පිටුව

Sunday, September 26, 2010

69 කොටස

මට දැං නම් මාවම හක්කට තියලා හපන්න තරම් මල පැනලා ඉන්නෙ... මම හිත හදාගෙන ගෙදරින් එළියට අඩිය තිබ්බා.... එතකොටම බුවා අයියාගේ දඬුමොණරේ ආවේ අස්සයාගෙන් කුලියට ස්පීඩ් එක ඉල්ල ගත්තා වගේ....



"මොකද බං මූණ කජු කරගෙන...?" යකෝ මූට තේරුණානේ ඒක... මූත් මාර ඩයල් එක තමයි. මූ ඇවිල්ල කෙල්ලොන්ගේ මූණ බලන් අනාගතේ කියලා ගුටි කන එකා....


" බලපං බං.... අපේ තාත්තාලා කොයි වෙලාවෙත් පිං අතේ වැඩමනේ කරන්නේ..."


"කොච්චර දෙයක්ද බං ඒක.... උඹටත් පිං අනිමෝදං වෙනවනේ බං එහෙම උණාම.... කෝ අපි පන්නගෙන ආව එංගල්තිනා..."

" ඒ ගෑනිව ගමට ගෙනිහිං බං මම විනාඩි පහකට මිස් වෙච්ච වෙලාවේ..."

" කුජීත සීන් එකනේ බං... කවුද කින්ද මන්ද කියලාවත් අයිඩියාවක් නැද්ද?"

"නම නම් සුමනා..... සමරනායකයාගේ ගෙදර වැඩ කරලා තියෙන්නේ.... එච්චරයි බං දන්නේ?" බුවා ගල් තොප්පිය ගලෝලා මගේ අතට දුන්නා.


" මේක දාගෙන අපි යමුද ගෑනි පිටිපස්සේ...?"


" හරි යන්නේ නෑ... තාත්තයි අයියායි දෙන්න එක්ක ගෑනි ගිහින් තියෙන්නේ.... එතන චාටර් වෙනවා අපි ගියොත්.... වරෙන් ගෙට යන්න...." මම බුවා එක්ක ගෙට ගොඩ උණා.... ඊට පස්සේ තාරකා මට කියපුවත් බුවාට කිව්වා....

"උඹට කරන්න තියන හොදම වැඩේ තමයි ඉක්මනට කෑගල්ලේ යන එක.... ලිහිණිගේ පැත්ත අපි බලා ගන්නම්... උඹ තාරකාව බලාගනින්.."

"නිවාඩුව ඉවර වෙන්න සති දෙකක්ම තියනවානේ බං..."

"අද සිද්ද උණ වැඩේ පිට දාලා උඹ තීරනේ ගනින්..."මූට අම්මපා එළ හරකාට වගේ එකපාරටම මොලේ ඇවිල්ලා යනවා. ඔව් ලිහිණි දැං ඉන්නේ එයාගේ ගෙදර ඒක අවුල් වෙන්න විදියක් නෑ... එයාගේ අම්මාව හොයා ගන්න එක පස්සේ උණත් කරන්න පුලූවං කසුන් කාරයාව ශේප් කරගෙන.... තාරකා පස්සෙ සමරනායකායා ආවොත් එහෙම වැඩේ අබ්ලික් වෙනවා. පොළඟා වලිගේ හොඳට නටවලාලු බුදු අම්මෝ කියන්න වැඩේ දෙන්නේ....


"ඔව් හෙට අනිද්දාම මම එහෙ යනවා..... ලිහිණි ගැන ඇහැගහගෙන හිටපං..... "

"අනිවා... උඹ නොකිව්වත් ඒක අපි කරන්නම්... දැං වත් ඔය කජු පෙනුම නැති කර ගන්නවාකෝ...."


"හරි බං.. ඒක ඉබේම පහලා උණානම් ඔන්න ඔහේ ඉබේම නැති වෙලා ගියදෙං...."



බුවයි මමයි හොඳ පොරවල් වගේ රෑට එහෙම අනුබව කරලා කාමරේට ආවා.....බුවා උගේ කැමත්තෙන්ම මගේ කාමරේ බිම ඉල්ල ගත්තා නිදා ගන්න. උගෙත් ආසාවනේ මම ඔන්න ඔහේ ෂීට් එකක් එලලා ඌට නිදා ගන්න දුන්නා. අනේ හරිම ආසවෙන් ඌ ඒකේ නිදා ගත්තා. ඌට උණත් සතුටු ඇතිනේ මම වගේ පොරක්ගේ කාමරේ බිම හරි නිදා ගන්න පුළුවං උණ එකට.


