පිටුව

Thursday, July 29, 2010

38 කොටස


මම ඇස් දෙක ඇරලා වට පිට බලනකොට මාව තද කරලා දෙන්නෙක් අල්ලගෙන ඉන්නවා මම දැක්කා. පොඩ්ඩක් දඟලන්න ගත්තාම මාව අල්ලගෙන හිටපු මෝරා කතා කලා
"බොස් මූට පණ ඇවිල්ලා..." මම තවත් හයියෙන් දැඟලුවා.... එහා පැත්තෙ හිටපු එකා මගේ බඩට ඇන්න කතා කර ගන්න වචන එන්නේ නැති තරමට. බුදු අම්මේ මුළු බඩම කොර වෙලා ගියා.
"තමුසේට සුහද අනතුරු ඇඟයීමක් කරන්න හදන්නේ හොඳට අහගෙන ඉන්නවා..." මම ගේම දුන්නේම ඉස්සරහා සීට් එකේ ඉදං හඬකවන එකාව දැක ගන්න... ඌ බොස් ලූ. බොස් තියා ජබොස් උණත් මට කමක් නෑ  මොකාද කියලා බලා ගන්න තියනවා නම් ඇති.
"තමුසෙලා කවුද? ලැජ්ජා නැද්ද... තමුසෙලාගෙ සයිස් එකේ එකෙක් හොයාගන්නවාකෝ " මම එහෙම කිව්වෙත් ගොත ගැහි ගැහි බඩ පුරාම තිබ්බ අමාරුවත් එක්කමයි.
"බොස් මොකද කියන්නේ.. අනින්නද තව දෙක තුනක් මූට කතා කරගන්නම බැරි වෙන්න.... කට වැඩී..." අර එක මෝරෙක් මාව තවත් හිර කරලා අල්ලගත්තා. මම තවත් දඟලන්න ගත්තේ ඊට පස්සේ...
"නෑ ඔහොම ඉන්නවා අයිසේ...." අර ඉස්සරහා සීට් එකෙ ඉන්න බොස් කතා කළා.  දැං මට මල පැනලා තියෙන්නේ. මමත් මෙහෙම හිටියාට ජීවිතේ වැඩි හරියක්ම බැලුවේ රෙස්ලින් තමයි.
"තමුසේට පළවෙනි සහ අන්තිමට වතාවට මේ අවවාදේ දෙන්නේ..... "
"අවවාද දෙන්න තමුසෙලා මාව ජාතක කලාද?" මමත් කට තියාගෙන හිටියේ නෑ.
" හොඳට අහගෙන ඉන්නවා නැත්නම් පසු තැවෙන්න වෙනවා..." මට උගේ බයිලා අහන්න ඕනෙ කමක් නෑ. මම තවත් එහාට මෙහාට දඟලන්න ගත්තා.
" වහාම තමුසේ ජයවීරගේ පවුලේ කට්ටිය එක්ක තියන ඇයි හොඳයිය නවත්තනවා" මගෙ කට කොණට හීනියට හිනාවක් ආවා.
"ඇයි නැවැත්තුවේ නැත්නම් තමුසේ මට මොනා කරන්නද?"
"තමුසේ වගේ හරක් පැටියෙක්ව පරලොව ඇරලා මට කිසි ගතියක් නෑ.. ඒත් තමුසෙට ඉන්නවානේ ගින්දර වගේ අක්කෙකුයි නංගියෙකුයි..... තමුසේ ජයවීරගේ පවුලේ අයව මුණ ගැහෙන්න ආයේ හිතන්න කලිං තමුසේගේ අක්කගෙයි නංගිගෙයි මූණු අන්තිම වතාවට බලාගෙන පලයං" මාව හිරි වැටිලා ගියා.... මගේ ප්‍රශ්න වලට එයාලා මොනා කරන්නද? 
"මොකද සද්ද නැත්තේ.... කල්පනා කරනවාද? හොඳට කල්පනා කරපං... කරලා තීරණය ගනින්.. ජය වීරගේ පවුලේ අයද නැත්නම් ගෙදර අයද කියලා. ඔන්න ඕකව එළියට දානවා..." අර බොස් නාම්බා එහෙම කියනකොට වාහනේ දොර ඇරලා මාව අර මෝරා එළියට තල්ලු කළා. මාව පෙරලලිලා පාරෙ අයිනට විසි වෙලා ගියා. බුදු අම්මේ... මගේ අත.... අතත් බදා ගෙන මම අමාරුවෙන් නැගිට ගත්තා, ඒත් එක්කම පිටිපස්සෙන් ආපු ට්‍රයිෂෝ එක නැවතුණා, ඒකෙන් ගැන්සිය බැහැලා ආවා.
" මයියා..... " බුවා මාව ඉන වටේ අත යවලා හරියට නැගිට්ටවා ගත්තා. 
"මොක්කුද බං ඒ...."
"මම දන්නේ නෑ ටොලා.... උන් මට කියනවා ජයවීරගේ පවුලෙ කට්ටියත් එක්ක තියන සම්බන්දේ නවත්තන්නලු....."
" උඹට උන් මොනාද කලේ..." 
"ඇඟට බඩක දෙක තුනක් ඇන්නා බං...."
"අපි පොලිසියට යමුද?"
"එපා.... උන් මට තර්ජනේ කලා එහෙම නැවැත්තුවේ නැත්නම් අක්කාටයි නංගිටයි..." මගෙ කටෙන් පිට වෙන්න යන දේ දැන ගත්ත ගැන්සිය මූණට මූණ බලා ගත්තා. 
"හැම දේම අමතක කරලා දාලා.. උඹ ටික දවසක් සීන් එකෙන් කැපිලා හිටපං...." සිකා අමු අඳෝනා වොයිස් එකකින් එහෙම කිව්වා. ඌ කියන්න කලින් මටත් ඒක හිතුණා, ඒත් අක්කයි නංගියි ගැන මට සෑහෙන බයක් දැනෙන්න ගත්තා. විශේෂයෙන්ම නංගි ගැන.
"වරෙං දැං අපි ගෙදර යං..." සිකා ආව ට්‍රයිෂෝ එකටම මාව රිංගව ගෙන ගෙදරට යන්න පිටත් උණා. මට එහා පැත්තේ හිටියේ ටොලා. බුවා ට්‍රයිෂෝ එක එලවන අයියාගේ සීට් එකෙන් කෑල්ලක ඉඳගෙන හිටියා.
" ඒ වාහනේ නොම්බර තහඩුවක්වත් නෑ" අපි කාටවත් මීටර් උණේ නැති දෙයක් ට්‍රයිෂෝ අයියා කිව්වා. 
"මොනා උණත් මයිය... උඹට සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා"
" මට මාර බයයි නංගි ගැන මචං..." මම ඇත්තම කියලා දැම්මා....
"උඹ නංගි ගැන බය වෙන්න ඕනේ නෑ... උඹ ටික දවසකට කොළඹින් පලයං... අපි නංගිටයි, අක්කාටයි ආරක්ෂාව සපයන්නම්" බුවා එහෙම කියනකොට මට ටිකක් විතර ෆිට් එකක් ආවා. මම දන්නවා මුන් මාත් එක්ක අපායට උණත් එන බව.
"මම කෑගල්ලේ යනවා හෙටම මචං..." මම එහෙම කියලා අම්බානකට රිදෙන අත අල්ලගත්තා... 


