගත්තේ මී චාටර් එකෙකින්. අද දවස මොනා වෙයිද දන්නේ දෙයියෝ තමයි. අර කාලකණ්ණියාව හොයලා මට අම්බානකට මහන්සියි. මම කාමරේට ආවා.


ඉස්කෝලේ යන්නත් තියන නිසා දත කට මැද ගන්න යන්න කලිං කලිසමයි ෂර්ට් එකයි ලෑස්ති කරන්න බැලුවා. කිරිඅප්පගේ හත්මුතු පරම්පරාවටම බල්ලෝ බුරපි කිව්වාලු කෝ මගේ කලිසම. මට අර ඇම්ඩන්ට වගේ තුන්ලෝකෙම සිහි උනා. හුස්මත් නැවතෙන සීන් එකක් වෙන්නේ..
" අම්මේ............. අම්මේ............" මම කෑ ගහන්න ගත්තා. මගේ ලතෝනියට අම්මා ආවෙ කොස්සකුත් අරං.
" අර මීයා ඔය කාමරේද?" මෙයා මේ කෙහෙල්මල් මීයෙක් ගැන කතා කරනවා.
" මීයෙක් නෙවෙයි අම්මේ.. මගේ කලිසම කෝ" මට ටික වෙන්න තද උනා.
" ඔය ඇඳං ඉන්නේ..." අම්මා මම ඇඳං හිටපු ෂෝට පෙන්නවා. අනේ මන්දා අම්මටත් මී උණද කියලා.
"ඇඳං ඉන්න එක නෙවෙයි ඊයෙ ඇඳගෙන ගිය සුදු කලිසම" දැංනම් මට මල හොඳටම පැනලා
" මම ඒක වතුරේ දැම්මා හෝදන්න.... අර මඩ පාට කලිසමම ඇඳගෙන අදත් ඉස්කෝලේ යන්න පුළුවංද?
මලා... දැං මම මොකද කරන්නේ....? ලිහිණි..... ඔන්න ඉතිං මට ආයෙත් ඇඬෙන්න වගේ ආවා.
" ඇයි මට කිව්වේ නැත්තේ..." මට එහෙම කියවුනේ කිඳිරි ගෑවෙන ගමන්. මගේ ඇඳුම් හෝඳන එක මහා පුණ්‍යකර්මයක් උනාට දැං මට වෙලා තියන පාපකර්මය ගැන හිතල හිතලා තවත් හිතුවත් පිස්සු හැඳෙන සීන් එකක් තමයි.











Thursday, May 27, 2010

8 කොටස



මේ ගෑනු කියන ජාතියට නම් ෂුවර් එකට ඉව තියනවා. මගේ මොළේ ලිහිණි කියපු නම රෙජිස්ටර් උන ගමන්ම නැත්නම් මෙයා දැන ගන්නේ කොහොමද?
" මම දන්නේ ඇති සැළලිහිණියෙක් නෑ.... තමුසේ ඒ පාර මොකාටද එන්න යන්නේ"
" එහෙනම් මේ ලියුම තමුසෙගේ සාක්කුවට ආවෙ කොහොමද" අක්කා අර පෙම් හසුන අතේ තියන් අල්ලන් සෙල්ලම් කරනවා. මලා ඉතිං දැං උත්තර දීපංකෝ
" මො මොන ලියුමද" දිව ගිලෙන්න එනවා වගේ වෙලා වචනත් පැටලෙනවා
"මයියා මට ඇත්ත කියපං.... ඇත්තටම ඇයි මේ කෙල්ලව තමුසේ මේ තරම් අඬවන්නේ... මේවා පව් වැඩ" ඒ පාර මෙයා මොනාද කියන්නේ.... මම එයාව අඬවනවා. අම්මපා මෙයට අමු කැවිලාද? 
" තමුසෙට පිස්සුද ඕයි...ඔන්න ඕක දෙනවා... බයිලා ගහන්නේ නැතුව"
" ඕවා පව් වැඩ මයියා.... "
" බණ කියන්නේ නැතුව දැං මෙතනින් කැපෙනවාද? "
" ඔන්න මට අමතක උන එකකුත් අර ලිස්ට් එකේ ලියලා ඔයාගේ සාක්කුවටම දැම්මා." අක්කා කාමරෙන් පිට උනේ මගේ අතට ලියුමත් දෙන ගමන්. මගේ වෙලාවට මේක ලොකු සහෝදරී අතට ගියේ. පොඩි බඩුව එහෙම දැක්කා නම් මෙලහට මේකට අපේ තාත්තා උත්තර ලියනවා.මම හයියෙන් හුස්මක් අරං ලියුමත් අරන් ඇඳට ගියා. අනුන්ගේ ලියුම් කියවන එක මහා විලි ලැජ්ජා නැති වැඩක්, ඒත් ඉතිං මට ලැජ්ජාව එච්චර නැති නිසා ලියුම කියවන්න ගත්තා.
මෙන්න මෙහෙම තමයි ඒකෙ තිබ්බේ


ඔයා මට මෙහෙම කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. ඔයා නිසා මගේ ඉගනීමත් නැති වෙන්න තිබුණා. අද ඔයා වෙන කෙනෙක් එක්ක හොඳින් ඉන්නවා. මම අඬපු නැති දවසක් හොයා ගන්න නෑ. මම දැං කොහෙ ගියත් ඉන්නේ යන්නේ හිර කාරියක් වගේ. දැං මම යන හැම ක්ලාස් එකටම හිරාන්ව එවනව මගේ ඔත්තු බලන්න. මේ ඔක්කොම මට ලැබුනේ ඔයා නිසා. ඒත් මගේ නිදහස බල්ලට දාල ඔයා වෙන කෙල්ලෙක් එක්ක සතුටින්. මේවා ඔයාට පල දෙනවා. 
මට ඔයාට ආදර ලියුමක් ලියලා අඬන්න බෑ. ඔයා ගැන මට තියෙන්නෙ තරහක්. මට මෙහෙම කලාට ඔයාට කවදාවත් සතුටක් ලැබෙන්නෙ නෑ. මම අඬන හැම වාරයක් පාසාම ඔයාට සාප වෙනවා


