පිටුව

Sunday, August 22, 2010

55 කොටස


මට ජීවිතේ පළවෙනි වතාවට දැණුනේ මහා මුස්පේන්තු ගතියක්. මට එහා පැත්තේ ලිහිණි ඉඳලත් මාත් එක්ක කතා නොකරන්නේ මම කරපු වරද නිසාද?. එක අතකින් බලනකොට මම වරදක් කරලාත් නෑ. එයාමයි මට කිව්වෙ ආයේ මුණ නොගැහෙමු කියලා. අනික එවෙලේ මම හිතුවෙ මගෙ එවුන් ගැන... ඔයාව අමතක උනා නෙවෙයි. ඒත් මම වැරදියි කියලාමයි මට හිතෙන්නේ... මේකත් අර හතර බීරි දොම්පේ සීන් එක වගේ....

"ලිහිණි................. ඔයා මට කියන්න ඇයි මාත් එක කතා නොකරන්නේ කියලා......" අන්ත අසරණ බලු කුක්කෙක් වගේ මම කෙදිරි ගෑවා. අම්මපා..... මම මෙහෙම අපේ තාත්තා ඉස්සරහා වත් කෙඳිරිගාපු එකෙක් නෙවෙයි. ඒත් එක්කම මට ඇහුණේ හීනියට ඉකි ගහන සද්දයක්. මම ටැප් එක ලීක් වෙන්න මොකුත් කිව්වෙත් නෑ මගේ හිතේ.... ඔන්න එතකොට මට කන ලඟ භානුකයාගේ කටහඬ ඇහුණා.
"මචං... එයා අඬන්න ගත්තා..... හැමදාම එයා එහෙමයි................." භානුකයා එහෙම කිව්වේ ලෝකේ පාළු වෙන්න හුස්මක් පිට කරන ගමන්.
"භානුකයා මට කියපං මචං මම වැරදිද කියලා....? මගේ බොක්කම අවුල් බං සිරාවටම ලිහිණි අඬනවා ඇහිලා"
"උඹ මොනා කරන්නද....? මේ හැමදේටම වග කියන්න ඕනේ අපේ තාත්තා.... එයා අර ඇමතියාගේ පුතා බඳින්න කියලා බලකරනවා බං"
"ලිහිණි ඔහොම තත්වෙක ඉදිද්දී ඔහොම කරන්න උඹලෑ තාත්තාට හිතක් පපුවක් නැද්ද කියලපං"
"අපේ තාත්තාගේ පපුව නෙවෙයි සර්වාංගේම වැඩ කරන්නේ සල්ලි වලින් විතරයි මචං... එයා මේ ලෝකේ හැමදෙයක්ම සල්ලි වලට ගත්ත කෙනෙක්. එයා හිතන්නේ එයාට වගේ ආදරය, බැඳීම්.... නෑදෑකම්, සහෝදරකම් හැම දෙයක්ම සල්ලි වලට ගන්න පුළුවන් කියලා. අන්න එතනදි අපේ තාත්තා ඇන ගන්නවා. මම හිතනවා අපෙ තාත්තාට කවදාවත් එපා නොවෙන දෙයක් තියනවා නම් ඒ සල්ලි විතරයි කියලා.... ඒක නෙවෙයි දැං උඹ කොහෙද ඉන්නේ?"
"නැන්දලාගේ ගෙදර.... ඒත් කොහෙද නැනදලාගේ ගෙදර තියෙන්නෙ කියලා මගෙන් අහන්න එපා."
"මට තේරෙනවා තෙනුර.... උඹ හොඳින් හිටපං...."
"නිවාඩු කාලේ මම කොළඹ එන්න ට්‍රයි එකක් දෙනවා එහෙම උණොත් මම අනිවා ලිහිණිව ඇවිත් බලලා යන්න එන්නම්"
"ඒක නම් ලොකු දෙයක්" භානුකයා කතා කරන්නේ උගේ මොක්කෙන්ම එන වේදනාවත් එක්ක. ඒක මට තේරෙනවා එදා අර ගස් එළුවෝ අපේ නංගිටයි අක්කාටයි මොනා හරි කරනවා කිව්වාමත් මට ආවේ එහෙම වේදනාවක්, මාව මරනවා කියලා කිව්වනම් මම මෙහෙ පස් පාගන්නවත් හිතන්නේ නෑ. ඒත් උන් ගේම ඉල්ලුවේ මගේ අහිංසක අක්කාගෙනුයි නංගිගෙනුයි නේ... ඒකයි මම ගොඩාක්ම බය උනේ...."
"එහෙනම් මම කැපෙන්නම්...."
" උඹ මීට පස්සේ මගේ මොබයිල් එකට ගනින්..." භානුකයා කට ඇරලා මට උගේ නොම්බරේ කියන්න ලෑස්තිය
"එපා භානුකයා.... මම කොළඹ ආවාම නංගිට පණිවිඩේ දෙන්නම්... උඹ ඕක දුන්නයි කියලා මම කතා කරන එකක් නෑ"
"උඹේ කැමත්තක්..............එහෙනම් ආයෙත් හම්බ වෙමු...." භානුකයා එකම වාක්‍යය ගොත ගහනවා. මට ඇත්තම කිව්වොත් නිවාඩු කාලේ නෙවෙයි මේ දැං ලිහිණිව බලන්න යන්න හිතිලා තියෙන්නේ. ඒත් කාලය කෙතරම් නපුරුද කිව්වාලු. මම පුළුවං තරම් අවසානය කෙටි කරලා ෆෝන් එක තිබ්බා. 