මම ඉතිං සුනිල් සෙට්ටි වගේ වැඩ පෙන්නන්න ගිහින් සුනිල් හෙට්ටිආරච්චි උන එක තමයි හිතට දුක... දැං ඉතිං ගෙදර ඉන්න වෙන්නේ මම බය නෑ බුදු තාත්තේ වගේ... ඒත් මම ශ්‍රී යහන දොයියගෙන ඉන්නකොට මට කීප සැරයක්ම දැණුනා අපේ තාත්තා ඇවිල්ලා කන අතගාගෙන අත ගාගෙන යනවා. සැප කනට ආව තරමක් කිව්වොත් කන් අඩියට ප්ලාස්ටර් දන්න වෙනවා. කොච්චර සනීප හීනයක්ද ඒක.... ඕව දකිනකොට නිදා ගන්න තියා ඇස් දෙක යන්තමටවත් පියාගන්න හිතෙනවාද? ඒකට බුවා මහපොලවේ නිදාගෙන ඉන්නවා කියලාවත් සිහියක් කටක් නෑ වැටුණ වෙලාවේ ඉඳලා ලී ඉරනවා... අන්න පිං වන්තයෝ. ඔහොම කල්පනා කර කර ඉන්නකොට විදුලියක් කෙටුවා වගේ මගේ කාමරේ ලයිට් එක වැටුණා..... ලයිට් එකට හෙන ගහපිය කියලා මම රවලා එහෙම බැලුවේ කවුද මේ මාව මරගෙන කන්න එන එකා කියලා.... ලයිට් එක නිසා පෙනුනේ නෑ නෙවෙයි ඇස් දෙක මට පෙන්නුවේ නෑ... මේ අපේ තාත්තා... අනේ මගේ හීනේ හැබෑ වෙන්නයි යන්නේ. කන් දෙකම අත් දෙකෙන් වහ ගන්න මට හිතෙනවා.....

" තමුසේ එනවා එළියට..." අපතයා වගෙ නිදාගෙන හිටපු බුවා දිහා බලලා තාත්තා මගෙ දිහා බැලුවා....

මට නිකං දැං නම් කන රත් වෙනවා වගේ දැනෙනවා. බුවාව ඔවර්ටේක් කරගෙන මම කාමරෙන් එළියට ආවා. මුළු ගේම කට්ට කළුවරයි. එළියේ කොරිඩෝ එකේ විතරක් හීනියට ලයිට් එකක් දාලා.


" තාත්තේ..... ම ම...." ෂිඃ විතරක් කියන්න ඕනේ බම්බුව කියවෙන්නේ නැති හැටි.....

"හොඳට අහගන්නවා තමුසේ..... මෙන්න මතන රුපියල් තුන්දාහක් තියනවා... හෙටම කෑගල්ලේ යනවා..."

"මමත් තාත්තාට කියන්න හිටියේ.."


"තමුසෙ නිසා මට මගෙ කෙල්ලෝ දෙන්නවවත් බේරගන්න බැරි වෙනවා....ආයෙත් මම කියනකන් මේ පැත්තේ නාවට කමක් නෑ..." මගේ පපුව ගිනි ගන්න උණා... මාව ගෙදරින් පිට කරන්නේ මම ගැන හිතලා නෙවෙයි තාත්තාගේ අනිත් දරුවෝ ගැන හිතලා.... මම ඒ තරම්ම කාලකණ්ණියෙක්, ගල් මූසලයෙක්. කිසි කමකට නැති එකෙක්.... හිත ඇතුලේ ගින්න නිවන්න කියලාද මන්දා ගඟක් වගේ කදුළු පොදියක් ඇස් දෙක කසා ගෙන ආවා. මම ටැප් එක ඇරලා පුරුදු එකෙක් නෙවෙයි. ඒ නිසා එලියට එන්න නොදී මම ආපහු හැරුණා. රුපියල් තුන්දාහත් මම ඔන්න ඔහෙ බිමට විසි කරලා කාමරේට ගියා. තාත්තා මගේ කන හරහා කන් අඩිය පුපුරන්න දුන්නානම් මට මෙතරම් වේදනවක් දැනෙන එකක් නෑ.අර උස්සන් ආව ට්‍රැවලිං බෑග් එකටම ඇඳුම් ටික දාගත්ත මම වෙලාව බැලුවා..... දෙකාමාරයි..... ඔළුව පැලෙන්න රිදෙන්න ගත්තා. මම ගැන මට බලා ගන්න පුළුවං... මම බුවාව පොඩ්ඩක් හෙලෙව්වා....


"මොකද බං මයියා ඇදේ මකුණෝ නම් වරෙං බිමට...."


"මම කෑගල්ලේ යනවා බං...." බුවා ඇස් දෙක පොඩි කරගෙන නැගිට්ටා....

"මේ මහ රෑ... උඹට අන්දකයිප්පුවත් කැවුණාද?"