මීට 
ලිහිණි


අප්පොච්චිගේ අම්මේ... මේක ඇවිල්ල මරණ දැන්වීමක් නේ. මේවාට අත දාන්න ගිහිල්ලා ලුණු ඇඹුල් නැතුව කන්න වෙනවා. ඒක නම් ෂුවර්. ඒත් මේ කෙල්ල ගැන මගේ හිතට මොකද්දෝ මෙව්වා එකක් රිංගන්න හදන්නේ. අනේ පව් කියවෙන්න එනකොට මම හිතලා ඒක නවත්ත ගන්නවා. කෙල්ලොන්ට අනුකම්පා කරන්න හොඳ නෑ. අන්තිමට භූමි කම්පා තමයි. අපේ කොල්ලෙක්ට කෙල්ලෙක්ගේ තර්ජනාත්මක ලියුමක් ගෙනියන්න තරම් මගේ පිට කොන්දේ අප්සෙට් එකක් නෑ. අනේ මන්දා. මේවාත් ලොකු ප්‍රශ්න නෙවෙයි. හෙට මොකද වෙන්නේ කියලා බලමුකෝ...
මම ලියුම කලිසම් සාක්කුවට දාලා ටික වෙන්න ඇස් දෙක පියා ගත්තා. මට එක පාරටම අර ලිහිණිව පෙන්න ගත්තා. දඩාස් ගාලා ඇස් ඇරියා. ඒ පාර මට මේ වැහෙන්න යන භූතයා මොකාද. මොකා උණත් එන්න යන පොට නම් ෆුල් කචල්. මට මහා මොකද්දෝ වගේ සෙන්ටිමෙන්ටල් සීන් එකක් දැනුනා





Wednesday, May 26, 2010

7 කොටස



ගුලි කරලා ඈතට විසි කරපු ලියුම ගැන මට ටික වෙන්න දුකක් එන්න පටන් ගත්තා. හිමින් සැරේ වටපිටාවට ඇන්ටනාව දාන ගමන් මම ඒක අහුලගෙන සාක්කුවේ දා ගත්තා.මම කොච්චර ඔය අබ්ලික් වැඩ කලත් ඔය වගේ ඒවා කලාම හඳුන් පොතට මොනාද මොනාද වෙනවා. කටකපලා ආව අපේ පාරේ බස් එකේ ෆුට් බෝඩ් එකට මම මගේ දකුණු කකුලේ ඇඟිලි ටික රිංගවගත්තෙත් මාර ගේමක් දීලා
ගෙදර යනකොට තාත්තාත් ගෙදර ඇවිත්. එයා ඉන්න වෙලාවට මගෙ කොහොමත් සද්දේ වැහිලා. මම ගල් ආඳා වගේ  මගේ කාමරේට රිංග ගත්තා
" මයියා..... තමුසේ අද මම එනකන් හිටියේ නෑනෙ" අක්කා මගේ කාමරෙට ආවේ උදේ ඉදං හඩු ගඳ ගහන ෂර්ට් එක ගලවනකොට
" ඒ මොකටද මම තමුසෙ එනකං ඉන්නේ... අද උදේ ඇහුනනේ අර කිඹුලි තාත්තාට කියල මාව ගෙදරින් පන්න ගන්නවා"
"වාඩි වෙයංකෝ .... මට උඹෙන් උදව්වක් ඕනේ මයියා...."
මේ පාර නම් මගේ ග්‍රහයා වැඩ කරන්නේ මගේ පරහටමයි. මෙහෙම ගියොත් මට සමාජ සේවය තමයි කරන්න වෙන්නේ....
" මේ මේ ගූ කේස් වලට යන්න නම් කියන්න එපා... මට බෑ"
" මොනවද මයියා...."
" දැං මොනාද තමුසේ මේ කියන්න හදන්නේ...."
" හෙට ඉස්කෝලේ යනකොට .... මට අර සාරියට අල්ලන්න කෝඩ් ටිකක් ගේනවාකෝ... තමුසෙගේ ගමන් වියදම මම දෙන්නම්..."
මේක බෝල්ට් ඇනයක්.... ඒත් ඉතිං අපේ අම්මත් දුක් විදලා විදලා මට කියලා අක්කෙකුයි නංගියෙකු ජාතක කරලනේ
" මම කොහොමද ඕවා දන්නේ.... මට බෑ ඔය ගෑනුන්ගේ බොත්තම් කඩ අස්සේ රිංගන්න"
" මොකද්ද මයියා... මම තමුසෙට වැඩිපුර රුපියල් 100ක් දෙනවානේ..."
වාසියනම් හොඳයි. පිච්චියක්වත් අතේ නැතිව උඩ බලාගෙන ඉන්නකොට මෙහෙම පාරක් හරි සෙට් උන එක.
" හරි හැබැයි මේවා පුරුද්දකට තියා ගන්නවා එහෙම නෙවෙයි." අක්කාගේ මූනේ මල් වෙඩි පත්තු වෙන්න පටන් ගත්තා සතුටට. මට කියල වැඩක් කරව ගන්න එක තරම් අමාරු දෙයක් අපේ ගෙදර උන්ට තියනවාද?
"මෙන්න මේකෙ ඕනෙ බඩුයි, සාම්පලුයි ලියලා තියනවා. මම දන්නාවා තමුසේ හොඳ එකා කියලා"
බටර් එකනම් පෙත්ත පෙඟෙන්නම ගන්න අක්කා දන්නවා. මාත් ඉතිං එළුවා වගේ මුලින් බෑ කියලා ආයේ භාර ගන්නවා. අනේ මන්දා සල්ලිත් දෙනවා කිව්වාම මේවා නොකරත් බෑ.
අක්කා මට හතරට පහට නවපු  කොල කෑල්ලක් දීලා එතනින් වාෂ්ප උනා.
මම ඉතිං ඒක කලිසම් සාක්කුවට දාලා. වතුර ටිකක් ඇඟට දාගන්න කියලා ගියා. අද දවස නම් අමු චාටර්.
මම කාමරේට එනකොට අක්කා මගේ ඇඳ උඩ ඉඳගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා කාලා වමනෙ යන්න එනවා වගේ
"තමුසෙ ආයෙමත් ආවද මට වද දෙන්න....?"
" කවුද මයියා ලිහිණි කියන්නේ.......?" අක්කාගෙ ප්‍රශ්නෙන් මම ෆුල් අබ්ලික් උනා. ලිහිණි කියන්නේ අර කෙල්ල නේද ? ඒක මෙයා දන්නේ කොහොමද?"




