පිටුව

Thursday, June 3, 2010

12 කොටස



මල පැනීමෙ වෙලාවක් කලාවක් තියෙන්නෙ ඕනෙනෙ. අඩු ගානෙ තැනක් නොතැනක් මොනා උනත් මේක මට අලුත්ම අලුත් අත්දැකීමක්.... මම කවදාවත් නංගිගෙවත් අක්කාගෙවත් කඩ වල සීනි කිරන්න යන්නෙ නෑ. එයාලා එයාලාගෙ ලෝකෙ, මම මගේ ලෝකෙ. නංගි කොල්ලෙක් එක්ක ගියාම මට පාඩුවක් වෙන්නේ නෑ කියලා දැන දැනත් මම නළුව වෙන්න ගිය එක තමයි මෙතන අවුල. මොනා උණත් දැං මගේ අතත් පුපුරු ගහනවා.

"මොකද බං උඹට ඇත්තටම උනේ...?" සිකා මගේ කර වටේ අත පටලෙව්වා. මටවත් පැහැදිලි නෑ මට උනේ මොකද්ද කියලා. මගේ බොක්කම අවුල් වෙල.... හිතනවට වඩා හයියෙන් හිතෙනවා. 


" නංගි කොල්ලෙක් එක්ක දැක්කාම මොනා උනාද දන්නෙ නෑ බං." මම බොක්කෙ එකයි හක්කෙ එකයි තියාගෙන කතා කරන එකෙක් නෙවෙයි. 



"ඒත් උඹ මෙච්චර කාලෙකට ඔහොම හැසිරෙනවා මම දැකලා නෑ" බුවාගෙ කතාව ඇත්ත, මම හරිම සීලාචාර විදියට පාරෙ තොටේ ගිය එකෙක්. මහා පාරෙ කෙල්ලෙකුට අත උස්සනවා තියා හීනෙන්වත් එහෙම කරන ජාතියෙ එකෙක් නෙවෙයි. 

"මමවත් දන්නේ නෑ බං මට මොනා උනාද කියලා... සිරාවටම උන්න තැන අමතක උනානෙ"

" උඹ තාම අර කෙල්ල ගැන හිතනවා" ඒ කිව්වේ ටොලා. මම ඒක පිලිගන්නවා. ඒත් එයාට පුලුවන්ද මගෙ මුළු ආත්මෙම මෙහෙම කණපිට හරවන්න. එකම එක දවසක් වචන දෙක තුනකට වඩා කතා නොකරපු කෙල්ලෙක්. මම ඒක නම් පිලිගන්න කැමති නෑ.

" උඹට පයිත්තියන්ද?, මොනා උනත් මට වල බහින්න ආසාවක් නෑ... මම යනවා ගෙදර" මම ආපහු හැරුනේ වාවගන්න බැරි හිතේ අමාරුවකින්.

"මේ වෙලාවෙ ගෙදර ගිහින් කොහොමද?"

සිකා භූත්යෙක්ගෙ වගේ මූණ හදාගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවෙ ගෙදර ගියොත් පත් වෙන අකුසලය ගැන මමත් දන්නවා. ඒත් වල බහින්න මූඩ් එකක් නම් පේන තෙක් මානෙක නෑ. 

"මට තේරෙනවා ඒත් මම මොනා හරි කර ගන්නම්... උඹලා පලයල්ලා..."

මම ආපස්සට ආව බස් එකකට අත අල්ලලා ගොඩ උනා. මම බස් එකෙ එල්ලිලා බලද්දිත් අපේ සෙට් එකම මගෙ දිහා බලන් ඉන්නවා වඳුරෝ සෙට් එකක් වගේ. නෝණ්ඩියක් කිණ්ඩියක් නැතුවම මම ගෙදර ගියා. ඒ වෙනකොට නංගි ගෙදර ඇවිල්ලා හිටියේ. ඇත්තමයි මට ඒකිගේ මූණ බලන්න ලැජ්ජයි.මම කිසි කෙනෙක්ගෙ මූණ බලන්නේ නැතුව මගේ කාමරේට ගියා. කෙල්ලෙකුට අත උස්සලා මට වීරයෙක් වෙන්න කොහොමත් ඕනෙ නෑ. ඒකත් අපේ ගෙදර හුරතලීගෙ. හිටපු ඇඳුම පිටින්ම මම ඇඳේ දිගා උනා. කාටවත් කියාගන්න බැරි මොකද්දෝ එකක් නිසා මගෙ මුළු සිස්ටම් එකම ආතුර වෙලා. 

"තෙනුර..... මෙහෙ එනවා..." ඒ තාත්තාගෙ කට හඬ, මේ මහ දවල් තාත්තා මොකද කරන්නේ. දැං මම මොකද කරන්නේ.

"තා තාත්තා අද වැඩට ගියේ නැද්ද?" මට ඉබේටම වගේ ඇහුණා..