පව් අප්පා තාත්තා කෙනෙක් වෙලා ජයවීරයා කරන්නේ අළුගෝසු වැඩක් නේ. ඒ අතින් අපේ තාත්තා හිට්ලර් වගේ පොරක් උණත් හැමදේම කරන්නේ අපි වෙනුවෙන්. මට ඉතිං අපේ තාත්තාගේ ගති ගුණ වලට ගුණ කියවෙන්නේ සූර්යග්‍රහණයක් වෙනවා වගේ කලාතුරකින් තමයි. ඒත් ජයවීරයා එක්ක බලනකොට අපේ තාත්තාට පාට හතක මල් පූජා කරලා හඳුන්කූරක් පත්තු කරන්න වටිනවා.


"හලෝ හලෝ .... අපි යනකොටත් කල්පනාව.. එනකොටත් කල්පනාව... මොකද මේ...?" මම එතකොට හිටියේ අර ෆෝන් එක ලඟ බිම වාඩිවෙලා. මගේ ඔක්කොම චැනල් වැඩ කලේ ලිහිණි ගැන
"ලිහිණි..." මටත් දවල්ට තරු පෙනීගෙන එන ලෙඩේ හැදීගෙන එනවද මන්දා.. කිව්වට පස්සේ මතක් උනේ කොල්ලා ඉන්නේ කෑගල්ලේ කියලා.චාටර්නේ ඉතිං දැං තාරකා හිනා වේගෙන මගේ දිහා බලන් ඉන්නවා. මමත් ඉතිං අපේ තාත්තාගේ ගල් ඉබ්බා වෙච්චි.
"මම ලිහිණි නම් නෙවෙයි..."
"හරි හරි ප්‍රින්ටින් අවුලක්.... ඔයා මොනාද මෙහෙ කරන්නේ...?" අනිත් අයත් මගේ වටේද බලන්න වගේ මම වටපිට බැලුවා.
"මට මහන්සි නිසා ගෙදර ආවා.... අංකල් පන්සල ලඟට ඇවිල්ලා කට්ටියවම ටවුමට එක්කං ගියා... මම ගේ ලඟින් බැස්සා. මට ටවුමට යන්න කම්මැලි හිතුණා..."තාරකා අයේත් මගේ ලඟ තියන අර තඩි ඩිරෙක්ට්‍රිය බලලා හිනා උණා.
"ඔයා විතරක් ආව නිසා හොඳට ගියා නැන්දා එහෙම ආවනම් අතේ මාට්ටු..." මම කරටේ පැන්ඩා වගේ නැගිට්ට ගමන් ඔක්කොම ටික තිබුණි තැන් වලට එඹුවා
"දැං මොනාද කරපු හොර වැඩ කෙල්ලටවත් කෝල් කලාද?" තාරකා ඒක ඇහුවේ නම් හිනා වෙවී.. මේ කෙල්ලොන්ට හොරයක් බොරුවක් වංචාවක් කලොත් අහු වෙනවානේ... ඒකට අර තක්කඩි... හොර බොරු වංචා කරනවා... උන් ඔය ලස්සනට ගේම ගෙනියන්නේ
" ආයේ අහලා චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා...." තාරකා හිනාව නවත්තලා මා දිහා බැලුවා.
"ඔයා මෙහෙ හිටියට හිත එහෙ නේද"
"මම එහෙ හිටියත් තාරකා මගේ හිත මේ ලෝකේ හැමතැනම... ඒක එක තැනකට තියලා බඳින්න පුළුවං ජගතෙක් කොහෙවත් නෑ...
" නෑ නෑ මම කිව්වේ ඔයාගේ හිත ලිහිණි ලඟ කියලා..." 