ගෙදර ගිහිල්ල වෙච්ච විස්තරේ නොකිය ඉන්න තරම් තත්වයක් මට තිබුණේ නෑ. ඒත් ජයවීරගේ සීන් එකවත්, අක්කලා නංගිලා ගැන සීන් එකවත් මම තාත්තාට කිව්වේ නෑ. තාත්තා මගේ ජීවිතේ පලවෙනි වතාවට මම ඇහුව දේකට කැමති උණා. අම්මා නම් ගොඩාක් අඬන්න පටන් ගත්තා. 
"මයේ පුතාට ඉස්කෝලේ එතකොට" අම්ම මගේ ඔළුව අතගාන ගමන් තාත්තාගෙන් ඇහුවා
"ඔහෙට ඕනේ කෙහෙල්මල් ඉස්කෝලේද එහෙම නැත්නම් මේකගෙ ජීවිතේද?" තාත්තාට ටික වෙන්න මල පැන්නා. ඒ මල පැනීම සාදාරණයි. අම්මා ඊට පස්සේ මොකුත් කියන්න ගියේ නෑ. නැන්දාට කෝල් කරලා හෙට මම එන  බව කියනවා මම කාමරේ ඉඳං අහගෙන හිටියා. මම මේ පළවෙනි පාරට ගෙදරින් දුරකට ගිහින් කාලයක් ඉන්න යන්නේ. හිතට මොකද්දෝ මෙව්වා එකක් දැනෙන්න ගත්තා. ගහගත්තත්, බැනගත්තත්, මම හිතන්නේ මේ ගෙදර මම හිටියේ සතුටින්. නැන්දලාගේ ගෙදර මට අමුතු තැනක් නෙවෙයි ඒත්.... අපේ ගෙදර, අම්මාගේ බත් පිඟාන. නංගිගේ කේලම, අක්කාගේ මරසිය, අයියාගේ ෆිට් එක තරම් ගතියක් එහෙ නෑ. ඒක නම් මට බුදු ෂුවර්. මම දිග හුස්මක් පිට කලා. පොඩි ට්‍රවලින් බෑග් එකට ඇඳුම් කෑලි දෙක තුනක් ඔබා ගත්තාට පස්සේ ඒක පැත්තකින් තියලා මම ඇඳේ හාන්සි උණා.
"මම මටම මහ බරක්" කියල හිතෙන්න ගත්තා. ලිහිණි කිව්ව දේ ඇත්ත එයා මගේ ජීවිතේට ආව වෙලාවෙ ඉදලා මට හැම වෙලෙම ජීවිතේ විඳින්න ලැබුණේ ප්‍රශ්න. අද මම අපේ මුළු ගෙදරටම හිසරදයක් වෙලා එහෙම උණෙත් ඔයා නිසා තමයි ලිහිණි. කොල්ලා හැම වෙලේම හිතුවේ කාට හරි උදව් කරන්න මිසක් බාලදියක් පෙරලන්න නෙවෙයි, ඒත් දැං කොල්ලාගෙ ඇඟට පෙරලිලා තියන බැරල් එකෙන් ගොඩ එන්න ඕනෙ බැරල් කටින්ම තමයි. හිත පුරාම දුවන හීනි වේදනවත් එක්ක මම ඇස් දෙක තද කරලා පියා ගත්තා.