Tuesday, May 25, 2010

6 කොටස




ඇයි දෙයියනේ කතා කර ගන්නේ කොහොමද මෙයා මෙතන රහසින් වගේ මගේ නම කනට කරලා කියද්දි. මට පේන විදියට මට සිකුරයි සෙනසුරයි එකට ලබලාද කොහෙද? ඒත් ඉතිං මෙයා මගෙ ලඟටම ඇවිල්ලා මගේ නම කතා කරනකොට කොල්ලෙක් විදියට නෝකතා ඉන්න එක පෞරුෂයට කැළලක්.
" ඒ පාර මගෙ මොකද්ද වැටිලා තියෙන්නේ....." මම එයා දිහා බැලුවා. අප්පටසිරි කෙල්ලගෙ ඇස් වල කඳුළු. ඕකනෙ මට පෙන්නන්න බැරි. ඔය කෙල්ලො කියන ජාතිය කොයි වෙලාවෙත් බෙරි උන ගමන්. 
" මට ඔයාගෙන් උදව්වක් ඕනෙ" කෙල්ල මගෙන් ඇස් දෙක හංගනවා. මට හංගයි ඕවා. මම හොදට දැක්කනේ කඳුළු. කමක් නෑ ඒපාර මෙයාට මගෙන් මොනාද ඕනෙ. 
" මොකද්ද?" 
" ඔයාලාගේ ඉස්කෝලෙ ඉන්නවා මෙවන් කියලා අයියා කෙනෙක්..... එයා ඉන්නේ 13 වසර... එයාට මේ ලියුම දෙන්න පුළුවන්ද?" ඕකටනෙ කියන්නේ... කොහෙන් නැග්ගත් ගහේ දෙබලක් කියලා. මෙයාට ඕනෙ වෙලා තියෙන්නෙ මාව පියුම් කර ගන්න. මේක මට කරපු වස නෝන්ඩියක්.
"මම මොකටද ඔයාගෙ ලියුම් එක එකාට ගිහින් දෙන්නේ....?"
"අනේ.... ප්ලීස් මට මේ උදව්ව කරලා දෙන්න...." මම ටිකක් ඔරොප්පු මූඩ් බැලුවා. කෙල්ලගේ ඇස් වලින් සට සට ගාල කඳුළු වටෙනවා. ලැජ්ජා නැද්ද මන්දා පාරෙ අඬන්න. අනික දකින උන් මගේ චරිතේ ගැනත් මොනා හිතයිද මන්දා.
" ඇයි ඕක මට දෙන්නේ.... අර ඔයා ලඟ කැරකුණ තඩි සයිස් බොඩිගාඩ්ට දෙන්න තිබුණනේ... ඌත් අපේ ඉස්කෝලෙනේ...." කෙල්ල කොච්චර ඇඬුවත් මට කරන්න දෙයක් නෑ. මෙහෙම වැඩක් භාර ගන්නවට වඩා හොඳයි වහ කන එක.
" එයා මගෙ නැන්දාගෙ පුතා..... මට එයාගේ ඇහැ වහලා තමයි මේක කරන්න ඕනේ... අනේ මට උදව් කරන්න තෙනුර" මම ලියුම දිහයි කෙල්ල දිහයි බැලුවා.. පව් කියලත් හිතෙනවා අප්පා.... ඒත් මෙහෙම දෙයක් කරන එකෙන් මටයි මගේ රෙස්පෙක්ට් එකටයි මොකද වෙන්නේ... නිකම්ම නිකං පියුම්....
" පුරුද්දක් කරගන්නේ නැත්නම් භාර ගන්නම්... හැබැයි එයාගෙ ලියුම් ඔයාට ගෙනත් දෙන වගකීම මම භාර ගන්නේ නෑ.... මෙතනින් මේක කලාස් තේරුණාද?"
"මම පොරොන්දු වෙනවා... ඊට පස්සේ ඔයාට මම කරදරයක් වෙන්නේ නෑ"
" හරි ඕක මෙහෙට දෙන්න" මම එයාගේ අතේ හංගන් තියාගෙන ඉන්න ලියුම ගත්තා.
" මගේ නම ලිහිණි" ඒකත් එයාම කිව්වා. ඒත් එක්කම එයාගෙ වාහනේ ඈත එනවා දැකලා ඒ පැත්තට දුවගෙන යනවා මම දැක්කා. මම ලියුම දිහා බැලුවා. ෂිඃ විතරක් මගෙ පිරිමි කම; අර ටොලාගේ ගෙදර බල්ලාටත් අති මට වඩා පිරිමිකම. අම්මපා සාය කෑල්ලක් දැක්කොත් මමත් ඉතිං ඕවර් යනවා. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.දැං මේක දෙන්න එපෑ අර හාල්පාරුවාට. නෑ මම මේක මෙතන විසි කරලා යනවා. ඇහුවොත් දුන්නා කියනවා. මම ලියුම ගුලි කරලා විසි කලා....





