පිටුව

Monday, August 2, 2010

41 කොටස


උදේ පාන්දරම කට්ටිය සෙට් වෙලා යන්න ගියා. අරයාගේ දානේ දෙන්න වෙන්න ඇති.එයාල ගියාට පස්සේ මමත් ඇඳෙන් නැගිටලා එහෙ මෙහෙ තියන ඇඳුම් ටික ට්‍රැවලිං බෑග් එකට ඔබා ගත්තා. මට ඕනේ නෑ එක එකාගෙන් කතා අහගන්න. මොකද මම අහසින් පාත් උණ එකෙක් නෙවෙයිනේ. මගේ කියලා දශම පහක හරි ආත්ම ගරුත්වයද මොකද්ද එකක් තියනවා කියලා මම හිතනවා. ඉපදුණු දවසේ ඉඳලා මම චාටර් තමයි. ඒත් මෙහෙම චාටර් උනේ නෑ. මම බෑග් එකත් කරේ දාගෙන ඉස්තෝප්පුවට ගියේ යන්න කියලා හිතාගෙන. ඒත් නොකියා යන එක හරි නෑ. මම නැති වෙලා කියලා හිතලා පොලිසියේ පුවත් වලට එහෙම දැම්මොත්. මම ආයේ ගේ ඇතුලට ගියේ කොල කෑල්ලකුයි පෑනකුයි හොයාගෙන, කොහෙද මම ඉස්කෝලෙත් එක්කම පොත් පෑනුත් වර්ජනය කලානේ. ඉස්කෝලෙ ගියා කියලා වැඩි වෙනසක් නෑ ඒත් වර්ජනය තමයි. මේ ගෙදරත් පෑනක් නෑ බේතකටවත් හොයා ගන්න. මම පොඩි ඩයිනමයිට් එකේ කාමරේ දොර ඇරගෙන ඇතුල් උණේ මේ කාමරේ නම් බඩු ෂුවර් නිසා. හරියට හරි මේ තියෙන්නේ බඩු පාට පාටින්. මම එතනින් පෑනක් අරගෙන එතන තිබුණු තඩි පොත දිග ඇරියා කොලයක් කඩා ගන්න. හත් ඉලව්වයි පෙරලුණ එක බලාපල්ලාකෝ. ලියලා තියන විදියෙන් මේක පාඩමක් නෙවෙයි කියලා මට තේරුණා. මටත් යන්තම් අකුරු පුළුවං එකේ නිකමට වගේ කියෙව්වා.
' මේ ලෝකේ වැඩියෙන්ම පව් කරලා තියෙන්නෙ මම කියලා මම දැනගෙන හිටියා. ඒත් ඒක වෙන කවුරුහරි කියනකොට දරාගන්න බැරි වේදනවාක් දැනෙනවා. ඔයා මට කවදාවත් තාත්තා ගැන කිව්වේ නෑ... මම කවදාවත් ඔයාගෙන් ඒ ගැන ඇහුවෙත් නෑ. අද මම මේ ලොකේ කාගෙන්වත් ආදරේ ලබන්නේ නැති කෙනෙක්. දුක හිතුණාම අඬනවා ඇරෙන්න මට වෙන කරන්න කිසිම දෙයක් නෑ. හෙට ඔයාගේ අවුරුද්දේ දානේ... ඒත් ඔයාට නිකං හරි කල්පනා උණාද මම ඔයා නැතුව අවුරුද්දක් හිටපු හැටි. ඇයි මාව තනිකලේ මෙහෙම අම්මේ... ඇයි මාව මෙහෙම පව්කාරියක් කලේ....' මම පොඩ්ඩකට පොත වහලා දැම්මා. මේ පොඩි ඩයිනමයිට් එකේ පොතක් නෙවෙයි. කරන්න ආව දේයි, කරන්න ඕනේ දේයි හිතා ගන්න බැරි අබ්ලික් තත්වයකට මාව පත් උනා. ෆුල් කචල් සීන් එකක්නේ. මම පොත එහෙමම තියලා ආපහු හැරුණා. ඒත් මගේ අර දඩබ්බර හිත කිව්වේම ඕක තව කියවපං පුතා කියලා. කමක් නෑ ඔන්න ඔහේ මම කියාවලා දානවා. මම ඒ පොතත් අරගෙන මගේ කාමරේට ආයේ සේන්දු උණා. මේක පතරංගයක් වගේ හවස් වෙන්න කලින් කියවගන්නත් ඕනේ. හරි හරි බලමුකෝ බැරි වෙන එකක් නෑ. මටත් තියෙන්නේ අනුන්ගේ ගෝනිම කර ගහන නැකතක්. ඒත් කාගේ හරි ටොපියක් කටේ දාගන්නවා තරම් ආතල් එකක් කොහෙන්ද?  
