පිටුව

Saturday, June 12, 2010

15 කොටස


ලාවට ඇස් දෙක ඇරෙනකොට මට තේරුනා මම ඉන්නෙ මීට කලින් හිටපු තැනක නම් නෙවෙයි කියලා. වටපිටාවට ඇන්ටනාව දාන්න බෙල්ල පොඩ්ඩක් කරකවන්න බැලුවා. දෙලෝකෙන් එක ලෝකයකවත් නැති තරම් වේදනවක් තැපෑලෙන් වගේ අඟ පුරාම එන්න ගත්තා. ඔන්න ඒත් එක්කම එහෙන් මෙහෙන් කෙඳිරිලි ඇහෙන්න ගත්තා. මම මේ ඉඳලා තියෙන්නෙ ඉස්පිරිතාලෙනෙ බොලේ... අම්බානකට ඇඟ රිදෙනවා. රාජකීය කෑමක්නෙ කෑවේ. ඇත්තටම මට ගැහුවේ කවුද? මට ගහපු උන් එකෙක් වත් මීටර් නෑනෙ.මටත් දැං හීනියට කෙඳිරි ගෑවෙනවා.
" තෙනුර......" මම මරනාසන්න අස්සයා වගේ ඒ පැත්ත බැලුවා.ඩයල් එක දැකලා පුරුදුයි ඒත් අම්මපා මතක නැති හැටි. අර වැදුණ පාරක් ඔලුවට වැදිලා රැම් එකත් ගහලා ගිහින්ද දන්නේ නෑ
මම නිකං මන්ද බුද්ධික ටයිප් එකෙන් පොර දිහා බැලුවා.
"මාව අඳුනගන්න බැරිද?" මම පොඩ්ඩක් කෙඳිරියක් එහෙම ගහලා ඉඳගන්න ට්‍රයි එක දුන්නා.
"නෑ ඔහොම ඉන්න.... , කමක් නෑ...... මම භානුක.... " ඇත්තම නේන්නම් මේ අර අපේ නංගිගේ ටොයියානේ. මගෙ මීටරේ අවුල් වෙලා තමයි. ඊයේ මම මූ ඉස්සරහනේ පොර වෙන්න ගියේ. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.
" දැං මතකයි. ඔයා මෙහෙ...?" මම අත් එහෙම අමාරුවෙන්හොලවලා බැලුවා. ඒවා වැඩ. මොකුත් අඩුවක් නෑ, අම්බානකට රිදෙනවා. අර දුකටයි සැපටයි හිටපු සැමීලා ටිකත් පේන්න නෑ. උන් කොහෙද දන්නේත් නෑ.
"ෂවිනි කෝල් කරලා කිව්වා.." මලා...මම මෙහෙ කියලා ගෙදර අයත් දන්නවාද?
" දැං වෙලාව කීයද?"
" දැං හයට විතර ඇති.... ඔයාට දැං කොහොමද?"
"හයයි..... මම මෙච්චර වෙලා...."
"දවල් තිස්සෙම ඔයාගෙ අම්මා මෙහෙ ඉඳලා ගියේ, ෂවිනි උණත් මට කතා කලේ අඬ අඬා... ඔයා ඇයි මෙවන්ලාත් එක්ක රණ්ඩුවට ගියේ.."
මම ඌ එක්ක රණ්ඩුවට ගියාද....? මට මතක නෑනෙ.... මට මෙහෙම ගැස්සෙව්වේ මෙවන්ද? මේක මහා අපඛ්‍රන්ස ලෝකයක්නේ. 
"මට මේ මොකුත් තේරෙන්නේ නෑ..... මම කාත් එක්කවත් රණ්ඩුවට ගියේ නෑ."
" එහෙනම් මෙවන් ඔයාට ගැහුවේ ඇයි?"
" ඒක මම කොහොමද දන්නේ... මම කවුද ගැහුවේ කියලාවත් දන්නේ නෑ. මට ගැහුවේ මෙවන් කියලා උඹ කොහොමද දන්නේ..?"
" මෙවන්ගෙ පන්ති තහනම් කරලා තව එයාගෙ යාලුවෝ කීප දෙනෙක් එක්ක. මට ඒක කිව්වෙ හිරාන්" 
මේ හැම දෙයක්ම මට උණු උණු නිවුස්. ඒත් අපේ ගැන්සියේ එකෙක්වත් තාම ඇයි පේන්න නැත්තේ..?
"මට ගහලා උන් මොනවා බලාපොරොත්තු උනාද මම දන්නේ නෑ භානුක...., මමත් ෆුල් හොල්මන්.මගෙ යාලුවෝ එහෙම දැක්කද?"
" එක්කෙනෙක් නම් එහා වාට්ටුවේ ඉන්නවා. අනික් අය නම් දවල් ටිකට් කපලා ගෙදර ඇරියා" ඒ කියන්නේ මම නිසා අනිත් උනුත් ගුටි කාලා. පව් දෙයියනේ.
" කවුද එහා වට්ටුටේ ඉන්නේ...."

