පිටුව

Monday, May 31, 2010

10 කොටස




උන් හිටි තැන් පවා නැති වෙලා යන විදියේ වැඩක් වෙලා වගේ දැනෙන්න ගත්තා. දැං මම මොකද්ද කරන්නේ.
" කලිසම හෝදන්න දැම්මා කියලා ඔය තරම් මූණ එල්ල ගත්තේ මොකො...?" 
අම්මත් ඉතිං මේ වෙලාවට වාද බයිලා ගහනවා. මම මොකුත් නොකියා කාමරෙන් එලියට ගියේ වතුරේ දැම්මා කියන කලිසම හොයාගෙන. ඒක දැක්කාම මගෙ හිත කඩාගෙන වැටුනා. මම ඊයේ මේක ඇඳගෙන හිටියේ මොන තරම් සන්තෝසෙන්ද? මම කලිසම් සාක්කු අස්සට අත දාලා බැලුවා. අනේ අර මගේ කලිසම අස්සේ තිබ්බ කොල කෑලි දෙකම වතුරෙන් පෙඟිලා පාප්ප වෙලා. දුකේ බෑ. ඒකෙ අකුරක් තියා මොකවත් හොයා ගන්න බෑ. මම ඒ කොල කෑලි දෙක දිහාම බලල හොඳවයින් හුස්මක් ඇරියා. එක අතකට මෙහෙම උන එක හොඳයි. මේ ලියුම දෙන්න ගිහින් චාටරයක් වෙනවට වඩා හොඳයි මෙහෙම උන එක. එහෙමවත් හිත හදා ගෙන මම සුපුරුදු පරිදි ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා.
" මයියා.. මෙන්න සල්ලි" අක්කා මගේ කාමරේට ආවා
"සමාවෙන්න මට ඔයාගෙ වැඩේ කරන්න බෑ" මම අක්කාව මඟාඇරලා යන්න හදනකොට අක්කා මගේ අතකින් අල්ලගත්තා
" කවදාවත් නැතුව තමුසේ අද සෑහෙන්න අප්සෙට් එකේ... මොකද්ද කේස් එක තාත්තා බැන්නද?" අක්කා කවදත් මගේ හිත කියවන එක හොඳටම කරනවා. මම අක්කා දිහා බලද්දිත් ලෝකෙ පාළු වෙන්න හුස්මක් පිට උනා.
" කවුරුත් මට මොකුත් කිව්වේ නෑ. තමුසෙගෙ අර තුන්ඩු කෑල්ලත් එක්ක අම්ම මගේ කලිසම හෝදලා"
අක්කා මගේ ඇස් දෙකටම එඹුනා. 
" මගේ තුන්ඩු කෑල්ල නිසා නම් නෙවෙයි තමුසේ මේ හූල්ලන්නේ.... අර ලියුමත් වතුරෙද?" අක්කා තවත් හොඳට මගේ ඇස් දෙක දිහා බැලුවා. මම කිව්වේ අපේ අක්කට බැල්ලියෙක්ට වගේ ඉව තියනවා.මම හින් සැරේ මොකුත් නොකියා ගෙදරින් පිට උනා.
වෙනදාට වඩා ඉක්මනට මම ඉස්කෝලෙට ආවා. අපේ සෙට් එකේ එක්කෙනෙක්වත් පේන්න හිටියේ නෑ. මම හිමින් 13 වසර පැත්තට පා උනා. 13 වසර පොල් මෝරු දකිනකොට ආපස්සට හැරෙන්න හිතුනත් අර පිරිමි මොකද්ද එක දාල මම එක අහිංසක වගේ පොරකට කතා කලා.
" මෙවන් අයියාව දන්නවාද?" මම මේ ඉස්කෝලෙ ඉගෙනගත්තා කියන්නත් ලැජ්ජයි. අඩු ගානේ මේ ඉන්න එක හාලපාරුවෙක්වත් මම අඳුනන්නෙ නෑනෙ.
" මෙවන්... අර ඉන්නේ.. තමුසේ මොනාටද මෙවන්ව හොයන්නේ..?" එකෙක් කතා කලේ ඌ මෙවන්ගේ බොඩි ඉන් චාර්ජ් වගේ.