ඒ කොහොමද එහෙම වෙන්නේ මගේ හිත තියෙන්නේ කොහෙද කියලා මමවත් දන්නේ නෑ. වෙලාවකට අම්මාගේ බත් එක මතක් උණාම හිත එතන, අයියාගේ මෝඩ ජෝක් මතක් වෙලා ඊට පස්සේ හිත එතන, නංගිගේ නෝණ්ඩියක් මතක් උණාම හිත එතනට යනවා. ආයේත් අක්කාගේ බොත්තම් ලිස්ට් එක මතක් වෙනවා ඔන්න මෙතනින් එතනට හිත යනවා. තාත්තාගේ රාස්ස මූණ මතක් උණාම එතනට හිත යනවා නෙවෙයි එතනින් හිත දුවලා දුවලා ගිහින් ලිහිණිගේ අහිංසක මූණ ඉස්සරහා නවතිනවා... ආයෙත් මට පේනවා ගැන්සිය බලාගෙන ඉන්නවා. ඔන්න ආයෙත් උන් එක්කම හිත තාප්පේ දිගේ බඩ ගානවා. අන්තිමට මෙයාගේ වල ගැහෙන කම්බුල් දෙක මතක් වෙනවා එතකොට අර ඔක්කොම දාලා මෙහෙට හිත දුවගෙන එනවා. ඒ මිසක් ඒ හිත එක තැනක් තියලා එන්න තරම් මට ගටක් නෑ.

"ඔයා ආයෙත් කල්පනා කරනවානේ තෙනුර..."
"ඇත්තමයි තාරකා මම මේ කල්පනා කලේ.. මේ වෙලාවේ ඇත්තටම මගේ හිත කොයි හරියේ ඇද්ද කියලා." තාරකා හිනා උණා... දැං නම් ඇත්තමයි බබා මගේ හිත තියෙන්නේ ඔයාගේ හිනාව ලඟ. ඒත් ලිහිණිගේ තත්වේ ගැන ඇහුවාම මට දැණුන අමාරුවත් එක්ක මට ගොඩාක් වෙලා ඔයාගෙ හිනාව ලඟ ඒ හිත තියන්න විදියක් නෑ... දැං නම් මට ඇත්තටම හිතෙනවා මේ දෙන්න එක්කෙනෙක් උණානම් කියලා.....

9 comments:

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

ටිකක් සිරා පැත්තකට යන්නෙ.... මමනම් කැමතියි ඒ වගේ සීඊස් වලට

Siribiris said...

සාමාන්‍යයෙන් පිරිමි කැමතියි ගෑණුන්ගෙ අහිංසක කමට. හැබැයි ඒක ඕනවට වඩා වැඩි වුනොත් හරිම ඇණයක් වෙනවා.

තාරකා නං නියම "ගල් ඉබ්බා" වර්ගයේ. හරිම ඇක්ටිව්, ඒවගේම හරිම "ඩිමාන්ඩින්". සමහර වෙලාවට " ", කනෙනුත් රිංගලා යන ජාතියෙ. අත්දැකීමෙන් කියන්නෙ.

එක වගේ වුනාට ලිහිණි-තාරකා කියන්නෙ පරස්පර චරිත දෙකක්. මයියට හතර වරං දෙවි පිහිටයි.
අත්තෝ ජටා - බහී ජටා

පබලු said...

අද පලවෙනියා මම.
ඇත්තටම මයියගේ හිත එක තැනකට ගන්නව කියන්නේ ඉතින් සෙල්ලම් වැඩක් නෙවෙයි.

පබලු said...

හපොයි දුල් මම පලවෙනියා කිව්වට තව කීදෙනෙක් කමෙන්ට් කරලද දන්නේ නැහැ.hikz

Anonymous said...

Wow akkiyo,, glad to coment at first :) all i have to say is keep writing,, u rock :D
Glimmer Girl

හසී said...

බලමු බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

jeew said...

"ඇයි තාරකා ඔයාට බැරිවුණේ මගේ පිටිපස්සෙන් ඇවිත් හොරෙන්ම මගේ ඇස් දෙක වහලා, මාව චුට්ටක් විතර බය කරලා, ඉන් පස්සේ මගේ ලඟම බිම වාඩි වෙලා 'මොනවද තෙනුර ඔයා ඔච්චර දුකෙන් වගේ කල්පනා කරන්නේ' කියලා අහන්න.... එහෙම වුණා නම් මට ළිහිණිව සදහටම අමතක වෙන්නත් තිබුණා..."

නුවන් said...

දැන් නම් කතාව ටිකක් සංවේදී වේගෙන එනව වගේ...
කතාව ගලාගෙන යන විදිය නම් නියමයි... ඔහොම යං... :) ජයවේවා...

කතාවට ආස කෙනා said...

දැන් නම් කතාව අමුතු වේගන යනවා.... ඒක හොදයි... අක්කේ තව කොටසක් අදම දාන්නකො..... :-)

Post a Comment