බෑග් එක ඇඳ උඩට විසි කෙරුව මම පොතත් අරං ඇඳේ හාන්සි උණා. මෙච්චර කල් කම්මැලි සාගරේ පීනපු මට මොකක් හරි අළුගුත්තේරු වැඩක් කරන්න චාන්ස් එකක් හම්බ උණාම දැනෙන සනීපේ ගැනනම් කියලා වැඩක් නෑ. කාගේ හරි අතිශය පෞද්ගලික පොතක් හොරෙන් කියවන්න චාන්ස් එකක් හම්බ උනා කියන්නේ දවසම ගොඩනේ.
පොත පෙරලන්න පටන් ගත්තා. මුලම පිටුවේ තියනවා බෝල අකුරු වලින් " තාරකා නිර්වාණි" කියලා ඒ කියන්නේ තාරකා නිවේවා! එල එල.... අනේ ගැන්සිය හිටියානම් මෙතන මොන තරම් ෆන් එකක් ගන්න තිබ්බාද? ඊට පස්සේ පිටුවේ ඉඳංම තිබ්බේ පින්තූර. තාරකාගේ අම්මා ගින්දර වගේ...හරියට මධුරි වගේ මාරම මාර කෑල්ල. පොඩි එකෙක් නම් ඉන්නවා ඒ මම හිතන්නේ තාරකා. එළ එළ.... පොඩි කාලෙත් තියෙන්නේ මේ අඩම්බර කමමයි එක තැනක වත් හිනා වෙලා නෑනේ.... ඒකට මෙයාගේ අම්මා... ෂුඃ.... හිනා වෙච්ච ගමන්මයි. පිස්සු කොර කිව්වාලු මම තව ඉස්සරහාට බලාගෙන ගියා. පින්තූර හරියට පොතෙන් බාගයක් විතර ගිහින් තිබ්බා, දැං තියෙන්නෙ අකුරු හරිය. කියවන්නත් කම්මැලියි. මම  සාමා සල් ගස යට කියලා හෝඩියේ පොත කියෙව්වට පස්සේ පොතක් කියවලාම නෑ. කමක් නෑ මේක එසේ මෙසේ පොතක් නෙවෙයිනේ... මම දැක්ක ආඩම්බරම කෙල්ලගේ ඩයරිය මේක කියවන්නේ නැතුව කොහොමද?
'මම යන හැම තැනකම මගේ පිටිපස්සේ හිටියේ අම්මා. කාත් එක්කවත් මම වැඩිපුර කතා කරනවාට එයා කැමති තිබ්බේ නෑ. වැඩිය තියා මටම කියලා කවදාවත් හොඳම යාලුවෙක් ඉඳලා නෑ. මට යාළුවෙක්ගේ අඩුවක් තිබ්බේත් නෑ... පොඩි කාලේ ඉඳලා මම හැමදේම කිව්වේ අම්මා එක්ක. මම කාත් එක්කවත් වැඩිය කතාකලේ නෑ, හිනා උනේ නෑ... ඒක මට පුරුද්දකට ගියා.' ඒ කියන්නේ මේ මරුමූස් පෙනුම ජාන වල ඉදන්ම එන එකක්. යාළුවෙක් නෑ, නෝ කතා නෝ සිනා... ඔක්කොම ඒ කාලේ ඉදං....
මම අනිත් පිට හැරෙව්වා. ඒක පුරාම තිබුණේ අම්මගේ මල ගෙදර හොටු පෙරපු හැටි, තනි උන හැටි.. එහෙම. කොල්ලා ඒවාගේ වාක්‍ය දෙක තුනම එකට අල්ලලා කියවලා අනිත් පැත්ත හැරෙව්වා. කාට හරි අම්බානකට නෙලනවා බලන් ඉන්න පුළුවන් මට ෆුල් ෆන් එකේ ඒත් කවුරු හරි හොටු පෙරනවා බලන් ඉන්න අමාරුයි. 