Monday, May 24, 2010

5 කොටස

මොන තරම් පඬි වදන් මට ආවත් මේ පාර නම් මාව කොරම උනා. මට මගේ නම වත් ෂුවර් නැති උනානේ, ඔක්කොටම වඩා ෆුල් හොල්මන් උනේ අපේ උන්ගේ කටවල් දැකලා. කෙල්ලෙකුට මෙහෙම බය වෙලා හරියනවාද. මම ගට ඉස්සරහට දාලා එයා දිහා බැලුවා.බුදු අම්මේ බලන්නම බෑ. ඒත් බැලුවා
" මම ....., ඇයි?" වචන හරියට පිට උනාද දන්නේ නෑ.
එයා ලස්සනට හිනා උනා. හීනියට දාල තිබ්බ දාඩිය දැකලාද දන්නෙත් නෑ. මට නිකං ඇඬෙන්න වගේ
" ඔයගේ අයි. ඩී එක බිම වැටිලා." හුස්ම ගන්න පටන් ගත්තේ දැං තමයි මම, මගෙ හිතේ. 
ඒත් එක්කම කන පැලෙන්න නෝණ්ඩියකුත් ආවා.
" තෑන්ක් යු කිව්වාට... ඔයාට දැං මතකනේ මගෙ නම තෙනුර කියලා" මම නෝන්ඩිය වහ ගන්න වගේ කිව්වා. කෙල්ල නිකං අප්සෙට් උනා. ඊට පස්සේ වට පිට බැලුවා. එය එක පාරකට ගස්සගෙන වගේ අනිත් පැත්ත හැරුනා
" අනිත් පාර මගේ නම්බර් එක එහෙම බිම තිබුනොත් ඒකත් හොඳට මතක තියා ගන්න"
මමත් ඉතිං අර තැලෙනවා කියලා දැනගත්තාම පස්ස උඩ දාගෙන තලනවානේ. එහෙම තැලුවා.කෙල්ල එතනින් කැපුනට පස්සේ මම අපේ සෙට් එක දිහා බැලුවා. උන් තාමත් මගෙ හත්මුතු පරම්පරාවම ගිලින්න වගේ බලං ඉන්නවා.
"උඹ නම් අදහන්න වටිනවා මයියා...." සිකා වචන එකතු කර ගත්තා
" ඒ පාර මොකද?" 
" උඹ අපිටවත් කියන්නෙ නැතුව තනියම ගේමට බැස්සා එහෙනම්" ටොලා කලකිරීමෙන් වගේ කිව්වා.
" පිස්සුද මචං.... මේක කොයි වෙලාවෙ වැටුනද මම දන්නේ නෑ.... අරකි ඉස්සරහ නෝන්ඩි වෙන්නේ කොහොමද බං ඒකයි දිව සෙට් උන විදියට බොරුව කිව්වේ..." බුවා අයේ ජීවත් වෙන්න පටන් ගත්තා වගේ හැසිරෙන්න ගත්තා, මෙච්චර වෙලා ඌ හිටියේ එම්බාම් වෙලා වගේ
" මම සෑහෙන්න බය උනා මයියා..... උඹ ඒකිට ට්‍රයි නෑ කියපං" 
" නෑ බං.... මට උඹ වගේ කිසිම ආසවක් නෑ අර තල්මසාට කියලා ඇඟ අතපත ගාව ගන්න"
ඒත් එක්කම අර කෙල්ල අපි ඉන්න තැනින් අයේ එයාගෙ මේසෙ ලඟට ගියේ මගේ දිහා ඔරවලා බලාගෙන. මමත් නිකං හිටියේ නෑ ගත්ත ගමන් ගැහුවා කට ඇද කරලා ඇහැක්. ඒක දැකල එයාට තවත් මල පැන්න. 


කාව හරි ඔරොප්පු කරවලා මම විදින්නේ මාර සතුටක්. ඉතිං දැනුත් එහෙමයි.ක්ලාස් එක ඉවර වෙලා අපි විසිර යන්න සෙට් උනා
" උඹ හෙට ඉස්කෝලෙ එනවනේ...." සිකා මගේ කර වටේට අත දැම්මා
" නැතුව නැතුව" මම බුවාගෙ පිට දෙදරන්න පාරක් ගහලා හිනා උනා. ඒත් බුවාගෙ ඇස් දෙක තිබ්බේ අර කෙල්ල ළඟ.
" බුවා.... නෙලා ගන්න බැරි ඒවා දිහා බලන් හිටියාට බිමට වටෙන්නේ නෑ බං.... ඒකි අන්සතුයි. කාගෙවත් නෙවෙයි අර තල්මසාගෙ...." බුවා මුළු ලෝකෙම පාළු වෙන්න හීල්ලුවා.
" මම යනවා මචං...." බුවා ටොලා එක්ක පාරෙන් අනිත් පැත්තට පැනලා බස් එකට නැග ගත්තා. සිකා ජබ්බා එක්ක එතන නවත්තපු බස් එකක නැග්ගා... ඒත් මම ඉතිං දැං ඉන්න ඕනෙ මගේ බෙන්ස් එක එනකං. 


හිතන්නේවත් නැති වෙලාවක මට ඉබේටම අරයා දිහා බැලුනා. තල්මසා පේන තෙක් මානෙක නෑ. එයාත් මගෙ දිහා බලන් ඉඳලා තියෙන්නේ. මම ටික වෙන්න හිනා වෙලා ආයේ පාර දිහා බැලුවා. මේකි මගෙ දිහා බලං ඉන්නේ ඇයි?... ලඟකදි මට උණ ගැනෙන්න කන්න දෙන්නද දන්නේ නෑ. මම ආයෙත් හොරෙන් බැලුවා.. ෂිඃ..... ඒත් මේකි මගේ දිහා බලාගෙනනේ... ආයෙ මාට්ටු. මගෙ ගියර් එක වැටෙන්නෙත් නෑ මෙතනින් මාරු වෙන්න. ෂුවර් එකට මේකිට තියෙන්නේ අධි කාන්දම් බලයක්. මම ඒ පැත්ත නොබලාම හිටියා.


" තෙනුර......" කන ලඟ කටහඩක්.... මම ලාවට ඒ පැත්ත බැලුවා. ඇයි අප්පොච්චියේ මට මේ මහ දවල් ඇස් ඇරගෙන හීන පෙනෙන්නේ.... 
"තෙනුර...... ඇයි කතා කරන්නේ නැත්තේ?" එයා මගෙන් එහෙම අහනකොට මුළු ඇඟම කිලිපොලා ගියා....



