" නිකං .... පොඩි පණිවිඩේකට"
" මෙවන් මෙන්න උඹට පණිවිඩයක් කියන්න සීනි බෝලයක් වගේ වීරයෙක් ඇවිල්ලා..." අර හිටපු අහිංසකයත් මට කැපිල්ල දැම්මේ බෙල්ල මුලින්ම කැපිලා යන්න. මම නම් අමු චාටරයක් වෙනවා. මම අයේ අනිත් පැත්තට හැරුනා. මුන් එක්ක කතාවට යන්න මම කැමති නෑ. අනික අද කොල්ලගේ මූඩ් එකත් කචල්.
" ඕයි මොකද තමුසේ මාව හෙව්වේ..." මට යන්න ඇරලා මගේ ලඟටම ඇවිත් අරූ කතා කලා. අර හිතේ තිබ්බ වීරකම් වෙන්දේසි වෙලා වගේ අසරණ කමක් හිතට එන්න පටන් ගත්තා.
" අයියා හිරාන්ව දන්නවාද?" කියන්න ගිය එක නෙවෙයි ඉතිං මට කියවෙන්නේ. ඒත් කමක් නෑ මගේ ඔහේ කියවෙන වාචාල කමට මම තැන දුන්නා.
" කවුද හිරාන්...?"
" හිරාන් ලිහිණිගේ පස්සෙන් වැටිලා.. එයාගෙන් ලිහිණිට හරි කරදර කියල කියලා යන්න ආවේ..." කවදාවත් කියන්න හිතපු දෙයක් නම් නෙවෙයි මගේ කටෙන් පිට උනේ... අම්මපා මගේ කටත් හොඳයි ජාඩි දාලා ඇඹුල් තියල් හදන්න.
" තමුසෙ ලිහිණිව දන්නේ කොහොමද?"
" මගෙන් ප්‍රශ්න අහන එක නවත්තලා මොනා හරි කරන්න? " මම ආපහු හැරිලා අඩියට දෙකට තාප්පෙ පැත්තට මාරු උනා. ඇත්තටම මට හිතා ගන්න බෑ මම මොනාද කලේ කියලා. ඒත් හිතුවට වඩා හොඳට වැඩේ කෙරුණා.මමත් හොඳ ජීනියස් පොරක්නේ බලාගෙන යනකොට. මම තාප්පෙ ලඟට යනකොට සුපුරුදු පරිදි අපේ සෙට් එක තාප්පෙ වටේ ඉන්නවා මම එනකං.
" අඩෝ මයියා.. උඹ කොයි වෙලාවෙද ආවේ..?" සිකා මාව දැකලා හොල්මනක්ව පණපිටින් දැක්කා වගේ බලාගෙන ඉන්නවා.
" ටිකක් වෙලාසනින් ඉස්කෝලෙ ආව බං"
" මයියා උඹට සීන් එකක් තියනවා කියන්න " බුවා හෙමින් මගේ කර වටේ අත එතුවා
"මොකද්ද?"
" ඊයේ ඉකෝන් ක්ලාස් ආපු කෙල්ල අද හොස්පිටල් ලු"
" ඒ මොකෝ?" මට මේ සරේ නම් ඇති උනේ මාර දුකක්
" අර අපේ පන්තියේ ඉන්න ගයාන් ඉන්නේ ඒ කෙල්ලගේ ගෙවල් ලඟලු. ඊයෙ පන්තිය ඉවර වෙලා ඒ කෙල්ල කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා එයගෙ තාත්තා දැකලා. ගෙදර ගිහින් හොඳටම ගහලා. ඒ ගහපු එකේ තරහට මේකි පැනඩෝල් පෙති හැටක් විතර ගිලලා" බුවාගෙ කතාවෙන් මගෙ ඇඟ හිරි වැටිලා ගියා. ක්ලාස් ඉවර වෙලා එයා කතා කලේ මාත් එක්ක. එයා අද... අනේ දෙයියනේ මේ මොන හෙන ගෙඩියක්ද?














0 comments:

Post a Comment