" ලොකු අත්තම්ම කැමැත්තෙන්ම මහළු නිවාසෙට ගියාට පස්සේ මට එන්න සිද්ද උනේ අම්මගේ හොඳම යාලුවාගේ ගෙදර... කුමාරි ඇන්ටි. හංසි අක්කයි, මේකලායි මට සැලකුවේ එයාලාගෙම කෙනෙක් වගේ. මට ජීවිතේ පලවෙනි වතාවට කවුරු හරි එක්ක ගොඩාක් සමීප වෙන්න හම්බ උණා."
සමීප බවනම් පේනවා ඒකනේ මට යන්න කිව්වේ.... මට අමතක නෑ මම මේ පොත කියවලා යන්න ගිය එක යනවා. ඊට පස්සේ දිගටම තිබුණේ කාපුවා, බීපුවා, නටපුවා, අනේ මන්දා මේ කෙල්ලොන්ගේ වැඩ නම්. මට නම් මේවා ගැන හිතනකොටත් කම්මැලි. මෙයාලට ෆන් කියන්නේ කාගේ හරි ඕප දූපයක් කතා කරන එක, මෙයාල හිතන්නේ... ඒක තමයි ජීවිතේ තියන ෆන්ම වැඩේ කියලා එහෙමද අපි හතර අතේ ගුටි කනවා ඒවයින් ලැබෙන ෆන් එක මෙයාලට තේරෙනෙවාද? නෑ.... පිටු විසි පහක් තිහක් විතර මම අරලා බැලුවා.
" අද දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ... මම පළවෙනි වතාවට කොළඹ ආවා. මේකලාලගේ නැන්දලාගේ ගෙදර ගියා. එයාලත් ගොඩාක් හොඳයි. එක පාරටම කවුදෝ මට ලිහිණි කියලා කතා කලා. දැක්කාම නම් පේන්නේ එවෙලේ නින්දෙන් නැගිටලා ඇවිත් වගේ.... ඒත් දැක්ක ගමන් මට හිතුනේ අමුතු දෙයක්.... එයාට මේකලා කතා කලේ පොඩි අයියා කියලා. අනිත් කට්ටිය කතා කලේ මයියා කියලා.... මම නම දන්නේ නෑ. අහන්නත් බෑ. බලන්නත් බෑ. කතා කරන්නත් බෑ. ඒත් එයා බලන විදියෙන් මට හිතුණා එයා මට කතා කරයි කියලා. ඒත් එයා කතා කලේ නෑ. මට මුලින් කතා කරන්න තිබුනේ ලැජ්ජාව... කොළඹ වගේම එයාවත් අමතක වෙන එකක් නෑ. මම ලබන මාසේ කොළඹ එනවා කියලා කිව්වාම එයාගේ මූණට ආව පල් හිනාවත් මට අමතක වෙන්නේ නෑ" 
කිරි අප්පගේ හේනම පාලූ වෙන්න බල්ලෝ බුරපි කිව්වාලු. හත්ඉලව්වේ මේ මම නේද? ඒ කියන්නේ මේ ආඩම්බරකාරිටත් මාව අමතක වෙන්නේ නැද්ද? කොහෙද මම රඟපෑවොත් රඟපාන්නේ කොමඩි ජවනිකාවක්නේ. හිතට මොකද්දෝ අමුත්තකුත් දැනෙන්න ගත්තා. මම ඊට පස්සේ පිටුව පෙරලුවා.
"සඳටත් හොරෙන්
හිරුටත් හොරෙන්
කාටත් හොරෙන්
මම එන්නද ඔබේ තුරුලට
ඇස් දෙක පියා ගෙන හිටියාම
ඔබේ උණුසුම වැඩි කමට 
කල්පාන්තය කෙලවර
වෙනවා වගේ දැනේවි.
මෙතෙක් නිදි වැරුණු ඇස් දෙකට
නින්ද ඇවිදින් තට්ටු කරාවි'

