පිටුව

Monday, June 14, 2010

16 කොටස


 මගේ ග්‍රහයා සෑහෙන්න නීච වෙලා. නැත්නම් පහුවදාම මාව ගෙදර යවයිද? යන්න කලින් සිකා මාව බලලා යන්න ආවා. ඌගෙත් ඔලු කට්ටෙ තැනින් තැන බම්පර් දාලාලු. මගෙන ඔලුවේ එක පැත්තක් නෑ වගේ දැනෙන්නේ. වෙලාවකට අම්බානකට රිදෙනවා. ආයේ දැනෙන්නෙ නැති වෙනවා. ඔලුව නොදැනෙන එකම හොඳයි. ඔය ඔලුවයි හදවතයි තියනකන් මිනිහෙකුට ජිවිතේ ආතල් නෑ කියනවානේ. ඕක කවුරුත් කියපු එකක් නෙවෙයි මම මයි කිව්වේ. අක්කායි, අම්මායි අවිල්ලා මාව ගෙදර එක්කන් ආවා. මලා තාත්තාත් වැඩට ගිහින් නෑ. වාහනේ මිදුලේ නවත්තලා තියනකොට මට හීන් දාඩිය දැම්මා. අරුන්ගෙන් ගුටි කන එක සැපයි තාත්තාගෙ මූණ බලනවාට වඩා. සැරෙන් සැරී අම්මා මගේ ඔලුව හිමින් අත ගෑවේ කඳුලු පුරෝගන. ඔන්න ඔය වෙලාවට තමයි මොන තරම් හිත ගල් කරන් හිටියත් මටත් ටැප් එක අරින්න හිතෙන්නේ. මම ගේ ඇතුලට ගියේ පොලවේ වැලි කැට ගණන් කරන ගමන්. තාත්තා දිහා බලන්න තරම් මට ගටක් නෑ. මොනා උනත් ඔය මනුස්සයා නොහිටින්න අපි කාලා ඇඳලා ඉඳලාත් හමාරයි. මට මෙහෙම අපේ පවුලේ අය ගැන දුක පහළ වෙන්නේ මාර කලාතුරකින්.
"තෙනුර ඔහොම ඉන්නවා...." තාත්තා එහෙම කතා කරද්දි මගෙ කකුල් දෙක එක තැන නතර උනා. අද මොන තරම් මම බැනුම් අහුවත් මම කට අරින්නෙවත් නෑ. අන්න එහෙම මම හිතා ගත්තා. බිම බලාගෙනම මම තාත්තා පැත්ත හැරුනා. ඔන්න මගෙ අඟේ පතේ වේදනාව මට දැනෙන්න ගත්තා. ඉවසපං කිව්වලු. මම ඉවසගෙන තාත්තා දිහා බැලුවා.
"මොනවාද පුතේ මේ දා ගන්න ලෙඩ?" තාත්තා එහෙම ඇහුව ඇදලා පැදලා... අම්මපා මගේ ජීවිතකාලෙටම තාත්තා මට පුතා කිව්වාමයි ඔය. මට සාමන්‍යයෙන් තාත්තා ආදරේට අමතන්නේ හරකා, ඉබ්බා,  මීහරකා, කොටළුවා, වගේ හුරතල් නම් වලින්. මගේ ඇස් එක පාරටම තාත්තා දිහා බැලුවා. 
"කතා කරපං.... තමුසෙට මොනා හරි උනා නම් එහෙම...?" 
"මම... මේ .... කි කිසි දෙයක් ගැන ද දන්නේ නෑ තා තාත්තේ..." මම මේවා කිව්වේ අර මුලින් කතා කරන්න පුරුදු වෙන උන් වගේ ගොත ගහා ගහා