"තමුසේ නන්නත්තාරේ යනවා.. අපිට තමයි මෙතන රට්ටු කතා හදනනේ"

"මම... මම නන්නත්තාරේ... " තාත්තාට පිටිපස්සේ හිටපු නංගි දිහා බැලුනෙ මට ඉබේටම. එයාගෙ ඇස් වල කඳුළු. මේකි ඒ ටිකට හැම දෙයක්ම කනේ තියලාද..... අම්මපා... මට ඔන්න ආයෙමත් මල පැනගෙන ආවා.

" ඊයේ ක්ලාස් ඇරිලා කෙල්ලෙක් එක්ක මුකුළු කර කර ඉන්නවා අපේ අමාත්‍යංශෙ එකෙක් දැකලා. ඌම අද තමුසේ මහ දවල් කෙල්ලෙක්ට ගහනවා දැකලා. මොකද්ද මිනිහෝ මේ ලැජ්ජා නැති වැඩ, ඉස්කෝලේ අරිනවා... ඒත් යන්නේ නෑ" තාත්තාගෙ මූණේ තිබ්බෙ ගිනි පුපුරු ඇවිලෙන තරහක්. 

"ක්ලාස් එකේ එකට ඉඟෙන ගන්න කෙල්ලෙක් එක්ක කතා කරන එක වැරදක් කියල මම හිතුවේ නෑ" මම එහෙම කිව්වේ ගට අරං... කවදාවත් තාත්තා ඉස්සරහ මෙහෙම කතා කරන්න හයියක් මට තිබ්බේ නෑ.

" අනික අද මම ගැහුවේ..." නංගි පිටි පස්සෙ ඉඳං මට වැඳ වැඳ අඬනවා මට පේනවා. එයා මේ කියන්නේ මොකුත් කියන්න එපා කියලා බවත් මම දන්නවා.

"ඔව් ඔව් කියනවා කෙල්ලෙකුට අත උස්සලා ඒකත් වැරද්දක් නෙවෙයි කියලා. ඒකත් මේ මහා පාරේ..?

"තාත්තාට හැමදේටම මම වැරදි.... ඔව් මම කෙල්ලෙක්ට ගැහුවා. ඒ මගෙ පෞද්ගලික ප්‍රශ්නයක්." මගේ කට අද වෙනදට වඩා මාර සැරයි, තාත්තා ඉස්සරහ මෙහෙම කතා කරන්න තරම් ගටක් ආව එක නම් මට හිතා ගන්න බැරි කේස් එකක්.

තප්පර දෙකක්වත් ගියෙ නෑ. තාත්තා පැන්න ගමන් මගෙ කම්බුලට දුන්නා පාරක් ග්‍රහලෝකාගාරයම පේන්න. ආයෙත් අනිත් පැත්තටත් වැදුනා ඒ හා සමානවම පාරක් දැන් නම් මට කලන්තේ වගේ. තාත්තාගෙන් කාලා හින්දි නලූ පාට දාන්න මට පණ නෑ. මම කැරකිලා ගිහින් ලඟ තිබ්බ පුටුවේ දඩාං ගාලා ඇදගෙන වැටුනා.

අම්මයි නංගියි දෙන්නම මාව හරස් කලා

"අනේ ඔය ඇති.... " අම්මා හැමදාම වගේ මම වෙනුවෙන් අදත් අඬනවා.

"ඔහේගේ හුරතලේ නිසා මේකා කවදාහරි හිරේ විලංගුවේ වැටිලා තමයි පස්ස බලන්නේ, බලාගෙන ඉන්නවා..." තාත්තා එතනින් එළියට ගියා.

අම්මයි නංගියි දෙන්නම මාව අත් දෙකෙන් ඇදලා උස්සලා කාමරේට ගෙනිච්චා.ඒ දෙන්නා හොටු පෙරාගෙන අඬනවා. මට තාම තරු එක දෙක පේනවා. අම්මා අඬ අඬාම කාමරෙන් පිට උනා නංගි මගෙ ලඟ දණගහලා වාඩි උනා
"පොඩි අයියේ.... මම නිසා මේ හැම දේම.."

 මම මොකුත් කිව්වේ නෑ. මේ හැම දේටම වග කියන්න ඕනේ එයා තමයි. කතා කරගන්න කටේ දත් තියනවාද දන්නෙත් නෑ මුළු හක්කම හිරි වැටිලා

"මම වැරදි ... මට සමාවෙන්න. ...."
 මම මොකුත් නොකියා අහක බලා ගත්තා

"පොඩි අයියේ... ඊයේ ඔයා එක්ක කතා කර කර හිටිය ගෑනු ළමයා ලිහිණි අක්කා කියලා මම දන්නවා.." මගෙ ඇස් එක පාරටම නංගි දිහාට හැරුණා.





0 comments:

Post a Comment