 අර මේ බිත්තියේ ලියලා තිබ්බ කවිය තමයි එතන තිබ්බේ.... මම ආයෙත් හොල්මන් උණා. මේකේ ඇත්තටම මොකද්ද අප්පේ තේරුම.....

12 comments:

කතාවට ආස කෙනෙක්..... said...

ඔයා කතාව මාර ලස්සනට ලියනවා.පළවෙනි දවස මේ වගෙ බ්ලොග් එකක කතාවක් කියෙව්වේ.තවත් හොදට ලියන්න සුබ පතනවා ඔයාට.

හුදකලාවේ සටහන...෴ said...

මැක්සා කතාව........සුපිරිම..සුපිරියි. දිගටම ලියන්න Fit එක ලැබේවා.

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

කොල්ලා හොට දායි වගේ.. සිරා දුල්... සුභ පැතුම්..............

වැම්පයර් said...

මේක මම කැමතිම බ්ලොග් එකක් දැන්.. නියමයි..

වැම්පයර් said...

මගේ මොලේ හොඳ නං ලිහිනි ගෙ තාත්ත ජයවීරත් හැටන් එන සීන් කෝන් එකක් තියෙනව නේද? අනේ මන්ද දුල්හරි..ඔයා නං නියමයි..!

හෙළයා said...

ක'මෝන් මයියා.

Dakshina said...

මයියටත් ඕන නැති මගුලක් නෑ. කාලා බීලා වෙනදේ බලාගෙන ඉන්නේ නැතුව යනව පොත් කියවන්න....

Aslam said...

අනෙ මයියාගෙත් වෑඩ. ඔන්නෑති මගුලක් නෑහෑ. හෑම දෙටම හොට දාලා අම්බානෙක ගුටිකනවා.
@ වැම්පයර් කිව්වමයි මතක් උනෙ. ළිහිණිගෙ තාත්තත් හෑටන් ආවා නේද??? ඒ කියන්නෙ ළිහිණියි තාරකයි අතර කොනෙක්සන් එකක් ඈති වගෙ. නියම කථාව. දිගටම ලියන්න දුල්හාරි අක්කෙ

නුවන් said...

ඔහොම යං ඔහොම යං... මයියට මායියො 2ක්ම ලැබෙන්නයි යන්නෙ...
මේ කොලු වචන ටික හොයා ගත්තෙ කොහොමද දුල් අක්කා...?

පබලු said...

අනුන්ගේ ඩයරි කියවන එකෙත් පොඩි ගතියක් තියනව වගේ.ඒ වුනාට කැතයි මයියා..

පිස්සා පලාමල්ල said...

ඔන්න 40 .. 41 දෙකම කියවල කොමෙන්ට් එකක් දානවා. කතාව නම් ඉතින් උපරිමයි.

ඔයා ඇත්තටම කොල්ලො හිතන විදියට දැනෙන්න ලියනවා. මේ වගේ ඉක්මනට ලියන එක නම් නියමයි. අමතක වෙන්නෙත් නැහනේ කතාව.

මයිය නම් මාර පින් සහ පව් කර පුතෙක් වගේ... හි හි

හෙළයා said...

42 ඕනෑ.... ඉක්මනට දියෝ

Post a Comment