10 comments:

දුල්හරි ඉලංගකෝන් said...

මට පින්තූර ගොඩාක් එවලා තිබුණ ඉශානි නංගිටයි, ග්ලිමර් ගර්ල් නංගිටයි දෙන්නාටම ගොඩාක් ස්තූතියි.... ඔන්න ඉශානි නංගි ඔයා එව්ව පින්තූරයක් තමයි අද පෝස්ට් එකට දැම්මේ

පබලු said...

oya tika davasakata mevayen athvela inna hithapu eka nam hodai Thenura..nethnam me marala okkoma oluve..hehhee...

වැම්පයර් said...

හරී හරී.. අර අනිත් කොපියට කොක්ක ගහන්නයි යන්නේ.. කමෝන් මයියා...

හසී said...

හ්ම්ම්.... අනේ මන්දා මෙයා ගුටි කන නැකතකින් ඉපදිලාද කොහෙද

Aslam said...

හ්ම්ම්... ඇත්ත තමයි. මයියා යන එකමයි හොද. එත් පොර ගුටි කන එකනම් ඉවරයක් නැහැ වගෙ. දැන් කෑගල්ලෙත් ළිහිණි කෙනෙක් ඉන්නවා නෙද, එහෙ ගිහින් කාගෙන් කයිද දන්නෙ නැහැ.... බලමු කො. දිගටම ලියන්න අක්කෙ. නියම කථාව

-නිති- said...

මායියට ඇඟත් බේරගෙන නාට්‍යයෙනුත් බේරෙන්න චාන්ස් එකක්.... :D කෑගල්ලට යන එක හොදයි මායියා ගෙදර හිටියොත් තවත් ප්‍රශ්න....හැබැයි එහෙ ගිහින් තවත් කෑමක් ඉල්ල ගනීද දන්නෑ.....
දිගටම ලියන්න අක්කියෝ.....සුභ පැතුම්.....!!!

පිස්සා පලාමල්ල said...

මයියට නම් ඇත්තටම කල හොඳ නැහ... ඒත් අර ලිහිනි ගේ අනික් පලුව ඉන්නෙ කෑ ගල්ලෙ නේද ?

චමිත් ජයංග said...

මටත් ටික වෙන්න දුක හිතුන කියමුකෝ එහෙනං ..... එල එල ඔබේ ලිවීමට මගෙන් සුභ පැතුම්.....

Sanduni said...

නියමයි!!!

Sanduni said...

එක දිගට එක හුස්මට මේ වෙනකන් කියෙව්වා...ඇත්තටම ලස්සනයි!!!
ඉතුරු ටිකත් කියවනකන් නින්ද යන්නෙ නෑ...අදම කියවල ඉවර කරනවා ලියපු ඔක්කොම...
දුල්හාරි අක්කේ, දිගටම ලියන්න..

Post a Comment