Friday, May 21, 2010

4 කොටස



ඉස්කෝලෙ ඇරනකන් මම ඉස්කෝලෙ හිටපු පළවෙනි දවස අද. ගිනස් පොතේ ලියවෙන්න ඕනෙ දවසක්. මොනා උණත් ඒකත් ඉතිං බුවාට පිංසිද්ද වෙන්න. වැස්සත් පායලා නිසා තාප්පෙන් නැතුව ගෙට්ටුවෙන් ම අපි පිට උණා. පොඩ්ඩක් ටවුම පැත්තේ රවුමක් දාල කට්ටියම දුමක් අදින ගමන් වටපිටට ඇන්ටනාව දැම්මේ අපි වගේ අහිංසකයෝ ටිකක් අද කාගේ බයිට් එක වෙයිද කියලා හිතන ගමන්. මොනා උනත් කමක් නෑ අපේ තාත්තාගෙ කනේ තියන්නේ නැතුව. 
" මයියා අර බලපංකො තල්මසා....." සිකා කන පැලෙන්න ඇන්ටනාව දාගෙන ඉන්නවා, උගෙ පංචස්කන්ධයම ඒ පැත්තට මීටරේ වැටිලා. අපිත් ටික වෙන්න ඒ පැත්ත බැලුවා.
" අනුන්ගෙ කඩ වල සීනි කිරන්න එපා බං" ටොලා සිකාගෙ ඔලුවට පාරක් ගැහුවා.
" ඌ එතන ඉන්නේ නම් අමුතුම ගේමකට.... පැණි පෙනුමකුත් තියනවා" සිකා උගේ මුලු අනාගතේම වමාරනවා. උගේ කතාවෙ හීනියට වගේ ඇත්තක් නම් තියනවා, අපිටත් ඉතිං මොකෝ, අපිත් ඉතිං තල්මසා මේ හාල්මැස්සා වෙලා බහින්න යන ගේම දිහා කටවලුත් ඇරගෙන ඇන්ටනාව දාගෙන හිටියා.
" ටොලා.... මට හිතෙන්නේම කෙල්ලෙක් එනකන් ඉන්නේ... " බුවා ඉතිං සුපුරුදු පරිදි උපතින්ම හම්බ උන ගොන්කම ප්‍රදර්ශනේ කලා
" නෑ.... ඌ ඉන්නේ කෙල්ලෙක් එනකංද? අපි හිතුවා කොල්ලෙක් එනකං කියලා..." ජබ්බා කට ඇරියා....හැබැයි අපිට ඒකට හිනා වෙන්න හම්බ උනේ නෑ. ඉංග්‍රීසි නොම්බරයක් තියන කාර් එකකින් කෑල්ලක් ඌ ලඟින් බැස්සා. 
"අප්පට බොල.... අර බලපංකෝ අරූට ගිය සැප.... ගින්දර කෑල්ලක්නේ බං" බුවා සුපුරුදි ලෙස අනුන්ගේ බඩු වලට පැණි පෙරන්න පටන් ගත්තා. 
" දැං මෙතන නටන්න ලෑස්ති වෙන්න එපා ඔය කෙල්ලව උඹට ඕනෙ කියලා" ජබ්බා ආයෙත් කතා කලා
" දැං අපි පන්තියට යමු..... දැක්කනේ මම නිසා උඹලා අද ආතල් ගන්න තරම්" බුවා අපිට කලින් පන්තියට යන්න පිටත් උනා
" ආතල් කෙසේ වෙතත් අර පැණි ටික දැක්ක ගමන් තල්මසා ඕකට විතරක් නෙවෙයි අපිටත් නෙලනවා... අම්මටවත් අඳුනගන්න බැරි වෙන්න" එහෙම කිව්වේ සිකා. මොනා උණත් ආයෙත් බුවා නිසා අපි පන්තියට ගියා. අර තල්මසා එක්ක ක්ලාස් ආව කෙල්ල හිටියේ ඉස්සරහටම වෙන්න ඉඳගෙන. තල්මසාගේ ඇහැ තිබ්බේ එයා ලඟ. අපේ ඇහැ තිබ්බේ බුවා ලඟ. ඕකා ගොන්පාට් දාන්න ගිහින් ඉල්ලන් කෑවොත් අපි ටික ඩෙසර්ට් එකට හරි මාට්ටු වෙනවනේ. 
ඉකෝන් පන්තියේ නින්ද නොගිහින් පොඩ්ඩක් හරි බේරුනේ අර ඉස්සරහ හිටපු කෙල්ලටයි අපේ පැණි බුවාටයි පිංසිද්ද වෙන්න. ඉන්ටවල් එකත් ආවා. තල්මසා අර කෙල්ලට මොනාද ගිහින් කියලා උගේ යාලුවොත් එක්ක එළියට ගියා.
" මචං මේ තමයි හොඳම වෙලාව... මම ගිහින් ටෝක දාන්නද?" බුවා නලියන්න ගත්තා.
" මේ නිකං හොම්බ කට සමතලා කරගන්නේ නැතුව හිටපං" සිකා අවවාද කලා
" එහෙම වෙන්නේ නෑ... නම විතරයි අහන්නේ...." බුවා නැගිටින්න ට්‍රයි එක
" ඔව් මේ ආත්මෙයි  එන ආත්මෙයි,  ආත්ම දෙකේම නම් අහගෙන වරෙන්... මොකද උඹ ඉක්මනටම පරලොව යයි වගේ...." ටොලාත් කිව්වේ පොඩ්ඩක් හිමින්
අර තල්මසාගෙ කෑල්ල අපේ පැත්තට එනවා වගේ දැකලා බුවා අර දියෙන් එළියට ගත්ත මාලුවා වගේ දඟලන්න ගත්තා. පිස්සු හැදනවා නම් තමයි. එළකිරි. දැක්කත් ඇති බඩපිරෙනවා. මගේ ජීවිතේටත් මෙච්චර ලස්සන කෙල්ලෙක් දැකලා නෑ. හරියටම අපේ මේසෙ පහුකරගෙන යන්න ගිහින් එයා නැවතුණා.
" කවුද මෙතනින් තෙනුර කියන්නේ....? " එයා අපි ඔක්කොම දිහා ඒරියල් එක දාන ගමන් ඇහුවා. මගේ පපුව නැවතුණාද කොහෙද, කෙල ගිලෙන්නේත් නෑ.අමාරුවෙන් හුස්ම ගත්තා මම හිතන්නේ. මටම තේරෙන්නේ නෑ මට මොනා උනාද කියලා