" හර්ෂ" මගේ හුස්ම වෙනදාට වඩා දිගම දිග එකක් උනා. 

"ඌට කොහොමද?"
" එයාටත් හොඳයි... හවස නැත්නම් හෙට උදේට ටිකට් කපයි.
"මාව බලන්න ආවට තැන්ක් යූ මචං"
" මම හෙටත් එන්නම්.... උඹ ලිහිණිගෙ පණිවිඩ කාටවත් මීට පස්සේ ගෙනියන්න එපා" මේ හැමදේකටම හේතුව කෙල්ලෙක් කියලා හිතනකොටත් ලැජ්ජයි. එයාට කඩේ ගිහින් අන්තිමට මට නතර වෙන්න උණේ ඉස්පිරිතාලේ. ඒත් ඒ කෙල්ලට බනින්න මගේ හිත ඉඩ දෙන්නේ නෑ. හැමදේකම අග ඉන්නේ එයා. 
"ලිහිණි....."
" ඔව් තෙනුර... ලිහිණි මගෙ අක්කා ....විනාඩි ගානකට.... අපි දෙන්නාගෙ ගොඩාක් ගති ගුණ එක වගේ. ලිහිණි කාටවත් කරදරයක් කරන්න හිතන්නේවත් නෑ. එයා අහිංසකයි. මම දන්නවා ඔයාට මේ හැමදෙයක්ම උනේ ලිහිණි හින්දා කියලා."
"ඔව් එයා හින්දා තමයි... මම දන්නවා මට ඉස්පිරිතාලෙ ඉඳලා ගෙදර යන එක ඔක්කොටම වඩා අමාරුයි කියලා"
" මට තේරෙනවා මචං.. මම අක්කා වෙනුවෙන් උඹෙන් සමාව ඉල්ලනවා,"
" කමක් නෑ මචං... මේවා වෙන්න තිබ්බ දේවල් වෙන්න ඇති, මට දුක මම හින්දා මගේ යාලුවෝත් කෑව එක" මම අභිධර්මය ටිකක් දැම්මා.
" මට ආයෙත් සමාවෙන්න. "
"උඹ මොනා කලාටද මේ හතරගාතෙන් සමාව ඉල්ලන්නේ..?"
"අක්කා වෙනුවෙන්.. ඒ වගේම කවදාවත් අක්කාට දැන ගන්න තියන්න එපා ඔයා එයා නිසා ගුටි කෑව බව"
"ඇයි?" මට මේ මනුස්ස ප්‍රාණෙ ගැන ආවේ මාර කේන්තියක්. යකෝ මම එයා හින්දා ගුටි කාලා දැං මූ කියනවා ඒක කියන්නත් එපාලූ. මේක මාර ආණ්ඩුවක්නේ

0 comments:

Post a Comment