"එහෙම උණානම් හොඳයි ඒත් මම යන්නේ හොද සිහියෙන්..... සිරාවටම අද මම මේ යන්නේ ආයෙත් මෙහෙ පස් පාගන්න හිතාගෙන නෙවෙයි"

"උඹට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියපං..."

"මොකුත් නෑ... උඹ ඔහොම ඉඳලා එලි උණාම පල... අනිත් උන්ට කියපං මම ගියා කියලා... ලිහිණිව බලා ගනින්..." මම බෑග් එක කරට ගත්තා....

"එළි වෙලා පලයං බං මේ රෑ යන්න එපා...." බුවා අඬනවානේ...

"එළිවෙනකන්වත් මට මෙහෙ ඉන්න හිතක් නෑ බං.....මම යනවා" මම යන්න හඳනකොටම තාත්තා කාමරේ ඇතුලට ආවා...

"කොහෙ යන්නද?" තාත්තාගේ මූණත් අවුල් වෙලා.... මම මොකුත් නොකියම තාත්තාව බයිපාස් කලා.

" උඹට කවදාවත් තේරෙන්නේ නෑ මම කියන්නේ මොකද්ද කියලා... කවදා හරි උඹත් තාත්තා කෙනෙක් උණ දවසක මේ ගින්දර උඹට තේරෙයි...."ආයෙත් මම මොකුත් කිව්වේ නෑ. යන්න ගිය ගමන එහෙමම ගියා....

" උඹ මාත් එක්ක තරහින් යන බව මම දන්නවා පුතේ.... ඒත් මට වෙන කරන්න දෙයක් මතක් උණේ නෑ..." මගේ බොක්කත් තුවාල වෙලා වගේ රිදෙනවා.... ඇඟ පුරාම ඒක දුවනකොට දෙනෙන්නේ නම් ආතල් එකක් නෙවෙයි. මම මොකුත්ම නොකියා ගෙදරින් එළියට බැස්සා. ගේ දිහා බලන්න මට හිත දුන්නේ නෑ. මාව හැමතැනම අතරමං වෙලා වගේ දෙනෙන්න පටන් ගත්තා. මගේ පස්සෙන් බුවා දුවගෙන ආවා...


"මයියා... ඔහොම හිටපං බං..."

"මට නවතින්න බෑ...."

"හරි මමත් එනවා උඹත් එක්ක යන්න...."

"උඹේ කැමත්තක්" බුවාත් මගේ පිටිපස්සෙන්ම ආවා.

"මයියා වැඩිය ඔය ගන හිතන්න එපා බං"

"ආයෙත් මම ගෙදර නොඑන්න පුළුවං... උඹ අක්කාවයි නංගිවයි බලා ගනින්"


"එතකොට අම්මවයි තාත්තාවයි"

"ඒ දෙන්නව බලා ගන්න මම නැතුවට එයාලාගෙ අනිත් දරුවො ඉන්නවා"

"ඒත් එක්කම කඩාගෙන ආව ජීප් එකක් අපේ කන ලඟින්ම අපේ ගෙවල් පැත්තට හැරෙව්වා...."

කවදාවත් නොබලන්න හිටිපු ගේ දිහා මම හැරිලා බැලුවා....


"මයියා..... දුවහං බං..... ඔය යන්න ඇත්තේ උඹව හොයාගෙන...." මටත් වෙන කිසි දෙයක් මතක් උනේ නෑ.. කකුල් දෙකට වැඳලා එහෙම මීටර් හාරසීය සමනල ආරෙට දුවන්න පටන් ගත්තා....

14 comments:

me@u said...

අක්කා ඇවිල්ල,,,,,,,,,,,,, සතුටුයි ගොඩාක්, මූනු පොතේ ඉන්නව දැකලයි ඇවිත් බලන්න හිතුනෙ, අයේත් මයියා ඇවිල්ල..... දැන් ඉත්නි හැමදාම රෑ වෙනකල් බලාගෙන ඉන්න හේතුවක් තියනව ආයෙත්,,,, පරිස්සමින් ගිහින් ආවා නේද අක්කේ ගමන,,,,,,,

Siribiris said...

Welcome back, my dear lass. Perhaps, you could use some of your newly learned experiences in the story.

Jeew said...

මයියා බවනට නැවත සාදරයෙන් පිළිගනිමු....

Aslam said...

එල එල... ඔන්න අයෙත් පටන් ගෙන. නියමයි අද කථාව. මට කලින් කොටසත් කියවන්න උනා නවත්තපු තෑන අමතක නිසා. කොහමද අක්කගේ ගමන???
මයියා නම් අද හොදට කන්න යන්නෙ?? මයියා දිව්වට අර ආපු සෙට් එක ගෙදර මිනිස්සුන්ට නිකන් ඉන්න දෙයිද?? අනෙ පව් එ අය.