" ඒක මම දන්නවා... මේ හැම දේටම මුල තමුසේ අපි කියන දේ නාහන එක. දැං කාමරේ ට ගිහින් ඉන්නවා. මීට පස්සේ ඉස්කෝලෙ බස්සන්නේ මම වාහනෙන්.." බුදු අම්මේ මේක විලි ලැජ්ජා නැති දඬුවමක්. තාත්තා මාව ගෙදරින් එළියට විසි කලත් මට මෙච්චර නෝණ්ඩි නෑ. ඒත් වැඩිය කතා කරන්න හොඳ නෑ. මම කාමරේට ගියා. හැබැයි හිතට ඇඟට දැනෙන්නෙ එල්ලලා මරන්න නියම කලා වගේ. 
"කොල්ලාට සැර වෙන්න එපා අපෙ මහත්තයා.." අම්මා මං වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලනවා මට ඇහුනා. ඊ ලඟට තාත්තා මොන මොනාද මුණු මුණු ගෑවා. 
"මහත්තයාට කැමති දෙයක් කරන්න" අම්මා ඇඬෙන වොයිස් එකකින් කියනවා මට ඇහුණා, ඒත් එක්කම අක්කා මගෙ කාමරයට ආවා.
" මයියා ගොඩාක් රිදෙනවාද තමුසෙට?" අක්කා ඉතිං සුපුරුදු ප්‍රශ්නයක් ඇහුවා, මම තැමීගෙන ආවාම අහනවා තෙමුනද කියලා, නාගෙන ආවම අහනවා නෑවද කියලා, මෙලෝ සිහියක් නැතුව ගිලිනකොට අහනවා කනවද කියලා. දැං මේ තරම් ඩොක්ටර් අංකල් මාව වෙලලා වෙලලා තියනවා මෙයා අහනවා රිදෙනවාද කියලා.
" අනේ නෑ මාර සැපයි. සැපට දිව්‍ය ලොකෙත් පෙනි පෙනි අපායත් පේනවා," මම එහෙම කියන ගමන් පුංචි කෙඳිරියක් ගෑවා.
"තමුසෙට ඉස්කෝලෙ යන්න එපා කිව්වා සති දෙකක් යනකන් දොස්තර" අක්කා මගේ ලඟින් වාඩි උනේ මගෙ වෙලලා තිබ්බ අතක් අත ගගා.
"එතකොට දොස්තරද ඒ ලෙවල් ලියන්නේ....?" මට ටික වෙන්න තද උනා.
"ඔහොම කොහොමද මයියා ඉස්කෝලෙ යන්නේ...?" ඒකත් ඇත්ත.... මම මෙහෙම ඉස්කෝලෙ නෙවෙයි කොහෙ හරි පේමන්ට් එකක ලේන්සුවක් එලා ගත්තානම් කොටි පතියෙක් වෙන්න තිබ්බා.
"මේවා දවස් දෙක තුනකින් ගැලෙව්වාම යනවා.
"තාත්තා කිව්වා ඔයාව වෙන ඉස්කෝලෙකට දානවා කියලා" හෙන පිට හෙන වැදුනා වගේ.
"මොකක්?" මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙන්න ගත්තා. කරගන්න කියාගන්න දෙයක් නෑ, අත් දෙකෙන්ම ඔලුව බදාගෙන මම කෑගැහුවා " අම්මෝ..." කියලා

3 comments:

සු෴ said...

අදත් බැලුවා.. පොත් කියවනවට වඩා මෙහෙම බලන එක ලේසියි. කතාව ලේසියෙන්ම ගලාගෙන යනවා.හෙටත් තව කොටසක් දාන්න.

-- අනේ මේ වර්ඩ් වෙරිෆිකේෂන් තියෙන කොට කමෙන්ට්ස් දාන්න කම්මැලියි. පුළුවන්නම් ඒක අයින් කරන්න

දුල්හරි ඉලංගකෝන් said...

ඔන්න මම අයින් කලා... දැං වර්ඩ් වෙරිෆිකෂන් නෑ ගොඩාක් ස්තූතියි

පබලු said...

:D :D :D

Post a Comment