Thursday, May 20, 2010

3 කොටස


අපේ පන්තිය 12-ඊ... ඒක ඊයාම තමයි. මෙලෝ රහක් නෑ. ඔක්කොමලා හිටියේ ඉගෙන ගන්න උණ හැදුණ උන්. මට හීන් දාඩියක් දැම්මා. 
" අඩෝ මයියා ඔක්කොම කචල් පොරවල්නෙ බන් ඉන්නේ...."  සිකා පොඩ්ඩ වෙන්න මට ලං උනා.
අපිත් ඉතිං නෝමල් එකේ පන්තියේ ගිහිං වාඩි උනා.මේක ඉතිං අපේත් පන්තියනේ....


" ඕයි තමුසෙලා මොක්කුද හාල්පාරුවෝ....." කොහෙද ඉදං ආපු රස්ති පොරක් අපිට ඇඟිල්ල දික් කලා. ඌ අඩි හයේ හයේ පොරක්, දැක්කාම ඊයේ කාපුවත් මතක් වෙනවා. ඒත් මම ඇවිල්ලා ඔය එක එක උන්ට බය පොරක් නෙවෙයි. බයට නැතත් උගෙ ආත්ම ගරුත්වය තකා මම හිමින් කතා කලා


" අපි මේ ඉස්කෝලෙ ඉගෙන ගත්ත උන් ඇයි බන් උඹට මතක නැද්ද මම උඹ එක්ක දෙකේ පන්තියේ හිටියේ... අර උඹ එක දවසක් පන්තියේ චූ කලේ. මමනේ උඹව බේරගත්තේ...." මගේ කළු ගල් මහ රෑ පැලෙන බොරුවට අපේ ගැන්සිම කටවලුත් ඇරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. අර තල්මසාත් හොල්මන් උනා. ඌ කල්පනා කරන්නේ දෙකේ පන්තියේ චූ සීන් එක වෙන්න ඇති.


" මොකද්ද උඹෙ නම...." ඌ ඇහුවෙ අර හයිරම් වොයිස් එකෙන් නෙවෙයි. වොලියුම් එක පොඩ්ඩක් විතර අඩු කරලා
" මම තෙනුර..... එතකොට උඹ...?" ඇත්තම කියනවා නම් ඉස්කෝලේ කවුරුවත් මාව දන්නේ නෑ. මම මතක ඇති කාලෙක ඉස්කෝලේ ඇරෙනකන් ඉඳලා නෑ. ඉඳලා හිටලා තාප්පෙන් පනිනකොට අපේ පෆට් කෙනෙකුට අහු වුනොත් ඇරෙන්න ලේසියකින් මාට්ටු වෙලා නෑ. ඉතිං මම ඉස්කෝලෙ ආපු උන්ව වත් උන් මාවවත් දන්නේ නෑ. සාධාරණයි. තව පොඩ්ඩෙන් මම ඇතුළු අපි රැග කනවා. තල්මසා දාගෙන මගෙ නම රෙජිස්ටරේ හෙව්වා. අන්තිමට මගෙ දිහා බැලුවා.
" හරි සොරී මචං උඹලාව අඳුන ගන්න බැරි උනා.... දන්නේ නැද්ද ගොඩක් කාලෙකින්නෙ ඉස්කෝලේ ආවේ" ඌ ෆිට් මූඩ් එකේ කියනකොට තමයි මගේ ඇඟට ලේ ඉණුවෙ.. ඒත් ඉතිං මම බය නෑ. මේ දවස් වල ගෙදරම ඉඳලා ලේ පොඩ්ඩක් අවුට් වෙලා තිබුනේ....
" මයියා... අර තල්මහාව උඹ මීට කලිං දන්නවාද?"
" පිස්සුද බං අදමයි දැක්කේ...?"මම සිකාට කිව්වේ රහසින්. අයෙත් හිතන්න එපා මම බයට කියලා. ඒ මගේ හැදියාව.
" එහෙනම් චූ කර ගත්තා කිව්වේ..." 
" අහා.... මම එහෙම කිව්වේ උඹලා චූ කර ගනියි කියලා බයට, දැං බය නැතුව වාඩි වෙයල්ලා.... බයිට් වීමෙත් වෙලාවක් කලාවක් තියෙන්න ඕනෙනෙ..."
" අද හවසට තියන ඉකෝන් ක්ලාස් එකට යනවාද? " බුවා මට ලං උනා
" අර එක දවසක් ගිහින් බාගයක් ඉඳලා ආව ක්ලාස් එකද?"
" අන්න හරි මචං එළ කෑලි ටිකක් බහිනවා බං.... මාර ආතල්" බුවාගෙ කට දෙපත්තෙන්ම පැණි බේරෙනවා. බලන් ඉන්න හිරිකිතේ බෑ.
" උඹට ඔච්චරම ආතල් නම් උඹ පල .... අපි යනවා "
" අනේ මචං එහෙම කොහොමද? අදට විතරක් යමු" බුවා ආයෙත් වඳින්නේ නැති ටික විතරයි.
" අනේ මේ උඹේ අදට විතර, තව පොඩ්ඩෙන් අර තල්මසාගෙන් අම්බානකට කනවා. ක්ලාස් ගිහින් මොන හෙණයක් සෙට් වෙයිද දන්නේ නෑ."
" අදට විතරක් වර.... ආතල් නැත්නම් මැදදි කැපෙමු" බුවාගෙ කන්කෙඳිරියෙ කන් රිදෙන්න ගත්ත නිසා මගේ ඔළුව නිකමට වගේ වැණුනා. මම හා නම් අනිත් උනුත් හා. ඒත් සිකාගේ මූණෙ තිබ්බෙ කජු පෙනුමක්.