හසී said...

යේ.. අක්කා ඇවිල්ලා.... දැන් ඉතින් ලියමු දිගටම... ජය වේවා!!

Dakshina said...

Great! Waited for this episode!!! Keep it up!

Anonymous said...

apoy athi yanthan dull akki awaillaaaaaa :D yeippeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee :) ade kotasa nam maru,, ikmante anik kotasth danne :D
Glimmer Girl

දිනිත් said...

නියමයි....පොරොන්දු උන විදියටම 26 වෙනිද කතාව දාල......මම ඒත් බයෙන් හිටියෙ, මීට කලින් සමහර බ්ලොග් වල ගිය කතා වලට උන වැඩේ මේකටත් වෙයිද කියල...
හරි දුල්,එහෙනම් ඔන්න දැන් මේ අවුරුද්දට annual leave ඉවරයි...දිගටම ලියන්න තමයි තියෙන්නෙ..

Shalika said...

Kiyapu dawasatama damma .. Thanks

Siribiris said...

මෙච්චර අපි කොමෙන්‍ටු දාගෙන කොටනවා. හුහ්, තනි ඇගිල්ලෙන් කොටන එක ලේසි වැඩක් කියලද හිතන්නෙ? ඇයි යකඩෝ, කියාපන්කො ඔය රට රාජ්ජවල විස්තර ටිකක් අපටත් දැන ගන්න. කොහෙද මුන්දෑ නොවෙයි "හූම්" වත් කියන්නෙ. උන් එහේදී උඹට කන්න දුන්නෙ, මනි පිට්‍ටු වත්ද, නෝනේ?

පොඩි බබා said...

ඇවිල්ලා ඇවිල්ලා මෙන්න අපේ නැන්දා ඇවිල්ලා...
වරෙල්ලා වරෙල්ලා නැන්දා ගෙනා තෑගි ගනිල්ලා...

කතාවට ආස කෙනා.... said...

අම්මෝ අක්කා ඇවිල්ලෝ......මාර සතුටුයි....කොහොමද අක්කේ ගමන?
69 කොටස තාම කියෙව්වේ නැ.කතාව ආයිත් මුල ඉදන් කියවන්න හිතුනා. :D :D :D :D

දුල්හරි ඉලංගකෝන් said...

මොන රටට මොනා කියලා ගියාත් ලංකාව තරම් හිතට දැනෙන්නේ නෑ සිරිබිරිස්.... ඒ නිසා ඒ රටවල් වලට ගියාම ප්‍රාර්ථනා කරන්න හිතෙනවා තව සිය දහස් වාරයක් ලංකාවෙම ඉපදේවා කියලා... ඕක තමයි තොරතුර. රතු හාලේ බතට හොඳ කිරි හොද්දක් එක්ක සම්බෝලයක් කනවා තරම් කටට රහක් දැනුනේ නෑ ඒ කෑම වල. රට දේවල් පස්සේ කෙල හලාගෙන හැල්මේ දුවන ජීවිතයක් වෙනවාට වඩා මේ පුංචි ලංකාවේ පේමන්ට් එකක හිඟා කනවා සැපයි කියලා හිතෙනවා සහෝරයා....

මම නැති අතර කතාව දානකන් ඉවසීමෙන් බලාගෙන හිටපු හැමෝටම මගේ ප්‍රණාමය.... කමෙන්ට් වලට තටු ආවේ නම් නෑ... කතාව නැතත් ඔයාලා දැම්ම කමෙන්ට්වත් බ්ලොග් එකට වැටෙන්න ඕනෙ නිසා මම ඒකට පිලියමක් යොදලා ගියේ... මට හැම අයුරෙන්ම උදව් කරපු, සුභ පතපු හැමෝටම ගොඩාක් පිං...

Siribiris said...

උඹ ඔය ටොකු අනින්නේ මටත් එක්ක නේද? කමක් නෑ, මොනා කරන්නද? "කුම්බලා මාලු කෑවා නං විදවපං පූසෝ " කියනවනෙ. පොඩි ඉඩං කෑල්ලකුයි. බර බාගෙකුයි ගන්න සල්ලිය බාගෙ හොයාගෙන ආයිත් මගේ පරණ කරත්ත රස්සාවට ලංකාවට එන්නවත් බලමුකො.එකම පුරස්නෙ කේජු කෑල්ල දාලා එන්න බැරි එකයි.

උඹ ඔය මගේ කට වාචාල කතා වැඩිය හිතට ගන්න එපා නෝනෙ. එහෙම කිව්වෙ උඹේ කටේ ඉබ්බා අරින්න වෙන විදිහක් නැති කොමට මිසක්කා, අහිතකින් නොවෙයි.

Post a Comment