Wednesday, May 19, 2010

2 කොටස......



පන්තියක් තිබුණත් අපිට පන්තියේ කරන්න වැඩක් නෑ. මොකද අපි කියන්නේ පන්තියක ඉගෙන ගන්න සෙට් එකක් නෙවෙයිනෙ. පෙර පුණ්‍යකර්මයකට ඕ ලෙවෙල් නම් ගොඩ දාගත්තා. ඔයින් ගියා මදෑ. 


" මේ මයියා.... ඉස්කෝලෙ ඉන්න එක චාටර් වගේ බං" සිකා වට පිට බලලා මට ලං උනා. මම දන්නවා මේකා මොකාටද එන්න යන්නේ කියලා.මට මුන් මයියා කියන්න ගත්තේ අපේ අක්කාගේ චාටරේ නිසා. එයා මට ගෙදරට කතා කලේ මයියා කියලා. ඔය නම ඉතින් කාඩ් වෙන්න එච්චර වෙලා ගියේ නෑ. ඒක ඇහිලා ඊ ලඟ මිනිත්තුවෙ ඉඳන් මගෙ කාඩ් එක මයියා. අනිත් උන්ගේ ඉතිහසෙත් මම කියන්නම්කෝ නැත්නම් හරි නෑනෙ.
රුවන් සිකා උනා. ඌ ඕලෙවල් කරන කාලේ දිව හපාගෙන කෙල්ලෙක්ට ට්‍රයි කලා. මුගේ අමු මල හොල්මන් මූන දැක්කාම ඌට කෙල්ලෙක් තියා මොකෙක්වත් කැමති වෙන්නේ නෑ, අන්තිමට මූට සික ගැහුවා. කන්න ගියාම බත් ඇට එක එක ගනන් කරනවා, නාන්න ගියාම මොලේ පෙඟෙනකන් නානවා. අන්තිමට මූව පරලොවෙන් මේ ලොකෙට ගන්න අපි කට්ට කාලා කාලා තවත් කට්ට කෑවා. ඌට අන්තිමට සිකා කිව්ව එකකත් හොඳ වැඩී කියලයි මට හිතෙන්නේ.


බුවා කියල අපි කිව්වේ හර්ෂට.... ඌ ඉතිං හිතන් ඉන්නේ බුවා කියල තමයි. ඌ හිතන් ඉන්නෙ ඌ තමයි හිරිකිත් රෝෂන් කියලා. කෙල්ලො පට පට ගාල මට වැටෙනවා කිව්වට අන්තිමට වැටිලා තියෙන්නෙ මූ. මුගේ මූණ ෂාරුක් ඛාන්ගෙ තාත්තා වයසට ගිය වගේ. ඉතිං උගේ ආසාවනේ. ඒ නිසා අපි සෙට් එක තීරණය කලා ඌගෙ අන්තිම කැමත්ත ඉෂ්ට කරන්න



මනීෂ්ට අපි කිව්වේ ටොලා ලියලා. හේතුව උගේ ගෙදර බල්ලාගෙ නම ටොලා ලු. උගෙ අම්මා කවදාවත් බල්ලගෙ නම ඌට කියන්නෙ නෑලූ. කොටින්ම කියනව නම් බල්ලා තාම දන්නේ නෑලු උගෙ නම ටොලා කියලා. ඌ හිතන් ඉන්නේ  උගෙ නම ඩාලිං කියලලු. ඉතිං ඕක කිය කියා අපේ මනීෂ් උඩුබුරලන්න පටන් ගත්ත නිසා අපි ඌට උගේ නම දැම්මා. ටොලා කියලා





ජබ්බා කියන්නේ මොන වගේ භාණඩයක්ඩ කියලා හිතා ගන්න පුලුවන්නේ. අපි තාප්පෙන් පැන්නත් ඌට තාප්පෙන් පනින්න බෑ. ඌ ඉස්කෝලේ ඉඳලා ඉස්කෝලෙ ඇරුනාම තමයි. එන්නෙ. මොකද ඌව උස්සන්න තාප්පේ අත්තිවාරමට බෑ. මොන වැඩේ කලත් අන්තිමට අහු වෙන්නෙ ජබ්බා. ඒ මොනවා උනත් ඌ අපිව දාල යන්නත් නෑ.


අපේ ගැන්සිය වල බහින්නමයි කැමති. පොත් ගැන අපිට තිබ්බේ නයාට අඳුකොළ වගේ සීන් එකක්.කොහොම හරි අද වගේ වැහි දවසක මටත් පන්තියට යන්න කිසිම ආසවක් තිබ්බේ නෑ.


" ඒත් සිකා අපිට අද විතරමක් පන්තියට යන්න වෙනවනේ බං" අන්න එහෙම කිව්වේ බුවා
"ඇයි අද මොකද්ද තියන්නේ"සිකාට ටික වෙන්න මල පැනලා
" නෑ අදනේ ඉස්කෝලෙ පටන් ගත්තේ පොඩ්ඩක් පන්තියට ගිහින් අළුතෙන් එන උන්ගේ මූනත් බලලා... දන්නේ නැද්ද?"


" ඔව් ඔව් සිකා, බුවා හරි අපි අද පන්තියේ වාතාවරණ බලා ගමු. අනික අද අම්බනකට වැස්සනේ. " සිකාගෙ මූණ කජු කේස් එකක් උණා. අන්තිමට අපි ඉගෙන ගැනීමෙ පරම චේතනාවෙන් නොවුනත් පන්තිය පැත්තට පාවෙන්න පටන් ගත්තා. ඒ වෙනකොටත් අපි ඔක්කොමලා හිටියේ අම්බානකට නාලා.


Tuesday, May 18, 2010

1 කොටස....


"අවදිවන්න අවදිවන්න දීප්තිමත් ලොවකි උදා වෙලා තියෙන්නේ" 

අපේ අම්මා කණ පැලෙන්න රේඩියෝ එක දාලා. රේඩියෝ එකේ මෙහෙම කෑ ගහද්දි අවදිවන්න කියල මට නැගිටගන්නම බෑ. මම ඇහැරිලා හිටියට ඇස් ඇරෙන්නෙම නෑ. අනික අද දීප්තිමත් දවසකුත් නෙවෙයි. අම්බානකට වැස්ස වලාහක දෙයියෝ අපේ මූණ බලලා....

" පොඩි අයියේ නැගිටිනවකෝ..... දැං කීයෙ ඉඳංද අම්මා ඔයාව ඇහැරවන්නේ?"  මම ඒක දන්නවා... අපේ අම්ම මාව ඇහැරවලා බැරිම තැන තමයි කණ පැලෙන්න රේඩියෝ එක දැම්මේ. අද ඉස්කෝලේ පටන් ගන්නවා... මාස ගානක් පස්ස උඩ තියගෙන දවල් දොලහ වෙනකං නිදාගෙන පුරුදු වෙලා නැගිටින්න හිතෙන්නෙම නෑ.

"යනවකෝ වද නොදී..."  මම නංගිව තල්ලු කරලා දැම්මා.... ඒකි මෙතන අම්මගෙන් ලකුණ දාගන්න මාව ඇහැරවන්න ආවා.

" දැං හුරතලේ පැත්තකින් තියලා ගහනව වතුර බාල්දියකින්" ඒ කටහඩ නම් නංගිගේ නෙවෙයි. යකෝ මේකිගෙ අපේ වගේ කටහඬවත් වෙනස් වේගෙන එනවද? මම ලාවට ඇස් දෙක ඇරලා බැලුවා. හීනයක්ද හෙනයක්ද මන්ද තාත්තා මගේ ඇඳ ලඟ. මම ඇස් දෙක පියාගෙනම නැඟිට්ටා....මොන බයිලා කිව්වත් තාත්තාට නම් බයයි. මම සිංහයාට බයයි නංගියේ.... එහෙම මූණකින් මම නංගි දිහා බලනකොට අන්න ඒකි හින වෙනවා දිව එළියට දදා... අම්මප තාත්තා නොහිටින්න මම ඕකිව කනවා සම්බෝලයක් හදලා.

" තමුසෙ අද ඉස්කෝලෙ යන්නේ නැද්ද?"
තාත්තාගෙ මූනෙ පෙන්නේ ගිණි පුපුරු. යකෝ මම දැං පොඩි එකෙක්ද? අවුරුදු 17 ක් ආයු වලදලා තවත් වළදමින් ඉන්නේ. ඒත් ඉතිං ඕවා තාත්තාට කියන්න පුළුවන්ද? තාත්තා දිහා බලන්නෙම නැතුව මම ඉතින් නැගිට්ටා.

" ඉබ්බෙක් වගේ ලෑස්ති වෙන්න එපා..... බලනවා වෙලාව.... ඉක්මන් කරනවා. මූට උගන්නන්න තාමත් අපි දුක් විදින්න ඔනේ...." ඉතිං ඕක දෙමව්පියන්ගෙ යුතුකම වෙච්චි නැත්නම් මම වගේ හම්බ කම්මැලියෙක් හදලා අපේ තාත්තා වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියයිද?

" හරි හරි දැං නැගිට්ටනේ... දැං කෑගැහිල්ල නවත්තන්නකෝ" අම්මා හැමදාම වගේ මාව ඩිෆෙන්ඩ් කලා.

කම්මැලිකම පැතත්කින් තියලා මම ගෙදරි එලියට බැස්සේ පොත් දෙකක් රෝල් කරල සාක්කුවේ දාගන්න ගමන්.

" ඕයි කුඩයක් අරං යනවා..." අක්කා කෑගහනවා මට අහුනා... මේ මම කුඩ අරං යන්න.... එයාලට වැරදිලා,  මම අහෙන්නේ නැති ගානට ගල් ආඳා වගෙ පාර පැත්තට ආවා. තෙමීගෙනම. 

අපේ පාරේ බස් ගැන නම් කියලා වැඩක් නෑ. වැස්සට සීතලටම හොදයි. කොන්දා අය්යා සැමන් ටින් න්‍යාය තමයි අනුගමනය කරන්නෙ. හොඳට පැක් උනාට පස්සෙ හෙලවෙන්න බැරි වෙන්න හරහටත් එකෙක්ව කොහොම හරි රිංගවනවා. අන්තිමට අත පය ටික හොය ගන්න රහස් පොලිසියෙන් දාන්න වෙනවා. මොනා උනත් අන්න එහෙම මම ඉස්කෝලෙ යන්න පිටත් උනා. අද ෆුඩ් බෝඩ් යන්නත් බෑ අම්බානක වහිනවා. මොනා උනත් ඉස්කෝලෙට යන්න ඔනෙ පිලිවෙලක් තියනවානෙ. ඒත් ඉස්කෝලෙ ළඟින් බහිනකොට හැමදාම වගේ අටාමාරයි. මම ඉස්කෝලේ ගෙට්ටුව පැත්තෙන් හිමින් තප්පෙ දිගේ බඩගාල සුපුරුදු ලෙස ඉස්කෝලෙට පැන ගත්තා.මේවා මම පුරුදු වෙන්න කරපු වැඩ නෙවෙයි.


" අඩෝ මයියා...." වට පිට බලද්දී මම දැක්කා රුවන්(සිකා), හර්ෂ (බුවා), මනීෂ් (ටොලා), පුබුදු (ජබ්බා). තාප්පේ වටේ ඉදං ඉන්නවා. ඇත්තමයි දැකීමත් සතුටක්.

" උඹලා මොනාද මෙතන කරන්නේ... අපිට පන්තියක් නැද්ද?"
" තියනවා තියනවා .. තාම රැස්වීම.... අපි උඹ එනකං හිටියා..."